ජනප්‍රිය හඬ

අප්‍රේල් 22, 2021

සොනාක්ෂි සිංහා වසර 11 කට ආසන්න කාලයක් බොලිවුඩයේ ඉහළින් නම රඳවා ගැනීමට සමත්වී සිටින නිළියකි. ගත වූ වසර ගණනාව පුරා ඇය කර්මාන්තයේ සිය ස්ථාවරය තහවුරු කර තිබේ. ලොව වඩා හොඳ තැනක් බවට පත් කළ හැකි කාර්යයන් වෙනුවෙන් ජනප්‍රිය පුද්ගලයන්ට සිය කටහඬ භාවිත කළ හැකි ආකාරය මෑතකදී ඇය පැහැදිලි කළාය. යමෙකු නිවැරදි දේ වෙනුවෙන් කතා කළහොත් විශාල වෙනසක් කළ හැකි බව සොනාක්ෂිගේ විශ්වාසයයි.

ඇය මෙසේ පවසන්නීය. "මම බැඳී සිටින්නේ, මම තදින්ම විශ්වාස කරන හේතු සමඟින්. ජනප්‍රිය පුද්ගලයන් වශයෙන්, අපට හඬක් ඇති බැවින් වෙනසක් කළ හැකි යැයි මගේ හැඟීමයි. එම හඬ ලෝකය වඩා හොඳ තැනක් කිරීමට යොදා ගත යුතුය". පැතිර යන කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් පවතින තත්ත්වය යටතේ එම හඬ වැඩදායක ලෙස යොදා ගත යුතු බවද ඇය පවසන්නීය. පසුගිය වසරේ බොලිවුඩය මන්දගාමී වුවද, මාස කිහිපයක් පුරා ලද විවේකය ඇය විශේෂයෙන් සිහිපත් කරන්නීය. "පෞද්ගලිකව, මගේ පවුලේ අය සමඟ මෙතරම් කාලයක් ගත කළ අවසාන අවස්ථාව මට මතක නැති නිසා ගෙදර සිටීම ආශීර්වාදයක් වුණා. පසුගිය වසර කිහිපය තුළ මම නිරන්තරයෙන් වැඩ කළ නිසාම මෙම විවේකය පූර්ණ ලෙස භුක්ති වින්දා."