ලංකාවට ආදරය කළ හාස්‍යයේ තරුව

අප්‍රේල් 22, 2021

 

ජනප්‍රිය දෙමළ හාස්‍ය නළුවෙකු වන විවේක් පසුගිය 17 වැනිදා මෙලොවින් සමුගෙන ගියේය. හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර පැය කිහිපයකට පසු ඔහු අභාවප්‍රාප්ත විය. ඒ වන විට ඔහු 59 හැවිරිදි වියේ පසු වූයේය. ඔහු කොරෝනා වෛරසය ආසාදනය වී සිටි බවටද කටකතා පැතිරී ගියත් රෝහලේ වෛද්‍යවරු පැහැදිලි කර ඇත්තේ විවේක්හට හෘදයාබාධයක් වැලඳී ඇති බවත් ඔහුගේ මරණය රුධිර නාලයක් සියයට සියයක් අවහිර වීමෙන් සිදු වී ඇති බවත්ය. ඉන්දියානු සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද කොවිඩ් 19 එන්නත වන කොවැක්සින් මාත්‍රාව විවේක් චෙන්නායි හි රජයේ රෝහලකදී ලබා ගෙන තිබුණේ පසුගිය අප්‍රේල් 15 වැනිදාය. ඔහුගේ අසනීප තත්ත්වය හා මරණය එන්නත සමඟ සම්බන්ධ බවට වූ චෝදනාව රෝහල විසින් බැහැර කර සිටී.

විවේක් හෙවත් විවේකානන්දන් සිනමා නළුවෙක් පමණක් නොව රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් මෙන්ම පසුබිම් ගායකයෙක් සහ සමාජ ක්‍රියාකාරිකයෙක්ද විය. 1987 දී කේ බාලචන්දර්ගේ 'මනතිල් උරුදි වෙන්ඩම්' සමඟ රංගනයට පිවිසි විවේක් ඉතා ඉක්මනින් දෙමළ සිනමාවේ ජනප්‍රියම හාස්‍ය නළුවෙකු බවට පත් වූයේය. විවේක් 2010 දී ග්‍රීන් කලාම් වැඩසටහන ආරම්භ කරමින් තමිල්නාඩුව පුරා ගස් බිලියනයක් සිටුවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේය. ඔහු මෙරට ආදරය කළ නළුවෙක් වූ අතර වරෙක මෙරටට පැමිණි අවස්ථාවකදී ශ්‍රී ලංකාවේ පරිසර සුන්දරත්වය හා එහි වටිනාකම ඉහළින් වර්ණනා කළේය. දෙමළ සිනමාවේ හොඳම විකට නළුවා ලෙස ෆිල්ම් ෆෙයාර් සම්මාන තුනක් දිනා ගැනීමට සමත් වූ ඔහු වරෙක සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් නව පෙළට දුන් උපදෙස වූයේ, තමාටම ආවේණික ප්‍රහසන සන්නාමයක් වර්ධනය කරගන්නා ලෙසයි. දකුණු ඉන්දීය සිනමාවේ රජිනිකාන්ත්, සූර්යා, විජේ, ධනුෂ්, අජිත්, සිලම්බරසන් වැනි ජනප්‍රිය නළුවන් සමඟ රංගනයේ යෙදුණු ඔහුගේ ඉටු නොවූ බලාපොරොත්තුව වූයේ කමල් හසන් සමඟ චරිතයකට පණ පෙවීමයි.