කාරුණික හදවත් හිමි නළුවෙක්

ජූලි 8, 2021

සල්මන් ඛාන් බොලිවුඩයේ ජනප්‍රියතම තරුවකි. වසර ගණනාවක ඔහුගේ බොලිවුඩ් ජිවිතය තුළ දායක වූ චිත්‍රපට බොක්ස් ඔෆිස් වාර්තා තැබූ නිර්මාණ වේ. විශේෂයෙන් ඔහුගේ චිත්‍රපට රූගත කිරීමේ සිටම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට සමත් වී තිබේ. මේ වන විට ඔහු නළුවකු, නිෂ්පාදකවරයකු පමණක් නොව, දානපතියෙක්ද වෙයි. කොරෝනා වසංගතය අතරතුර ඔහු නොබියව එළියට පැමිණ අසරණ වූ සාමාන්‍ය ජනතාවට මෙන්ම සිනමා කර්මාන්තයේ උපකාර ඇවැසි වූවන් හටද බොහෝ උදව් උපකාර කර ඇත.

පසුගියදා ඔහු සිනමා සේවකයන් රැසකගේ ගිණුම්වලට මුදල් බැර කිරීමට කටයුතු කළේය. ඒ අනුව සේවකයන් දහස් ගණනකට එක් එක් සේවකයාගේ ගිණුමට රුපියල් 1500 ක් බැගින් මුදල් බැර කළේය. බටහිර ඉන්දියානු සිනමා සේවකයන්ගේ සම්මේලනයේ සභාපති බී.එන්. තිවාරි, ප්‍රමුඛ දිනපතා පුවත්පතකට අදහස් දක්වමින් පවසා සිටියේ "සල්මන් ඛාන් යනු බොලිවුඩයේ කාරුණික හදවතක් ඇති නළුවෙක්. අසරණ වූවන් වෙනුවෙන් ඔහු නිරන්තරයෙන් ඉදිරිපත් වීම අපට සවියක්" යනුවෙනි.