ටෙලි හැදීම ආරක්ෂිතද?

අගෝස්තු 19, 2021

 

 

පවතින වසංගත තත්ත්වය හමුවේ කලාකරුවන් රැසක් එයට ගොදුරු වී සිටිනවා සේම තවත් කලාකරුවන් පිරිසක් අසරණ වී සිටින්නේ තම එකම ජීවනෝපාය තමන්ට අහිමි වීමෙනි. මේ තත්ත්වය සමඟ ඇති වී තිබෙන ගැටලු සහ ඒවාට පිළියම් පිළිබඳ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් විමසා බලන්නට සරසවිය අපි සිතුවෙමු. වර්තමානයේ පුංචි තිරය වර්ණවත් කරන ප්‍රවීණ රංගන ශිල්පීන්වන සුසිලා කෝට්ටගේ, ශ්‍රියන්ත මෙන්ඩිස්, ජනක් ප්‍රේමලාල්,හිමාලි සයුරංගි, මෙන්ම රංගන ශිල්පිනියක් හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂිකාවක් වන තරුෂි පෙරේරා හා වර්තමාන ටෙලිනාට්‍යකරණයේ ජනප්‍රිය අධ්‍යක්ෂවරුන් වන ජයප්‍රකාෂ් ශිවගුරුනාදන්, සාරංග මෙන්ඩිස්, ධනුෂ්ක රත්නායකත් ඔවුන්ගේ අදහස් සරසවිය අප හා එක් කළේ මෙලෙසින්.

ප්‍රේක්ෂකයා වෙනුවෙන් අපේ වගකීම අප ඉටුකළ යුතුයි

සුසිලා කෝට්ටගේ

 

 

 

රටේ ජනතාව මේ වනවිට ලොකු කම්පනයකින් හා පසුතැවීමකින් ඉන්නේ. මුළු ලෝකයක් හඬා වැටෙන කාලයක සෞඛ්‍ය අංශ, ආරක්ෂ අංශ මේ තත්ත්වය ජය ගන්න කටයුතු කරනවා වගේම කලාකරුවන් වන අපිටත් යම් යුතුකමක් වගකීමක් තිබෙනවා අපිට ආදරය කරන ප්‍රේක්ෂකයා වෙනුවෙන් යමක් කරන්න. අනෙක් අතට කලාකරුවන්ට කිසිදු දීමනාවක් හෝ රක්ෂණයක් නොලැබෙන කාලයක ක්ෂේත්‍රය සම්පූර්ණ අඩපණ වුණොත් එය අපි කාටද කියන්නේ. කලාකරුවෝ බොහොමයක් දෙනා පවුලේ බර කරට අරගෙන කටයුතු කරන අය. එකවර සියල්ල නතර කළොත් කවුද ඒ පවුල් ගැන බලන්නේ. ලෝකයක් හඬා වැටෙන වෙලාවක අපි අනෙක් උදවිය වගේ බෝර්ඩ් අල්ලගෙන පාරට බහින්නේ නෑ. අපි රජයට ඇඟිල්ල දික් කරන්නෙත් නෑ. මෙය කවදා කොහොම ඉවරවෙයිද කියලා අපි දන්නේ නෑ. අපි කළ යුත්තේ වැඩ කිරීම නතර කිරීම නොව අපේ සේවය බොහොම ප්‍රවේශමට කිරීමයි. අපි ආරක්ෂා වී කටයුතු කිරීමයි.

 

රූගත කිරීම් නිසි ක්‍රමවේදයක් තුළ කළ යුතුයි

දුලීකා මාරපන

 

 

 

 

සියලු රැකියා නැවැත්වීමෙන් කාටවත් ජීවත්විය නොහැකියි. නිර්මාණයකදී මා පමණක් නොව මා වටා ලොකු කාර්යමණ්ඩලයක් ඉන්නවා. බොහෝ දෙනාට කොරෝනා වැලඳෙන්න හේතුව විදිහට මම දකින්නේ නිසි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකිරීම. කොපමණ කිව්වත් මාධ්‍ය මඟින් දැනුවත් කළත් නිසි ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරන්නේ නෑ. අනෙක් අතට ඇතැම් නිර්මාණවල ටාර්ගට් කවර් කරන්න උදේ පාන්දර පහේ සිට පහුවදා පාන්දර පහ වෙනකම් එක දිගට මිනිසුන්ගෙන් වැඩ ගන්නවා. කෙනෙකුට වැඩ කරන්න පුළුවන් සීමාවක්, පරාසයක් තියෙනවා. විවේකයක් නොමැතිව මේ විදිහට දිගින් දිගටම වැඩ කිරීම තුළින් කායික ශක්තිය හීන වෙනවා. ප්‍රතිශක්තිය අඩු වෙනවා. මෙයට යම්කිසි වාරණයක් හෝ නීතියක් සම්පාදනය විය යුතුයි. හැම ක්ෂේත්‍රයකම වගේම කලා ක්ෂේත්‍රය තුළත් වැඩ කරන විදිහේ නිසියාකාර ක්‍රමවේදයක්, පිළිවෙළක් තිබිය යුතුයි. වසංගතයට පමණක් සීමා නොවී මේ සඳහා ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය විය යුතුයි. ලාභ ලැබීමම අරමුණ කර ගනිමින් එක දිනකින් නිම කළ නොහැකි තරමේ වැඩ ප්‍රමාණයක් කිරීම පසෙකලා වැඩ කිරීමට නිශ්චිත කාල සීමාවක් තිබිය යුතුයි. වැඩ නොකර ගෙදර සිටීම මෙයට විකල්පය නොවේ. මේ කාල වකවානුව තුළ කලාකරුවන් ආරක්ෂා කර ගනිමින් වැඩ කරන ක්‍රමවේදය නිසියාකාර පිළිවෙතක් තුළ සිදුකිරීමයි වැදගත් වන්නේ.

 

රූ ගත කිරීම් නතර කළ යුතුයි

හිමාලි සයුරංගි

 

 

 

 

අනෙකුත් ඕනෑම රැකියාවක් මීටරේ දුර තියාගෙන කරන්න පුළුවන්. ඒ රැකියා හැම එකක්ම පාහේ මුඛ ආවරණ පැලඳගෙන සිදු කළ හැකියි. ඒත් රංගනය එසේ කළ නොහැකියි. රඟපාන විට නළු නිළියන් අල්ලන්න සිදු වනවා. රංගනයට අදාළ වේශනිරූපනය කරන්න වනවා. ඒ උපකරණ හා ද්‍රව්‍ය ඒ ඒ පුද්ගලයාට වෙන් වූ ඒවා නොවේ. කණ්ඩායමේ සිටින සියලුම ශිල්පීන් සඳහා මේවා භාවිත කරනවා. එතැනදි කොරෝනා බෝ වීමේ අවදානම ඉතාම වැඩියි. නිර්මාණයකදී එයට සහභාගී වන පහළම කාර්මික ශිල්පියා දක්වාම ආරක්ෂා කරගැනීම ඒ නිෂ්පාදන කණ්ඩායම හෝ ආයතනය සතු වගකීමක්. ඇතැම් නිර්මාණවල සැනිටයිසර් එකක් මාස්ක් එකක් දෙන්නේ නෑ කාර්මික ශිල්පීන්ටවත්. කලන්තේ දාලා වැටෙනකම් පී සී ආර් හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් කරන්නේ නෑ. ඇතැම් විට ඔවුන්ට රෝගය වැලඳී තිබුණත් ඔවුන් වැඩකරනවා. මෙය ඉතාම කනගාටුදායක තත්ත්වයක්. මම දායක වන නිර්මාණයට මම සම්බන්ධ වුණේ නැතිනම් නිර්මාණය කිරීමට නොහැකියි. අපි නිර්මාණය වෙනුවෙන් බැඳීලා ඉන්නවා අපේ දායකත්වය ලබා දීමට. ඒත් නිර්මාණකරුවන්ට නිර්මාණය වටිනවා සේම අපිට අපේ ජීවිතය වටිනවා. මගේ අදහස නම් දීර්ඝ කාලයකට නොව වෛරසය ඉතාම සීඝ්‍රයෙන් පැතිරයන මේ අවස්ථාවේ හෝ රූගත කිරීම් කටයුතු මදකට නතර කළ යුතුය යන්නයි. එය අපි උද්ඝෝෂණය කර හෝ කෑ කෝ ගසා නොකර අපි සිලු දෙනාම සාමුහිකව එකම මතයකට පැමිණ සිදු කළ යුතුයි.

 

 

නිසි ක්‍රමවේදයන්ට අනුව දිගටම රූ ගත කිරීම් කරනවා

සාරංග මෙන්ඩිස්

 

 

මේ වසංගත තත්ත්වය මුළු ලෝකයටම බලපාලා තියෙන දෙයක්. මේ දිහා පටු කෝණයකින් බැලුවොත් මේ ප්‍රශ්නය පේන්නේ වෙන ආකාරයකට. මෙය ඉතාම සංකීර්ණ වැඩක්. කර්මාන්තයක් ලෙස ගත්කල එය රැකගැනීම වෙනුවෙන් අපේ නාට්‍ය පවත්වාගෙන ‍යා යුතුයි. රංගන ශිල්පීන් පමණක් නොවේ මේ ක්ෂේත්‍රය හා සම්බන්ධ වූ වෘත්තිකයන් බොහොමයක් ඉන්නවා. මේ කර්මාන්තය තුළින් යැපෙන පවුල් දහස් ගණනක් ඉන්නවා. මගේ ආයතනයේ පමණක් පවුල් සීයයක පමණ සංඛ්‍යාවක් ඉන්නවා. වැඩ නතර කළොත් , නට්‍ය විකාශය නොවුණොත් මට ඒ අයට පඩි ගෙවන්න බැරි වෙනවා. කර්මාන්තයක් විදිහට ගෙදර තියලා පඩි ගෙවන තරමේ ක්‍රමවේදයකට එන්න තරම් තවම මේ කර්මාන්තය දියුණුවෙලා නෑ. සියලු දේ නතර කරලා ගෙදර ඉන්න තැනක අපේ රටත් නෑ. අපිත් නෑ. මෙය ඉතාම බැරෑරුම් හා සැලසුම් සහගතව විසඳීය යුත්‍තක්. දේශීය නාට්‍ය විකාශය නොවුණොත් ඒ හිඩැස විදේශීය නාට්‍යවලින් සපිරෙයි. එවිට තව තවත් කඩා වැටෙන්නේ අපේ කර්මාන්තය. කර්මාන්තය ‍රැක ගත යුතුයි. මේ ප්‍රශ්නය සියලු දේටම සියලු දෙනාටම පොදුයි. අපි නාට්‍යවල සියලුම දර්ශනතල එක ස්ථානයකට ගෙනැවිත් රූ ගත කිරීම් කරනවා. එය වඩා ආරක්ෂාකාරියි. ටේක් එකෙන් ටේක් එකට සැනිටයිසර් භාවිත කරනවා. ආහාර ගැනීමේ ක්‍රමවේදයේ සිට සියලුම දේ කෙරෙන්නේ ආරක්ෂණ ක්‍රමවේදයකට අනුව. ආරම්භයේ සිටම රජය නිකුත් කළ මාර්ගෝපදේශ ඒ ආකරයටම ක්‍රියාත්මක කළා. මගේ අදහස නම් වැඩ නතර කිරීම විකල්පයක් නොවන බවයි. ඒ වෙනුවට නිසි මාර්ගෝපදේශ පිළිපදිමින් වඩාත් සැලසුම්සහගතව කටයුතු කළ යුතුයි.

 

ආරක්ෂාව වෙනුවෙන් අපි රූගත කිරීම් නතර කළා

ධනුෂ්ක රත්නායක

 

 

 

රංගන ශිල්පීන්ගේ පැත්තෙන් ගෙන බැලුවත්, කාර්මික ශිල්පීන්ගේ පැත්තෙන් ගෙන බැලුවත් මේ කාලය නිර්මාණ කටයුතු කිරීමට සුදුසු කාලය නොවේ. විශේෂයෙන්ම කාර්මික ශිල්පීන්ට මුඛ ආවරණ පැලඳ හෝ කටයුතු කළ හැකි වුවත් රංගන ශිල්පීන්ට එසේ කළ නොහැකියි. විකාශය වන නිර්මාණයක් විකාශන කටයුතු නැවැත්වීම තුළ යම් ගැටලුකාරී ස්වාභාවයක් ඇති වුවත් මෙය හැමදාටම බලපාන ගැටලුවක් නොවන නිසා නිර්මාණයට දායක වන සියලු දෙනාගේම ආරක්ෂාව වෙනුවෙන් අපි රූ ගත කිරීම් මේ තත්ත්වය පහව යන තෙක් නතර කළා. මූල්‍යමය අතින් යම් පාඩුවක් වුණත් හැම දේටම ප්‍රථම අප සියලු දෙනාම ජීවත් විය යුතුයි. සෞඛ්‍ය සම්පන්නව සිටිය යුතුයි. ඒ වෙනුවෙන් විශේෂ ස්තූතිය සිරස නාළිකා ප්‍රධානී සුසාර දිනාල්ට ලබා දිය යුතුයි.

 

 

මේ කාලයේ අප විවේකයක් ගත යුතුයි

තරුෂි පෙරේරා

 

 

 

මේ වසංගතයට මගේ පවුලත් ගොදුරු වුණා. මේ වන විට එන්නත්කරණය දිගටම සිදු කරනවා. එන්නත්කරණයෙන් මසකට පසුව හෝ අපේ සුපුරුදු ජීවීකාව අපට ගෙන යා හැකිය යන විශ්වාසය මේ වන විට අපේ හදවතේ තියෙනවා. ඒ විශ්වාසය එක්ක යම් කාලයක් නිහඬව ඉන්න පුළුවන් නම් එය කලා ක්ෂේත්‍රයට පමණක් නොවේ සමස්ත ප්‍රජාවටම යහපතක් ලෙසයි මට හැඟෙන්නේ. මේ අවස්ථාවේ මම ඉතාම ගෞරවයෙන් මතක් කරනවා කොවිඩ් හැදුණු අපේ බොහෝ රංගන ශිල්පීන් සමාජය දැනුම්වත් කරනවා. එය සමාජයට කළ ලොකු මෙහෙවරක්. මගේ අදහස නම් මේ කාලය තුළ අප යම් විවේකයක් ගත යුතුයි. මම තනිවමත් මේ වන විට ඒ තීරණය අරගෙන තියෙනවා. කර්මාන්තයේ කඩා වැටීමක් සිදුවනවා කියලා අපි දැන් වැඩ කරන්න ගියොත් කර්මාන්තය වගේම මිනිස්සුත් කඩා වැටෙනවා. නැවත කර්මාන්තය ගොඩ ගන්න මිනිස්සු නැති වෙයි. පවතින වසංගත තත්ත්වය ‍යම්තාක් හෝ පාලනය කරගත හැකි තරමට පත්වන තෙක් කෙටි කාලයක් ඉවසීමෙන් සිටිය යුතුයි. රූපවාහිනී නාළිකා පැත්තෙන් ගත් විට වුවත් මේ කාලය තුළ ටෙලිනාට්‍ය විකාශය කිරීමට නොහැකි නම් ජාතික වටිනාකමක් ඇති, අධ්‍යාපනික වටිනාකමක් ඇති දේ විකාශය කළ හැකියි. අපි එකමුතුව මේ ගමන ගියොත් වැටෙන්නේ නෑ.

 

 

රූ ගත කිරීම් නතර කළ යුතුයි