වතුර නොබොන කිං ඛාන්

ජුනි 10, 2021

බොලිවුඩයේ කිං ඛාන් හෙවත් ශාරුක් ඛාන්ගේ රංගන දිවිය දශක තුනක් ඉක්මවා අවසන්. ඔහුගේ ධනවත්කම සහ බොලිවුඩයේ පමණක් නොව ලොව පුරා ලද ජනප්‍රියත්වය පුදුමයට කරුණක් නොවේ. වරෙක ඔහු පවසා සිටියේ මෙතෙක් තමා ලද තත්ත්වය හුදු වාසනාව නිසා නොව පැය දහස් ගණනක් මහන්සි වී වැඩ කිරීමේ ප්‍රතිඵලයක් බවයි. ඔහු එම සම්මුඛ සාකච්ඡාවේදී කියා සිටියේ තමා වැඩ නොකරන එකම අවස්ථාව නිදා සිටින වේලාව පමණක් බවයි.

වැඩ කරන වේලාවේදී ශාරුක්ගේ එක් පුරුද්දක් වන්නේ කෝපි පානය කිරීමය. ඔහු දැඩි කෝපි රසවතෙක් වන අතර වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කෝපි පානය කරන බව පැවසීම පවා වැරදිය. "මම වතුර බොන්නේ නැහැ. මම දිනකට කළු කෝපි කෝප්ප 30 ක් පමණ පානය කරනවා. මම මගේ නෙස්ප්‍රෙස් යන්ත්‍රය ලොව පුරා ගෙන යමි. එය මගේ (වේශ නිරූපණ) වෑන් රථයේ ඇත. මට එය රැගෙන යාමට අමතක වීමෙන් වෙනත් එකක් මිලදී ගැනීමට වූ අවස්ථාද වෙනවා. නිවෙසෙන් බැහැර යන්නේ නම් නවාතැන් ගන්නා හෝටල් කාමරයේ එවැනි යන්ත්‍රයක් ඇති බවටත් සහතික විය යුතුයි" ශාරුක් පවසන්නේය.