වර්ෂ 2023 ක්වූ December 01 වැනිදා Friday
ලාංකේය සිනමාවේ පළමු සංගීත අධ්‍යක්ෂවරිය සුජාතාවන්ට 81යි

මෙරට චිත්‍රපට පසුබිම් ගායන ක්ෂේත්රයට හිමි හඬ පෞරුෂයන් ඇත්තේ අතළොස්සකි.හතු පිපෙන්නාක් මෙන් ගායක ගායිකාවන් බිහි වුණද චිත්‍රපටයේ හැඟීම් ගායනය උරුම වන්නේ එතැනින් ඉතාම සුළු පිරිසකටය.ලාංකේය සිනමා ගමන් මඟ තුළ එවන් හඬ පෞරුෂයන් අතර සුජාතා අත්තනායකට හිමිවනුයේ අද්විතීය ස්ථානයකි. ඒ හඬට සම කරන්නට එදා මෙදා තුර කිසිවෙකුත් බිහිවී නැත.
මෙකී සුජාතාවන් අද සිය ජීවන ගමන් මගේ අසූ එක්වැනි විය සපුරන්නී ය. ගෙවුණු දශක ගණනාව පුරා ඇගේ හඬින් එළිය වුණු චිත්‍රපට ගීතය සේම ගුවන් ගුවන් විදුලි සරල ගීතය, කැසට් ගීත කෙතරම්දැයි ගිණිය නොහැකි ය. ලාංකේය ගී කෙතට ඒ සුජාත හඬින් මියුරු ගී වැල් රැසක් ඉතිරි කරමින් ඈ අද නිස්කලංක, සුපසන් දැහැමි දිවියක් ගෙවමින් සිටින්නීය.
සුජාතා අත්තනායක ජන්ම ජන්මලාභය ලබන්නේ 1942 මැයි දොළොස් වැනි දිනකය. ඒ කලාවට ප්‍රේමණීය වූ, කලාවට නැඹුරු වූ පවුලක තෙවැනි දිඅඅයණිය ලෙසින් ය. ඇගේ පියා පොලිස් නිලධාරියකු වූ ධර්මදාස පෙරේරා ය. සංගීතයට බෙහෙවින් ආදරේ කරන්නෙක් වූ ඔහු තම සහකාරිය ලෙසින් තෝරා ගන්නේද එවකට ප්‍රසිද්ධ ටවර් හෝල් නිළියක වූ විමලා කාන්තා ය. මේ දෙදෙනාට දාව දරුවන් පස් දෙනෙකු වූ අතර ඉන් සුජාතා තෙවැනි දරුවා ය.
වැඩිමල් සොයුරිය ලලිතා පෙරේරා, වැඩිමල් සොයුරු ධර්මසිරි පෙරේරා, ඉන්පසු සුජාතා පෙරේරා, බාල නැගණිය රංජනී පෙරේරා හා බාල සොයුරු සුසිල් පෙරේරා මෙම පවුලේ සාමාජිකයන් විය.
පියා පොලිස් නිලධාරියකු වුවද, අති දක්ෂ තබ්ලා වාදකයකු වූ ඔහු මව ටවර්හෝල් නිළියක් වීම නිසා මේ දරුවන් පස් දෙනාටම ජානවලින්ම සංගීතමය හැකියාව උරුම වන්නට ඇත. මේ දරුවන්ට පළමු සංගීත අත්දැකීම ලැබෙන්නේ සිය නිවසේ දී ම ය. පියාගේ තබ්ලා වාදනයෙන් හැඬවන පැදුරු සාජ්ජ තුළ මවගේ රංගනය, ගායනය දරුවන්ගේ කලා හැකියාව දියුණු කිරීමේ තෝතැන්නක් බවට පත් වන්නේය. එබැවින් සුජාතාවන් තම සංගීතයේ මුල් අ යනු ආයනු නිවසේදීම කියවයි. සුජාතාවන්ට පමණක් නොව ඇයගේ පවුලේ සියලු දෙනාටම මේ ආභාසය කුඩා කල පටන් හිමි විණ. ඒ අනුව ඇගේ වැඩිමල් සොයුරිය ලලිතා පෙරේරා හෙවත් ෆ්ලොරි දේවි මවගේ අඩි පාරේ යමින් දක්ෂ රංගන ශිල්පිනියක වූවාය. ඇගේ බාල සොයුරිය රංජනී පෙරේරා ගායිකාවක් මෙන්ම නර්තන ශිල්පිනියක ලෙස ද ජනාදරය දිනා ගත්තාය. වැඩිමල් සොයුරු ධර්මසිරි පෙරේරා මෙන්ම බාල සොයුරු සුසිල් පෙරේරා ද සිය හැකියාවන් දක්ෂතාවයන් විදහා පෑවේය. සුසිල් පෙරේරා අති දක්ෂ ඩ්‍රම්ස් වාදකයකු මෙන්ම ගායකයකු වශයෙන් ද නමක් දිනා ගත්තේය.
සුජාතාවන් සිය අධ්‍යාපන චාරිකාව අරඹන්නේ කැලණිය වෙදමුල්ල පාසලෙනි. පාසල තුළ ද ඇය කලා අංශයෙන් කැපී පෙනෙන සිසුවියක වූවාය. වෙදමුල්ල පාසලේ එවකට නැටුම් ගුරුවරියක නොමැති වූ බැවින් පාසලේ අනෙකුත් සිසු දරු දැරියනට විවිධ ප්‍රසංගවලදී නැටුම් ගැයුම් පුරුදු පුහුණු කිරීමට ගුරුවරුන් විසින් එකල සුජාතා හෝ රංජනී තෝරා ගත්තේ උත්පත්තියෙන්ම ඔවුන් සතුවූ කලා කුසලතාව හඳුනාගත් නිසාය.
සුජාතා ප්‍රසිද්ධ මාධ්‍යයකින් සිය අපූර්ව ගායන විලාසය ගෙනහැර පානුයේ 1950දීය. තම මුල්ම ගුවන් විදුලි ගීතය වූ ‘මල් සේ දිලේවා’ යන ගීතය ගායනා කරමිනි. එවකට ආධුනික ගී වැඩසටහන් සඳහා නිරන්තරයෙන් සම්බන්ධ වූ ඇය 1954 දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආධුනික පැය වැඩසටහනට ද සම්බන්ධ විය. එම වැඩසටහනින් ප්‍රථම ස්ථානය දිනාගත් ඇය ජයග්‍රාහක පෙළපාළිය සඳහා ‘සාදු දන්ත දා’ ගීතය ගායනා කළාය.
ගුවන් විදුලියෙන් ඇරැඹි සුජාතාගේ ගීත චාරිකාවේ සුවිශේෂී මඟකට යොමු වන්නේ ඇය 1956 දී චිත්‍රපට පසුබිම් ගායනයට එක් වීමෙනි. ඒ එස්.එම් නායගම් නිෂ්පාදනය කළ ‘සොහොයුරෝ’ චිත්‍රපටයෙනි. ‘සුරතල් මගේ පොඩි මුව පැටියා’ ගීතය නොයෙල් ගුණරත්න සමඟ ගායනා කරමින් ඇය චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසියාය. ‘සොහොයුරෝ’ චිත්‍රපටයේ සංගීත නිර්මාණය පැවරී තිබුණේ ආර් මුත්තුසාමි මාස්ටර්ටය. එවකට ගුවන් විදුලි මාධ්‍යය තුළින් සුවිශේෂි ගායන හැකියාවක් ප්‍රකට කළ සහ පැහැදිලි හඬ පෞරුෂයකින් යුත් සුජාතාගේ ගායන ලතාව පිළිබඳ පැහැදුණු මුත්තුසාමි මාස්ටර් සහ ගී පද රචක බෙනඩික්ට් ප්‍රනාන්දු විසින් සුජාතා මේ ගීතය ගායනා කිරීමට තෝරා ගන්නා ලදි. එතැන් සිට ඇගේ මියුරු හඬින් වර්ණවත් වූ චිත්‍රපට ගණනින් තුන්සීය ද ඉක්මවා ඇත.
ඇය ප්‍රථමයෙන් සිය හඬ ප්රදානය කරනු ලැබුවේ රිදී තිරයෙන් ලීනා ද සිල්වා වෙනුවෙනි. එතැන් සිට විජිත මල්ලිකා, පුණ්‍යා හීන්දෙණිය, අනුලා කරුණාතිලක, සන්ධ්‍යා කුමාරි, ක්ලැරිස් ද සිල්වා, මාලිනී ෆොන්සේකා, සබීතා පෙරේරා ගේ සිට දිල්හානි අශෝකමාලා දක්වාම ඇගේ හඬින් රිදී තිරය වර්ණවත් වූයේ ය.
සුජාතාවන් ගේ ගායන හැකියාවේ වර්ණවත් බව ලියා තැබීමට වචන නැතැයි මට සිතේ. ඊට හොඳම උදාහරණය සපයනුයේ 1967 දී තිරගත වුණු ‘පරසතුමල්’ චිත්‍රපටයේ එන මේ ගීතයයි
පරවුණු මල් වල සුවඳ අතීතයේ
පරසතු මල් ළඟ විසිර ගියාවේ
චිත්‍රපටයේ තේමාව ට සහ එම දර්ශනයේ භාවයන් උද්දීපනය කරමින් ඇය කරන මෙම ගායනය දිව්‍යලෝකෙ නැඟෙන පරසතු සුවඳක් සේ ම ප්‍රේක්ෂක හද සන්තානය පුරා ශෝකී මිහිරක රසය ගෙන දෙයි. මේ නොනිමි ගීත මාධුර්යය යළි යළිත් සිහිපත් කරන ගීත රැසක් ඇගේ නමට මතකයට නැඟේ.
මිනිසුන් අතර මිනිසෙක් චිත්‍රපටයේ ‘මාගේ මතකේ ඔබේ රුව ඇඳේ’ මහ රෑ හමු වූ ස්ත්‍රිය චිත්‍රපටයේ ‘ජීවන විල මැද වැජඹෙන කුසුමකි’ සැකය චිත්‍රපටයේ ‘සඳ රැජිනියනේ’ දෙවියනි ඔබ කොහෙද චිත්‍රපටයේ ‘ආදර පූජාසනේ’ සුජීවා චිත්‍රපටයේ ‘ඈත වනපෙත සරසාලා’ ගංගා චිත්‍රපටයේ ‘මීදුම් වලාවන් ගලාලා’ සුනේත්‍රා චිත්‍රපටියේ ‘පායයි මේ රෑ සදවතී’ සුජීවා චිත්‍රපටයේ ‘හද සන්තානේ’ දරු දුක චිත්‍රපටයේ ‘ගුවන් තොටිල්ලේ, මහා චණ්ඩ සුළඟට මැදිවී’ මයුරිගේ කතාව චිත්‍රපටයේ ‘සුදෝ මම ආදරෙයි’ සිහින හතක් චිත්‍රපටයේ රන්තරු ‘පුන්සඳ ගිලුණාදෝ’ හැංගිහොරා චිත්‍රපටියේ ‘හංස රාණී ආදරේ’ සිකුරු තරුව චිත්‍රපටයේ ‘ඔරු පැද පැද කිරි මුහුදේ’ පුංචි මුහුදේ පුංචි බබා චිත්‍රපටයේ ‘ගංගාවේ නීල ජලේ’ දුහුළු මලක් චිත්‍රපටයේ ‘බොඳ මීදුම් කඳුරැල්ලේ’ ආදී ගීත මේ මොහොතේ මතකයට නැගේ.
අපේ සිනමා ඉතිහාසයේ මුල් යුගයේ චිත්‍රපට පසුබිම් ගායක ගායිකාවන් අතර වූ ඉන්දියානු ආභාසය සම්පූර්ණයෙන්ම වෙනස් මඟකට යොමු කරමින් ශ්‍රී ලාංකේය අනන්‍යතාවයකින් යුත් ලයාන්විත හඬ පෞරුෂයක් දේශීය සිනමාවට ඇය රැගෙන ආවාය. එසේම මේ හඩේ පවතින ළයාන්විත බව, ආදරණීය බව සේම ආකර්ෂණීය බව නිසාම ඈ ලාංකේය චිත්‍රපට පසුබිම් ගායන ක්ෂේත්රයේ ඉහළටම පිය නැඟුවාය. හැකියාව දක්ෂතාවය ට සාපේක්ෂව සිය අධ්‍යාපනයෙන් ද සියලු සුදුසුකම් සපුරා ලන්නට ඈ කිසි විටෙකත් පසුබට නොවූවාය. 1959 දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒ ශ්‍රේණියේ ශිල්පිනියක් ලෙසින් පත් වෙන්නේ භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාලයේ විද්‍යාලයාධිපති පණ්ඩිත රතන් ජකර්තුමාගේ සරල ගී ඇගැයීම් පරීක්ෂණයෙන් සමත් වීමෙනි. එසේම 1961 වසරේ සිට 1966 වසර දක්වා රාජ්‍ය සෞන්දර්ය අධ්‍යාපන පීඨයේ සංගීත ශාස්ත්‍රය පුළුල් ලෙස හැදෑරූ ඇය ගායනය හා සිතාර් වාදනය පිළිබඳ විශාරද උපාධිය දිනා ගත්තාය.
රාජ්‍ය සෞන්දර්ය අධ්‍යාපන පීඨය ඇගේ සංගීත දිවිය ඔපවත් කරන්නට හේතු වූ භූමියක් වූවා සේම පෞද්ගලික ජීවිතයේ ඇගේ ඉරණම්කරු හමුවූ භූමිය ද වූයේය. ඒ ඇගේ ප්‍රිය ස්වාමි පුරුෂයා වූ නවරත්න අත්තනායක ඇයට හමු වනුයේ ද මෙතැන දී ය .1967 මැයි මස 27 වැනි දින ඔවුන් යුග දිවි ගමන් ආරම්භ කළ අතර එතැන් සිට සුජාතා පෙරේරා සුජාතා අත්තනායක වූවාය.
සංගීත ගුරුවරයකු වශයෙන් සියදිවි ගමන් මඟ ආරම්භ කළ නවරත්න අත්තනායක සුජාතා සංයෝගය රන් රස සේ ම ගැළපෙති. සුජාතාගේ කලා දිවියට මෙන්ම පෞද්ගලික දිවියට ද සුවිශේෂ අත්වැලක් ඔහුගෙන් ලැබිණ. පුතුන් තිදෙනකුගේ මවක වූ ඇය අසීමිතව සිය දරුවන්ට ආදරය කළාය. රටේ ජනප්‍රිය ගායිකාවක ලෙසින් අතිශය කාර්ය බහුල ජීවිතයක් ගත කළ ද දරුවන්ගේ, ස්වාමියාගේ යුතුකම් ඇය අතින් කිසිදු දිනක අතපසු වූයේ නැත.
මෙරට කැසට් ගීත යුගය ආරම්භ වූ වකවානුවේ සුජාතා තරම් කැසට් ගීත ගැයූ ගායිකාවක් තවත් නොවීය. ඒ අතර ස්වතන්ත්‍ර නිර්මාණ සේම හින්දි, දෙමළ කොපි ගීත ද විය. එම ගී තනුවල රසය නොමරා ඇය ගයන විලාශය අති විශිෂ්ටය.
සුජාතාවන් දිවි ගමන තුළ දක්ෂ ගායිකාවක පමණක් වන්නට ඉඩ නොදී එහි නිරූපිත භූමිකා ගණන විශාලය. ඇය තම සැමියාට, දරුවන්ට ආදරය කරන යුතුකම් ඉටුකරන දයාබර මවකි, බිරිඳකි. එසේම තමන් ලද සංගීත ඥානය ඇගේ සුවහසක් දරුවන්ට පිරිනමන සංගීත ගුරුවරියකි. ගුරු උපදේශිකාවකි. 1972 වර්ෂයේ ඇය කළුතර ගුරු අභ්‍යාස විද්‍යාලයේ කථිකාචාර්යවරියක ලෙස සේවයට බැඳුණාය. ඉන්පසු 1988 වර්ෂයේදී ඇය බස්නාහිර පළාතේ අධ්‍යාපන අධ්යක්ෂවරියක් ලෙස උසස්වීම් ලැබුවාය. එතැනදීද තම සේවය නොපිරිහෙළා ඉටු කරමින් කලා කෞශල්‍යයෙන් හිමි දැයේ දූ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්රදානය කරමින් නිවැරැදි පුහුණු හා මඟ පෙන්වීම සිදු කරන්නට සිය කාලය කැප කළාය.
සුජාතාවන් සිය සංගීත ගමන් මඟ තුළ වාර්තා රැසකට ද හිමිකම් කියන්නීය. ඇය සිය ප්‍රථම චිත්‍රපට ගීතය ගයන විට වයස අවුරුදු 13 ක ළදැරියකි. එසේම ඇගේ දෙවැනි ගීතය ගයද්දී ‘සෝභා’ චිත්‍රපටය සඳහා ඇයට වයස අවුරුදු 15 කි. එසේම එකම දිනයකදී චිත්‍රපට ගීත හතරක් චිත්රාගාර හතරක දී ගායනා කළ මෙතෙක් ලංකාවේ බිහිවූ එකම ගායිකාව ද ඇයයි. එයින් පළමු ගීතය කඳානේ එස්.පී.එම් චිත්රාගාරයේය. ද, දෙවැනි ගීතය හැඳල විජය චිත්‍රාගාරයේ ද, තුන්වෙනි ගීතය කැලණිය සරසවි චිත්‍රාගාරය ද හතරවන ගීතය ලංකා චිත්‍රාගාරයේ ද පටිගත කර ඇත. එසේම ඇය 1975දී ‘හරියට හරි’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරමින් දිවයිනේ පළමු චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරිය වීමේ වාසනාව ද උදා කර ගත්තාය.
ඇගේ දක්ෂතාවයන් හැකියාවන් කොතෙක් දැයි කියා ලියන්නට මෙවන් පත්ඉරු ප්‍රමාණවත් නොවේ. එසේම ඇගේ සංගීත ඥානය ගැන විමසන්නට තරම් අපගේ සංගීත දැනුමද තරම් නොවනු ඇත. සිය දෙවැනි පුතු රට දැය වෙනුවෙන් දිවි පිදීමෙන් පසු ජීවිතයේ බොහෝ දේ දෙස අනිත්‍ය ඇසකින් බලමින්, ආගමට නැඹුරු වූ ජීවිතයක් ගෙවන ඇය මේ රටේ වීර මාතාවකි.
එසේම ලාංකේය සංගීතයට අතිවිශාල නිර්මාණ දායාද කළ විශිෂ්ට ගායනවේදීනියකි. දිවි ගමන්මඟේ 81 විය සපුරන ඇය සැබැවින්ම ‘ජීවන විල මැද වැජඹුන කුසුමකි’ සුජාතාවනි...... ඔබට චිරං ජයතු.
හේමාලි විජේරත්න
සේයාරූ - නිශ්ශංක විජේරත්න