වර්ෂ 2023 ක්වූ December 11 වැනිදා Monday
අපේ තාත්තට අම්මාව නොලැබුණා නම් ෙෆ්‍රඩී සිල්වා කෙනෙක් නැහැ

අපේ තාත්තා ගෙදර ඉන්නකොට රස සාගරයක්
විජය කුමාරණතුංග, පේ‍්‍රමකීර්ති ද අල්විස්, එච්.ආර්. ජෝතිපාල මහත්තුරුන්ගේ ෆොටෝ තුන ගෙදර බිත්තියෙ තාත්තාමයි එල්ලා තිබුණෙ. විජය ඇතුළු මේ තුන්දෙනාගෙ නැතිවීමත් එක්ක අපේ තාත්තා මාස කිහිපයක්ම ෂොක් වෙලා උන්නෙ. අනේ, අපේ තාත්තා හැම තිස්සෙම ඒ ෆොටෝ තුන ළඟට ගිහින් බලන් ඉඳලා උඹලා තුන්දෙනාම මාව දාලා ගියා. උඹලා ඇයි මට එහෙම කළේ. දැන් මටත් ඉඳලා වැඩක් නෑනෙ“ කිය කියා අපෙ තාත්තා නිතර ඇඩුවා.”
ඔහුටම ආවේණික ශෛලියකින් ගීත ගායනා කරමින්, හාස්‍ය රසයෙන් අනූන රංගන ශෛලියකින් රසික දනන් කුල්මත් කරවමින් ගායකයකු සේම විකට නළුවකු ලෙසින් ඉහළම නමක් තැබූ ෆ්‍රෙඩී සිල්වා නම් විශිෂ්ට කලාකරුවාගේ එකම දියණිය චාන්දනී ෆ්‍රෙඩී සිල්වා මහත්මිය එසේ කියන්නට වූයේ බිඳුණු ස්වරයකිනි.
සරසවිය වෙනුවෙන් අපේ ෆ්‍රෙඩී සිල්වා නම් මෙවර අපේ සොඳුරු කතා නායකයාගේ යටගිය තතු විමසනු රිසියෙන් ලුනාව ප්‍රදේශයේ ඔහුගේ දියණියගේ නිවසට ගිය මොහොතේ දී ඕ එසේ කීවාය.
“තාත්තා නැති අඩුව දවසින් දවස මට හිතට හරියට දැනෙනවා. හරියට දුක හිතෙනවා. අපේ අම්මත් දැන් ජීවතුන් අතර නැහැ. මගේ අයියත් නැහැ. මගේ තාත්තාත් නැහැ. තාත්තා මා ළඟ අදත් උන්නා නම් මොනතරම් හයියක්ද? කොයිතරම් දෙයක්ද? මට මහා තනිකමක් දැනෙනවා. තාත්තාගෙ හිතේ මං ගැන තිබුණු ආදරය මතක් වෙන ගානෙ හිත හැඩෙනවා.“ ඇයට හැඩුම් එන්නාක් මෙනි. මම මුනිවත රකිමි. වරෙක සුසුම්ලමින්, තව වරෙක ඉවත බලා තම දෑස පිසදා හරිමින් ඕ අප පිළිසඳරට එකතු වන්නීය. ඇතැම් විටදී නිහඩවම පසුවන්නීය.
මම ඇය දෙස බලා සිටියෙමි.
“ කමක් නැහැ අයියේ - අපි තාත්තා ගැන කතා කරමුකො. මෙහෙම අපිව සොයාගෙන ඇවිදින් තාත්තා ගැන කවුරුවත් කතා නොකරන කාලෙක තාත්තා ගැන කතා කරන්න ආව එකට සරසවිය පත්තරයට මම හදවතින්ම ප්‍රශංසා කරනවා.“
ඕ යළි කටහඩ අවදි කළාය.
හවුපේ ලියනගේ අතුකෝරාල මොරිස් ජෝශප් රණබාහු. ඒ අද අප කතා නායකයාගේ උප්පැන්නයේ සඳහන් නමය. පසුව ලද ෆ්‍රෙඩී සිල්වා යන නාමය ඔහුට ලැබුණු හැටි කියැවෙන කතාව ද අපූරුය. ෆ්‍රෙඩීගේ තාත්තා නොඑසේනම් හවුපේ ලියනගේ අතුකෝරාල විල්ප්‍රඩ් අඩොල්ෆස් රණබාහු විවාහ වුයේ ලැටීෂියා මියුරියල් ප්‍රනාන්දු මෙනවිය සමඟය. එම දෙපළට කුලුඳුලේ උපන් පුතු ඉපදී කෙටි කලකින් ම අහිමි වී ගියේය. ඒ සෙංගමාලය වැළඳීමෙනි. අලුත් උපන් දරුවා මාස පහකින් පමණ මියයාමෙන් මාපියනට දැනුණු ඒ වේදනාව යම් තරමකට හෝ සමනය වුයේ අදහන ක්‍රිස්තියානි ආගම දහමට නැඹුරුව පසුවීමෙනි. ඒ අතරේදී දරුවකු පිළිබඳ අලුත් බලාපොරොත්තුවකින් හිත් පුරවා සිටියහ. එපැතුම මල්ඵල ගන්වමින් ඉන් වසර පහක් ගත වී යාමත් සමඟම එම දෙපළට හිමිවුයේ තවත් පුත්‍ර රත්නයකි. එනම් 1938 ක් වු පෙබරවාරි මස 06 වනදාය. මේ බිළිඳා අන් කවරකු හෝ නොව ලොවක් දිනන්නට තරමේ සමත්කමින් පිරිපුන් අපේ ආදරණීය කතා නායකයාය. තාත්තා මාතරය. අම්මා මොරටුවේය. අපේ කතානායකයා හැදුණේ වැඩුණේ මොරටුවේය. ඒ අම්මාගේ නෑ පරපුර ද වෙසෙනා නිසාය.
පවුලේ එකම පිරිමි දරුවාට ලැබුණේ උතුරා ගිය සෙනෙහසකි. කිසිවකින් අඩුවක් නැති තරමට යමක් කමක් ඇති තාත්තා තම පුතු ගැන ඕනෑවටත් වඩා සොයා බැලුවේය. කල් යත් යත්ම කොලුවාගේ දඟ වැඩ ද අඩුවක් නැති. මේ අතරේදීය එම පවුලට වඩාත් ළෙන්ගතුකම් පෑ දිගු කලෙක සිට ඇසුරකට හිමිකම් කියූ විදෙස් කාන්තාවක වූ ජෙනිෆර් බෝමන් නම් මහත්මිය හමුවුයේ කුලුඳුලේ පුතු මියයාම ගැන සෝකවන්නන් අතර මේ සුදුනෝනා ද කම්පිත වූ මනසකින් පසු වී ඉන්පසුව උපන් පුතු පිළිබඳව අපමණ සතුටට පත්ව සිටියාය. ඕ මේ දඟකාර කොලුවා සමඟය. සුදු නෝනාගේ ආදරය ද කොලුවාට දැනුණේ මහමෙර තරමටය. මේ කොලු ගැටයා ඉගෙනුමට ගියේ මොරටුවේ සාන්ත සෙබස්තියන් විදුහලටය.
පාසල් වියේ ඔහුගේ හොඳම යහළුවා ඉගෙනුම ලද්දේ වෙනත් පාසලකය. එය ඔහුට සතුටක් නොවන්නට ඇති. තාත්තා පාසල් ගේට්ටුව ළඟ නැවතී කැඳවා ආ පුතු පාසල තුළට යවන්නේය. පාසලට ඇතුළත් කොට පුතුට අතක් වනා තාත්තා නික්ම ගිය සැණින් පුතු වහා පාසල් ගේට්ටුවෙන් පිටතට පැමිණ තම අඹ යහළුවා ඉගෙනුම ලබන පාසලට ගොස් තම යහළුවා සිටිනා පන්තියට වැදී යහළුවා සමීපයට වී වාඩි වී හිඳීන්නේය. පාසලට කැඳවා ආ දරුවා පන්තියේ නොසිටීමෙන් මහත් කලබලයට පත් ගුරුභවතුන් බැරිම තැන තාත්තාට දැනුම් දෙන්නේය. තාත්තා ඉහ ගිනි ගත්තකු මෙන් එහෙ මෙහෙ දිව ඇවිද සොයා ගන්නා විට තම දරුවා සිටින්නේ අඹ යහළුවාගේ පන්තියේ ම බව දැක කේන්තිය නිවෙනා තුරුම දරුවාට දඩුවම් කරන්නේය. මම චාන්දනී දෙස බලමි.
“ අපේ සීයා පප්පා හරිම නීතිකාරයා.වෙලාවට වැඩ. අපේ තාත්තාත් එහෙම තමයි. අකුරට නීතියට වැඩ. අපේ තාත්තා කුඩා කාලයේදීත් හරි අමුතු වැඩ කරලා තියෙන්නෙ. රෝයි ද සිල්වා අන්කලුත් මොරටුව පැත්තෙනෙ. ඒ කාලෙත් ඒ දෙන්නා ගජ යහළුවො. රෝයි අන්කල් හරිම ආදරෙයි අපේ තාත්තාට. අපේ තාත්තාත් එහෙමයි.“
රෝයි අන්කල් කියලා තියෙනවා කීයක් හරි හොයාගන්නෙ කොහොමද බන් - අතේ සතේ නැහැනේ කියලා. ඔන්න ඉතින් අපේ තාත්තා ‘ටිකක් හිටපන්කො අඬන්නෙ නැතිව‘ කියල ටික වෙලාවක් බලා ඉඳලා තාත්තා රෝයි අන්කල්ට කිව්වලු අපි ප්ලැට් එකේ අයට කුකුල් පැටව් විකුණමු - විකුණලා කීයක් හරි ගතමනාවක් හොයා ගනිමු කියලා - කුකුල් පැටව් කොහෙන්ද අපිට කියල රෝයි අන්කල් ඇහුවම වරෙන් යන්ඩ කියල තාත්තා රෝයි අන්කල්වත් එක්කගෙන වෙලක් ළඟට ගිහින් කොරවක්කො පැටවු අල්ල අල්ල පෙට්ටියක දාගෙන තියෙනවා. එක පැටියෙක් සත දහයක්.
ඉතින් මේ දෙන්නම ෆ්ලැට් එකේ අයට ලාබයි ලාබයි කුකුල් පැටව් කියලා සත දහය ගානෙ විකුණලා තියෙනවා. දැන් දෙන්නම ගාණක් හොයාගෙන සතුටුවෙලා. ටික දවසක් යද්දි ෆ්ලැට් එකේ මිනිස්සු මේ දෙන්නට පළු යන්න බැණ බැණ තැන තැන කියවල අන්තිමේදි අපේ සීයා පප්පාට පැමිණිලි කරලා. සීයා පප්පා අපෙ තාත්තාට හොඳටම දඬුවම් කරල තියෙනවා මොනවද මේ කරන වැඩ කිය කිය. කොරවක් පැටවු පුංචි කාලෙ කුකුළු පැටවු වගේමනෙ. උන් ලොකු වෙද්දි මේ කුකුළන් නෙවෙයි කොරවක්කොනෙ කියල දැකල ඒ මිනිස්සුන්ට තරහා ගිහිල්ලා“. ඇය මහ හඬින් සිනාසෙයි. අපේ කතා නායකයාගේ කුඩා විය ද රස ගුලාවකැයි මට සිතේ.
අපේ කතා නායක කුඩා වියේදී විදේශයේ සිට පැමිණ සිටි සුදු නෝනාට ළංව සිටි බව අප දනිමු. ඇයද ඔහුට ආදරේමය. දිනක් කිසියම් සඟරාවක පළ වී තිබුණේ කාටූනයකි. එංගලන්තයේ සිට පැමිණ සිටි සුදුනෝනාගේ නෙත ගැටුණේ මේ කාටූනය ය. එම කාටූනයට අනුව ෆ්‍රෙඩී යන එහි කතා නායක ගෙම්බා දඟකාරයි. හිතුවක්කාරයි. කාටූනයෙන් කියැවෙන කතාන්දරයට සුදු නෝනාගේ මනැසට යාවුණේ මේ කොලුවාය. මේ කොලුවා ද දඟය. හිතුවක්කාරය. තමන් සමීපයට ම කැඳවා ගත් සුදු නෝනා ඔහුට නමක් තැබුවාය. ඔයා අද ඉඳන් ජෝශප් රණබාහු නෙමේ. ෆ්‍රෙඩී සිල්වා මොකක්ද ඔයාගෙ නම - ෆ්‍රෙඩී සිල්වා. මතක තියාගන්න. ෆ්‍රෙඩී සිල්වා කොලුවා හිස වැනීය. සුදු නෝනා කෙරෙහි ඇති ගරුත්වය නිසාම ඒ නමට කැමති වූ වැඩිහිටියෝ ද එතැන් සිට දරුවා ඇමතුයේ ‘ෆ්‍රෙඩී‘ යන සුරතල් නාමයෙනි. කලා ලොව පෙරළි කරද්දී ද ඒ නම රටතොට පරසිදු වන්නට තරම් ප්‍රබල විය. ඒ අපේ සොඳුරුබර කතා නායක ෆ්‍රෙඩී සිල්වා ය.
අපේ ෆ්‍රෙඩී සිල්වා පිළිබඳව එකම දුව චාන්දනී තවත් බොහෝ දේ කියා යන්නීය. ඒ සතුට උතුරා යන මුහුණිනි.
“ අපේ තාත්තා පුංචි කාලෙදිත් හරිම කැමතියිලු මිනිස්සුන්ව අන්දන්න. එහෙම අන්දල විනෝද වෙන්න. වැඩිහිටි වුණාමත් ඒ වගේලුනෙ, අපේ තාත්තා. ඔන්න ඉතින් එක දවසක් අපේ සුද්දී (සුදු නෝනා) අපේ තාත්තාට කියල තියෙනවා, පූස් පැටවෙක් ගෙනැවිත් දෙන්න, මං ෆ්‍රෙඩීට ශත 50ක් දෙනවා කියලා. දැන් තාත්තා පැත්තකට වෙලා කල්පනා කරනවාලු. පුස් පැටවෙකුට සත 50ක් සත 50ක් අරන් මක් කරන්නද කියලා හිතල පෙට්ටියක් අරන් පුස් පැටවු 50ක් විතර ගම වටේ ගිහින් හොයල පෙට්ටියෙම දාගෙන සුද්දිගේ ගෙදරට ඇවිල්ලා. තාත්තා හිතල තියෙන්නේ එක පුස් පැටියට සත 50 ගානෙ ඔක්කොම පුසො ටික අරන් සත 50ගානෙ තාත්තාට දේවි කියලා.’
පුස් ගොඩ දැක්ක සුද්දිට කතා කරගන්න බැරිව ගිහින්නෙ. අපේ තාත්තාගෙ ඔළුව ආදරෙන් අත ගාලා සුද්දි කියල තියෙනවා ‘ෆ්‍රෙඩ්’ ඔයා හොඳ ළමයෙක්නෙ. ඒ නිසා මේ පුසො ටික ආපහු ගිහින් උන්න තැන්වලටම දාලා එන්න. මං ෆ්‍රෙඩීට තව සත 50ක් වැඩිපුර දෙනවා කියලා. පස්සෙ අපේ තාත්තා සුද්දි කියාපු විදිහට ම පුසො ටික ආපහු ගිිහින් දාලා ඇවිත් තියෙන්නේ.’ චාන්දනී සිතා පහළ කරන්නීය.
අපේ කතානායකයා ෆ්‍රෙඩී ගායනයට දැක්වුයේ නිමිහිම් නැති ආසාවකි. ඕනෑකමකි. එ ්නිසාම ඔහුට තමන් ඉගෙනුම ලද පාසලේ වේදිකාව ද පල්ලියේ දී ද කුසලතා පෙන්නුම් කරන්නට කදිම අවස්ථා විය. ඉන් ඔහු ලද ආරම්භය එයය. රෝයි නම් තම සමීපතම යහළුවාද සමඟින් නාට්‍ය රඟදැක්වුයේය. අම්මාගේ සාරි වටකොට වේදිකාව තැනුවේය. ඔහු රඟපෑවේ කාන්තා චරිතයයි. අම්මා ගේ පරපුරේ අයවලුන් ද නාට්‍යය නැරඹීමට එති. ඒ හැමදෙනාගෙන්ම ප්‍රවේශ පත්‍ර සඳහා ඔහු මුදලක් ද අය කළේය.
‘අපේ තාත්තගෙ පුංචි අම්මාගෙ පුතා සී.එල්. ෆොන්සේකා දක්ෂ සංගීතඥයෙක්. එයාට සංගීත කණ්ඩායමකුත් තිබුණා. හැම තැනටම ගිහින් එයා සංගීත සාජ්ජ කරනවා. මේ අතරේ දී අපේ තාත්තා ගැන පැහැදිලා තාත්තාවත් ඒකට හවුල් කරගත්තා. එයින් තාත්තාවත් ඒකට හවුල් කරගත්තා. එයින් තාත්තටත් ගාණක් අතට ලැබුණා. මේව දැකලා අපේ සීයා පප්පා තාත්තට නිතරම බැන වදිනවා. හොඳ ඉස්කෝලෙකට උඹව දාලා ඉගැන්නුවේ සාජ්ජ කරන්නද. මං හොඳ රස්සාවක් අරන් දෙනකම් ගෙදරට වෙලා හිටපිය කියලා සීයා පප්පා එහෙම විරුද්ධ වුණාට අපේ ආච්චි අම්මා තාත්තාට ෆුල් සපෝට්’.
අපේ ෆ්‍රෙඩී දැන් තරමකට ගායකයකු ලෙසින් ප්‍රකටය. පුංචි අම්මා ගේ පුතා මාස්ටර්ට ද සතුටුය. එවක අගමැති සර් ජෝන් කොතලාවල මහතාගේ නිවසේ සාදයක් පැවැත්වීමට නියමිතව තිබුණි. ඒ එතුමාගේ උපන් දින සාදයකි. ඊට සංගීතය සපයන්නට ඇරියුම් ලැබුණේ ෆ්‍රෙඩීගේ පුංචි අම්මා ගේ පුතාටය. එය බාරදූර කාරියකි. ඊට හෙතෙම ෆ්‍රෙඩීව ද කැඳවා ගියේය. බොහෝ දෙස් විදෙස් අමුත්තන් පිරිවරා සිටි සර් ජෝන් මහතා සංගීත සාජ්ජය ආරම්භ කරන ලෙසට දැනුම් දුන්නේය. මේ අතරේ දී විදෙස් නාටිකාංගනාවියක් එහි නැටුමින් හැමදෙනා රසවත් කරන්නට වුවාය. මේ අතරේ දී නැටුම නරඹමින් සිටි කොතලාවල මහතා මෙසේ හඬ ගා ආරාධනයක් ද කරන්නට විලු.
මේ නැට්ටුක්කාරිය එක්ක කරට කර නටන්නට සමත් කෙනෙක් මෙතැන ඉන්නවා නම් ඉදිරිපත් වෙන්න පුළුවන්. දක්ෂනම් මම තෑගි බෝගත් පිරිනමනවා. ඉන්නවා නම් දැන් එන්ඩ සියල්ලෝම එකිනෙකාගේ මුහුණු බලති. සංගීත සාජ්ජයේ මාස්ටර් ෆ්‍රෙඩීගේ පුංචි අම්මාගේ පුතා වහා පැමිණ ෆ්‍රෙඩීව අතින් ඇදගෙන ගොස් ඉදිරියට දැම්මේය.ආපසු හැරී පැමිණියේ අපේ කතා නායකයා නම් නොවේ. අභියෝගයට බිය වී පලාගියේ අපේ ෆ්‍රෙඩී නොවේ. ෆ්‍රෙඩී නැටුම පටන් ගත්තේය. නැගලා යන සංගීතයට විදෙස් නාටිකාංගනාවිය ද තරඟ බිමේය. සර් ජෝන් මහතා ඇස පිය නොහෙළා බලා හිඳී. අවට සියල්ලෝ ද දෙදෙනාගේ ම නැටුම් තරඟය නරඹති. සිදුවුයේ අරුමයකි. නාටිකාංගනාවිය සිය නැටුම නවත්වා මුහුණ පුළුටු කර ඉවතට ගොස් අසුනකට බර දුන්නාය. එක දිගටම අපේ කතා නායකයා නැටුමේය. අවසානයේ සර් ජෝන් කොතලාවල මහතා අත් පොලසන් හඬ දෙන විට දි සියලු දෙනාම අත්පොළසන් දුනි.
“උඹේ නම මොකක්ද කියපන් බලන්ඩ” එතුමා අපේ ෆ්‍රෙඩී ළඟටම කැඳවා විමසුවේය.
“ඈ කොලුවො උඹේ ඔය කකුල් දෙකට ස්පි‍්‍රන් හයි කරලා ද බන්. බොහොම අපුරුයි. අපුරුයි. මං කිව්වනෙ තෑගි දෙනවයි කියලා. හරි දැන් මට කියපන් කොල්ලො මොනවාද මගෙන් උඹට ඕනෙ කියලා. ඕනම දෙයක් මගෙන් ඉල්ලාපන්.’ ෆ්‍රෙඩී වටපිට බැලීය.
එතුමා අල්වා ගත් තම අත එලෙසමය.
“ සර්, මට ගුවන් විදුලියෙ සින්දුවක් පටිගත කරගන්න උදවු කරන්න සර්. මට වෙන මුකුත්ම එපා. මට සින්දුවක් ගුවන් විදුලියෙ කියන්න හදල දෙන්න.“ ෆ්‍රෙඩීගේ ඉල්ලීමට සතුට පළ කළ එතුමා ඒ මොහොතේම ගුවන් විදුලියට කතා කළේය.
“හෙට උදේ එනව මගෙ කොල්ලෙක් ගුවන් විදුලියට. ඌට ඕනලු සින්දුවක් පටිගත කරගන්න. දක්ෂකම් තියෙනවා. සින්දු එකක් නෙවේ, කොල්ලට ඕන තරමක් සින්දු පටිගත කරන්න සූදානම් කරල දෙන්න.“
මුදලක් ද අත තැබූ එතුමා මුව නොසෑහෙන සේ ස්තුති කරමින් අනාගතයට සුභ පැතුවේය. අපේ කතා නායකයාගේ ඉහේ මල් පිපුණාසේ ය.
ඔහුට රැකියාවක්ද ලැබී තිබුණි. ඒ දයා ෂර්ට්ස් සමාගමේ තත්ත්ව පාලක තනතුරය. එහෙත් ඔහුගේ සිත එතැනට නොවේ. ගායනයටය. ඒ වනවිට අපේ කතා නායක ෆ්‍රෙඩීගේ වයස අවුරුදු 19ක් පමණය. හෙතෙම ගුවන් විදුලියට ගියේය. සර් ජෝන් අගමැතිතුමාගේ නියෝගය අකුරටම කි‍්‍රයාත්මක වී තිබිණි. අපේ ෆ්‍රෙඩී එක් රැයකින් රටම හඳුනාගත්හ.
ඒ ඔහු ගුවන්විදුලියේ ගැයූ මුල්ම ගායනය ‘බාර් - බාර් - බාර් - බාර් එකෙන් බීලා - සූර් - සූර් - සූර් - සූර් වෙන්න ගහලා කට් කට් කට්වෙන්න වැදිලා - මේ බලන්න මට හොඳටම සූර් ... //‘ ගීතයයි.
එම ගීතය එදා රොක් ඇන්ඩ් රෝල් ආභාසයට ලාංකිකයකු ගැයූ ප්‍රථම ගීතය එයම විය.
ඒ සමඟම ‘මමයි මොට්ටපාල දොට්ට දැම්මෙ පාසලෙන් - වෙට්ට පිත්තල වී සිටිමි කවටකම් වලින් ...“ ඔහුගේ ඒ ගීතය ද එකසේ ඉහළම ජනාදරයට පත්විණි. ෆ්‍රෙඩී සිල්වා කියූ සැණින් රටම දන්නා ගායකයා බවට හෙතෙම පරසිදු විය.
තම ළමා වියේ සිට ම එකටම හුන් අතිජාත මිත්‍රයා රෝයි ද සිල්වා ද චිත්‍රපට ක්ෂේත්‍රයට අවතීර්ණ ව මේ වනවිට නළුවකු බවට පත්ව සිටියේය. තම මිතුරා අමතක නොකළ රෝයි එදවස ජෝ දේව් ආනන්ද් මහතාට ෆ්‍රෙඩී හඳුන්වාදෙමින් චිත්‍රපටයක රඟපාන්නට අවස්ථාව සලස්වා දුන්නේය. ඒ සුජීවා චිත්‍රපටයයි. අපේ කතා නායකයාගේ රංගන ජීවිතයේ ප්‍රථම චිත්‍රපටය සුජීවා වූයේ එලෙසිනි.
චාන්දනී තවමත් සිනාපිරි මුවිනි.
“ ඕන්න ඔහොම තමයි අපේ තාත්තා ගායකයකු වගේම නළුවකු වුණේ. ඉතින් අපේ තාත්තා ජෝ දේව් ආනන්ද්ගෙ විතරක් නෙවි කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරාගෙ ‘සුහද සොහොයුරෝ‘ චිත්‍රපටයෙත් රැඟුªවා. දියරැල්ල වෙරළෙ හැපි හැපි මේ මොකද හාදු දෙන්නේ ගීතයත් තාත්තාගේ. කැමරාවට මුලින්ම තාත්තා මුහුණ දුන්නේ සුජීවා චිත්‍රපටයේ. සිද්ධමුල්ල පැත්තෙ ගෙදරටත් තාත්තා නම තිබ්බෙ ‘සුජීවා‘ කියලමයි.“
අපේ කතා නායකයා දැන් අතිශයින් කාර්ය බහුලය. චිත්‍රපට ගලා එන්නේය. ගායනයට ද ඇරයුම් ගලා එන්නේය. රඟපෑමත් ගායනයත් දෙකම ඔහුගෙන් ඉටුවෙයි. දහවලෙහි චිත්‍රපට රූගත කිරීමට යන හෙතෙම රාත්‍රියෙහි සංගීත ප්‍රසංග සඳහා යන්නේය.
“අපේ තාත්තා විවාහ වුණේ පතිරගේ කමලා ස්වර්ණලතා ප්‍රේරා මෙනවිය සමඟයි. අපෙ අම්මා හරිම ලස්සනයි. ඒ වගේම හරිම ඉවසිලිවන්තයි. නිවුණු ගති පැවතුම්. ඒ වගේම මගෙ අම්මා දක්ෂ නැටුම් ශිලිපිනියක්. මහානාම ගුරුතුමාගෙ කෙනෙක් අම්මා. කොහොමහරි මේ දෙන්නා වේදිකාවෙදි හමුවුණා. ලොකු පැහැදීමක් ඇතිවෙලා තාත්තා අම්මාට ලිපිනය දීලා තියෙනවා. අනේ ඉතින් තාත්තා මඟ බලා ඉඳලා තියෙනවා ලියුමක් ඒවි ඒවි කියලා. කොහොමහරි එවපු ලියුමක් නැති තැනදි අපෙ තාත්තා අපෙ මහප්පා එක්ක මහානාම සර් මුණ ගැහිල ඉන්න තැන සොයාගෙන ගිහින් තියෙනවා.
හරිම වැඩේ කියන්නෙ ආගම් පිළිබඳ ගැටලුවකුත් මතුවෙලා. තවත් ගැටලු මතුවෙලා. අපෙ අම්මගෙ තාත්තා ප්‍රසිද්ධ වෙද මහත්මයෙක්. අපේ තාත්තාගෙ රස්සාව නළුකම එයාලට හරහට හිටලා. ඒක එයාලට ඇල්ලුවේම නැහැ. අම්මා තාත්තාට කැමති වුණාට ඒ වැඩිහිටියො කැමැති නැහැ. ඉතින් මේ සම්බන්ධය කඩන්න ඒ වැඩිහිටියෝ එකතුවෙලා අපෙ අම්මාව කොහේදෝ දුර ඈතකට එක්ක ගිහින් හංගලා තියෙනවා.“
ඉතින් කොහෙන් කොහොම හරි අපේ තාත්තා එදා ගායනා කළානෙ. ‘එන්ඩ එන්ඩ වාඩිවෙන්ඩ මොකද වදේ ඇයි හිටගෙන මෙන්න මෙතන වාඩි වෙන්ඩ. කියන ගීතය ඕං ඒ සින්දුව අපේ අම්මාගෙ තාත්තා අපේ සීයා අහල බොහොම සතුටට පත්වෙලා දෙන්නට කැමැත්ත දුන්නා. පස්සේ දෙපැත්තෙම ආසිරිවාදය ලැබුණා.’
අපේ සොඳුරු කතානායකයා විවාහ වුයේ 1961 වසරේදිය. විවාහයෙන් පසුව එම දෙපළ මුලින්ම පදිංචියට පැමිණියේ මොරටුවටය. එම දෙපළට කුලුඳුලේ පුතෙකු ලැබිණි. ඒ ජනේශ් පුතුය. ඉන්පසු පිළියන්දල සිද්දමුල්ල නව නිවස ද තනාගෙන එම නිවසට පැමිණියේය. ඔහු මුල්වරට රඟපෑ සුජීවා චිත්‍රපටය සිහිවටනයක් ලෙසින් එම නව නිවසට නම තැබුවේ ‘සුජිවා’ යනුවෙනි.
‘මගේ උපතත් එක්කමයි තාත්තාගෙ චිත්‍රපට තිරගත වුණේ තාත්තාට මමයි වාසනාව ගෙනාවෙ කිය කිය තාත්තා හැම තැනකදීම ප්‍රසිද්ධියේ කියන්න වුණා. අපේ තාත්තාව අම්මාට වගේම අපටත් පෙනුණේ රටේ ප්‍රසිද්ධ වෙච්ච රජෙක් හැටියටයි. ඒ ආඩම්බරය අපට තිබුණා.
ඉතින් මටයි අයියටයි තාත්තාටයි ශක්තියක් වුණේ අපේ අම්මා. ඒ අම්මාගෙ කැපවීම වචනයෙන් කියන්න බැරි තරම්. අපේ අම්මාට හොඳට රහට උයන්න පුළුවන්. හොඳට මැහුම් ගෙතුම් පුළුවන්. ඇත්තම කියනවා නම් අපේ අම්මා තාත්තාට නොලැබී තිබුණා නම් අද ෆ්‍රෙඩී සිල්වා කියල කෙනෙකුªත් නැහැ.’
සිය බිරිඳ කමලා වෙනුවෙන් අපේ ෆ්‍රෙඩී පිළියන්දල නගර මධ්‍යයේ මැහුම් ගෙතුම් සාප්පුවක් දමා දුන් බව ද ඕ කිවාය. ඒකේ තිබුණෙ කාන්තා අයිටම්ස් විතරයි. දැන් අපේ තාත්තා රටම දන්නා ප්‍රසිද්ධ කෙනෙක්. ගායනය පැත්තෙනුත් රඟපෑම පැත්තෙනුත් තාත්තාට හොඳ ආදායමකුත් ලැබුණානෙ. හැබැයි අපේ තාත්තා දුම්පානයට ලොල් වුණා. අම්මාට අපට තාත්තා හොඳට සැලකුවා. කොහොම හරි රටටම අයිති කෙනෙක් වුණු හින්දාදෝ අපේ තාත්තා වෙනස් වුණා.’
විජය කුමාරතුංග, එච්.ආර්. ජෝතිපාල පේ‍්‍රමකිර්ති ද අල්විස් මහත්වරුන් ඔහු සමීපයේමය. ඔවුහු නිතර ෆ්‍රෙඩී දැකුමට එති. ඒ ආ විට රස ගුලාවකි. අපේ ෆ්‍රෙඩී මහ ආඩම්බරකාරයෙක් යැයි නිතර කියනු ඇසෙයි. ඊට ඕ දුන්නේ මෙවන් පිළිතුරකි.
“ඔව් අපිත් තාත්තාගෙන් මේ බව අහල තියෙනවා. තාත්තා නැහැ කිව්වෙත් නැහැ. තාත්තා වැඩි යාළුකමට ගියොත් මිනිස්සු උසුළු විසුළුවට එනවාට තාත්තා අකමැති බව තමා කිව්වේ.’
තම මවගෙන් දුරස්ව ගිය තම පියාණන් තමන්ටත් අයියාටත් හොඳින් සැලකූ බව ද මව තමන්ගේ පාඩුවේ තමන්ගේ දෙයක් බලාගෙන සිටි බවද ඇය කීවේ මැල වී ගිය මුහුණිනි.
තාත්තා අම්මාගෙන් දුරස් වීම තවමත් ඇයට වේදනාබර සිදුවීමක් යැයි පෙනේ.
‘අපේ තාත්තා හරි කියල මං කියන්නේ නැහැ. කොහොම හරි අම්මාගෙයි තාත්තගෙයි වෙන්වීම අපට දුකක් මයි. එක ගෙදර වෙනම කොටසක අම්මා පාඩුවේ ජීවත් වුණා. තාත්තාව පාලනය කරන්න යන්න අපට බැහැනේ. ජනේශ් අයියත් අකාලයේ නැතිවුණා.
අපේ කනානායක ෆ්‍රෙඩී රෝගාතුර වුයේය. අන්කල් කෙනෙක් අපට කිව්වා ඔයාලගෙ තාත්තාට අසනීපයි කියලා. මම බලන්න ගියාම තාත්තාට ව්ීස් එක හැදිලා අමාරුවෙන්. රජෙක් වගේ උන්න තාත්තාව දැක්කාම මට පපුව හෝස් ගා පත්තු වුණා. හරිම අසරණ වුණු තත්ත්වයක අපේ තාත්තා උන්නෙ. මට තවමත් ඒ උන්න හැටි මැවී මැවී පේනවා වගේ. පස්සේ තාත්තාව කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කළා එතැනින් කීවේ ජාතික රෝහලට ගෙනයන්ඩ කියලයි. එතකොට මගේ අයියත් මං ගාව උන්නා. අපේ තාත්තාට දියවැඩියාව උත්සන්න වෙලා දවල්ට චිත්‍රපට රාත්‍රියට සංගීත, හරි හැටි වෙලාවට කෑමක් බීමක් නැහැ. හරියට නින්දක් නැහැ. ඒ වගේමයි අපේ තාත්තාගෙ පැණි රස කෑමත්. දින කීපයකින් තාත්තාව ගෙදරට එක්කගෙන ආවා. ගෙදරින් අපගෙන් දුරස් වෙලා වෙන වෙන අයට රැවටිලා ගිය ගමනෙන් අන්තිමට තාත්තාට ඉතිරි වුණේ මායි අයියයි විතරමයි. මගේ අයියගෙ බිරිඳ ලක්ෂ්මි හේමමාලා තාත්තාට හොඳින් සැලකුවා. ආදරයෙන් රැකබලා ගත්තා. අම්මා උන්නෙ ඒ ගෙදරම එහා කොටසකනෙ. අම්මට දොසක් කියන්න බැහැ.
අම්මා තාත්තා එක්ක රණ්ඩු කළේවත් තරහක් පෙන්නුවේ වත් නැහැ. අම්මා ඉවසිලිවන්තයි. එයා එයාගෙ පාඩුවේ උන්නා. අපට හැම යුතුකමක්ම ඉටුකළ තාත්තා එක්කන් අපේ තරහක් නැහැ. කා ළඟ ද අඩුපාඩු නැත්තෙ. මම ඒ දවස්වල මොරටුමුල්ලෙ ඉඳන් නිතරම තාත්තාව බලන්න සිද්දමුල්ලෙ ගෙදරට යනවා.
ඒ මුසල දවසක් මම ෂෝ එකකට ගිහින් එනවිට මට නරක ආරංචියක් ලැබුණා.
අපේ ෆ්‍රෙඩී බරපතල අස්‍යාධ්‍ය තත්ත්වයකට පත්වුයේ ඔහුම තැනු සිද්ද මුල්ලේ නිවසේදීමය. නිවසේ මැද සාලයේ බිත්තියේ එල්ලා තිබුණේ ජනපි‍්‍රය පුද්ගලයින්ගේ මුහුණු තුනකි.
ඒ වන විට රසික දනන් හඬවමින් නික්ම ගොස් සිටි විජය, ජෝතිපාල සහ පේ‍්‍රමකීර්ති කලාකරුවන්ගේ රාමු කරන ලද පින්තූර තුන බිත්තියේ එල්ලා තිබිණි.
“උඹලා තුන්දෙනාම මාව තනිකරල ගිහිල්ලා ඇය එහෙම උඹල මට කළේ. අද මං තනිවෙලා. මමත් දැන් ඉඳල වැඩක් නැහැ.’ ඔහු අමාරුවෙන් ගිලන් යහනෙන් බැස බැරි බැරි ගානේ පැමිණ බිත්තියේ එම පින්තූර අත ගගා එසේ කියමින් කඳුළු සැලුවේය. යළිත් සෙමින් ගමනින් ගොස් ගිලන් යහනේ වැතිර වහලය දෙස බලා සුසුම්ලන්නේය.
‘විජය මහත්තයාගේ මිනිය බලන්න තාත්තා යන්න උන්නාම නිර්නාමික තර්ජන ආවා. යන්ඩ එපා. ගියොත් මරණවා කියලා. ඒත් විජයට තාත්තා පුදුම ආදරයක් තිබුණේ. තාත්තා මහ පාන්දර හොරෙන් හොරෙන් වාහන මාරු කර කර විජයව බලන්න තාත්තා එදා ගියේ ‘චාන්දනීගේ හඬ දුබලය.
‘අපේ තාත්තා ඒ කාලෙ ගෙදර ඉන්නකොට රස සාගරයක් ගෙදර අම්මාව, ආච්චි අම්මාව කොලොප්පමට අල්ලා ගන්නවා. නිකම් ඉන්නම දෙන්නේ නැහැ. කේන්ති ගස්සවනවා.
මට රස්සාවක් ලැබුණා.
මම අහුංගල්ලෙ සංචාරක හෝටලයක පිළිගැනිමේ නිලධාරිනිය වුණා. තාත්තා මාව බලන්න එතැනට නිතර ආවා. ඉංගි‍්‍රසි ගුරු පත්වීමක් බදුල්ල පාසලකට ලැබුණා. ඒ වැටුප මං දුවට දෙන්නම්. ගෙදර ඉන්න කියන එකමයි තාත්තා මට කිව්වේ.’ 2016 මාර්තු මාසෙ 22 වැනිදා අපේ අම්මා නැතිවුණා.’
අපේ සොඳුරු ආදරණීය කතානායක රටක් සිනහවෙන් නැහැ වූ නැළ වූ ගායනයෙන් සේම රංගනයෙන් ද ඉහළම ගෞරවයට ම පාත්‍ර වූ අපේ ෆ්‍රෙඩී සිල්වා අසාධ්‍ය තත්ත්වයට පත් වුයේය. වහා ජනේශ් පුතුගේ බිරිඳ ලක්ෂ්මී වහා තම සැමියාගේ පියාණන් වාහනයකට දමා ඉක්මනින් රෝහලට යන ලෙසට වාහනයේ රියදුරුට කෑ ගෑවේය. එහෙත් රෝහලට යාමට පෙරාතුවම අපේ ආදරණීය කතා නායකයා ෆ්‍රෙඩී සිල්වා තම හිස තබා හුන් ලේළිය ලක්ෂ්මීගේ ඔඩොක්කුවේම ඒ වනවිට අවසන් නින්දකට වැටී සිටියේය.