නව තාලයට

ජූලි 8, 2021

 

කොරෝනා වෛරසය සිනමා ක්ෂේත්‍රයට සිදු කළ බලපෑම විශේෂ වේ. බොහෝ දෙනෙකු අසරණ තත්ත්වයට පත් කළද අන්තර්ජාල ප්‍රවාහ සේවා පෙරට පැමිණ තවත් බොහෝ පිරිසකට ක්ෂේත්‍රය තුළ නව අවස්ථා උදා කරමින් සිටී. මේ සමඟ බොහෝ දෙනෙකු නව තාලයට හුරු වෙමින් සිටින බව පෙනේ. මේ වන විට සංජේ ලීලා බන්සාලි, අලියා භාත් සමඟ 'ගංගුබායි කැතියවාඩි' චිත්‍රපටයේ සියලුම රූගත කිරීම් අවසන් කර තිබේ. කෙසේ වෙතත් ඔහුට විවේක ගැනීමට කාලයක් නොමැති තත්ත්වයක් උදා වී ඇත. හේතුව, මාධ්‍ය වාර්තාවලට අනුව, බන්සාලි සිය පළමු වෙබ් මාලාව ආරම්භ කිරීමට සූදානම් වීමයි.

'හීරා මැන්ඩි' ලෙස නම් කර තිබෙන එහි රූගත කිරීම් සිදුකිරීමට නියමිතව තිබෙන්නේද 'ගංගුබායි කැතියවාඩි' නිර්මාණ කටයුතු කළ චිත්‍රාගාරයේදීමය. 'හීරා මැන්ඩි'ගේ රූගත කිරීම් සඳහා 'ගංගුබායි කැතියවාඩි' දර්ශනතල වෙනස් කරනු ඇත. 'හීරා මැන්ඩි' නිෂ්පාදනය කරනු ලබන්නේ බන්සාලි විසිනි. අධ්‍යක්ෂණය කෙරෙන්නේ විභූ පූරි විසිනි. කෙසේ වෙතත් මහාරාෂ්ට්‍රයේ කොවිඩ් නව විකෘති (ඩෙල්ටා) ප්‍රභේදය චිත්‍රපට හා රූපවාහිනී කර්මාන්තය තුළ විශාල බියක් ඇති කර තිබේ. පවතින දුෂ්කරතා මඟ හරිමින් සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව බොහෝ නිර්මාණ කටයුතු මේ වන විට පවත්වාගෙන යමින් සිටී. 'හීරා මැන්ඩි' වෙබ් කතා මාලාවද මේ අනුව නුදුරේදීම වැඩකටයුතු ආරම්භ කිරීමට සූදානම් අතර සොනාක්ෂි සිංහා, හුමා කුරේෂි, නිම්රත් කෞර්, සයනි ගුප්තා ඇතුළු පිරිසක් දායක වන මේ සඳහා කලක් පිළිකා මාරයා සටන් කර ජීවිතය ජය ගත් ජනප්‍රිය නිළි මනීෂා කොයිරාල ද දායක වන බවට ආරංචි ඇත.