වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
මානවසිංහයන් අභිනන්දන ගීතය ලියූ හැටි මතකයි

සරසවිය පුවත්පතට පසුගිය අප්‍රේල් 10 වැනිදා ට 60 වසරක් සපිරිණි. මෙකී දශක හයක කාල සීමාව පුරා දේශීය සිනමාව වෙනුවෙන් සරසවිය පුවත්පත කළ මෙහෙවර මෙතෙකැයි කියා නිමකළ නොහැකිය. මෙරට සිනමා ගමන් මඟ තුළ බිහිවු බොහෝ සිනමා නළු නිළියන්ට, අධ්‍යක්ෂවරුන්ට, කාර්මික ශිල්පීන්ට, නිෂ්පාදකවරුන් ඇතුළු අනෙකුත් සකල කලාවන්හි නියුක්ත වන්නන් උදෙසා තම ගමන් මඟ සවි ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් සරසවිය නිබඳව පෙනී සිටියේය.
එපමණක්ද නොව ලාංකේය සිනමාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සහ නළුනිළියන් දිරිමත් කිරීම වෙනුවෙන් ප්‍රමිතිගත සිනමා සම්මාන උලෙළක්ද පවත්වමින් සිටී. මෙරට කොතෙකුත් සිනමා සම්මාන උලෙළ ඇතත් සරසවියෙහි ප්‍රමිතිගත බව අදටත් දන්නෝ දනිති.
සරසවියේ මේ ඉතිහාස කතන්දරයේ සියලු තතු දන්නා පිරිස් අතරේ අදටත් සිය මතකය නොබිඳී පවත්වාගෙන යන මහාචාර්ය ඩයස් ගුණරත්න ට හිමි වනුයේ සුවිශේෂි ස්ථානයකි. සරසවිය සමඟ බැඳි කටයුතු කළ පිරිස් අතරේ අදට ජීවතුන් අතර සිටිනා ජ්‍යෙෂ්ඨතමයා වන්නේ ඔහුය.
සරසවිය ආරම්භක යුගයේදීම පුවත්පතට සම්බන්ධ වූ ඔහු පළමු සරසවිය සිනමා උලෙළ වෙනුවෙන් නිකුත් කරන ලද පළමු සරසවිය සමරු කළාපය සකස් කිරීමේ භාග්‍යය උදා වි ඇත්තේ ඔහුටය.
සරසවිය 60 වසරක සමරුව වෙනුවෙන් අපි පසුගිය දිනක එහු සමඟ අතිත මතක දිගහැරියෙමු.
‘ඇත්තටම පළමු සරසවිය සමරු කලඹ සැකසීමේ වගකීම ඒ කාලේ පැවරුණේ මට සහ නිමල් පෙරේරාටයි. මම සමරු කලඹට ඇතුළත් වෙන ලිපි පිළිබඳ වගකීම දැරූ අතර නිමල් ඡායාරුප සෙවීම ඇතුළු අනෙකුත් වගකීම් පිළිබඳ සොයා බැලුවා. මට මතකයි අපි මේ සඳහා ලිපි සොයන්න ගත්ත වෙහෙස මහන්සිය. පළමු සරසවිය සිනමා උලෙළේ විනිශ්චය මණ්ඩලයේ සභාපතිවරයා වුණේ විල්මට්. ඒ පෙරේරා මහත්මයායි. එතුමාගෙන් ලිපියත් ගන්න මට මතකයි මම එතුමාගේ ගෙදර ගිය හැටි. කොහොම හරි ඒ කාලේ හිටපු සිනමාව සම්බන්ධ සුවිශේෂ පුද්ගලයන් රැසකගෙන් අපි මේ සඳහා ලිපි ගත්තා.
අපේ ලේඛකයෝ අතරේ විල්මට්.ඒ පෙරේරා, සිරි ගුනසිංහ, රෙජි සිරිවර්ධන, එල්මෝ ගුණරත්න, ජෝ අබේවික්‍රම, මාර්ටින් වික්‍රමසිංහ, පි.කේ.ඩී. සෙනෙවිරත්න, ටයිටස් තොටවත්ත, ගුණදාස අමරසේකර, ආර්.ජී.කේ ජයවර්ධන, ලෙස්ටර් ජේම්ස් පීරිස්, හර්බට් එම්. සෙනවිරත්න, රුබී ද මෙල්, බී.ඒ. ඩබ්ලිව් ජයමාන්න, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, ධර්මපාල වෙත්තසිංහ වගේ අය හිටියා.
මට මතකයි ඒ කාලේ එල්මෝ ගුණරත්න හිටියේ ජනතා වගේ පුවත්පත්වල ෆිල්ම් රිපෝටර් විදියට ඒ නිසා ඔහුට කියලා සම්මුඛ සාකච්ඡා කිහිපයක්ම මම කරවා ගත්තා.
නිළි රැජිණ රුක්මණි දේවියගේ ලිපිය ලිව්වෙත් ඔහු. ඒ වගේම ඒ කාලේ නැඟී එන තරුවත් වුණු ගාමිණී ෆොන්සේකාගේ ලිපිය ලිවුවෙත් ඔහු. මට මතකයි මම ඒකට දැම්ම හෙඩිම ‘තරුවක් නොවෙයි නළුවෙක්’ කියලයි මම ඒකට හෙඩිම දැම්මේ. බොහෝ වෙලාවට ඔවුන් මට ලිපි ලියලා ගෙනත් දුන්නට මම නැවතත් ගිහින් ඒ අදාළ නළු නිළියන්ව මුණ ගැහෙනවා. ඒ තොරතුරුත් අරගෙන තමයි මම ලිපිය සකස් කළේ.
මට මතකයි මම රුක්මණි දේවී හමු වෙන්න ඒ විදියට ගිය හැටි. ඒ කාලේ ඇය හිටියේ ටොරින්ටන්වල. එල්මෝ ගෙනාපු ලිපිය අපි සකස් කරලා ‘වේදනාවෙන් සුන්දරත්වයට.. කියලා අපි පළ කළා.
අපි බී. ඒ. ඩබ්ලිව් ජයමාන්ගේ ලිපියකුත් මේ සමරු කලඹට එකතු කළා. මම තමයි ඔහු හමුවෙන්න ගියේ. එතකොට ඔහු හිටියේ අසනීප තත්ත්වයෙන් මීගමුවේ නර්සින් හෝම් එකක. මට තාමත් මතකයි මම ඒ ලිපියට දාපු හෙඩිම. ‘පොරොන්දුවෙන් කඳුළු කරා...’
මම ලිපිය ලියල ඔහුගේ නමින් තමයි පළ වුණේ.
ඒ කාලේ ජෝ අබේවික්‍රමගේ හාස්‍ය රංගනයන් හරි ජනප්‍රියයි. ඉතින් අපිට ඕන වුණා හාස්‍ය රැගත් ලිපියකුත් මේකට එකතු කරන්න. ඒ අනුව ජෝටත් කිව්වා ඒ වගේ හාසය උත්පාදනය වෙන විදියට ලිපියක් ලියන්න කියලා. ඔහු ලස්සන ලිපියක් සකස් කරලා තිබුණා චිත්‍රපටයක් නිෂ්පාදනය වෙන හැටි පිළිබඳ.
අපේ පළවෙනි සිනමා සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය වුණේ ‘ ගම්පෙරළිය’ . ඉතින් අපි කල්පනා කළා ගම්පෙරළිය පොත රචනා කරපු මාර්ටින් වික්‍රමසිංහයන්ගෙන් ලිපියක් ගත්තොත් හොඳයි කියලා. ඒ අනුව තමයි ‘කලා ස්වරූපය’ කියන ලිපිය අපි ගත්තේ.
අපි මේ වගේ ලිපි එකතුකරගෙන බලනකොට අපේ පාඨක පිරිස් මේකට සම්බන්ධ කර ගත්තොත් හොඳයි නේද කියලත් හිතුණා. ඒ නිසා අපි අපේ නළු නිළියන්ට එන විවිධ පාඨක අදහස් ටිකකුත් අරගෙන ලිපියක් සකස් කළා.
මම හිතන්නේ අපි චිත්‍රපට සම්මාන උලෙළ කරන්න කලින් ගියා ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මුණ ගැහෙන්න. මමයි විමලසිරි පෙරේරායි තමයි ගියේ. එතුමාට කියලා තමයි අපි ‘සරස්වතී අභිනන්දන’ ගීතය ලියවා ගත්තේ.එදා රාත්‍රී 11 විතර වෙනකම් එතුමා මගෙත් එක්ක කතා කර කර හිටියා. හැබැයි පහුවදා උදේ පාන්දරම අපට ගීතය ලියලා දුන්නා. ගීතය දෙන ගමන් එතුමාම තමයි කීවේ මේක අමරදේව මාස්ටර්ට දෙන්න කියලා. ඉතින් අපි ඒ ගීතයත් අපේ සමරු කලඹට එකතු කර ගත්තා.
මේ ලිපි අතරට අපිට නළු නිළියන්ගේ ඡායාරූප පිටු ටිකකුත් එකතු කරන්න ඕන වුණා. එතකොටනේ ලස්සන එන්නේ. ඒ අනුව අපි පිට කවරය සරසුවේ (1964) පළමු සරසවිය සිනමා සම්මාන උලෙළේ හොඳම නිළිය වුණු පුණ්‍යා හීන්දෙණියගේ ඡායාරුපයකින්. ඊට අමතරව ප්‍රධාන ඡායරූප වශයෙන් ඩි. ආර් නානායක්කාර, රුක්මණි දේවී, ජීවරාණි කුරුකුලසූරිය, ගාමිණි ෆොන්සේකා, විජිත මල්ලිකා, සන්ධ්‍යා කුමාරි, ආනන්ද ජයරත්න, ක්ලැරිස්ද සිල්වා, හෙන්රි ජයසේන, ලීනා ද සිල්වා, ෆ්ලොරීඩා ජයලත් ආදින් ගේ ඡායාරුප පළකළා.
කොහොම වුණත් මේ සඟරාවේ අපි පිටපත් දහදාහයි මුද්‍රණය කළේ. එදා දවසේ උදේ වරුව වෙනවිටම මේ පිටපත් දහදාහ විකිණිලා අවසන් වුණා. ආයෙත් සැරයක් මුද්‍රණය කරන්න රංජිත් විජයවර්ධනයන් කැමැති වුණේ නෑ.
ඉතින් ඇත්තටම ඒ අතිතය ගැන අද හිතෙන කොට හරිම සුන්දරයි. ඒ කාලේ අපිට දුරකතන පහසුකම් එහෙම තිබුණේ නෑනේ. අපි හමුවෙලාම තමයි සාකච්ඡා ආදිය කළේ.
හැබැයි අපිට ඕන තරම් ප්‍රවාහන පහසුකම් තිබුණා. ඒ කාලේ ලේක්හවුස් එකේ කාර් ඕන තරම් තිබුණා. අපිට නළු නිළියෙක් හම්බවෙන්න යන්න ඕන නම් කාරෙකක් දාගෙන යන්න තමයි තිබුණේ. මේ විදියට තමයි අපි සරසවිය පළවැනි සමරු කලඹ සැකසුවේ.
සේයාරූ - ගයාන් පුෂ්පික