දශක තුනක් අභියස

ජූලි 8, 2021

ෂාරුක් ඛාන් මේ වන විට ලොව පුරා රසික රසිකාවන්ගේ ආදරය දිනූ ජනප්‍රියතම බොලිවුඩ් තරුවක්. ප්‍රේක්ෂක ආකර්ෂණය නොඅඩුව ලබන ඔහුගේ සිනමා දිවිය දැන් දශක තුනකට ආසන්න වී තිබෙනවා. පසුගියදා ඔහු විසින් සමරණු ලැබූයේ සිය සිනමා දිවියේ 29 වැනි වසරයි. බොලිවුඩයේ 'කිං ඛාන්' හෙවත් ෂාරුක් ඛාන් රිදී තිරයට පිවිසියේ 1992 වසරේදී 'දීවානා' චිත්‍රපටයෙන්. ඔහු සිය සිනමා දිවියේ වසර 29 වෙනුවෙන් ට්විටර්හි සජීවී රසික ප්‍රශ්න සැසියකට සහභාගි වුණා. ඉන්දියාව පුරා විසිරි සිටින ඔහුගේ රසික රසිකාවන් මෙම විශේෂ අවස්ථාව සමරනු ලැබූයේ අගහිඟකම් ඇති අයට උපකාර කිරීම වැනි මානුෂීය ක්‍රියා සමඟින්.

මේ වන විට ෂාරුක් නව නිර්මාණ කිහිපයක් වෙනුවෙන් උනන්දු වී ඇති බව බොලිවුඩ් වාර්තා ගෙන එනවා. 'පතන්' චිත්‍රපටයේ බොහෝ කොටස් රූගත කර ඇති බව බොහෝ දෙනා දැනටමත් දන්නා කරුණක්. ඒ සමඟ කිං ඛාන් චිත්‍රපට නිෂ්පාදක ඇට්ලීගේ මීළඟ සිනමා නිර්මාණයේ වැඩ ආරම්භ කිරීමට සූදානම්ව සිටින බව නව පුවතක්. මීට අමතරව ඔහු චිත්‍රපටයක් සඳහා රාජ්කුමාර් හිරානි සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද වාර්තා වනවා.

මෙය ඔහුගේ රසිකයන්ට වටිනා ප්‍රවෘත්තියක් වන්නේ ෂාරුක් ඛාන් අවසන් වරට දකින්නේ 2018 හි 'සීරෝ' චිත්‍රපටයේදී වීම නිසයි. " වසර ගණනක් එක දිගට මම අධ්‍යක්ෂවරුන් රැසක් යටතේ චිත්‍රපට ගණනාවක වැඩ කළා. ඉතින් ඒ නිසා මගේ දරුවන් සමඟ යම් කාලයක් ගත කිරීමටත් ප්‍රේක්ෂකයන්ගේ ආදරණීය කතා ඇසීමටත් මට අවශ්‍ය වුණා" වසර ගණනක නිහැඬියාව පිළිබඳ ප්‍රේක්ෂකයෙකු ඇසූ ප්‍රශ්නයකට ෂාරුක්ගේ පිළිතුර වූයේ එයයි.