මග හැරුණු වේදිකාව

ජූලි 8, 2021

 

අයුෂ්මාන් කුරානා මේ වන විට බොලිවුඩයේ ජනප්‍රිය මෙන්ම සම්මානනීය නළුවකු බවට පත් වී අවසන්. හාස්‍ය, ත්‍රාසජනක ක්‍රියාදාම ඕනෑම සිනමා නිර්මාණයක තම චරිතය මැනවින් ගෙන එන ඔහු දිනූ ෆිල්ම්ෆෙයාර්, ඉන්දීය ජාතික සම්මාන අතර හොඳම නළුවාට හිමි සම්මාන සේම හොඳම පසුබිම් ගායකයාට හිමි සම්මානයකුත් ඇතුළත්. එපණක් නොව ඔහු පසුගිය වසරේ ටයිම් සඟරාවේ වඩාත්ම බලගතු පුද්ගලයන් 100 දෙනාගේ ලැයිස්තුවට ද ඇතුළත් වූවා. අයුෂ්මාන් බොලිවුඩ් සිනමාවට පිවිසියේ ෂූජිට් සර්කාර්ගේ අධ්‍යක්ෂණයෙන් යුත් 'විකී ඩෝනර්' සමඟින්. පසුව ඔහු විවේචනාත්මකව හා වාණිජමය වශයෙන් සාර්ථක චිත්‍රපට වන 'ඩම් ලගා කේ හයිෂා', 'බෙරීලි කි බාර්ෆි', 'ෂුබ් මංගල් සව්ධාන්', 'අන්ධධුන්', 'බඩායි හෝ', 'ආටිකල් 15' වැනි චිත්‍රපටවලට දායක වුණා.

පසුගිය දිනෙක ඔහු සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කළා. ඒ සමඟ සටහන් කර තිබුණේ "මට මෙය මඟ හැරුණි. අපි නැවතත් මෙය අත්විඳීන්නේ කවදාද? වසංගතය අවසන් වනතුරු බලා සිටිය නොහැකිය" යනුවෙන්. වීඩියෝවේ ඇතුළත් වී තිබෙන්නේ ඔහු සජීව ප්‍රසංගයක ගායනා කළ ගීතයක්. අයුෂ්මාන් අවසන් වරට දුටුවේ අමිතාබ් බච්චන් සමඟ එක්ව රඟපෑ 'ගුලාබෝ සීතාබෝ' චිත්‍රපටයෙන්. ඔහුගේ ඉදිරි චිත්‍රපට අතරට අභිෂේක් කපූර්ගේ 'චන්දිගාර් කරේ ආෂිකි', අනුභව් සිංහාගේ 'අනෙක්' සහ අනුභූති කාශ්‍යප්ගේ 'ඩොක්ටර් ජී' ඇතුළත් වෙනවා.