අහස් මාලිගාවේ දී උපේක්ෂාට නයෙක් ගහලා

කට් කියන්න හදද්දිම ඇයගේ වැලමිට හපා කෑවා
අගෝස්තු 26, 2021

 

දෙයක් වරදින්න යන්නේ සුළු වෙලාවයි. ඒ වැරැද්ද නිසා ජීවිත කාලයම විඳවන්න වන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. ඒත් අපි කල්පනාවෙන් වැඩ කළොත් බොහෝ අනතුරුදායක අවස්ථා වළක්වා ගන්නත් පුළුවන් වෙනවා. එහෙම සිදුවීමක් ගැනයි මේ කියන්න හදන්නේ. ඔබ හොඳීන් හඳුනන උපේක්ෂා ස්වර්ණමාලි හෙවත් පබා යන අනවර්ථ නාමය හිමි ඇය නොසිතූ විරූ අකරතැබ්බයකට මුහුණ දුන්නා. ඒ අහස් මාලිගා ටෙලි සිතුවම රූපගත කිරීම් කරද්දි. මේ ටෙලි සිතුවමේ දර්ශනයක් සඳහා ගෙනැවිත් තිබුණා නාගයෙක්ව. මේ සතා නිසා තමයි උපේක්ෂා මේ අමතක නොවන අත්දැකීමට මුහුණ දුන්නේ. එදා මොකද වුණේ කියලා කතා කරන්න අපිත් එක්ක එකතුවුණා අහස් මාළිගා ටෙලි සිතුවමේ අධ්‍යක්ෂ මෙන්ම නිෂ්පාදක ප්‍රභාත් රෝෂන්.

ටෙලිනාට්‍ය රූපගත කිරීම් කරද්දී අපි එදා වගේම අදත් බොහොම කල්පනාවෙන් තමයි වැඩ කරන්නේ. මේ හේතුවෙන් බොහෝ අතුරු ආන්තරා අවස්ථා අපිට මඟහරවා ගන්නට පුළුවන්කම ලැබුණා. මේකත් එවැනිම අවස්ථාවක්. ටෙලි නාට්‍යයක් රූපගත කරනවා කියලා කියන්නේ සාමූහික වැඩක්. පනහකට ආසන්න සංඛ්‍යාවක් අපිත් එක්ක වැඩ කරනවා. ඒ අයගේ ආරක්ෂාව පිළිබඳ අපි නිතරම සැලකිලිමත් වෙන්න ඕනේ. අපි මේ සිදුවීම සිදු වූ දිනයෙත් බොහෝම අවධානයෙන් හිටපු නිසා ජීවිත අවදානමක් නැති වුණා කියලා කියන්න පුළුවන්. අහස් මාලිගා නාට්‍ය‍යේ උපේක්ෂා රඟපාන්නේ රයිනි කියන චරිතය. මේ චරිතය නාට්‍යයේ කතාවට අනුව මැරෙනවා. එය කොහොමද වුණේ කියලා පෙර සිදුවීමක් ඇසුරෙන් අපිට කියන්න වුවමනා වුණා. එතකොට තමයි මමයි මගේ බිරිය නිමන්ති පෝරගේ සහ අහස් මාලිගා කතා රචක ගයාන් හෙට්ටිආරච්චි මේ පිළිබඳ කතා කරමින් ඉද්දී යෝජනා වුණේ නයෙක් දෂ්ට කිරීම මේ සඳහා උපයෝගී කර ගමු කියන එක. ඒ වෙනුවෙන් අපි නයින් පුරුදු කරන කෙනෙකුගෙන් නයෙකු ඉල්ලා සිටියා. ඔහු එදා නාගයින් දෙදෙනෙක් රැගෙන දර්ශන තලයට ආවා. ඇවිත් අපිට ඒ නාගයින් දෙදෙනාගේ ස්වරූපය පෙන්නුවා. බුදු අම්මෝ... එක නයෙක් හරිම දඩබ්බරයි. ඌ දාලා හිටපු පෙට්ටිය ඇරපු ගමන් එළියට ඇවිත් හැම පැත්තටම පැන පැන දෂ්ට කරමින් යන්න පටන් ගත්තා. මම කිව්වා මූ නම් බෑ අනිත් නයාව බලමු කියලා. ඊට පස්සේ ඒ නයාවත් පෙන්නුවා. ඌ එතරම් දඩබ්බර නැහැ. මං ඊළඟට ඒ වෙලාවෙම ඇහුවේ මේ නයින්ගේ විස දළ ගලවලාද කියලා. ඒ තැනැත්තා පුන පුනා කිව්වා ඔව්, දළ ගලවලා තමයි තියෙන්නෙ කියලා. මගේ අත්දැකීම් අනුව සාමාන්‍යයෙන් නයෙක්ගේ විස දළ ගැලෙව්වත් ඒවා නැවත නැවත වැඩෙනවා. මාසයක් වගේ කාලයක් යද්දි නැවතත් තිබුණු පරිදිම විස දළ එනවා. මේ නිසා මම කීපපාරක්ම ඒ නයාව හොදින් පරික්ෂා කරලා මම ඇහුවා මේ නයාගේ විස දළ කවදද ගැලෙව්වේ කියලා. හරියටම සතියකට උඩදී විස දළ ගලෝලා. මම නැවතත් නයාව හොඳට පරීක්ෂාකළා. පොඩ්ඩක්වත් දළ නැහැ කියන දේ තහවුරු කරගෙන තමයි නයාව රූපගත කිරීම් සඳහා යොදා ගත්තේ. උපේක්ෂා පුටුවක වාඩි වෙලා ඉන්නවා. ඇයගේ පිටුපසින් නයා එනවා. එතෙක් දර්ශනය ගන්න මට වුවමනාවක් තිබුණා. උපේක්ෂා බොහොම බය වෙලා හිටියෙ මේ දර්ශනය සඳහා. ඒ බය ඇත්තටම සාධාරණයි. අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනේ. නයින්ට බහුතරයක් දෙනා සෑහෙන්න බයයිනෙ. ඉතින් අර මම හිතපු පරිදි දැන් අපි දර්ශනය ගන්ට සූදානම් වුණා. නයා දැන් පුටුව පිටිපස්සෙන් එවන්න කියලා අර මනුස්සයට මම කිව්වා. ඔහු කියූ පරිදි කළා. ඔන්න දැන් උපේක්ෂා වාඩි වෙලා ඉන්නවා. නයා උපේක්ෂා වාඩිවෙලා හිටිය පුටුව යටින් එනවා. මම ඒ දර්ශනය අරගෙන කට් කියන්න හදද්දිම අර නයා දකුණු පැත්තෙන් පුටුව දිගේ ඇවිත් ඉහලට එසවිලා වැරෙන් ඇයගේ වැලමිට හපා කෑවා. අපි කවුරුත් හිතුවේ නෑ එහෙම දෙයක් වෙයි කියලා. ඇගේ අතේ තැන් දෙකක් ඒ නයා හපා කාලා තිබුණා. කොච්චර බිහිසුණුව නයා උපේක්ෂාගේ ඇඟට පැන්නද කිවුවොත් නයා ගෙනාපු තැනැත්තත් ඉතාම බියපත් වුණා. ඒ වෙනකොටත් ඇයව හපා කාලා ඉවරයි. වෙලාවට මම කලින් නයාගේ විස දළ නැති එක ගැන තහවුරු කරගත්තානේ. ඒ නිසා පොඩි සැනසීමක් තිබුණා. නයින් ගෙනාපු තැනැත්තා ගාව තිබුණා නයෙකු සපා කෑවම කරන්න ඕන ප්‍රථමාධාර කීපයක්. ඔහු එවා උපේක්ෂාට කළා. මං මේ වෙලාවේ කියන්නේ නයින් ඉන්න දර්ශන ගන්න අවශ්‍ය නිර්මාණකරුවන්ට පුළුවන් තරම් ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්න කියලා. අනිවාර්යනේම ඒ නයාගේ විස දළ නැහැ කියන එක තහවුරු කරගන්න. සමහරු බොරු කියනවා ගෙනාපු නයින්ට විස දළ නැහැ කියලා. ඒ වුණාට අපිම ඒ ගැන බලලා තහවුරු කර ගන්න ඕනේ. ඊට පස්සේ රූපගත කිරීම සඳහා යොදාගන්න. ඒක සියලු දෙනාගේම යහපතට හේතු වේවි.