තරු සමඟ කොරෝනා

අප්‍රේල් 15, 2021

කොරෝනා වෛරසය පැතිර යාම සමඟින් වැඩ නවතා දැමූ බොලිවුඩය යළි ආරම්භ වූයේ මාස කිහිපයකට පෙරදීයි. නමුත් තවමත් කොරෝනා වෛරසය පැතිර යාම නැවතී නොමැත. එය බොලිවුඩයද ආක්‍රමණය කරමින් සිටී. මෑතකදී අමීර් ඛාන්, අක්ෂේ කුමාර්, ගෝවින්දා, විකී කෞෂාල්, පරේෂ් රාවල්, රන්බීර් කපූර්, නිතූ කපූර් වෛරසයට ගොඳුරු වූ අතර මීට පෙර අමිතාබ් බච්චන්, අභිෂේක් බච්චන්, ඓශ්වර්යා රායි බච්චන්, අර්ජුන් කපූර්, මලයිකා අරෝරා, අර්ජුන් රාම්පාල් වෛරසය ආසාදනය වී සිටියහ.

අක්ෂේ කුමාර්, තමා කොවිඩ් 19 ආසාදනය වී ඇති බව හෙළි කර සිටියේ 'රාම් සේතු' චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදීයි. ඒ සමඟ චිත්‍රපට කාර්ය මණ්ඩල සාමාජිකයින් 45 දෙනෙකු වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසු එහි ප්‍රධාන නිළි ජැක්ලීන් ෆර්නැන්ඩස් දෙවරක් පරීක්ෂාවට ලක් වී සිටින්නීය. ඇය හට වෛරසය ආසාදනය වී නොමැති බව එයින් තහවුරු වී ඇත. නමුත් පරීක්ෂණයට පූර්වාරක්ෂාවක් ලෙස ඇයගේ වාර්තා පැමිණෙන තෙක් අන් අයගෙන් වෙන්වී සිටිමට පියවර ගෙන තිබුණාය.