සල්මන්ගේ හිත දිනූ විජේගේ මාස්ටර්

ජුනි 24, 2021

සල්මාන් ඛාන්ගේ දිනපොත ඉදිරි වසර දෙකක් සඳහා රචනා කර ඇති බව පෙනේ. මේ වන විට විශාල පිරිවැය වෙන්වූ මෙන්ම විවිධ ප්‍රභේදයන්ට අයත් චිත්‍රපට ඒ අතර වේ. 'ටයිගර්' චිත්‍රපට පෙළෙහි ඉදිරි චිත්‍රපටය සහ සූරාජ් බර්ජාත්‍යාගේ අලුත් චිත්‍රපටයක් එයට ඇතුළත් වේ. ෆර්හාඩ් සම්ජිගේ 'කබී ඊඩ් කබී දීපවාලි' සහ 'කික් 2' චිත්‍රපටද ඇත. ඔහු ඉදිරි මාසයේදී තවත් විශාල පිරිවැය සහිත චිත්‍රපට දෙකක් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වී සිටී.

ඉන් එකක් වන්නේ විජය සහ විජේ සේතුපති රඟපෑ ජනප්‍රිය දෙමළ චිත්‍රපටයක් වන 'මාස්ටර්' චිත්‍රපටයේ හින්දි ප්‍රතිනිර්මාණයයි. මේ වසර මුලදී නිකුත් වූ මෙම චිත්‍රපටය ඉතා ජනප්‍රිය වූ අතර කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් අඩපණ වී තිබූ ඉන්දීය සිනමාව ඉහළට ඔසවා තබමින් බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපටයක් බවට පත් විය.

'මාස්ටර්' චිත්‍රපටයේ විජේගේ චරිතයට සල්මාන් ඛාන් රංගනයෙන් දායක වීමට නියමිත අතර චිත්‍රපටය වෙනුවෙන් නමක් සොයමින් සිටින බව පැවසේ. තිර රචනයේ ඇති සුළු සුළු වෙනස්කම්, රූගත කිරීම් සඳහා ගතවන දිනයන් සහ අධ්‍යක්ෂවරයා පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවෙන් නිෂ්පාදකයන් කිහිපවරක් හමුවී ඇති බවත් බොලිවුඩ් ආරංචි අතර වේ.