වර්ෂ 2022 ක්වූ May 26 වැනිදා Thursday
“සැණකෙළි සිරි” සමඟ එන ඇන්ජලා විජේරත්න

ඇය රුපියල් ශත සොයන්නට ලංකාවෙන් පිටත් වෙලා දැන් අවුරුදු 25 ක් විතර වෙනවා. වෘත්තීය ජීවිතය එහෙම ආරම්භ කළත් තමන්ගේ ජීවිතේ හැමදාත් ආදරය කරපු කලාව අමතක කරන්න ඈට බැරි වුණා. ඒ හින්දම දුරු රටක සිටියත් සිංහල ගීතයට බැන්ද ප්‍රේමය ඇයට අත් හරින්න බැරි වුණා. ඇය ඇන්ජලා විජේරත්න. එහෙම කියනවට වඩා සයිප්‍රසය පුරාමත් සියලු මුහුණු පොත් යහළුවන් අතරෙත් ඇය ප්‍රචලිත වී සිටින්නේ ඇන්ජලා අක්කා නමිනුයි. ඈ ගායනා කළ නවතම ගීතය ‘සැණකෙලි සිරි’ නමින් නිකුත් වුණා. මෙහි ගී පද රචනය රෝහණ හෙට්ටිආරච්චිගේ. සංගීතය අසිත ප්‍රනාන්දුගේ. ප්‍රියන්ත නාවලගේ සංගීත සංයෝජනයෙන් එක්වුණු මෙම ගීතයේ හඬ පටිගත කිරීම සිදුකර ඇත්තේ සයිප්‍රසයේ පිහිටි තාරකාර ස්ටුඩියෝ හි සුගත් වැල්ලගේ විසින්.
ඇන්ජලා මහනුවර ප්‍රදේශයේ උපන්නියක්. විදේශ ගත වූ දින පටන්ම ඇය මෙරටින් විදේශ සංචාර සඳහා පිටත්වන බොහෝ කලාකරුවන්ගේ ආදරණීය හිතවතියකි. ආකර්ෂණීය ලෙස නර්තනයේ යෙදෙමින් වේග රිද්ම ගායනයේ යෙදෙන ඇය විදෙස් රටවල ජීවත් වන බොහෝ ශ්‍රී ලාංකිකයන් අතරත් මුහුණු පොතේ මිතුරු මිතුරියන් අතරත් නොමද ආදරයක් හා ජනප්‍රියත්වයක් දිනා ගත්තියක්.
මේ දිනවල ඇය සූදානමින් සිටින්නේ ‘ඇන්ජලා අක්කා’ නමින් සංයුක්ත තැටියක් නිකුත් කිරීමටය. ඉදිරියේදී ලංකාවට පැමිණ මෙහි ජීවත්වීමට බලාපොරොත්තු වන ඇය කලා කටයුතුවල දිගටම නියැළීමට බලාපොරොත්තු වේ.