ශාන්ති, ඔබට අපගේ ශෝකය

ජූලි 8, 2021

 

ඉන්දියානු නිළියක, මෝස්තර නිර්මාණ ශිල්පිනියක, නිරූපිකාවක සහ රූපවාහිනී නිවේදිකාවක වන මන්දිරා බේඩි ලංකාවේද ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනා ගත්තේ 'ශාන්ති' මෙගා ටෙලි කතා මාලාව සමඟිනි. එහි ශාන්ති චරිතය සමඟින් ලද ඉහළ ජනප්‍රියත්වය සමඟ මන්දිරා මෙරටට පැමිණි අවස්ථාවේදී ඇය පුදුම කරවමින් විශාල ප්‍රේක්ෂක පිරිසක් පැමිණ සිටියහ. නමුත් අද මේ පුවත ඇය ගැන ඉතා කණගාටුදායක එකකි. එනම් ඇයගේ ආදරණීය සැමියා රාජ් කෞෂාල් අවසන් හුස්ම හෙළූ බවට වන පුවතයි. පසුගිය ජුනි 30 වැනිදා ඔහුගේ අභාවය සිදු වූයේ හෘදයාබාධයක් හේතුවෙනි.

රාජ් කෞශාල් යනු ඉන්දියානු අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක් මෙන්ම සටන් අධ්‍යක්ෂවරයෙකි. රාජ් කෞශාල් විසින් 'ඇන්තනි කෞන් හායි' (2006), 'ෂාදි කා ලඩ්ඩූ' (2004) යන චිත්‍රපට අධ්‍යක්ෂණය කොට නිෂ්පාදනය කර ඇත. මන්දිරා සහ රාජ් ආදර කතාව ආරම්භ වූයේ 'ෂාදි කා ලඩ්ඩූ' චිත්‍රපටය සමඟිනි. එහි ප්‍රධාන කාන්තා චරිතයට පණ පෙව්වේ මන්දිරා විසිනි. මන්දිරා සහ රාජ් අතර විවාහය 1999 පෙබරවාරි 14 වන දින සිදු වූ අතර 2011 වසරේදී ඔවුන්ගේ පවුලට වීර් නමින් පුතෙකු එක්විය. පසුගිය වසරේ ජූලි මාසයේදී මන්දිරා සහ රාජ් සිව් හැවිරිදි දැරියක් දරුකමට හදාගෙන ඇති අතර ඇයට ටාරා බේඩි කෞෂාල් ලෙසින් නම් තැබිණි.