සෝනම් නිසා අර්ජුන්ට ගුටි පූජාවක්

ජුනි 10, 2021

අර්ජුන් කපූර් සෑම විටම ආදරණීය සහෝදරයෙක් විය. එක කුස උපන් තම නැගණිය අන්ශුලා මෙන්ම පියාගේ (බොනී කපූර්) පසු විවාහයේ (ශ්‍රී දේවි සමඟ) සහෝදරියන් වන ජාන්වි සහ කුෂීහටද ඔහු ආදරණීය සහෝදරයෙකි. එපමණක් නොව පියාගේ බාල සහෝදර අනිල් කපූර්ගේ දියණියන්හටද ඒ ආදරයේ වෙනසක් නොවන බව මෑතකදි හෙළි වූයේ අතීත සිදුවීමක් යළි සිහිපත් කිරීමෙනි.

අනිල්ගේ වැඩිමහල් දියණිය සෝනම් කපූර් හා අර්ජුන් ඉගෙනුම ලැබූයේ එකම පාසලෙහිය. දෙදෙනාම පැසිපන්දු ක්‍රීඩාවේ නිරතවන්නන් විය. දිනක් පුහුණුවීම් අතර සෝනම්ගෙන් අර්ජුන් හට පැමිණිල්ලකි. ඒ පිරිමි ළමයෙකු විසින් ඇය අතින් පැසිපන්දුව උදුරා ගැනීමට කළ අනිසි උත්සාහයක් ගැනය. සෝනම්ගේ හිත බොහෝ රිදි තිබුණි. අර්ජුන් දෙවරක් නොසිතා ඔහු වෙත ගොස් පහර කිහිපයක් එල්ල කළේය. අර්ජුන් හටද ප්‍රතිප්‍රහාර හිමි විය. එදා අර්ජුන් නිවෙසට ගොස් තිබුණේ කළු වූ මුහුණක් සහිතවය. ඒ වෙනුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමටද සිදු විය. මෑතකදි ඔහු එය යළි සිහිපත් කර සිටියේ පෙර කී පිරිමි ළමයා ජාතික මට්ටමේ බොක්සිං ක්‍රීඩකයෙකු බවද සිහිපත් කරමිනි.