වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
අපේ තාත්තා සත්තකින්ම අදටත් ජීවමානයි

අපේ තාත්තා රාමයියා මුත්තුස්වාමි. තාත්තා මේ රටේ නූපන් කෙනෙක් වුණත් මේ රටේ සිනමාවට සංගීතයට මිල කළ නොහැකි විශිෂ්ට සේවාවක් ඉටු කළා. ඒත් එතුමාගේ ඒ කැපවීම අප රටේ ඇතැම් පිරිසකට අගයක් නොදැනුණේ ඇයි ද කියන එක ගැන අදටත් අපේ අම්මාටත් අපටත් ඇත්තේ ලොකුම කනගාටුවක්.’
සංගීතය තම ජීවිතය හා සමානව වැලඳ ශ්‍රී ලාංකේය ජන හදවතෙහි නොමැකෙන සටහන් තබා සම්මානිත සංගීතඥයකු සංගීත අධ්‍යක්ෂවරයකු සේම ගායකයෙකු ලෙසින් ද ඉමහත් ජනප්‍රසාදයකට බඳුන් වූ ආර්.මුත්තුස්වාමි හෙවත් රාමයියා මුත්තුස්වාමි මහතා දිවි ගෙවූ නිවසට ගිය මොහොතේ දී එසේ බිඳුණු ස්වරයෙන් පවසන්නට වුයේ එතුමාගේ දූ දරුවන් අතර බාලම දියණිය කීර්තිකා නීලියා මහත්මියය.
සරසවිය වෙනුවෙන් එම නිවසට ගිය මොහොතේ සිට ආගන්තුක සත්කාරයට ම පිරුණු සිතින් එම පවුලේ සැම මවෙත දැක් වූ දයාවන්න ඉහළම මනුස්සකම තවමත් මතකය. මම පින්කර ඇතැයි හැඟේ. මහා සංගීතඥයකුගේ සෙවණැල්ල සේ ළඟම පසුවෙමින් අසීමිතව රැකවරණය, නොතිත් ආදරයම පිදූ එතුමාගේ ආදරණීය බිිරිඳ බමුණුකුල ආරච්චිගේ දෝන නීලියා පෙරේරා (පසුව නීලියා මුත්තුස්වාමි) මැතිනියද, දියණියක වන චිත්‍රාංගි මහත්මිය ද මා සමීපයේමය.
අප සුහද පිළිසඳරට මුල පුරන්නිය බාලම දියණිය කීර්තිකා නීලියා මහත්මිය ද සිනා පිරි වතිනි.
‘අනේ මේ ටික නම් කියන්නම ඕනා. මගේ පියාණන් මුත්තුස්වාමි සංගීතවේදියා ගැන සමහර පොත්පත් සඟරා ද සමහර නාලිකාවල වගේම අන්තර්ජාලය හරහාත් අදහගන්න බැරි තරමේ බොරු අසත්‍ය කතා පළකර තිබුණා. එය අපි පිළිකුලින් හෙළා දකිනවා.
‘මේ දැන් මං කියන්නෙ ඉන් එකක්. අපේ තාත්තා උපන් නිවසින් පලා ගිහින් මදුරාසියේ නන්නන්තාරව ඇවිද ගිය කතාව, ඉන් පස්සේ චිතල්කර් රාමචන්ද්‍රන් නම් වීර ප්‍රකට සංගීත අධ්‍යක්ෂවරයාගේ ගෙදර නැවතී ආවතේව කළ කතාව, එදා වාදක මණ්ඩලයට තේ සෑදීම, ආහාර පාන සැපයීම වගෙ කතා මේවා සම්පුර්ණයෙන්ම අසත්‍යයක්. වාදක මණ්ඩලයේ විවේක කාලය තුළ සැමට හොරා වයලීනය වාදනය කළාලු.
මේ අපේ ගෙදරට ම ඇවිත් සමහර නාලිකා අපෙන්ම විස්තර අහගෙන ගිහින් අප නොකියාපු බොරු දේවල් ප්‍රචාරය කළා. ඒ ගැන විමසුවාම එයාලා ඇඟ බේරාගන්න එක එක උත්තර දීලා මඟ හැරියා. මෙහෙම අපේ තාත්තා වෙනුවෙන් අපේ ගෙදරට ආව එකට. සරසවිය පත්තරයටත් ස්තූතිවන්ත වෙනවා.’ ඕ සිනාමුසු මුහුණින් යුතුව කියන්නීය.
භාරතයේ දකුණු ඉන්දියාවේ නාගුර් කෝවිල්හි පරසිදු පරපුරකට අයත් පවුලක රාමයියා භාගවදර් සහ තංගම්මා යන මවුපියනට දූ දරුවන් අතරින් දෙවැනියා ලෙසින් ද පවුලේ එකම පිරිමි දරුවා ලෙසින් ද උපන්නේ අපේ සොඳුරු කතා නායකයාය. එනම් 1926 ක් වූ ජනවාරි මස පස්වනදාය.
අපේ සොඳුරුතම කතා නායකයා හා සබැඳි ඔහුගේ පරම්පරාගත පසුබිම ද කිව යුතු යැයි හැඟේ. ඔහුගේ පියා ඉන්දියාවේ අති දක්ෂ සංගීතඥයෙකි. ගුරුවරයෙකි. ගායකයෙකි. සංගීතයම ඉස් මුදුණින් වැළඳගත් පිළිවෙළින් පරම්පරා 26කට හිමිකම් කියමින් 27 වන පරම්පරාවේ නියමුවාණන් වුයේ අපේ මුත්තුස්වාමිය. සිය පියාණන් එතුමාගේ මුල්ම ගුරුවරායාය. අපේ කුඩා මුත්තුස්වාමි වයසින් අවුරුදු පහේ දී වයලීනය වැයීමෙහි මුහුකුරා ගිය සමත්කම් පෑමෙන් පියාණන් එතුමා ශාස්තී‍්‍රය සංගීතයට යොමු කළේය. දමිළ බස මවුබස වී හින්දු භක්තිවන්තයකු ද වූ එතුමා වයසින් 10වන වියෙහි දී සර්පිනාව, වයලීනය ඈ වාදනයෙහි නිපුණ බවම ප්‍රකට කිරීම පියා ඇතුලු පරපුරේ අමන්දාන්දයට ම හේතු විය.
දියණිය කීර්තිකා නීලියා මදෙස බලාගත්වනමය. මම නිහඬවම සවන් දෙමි.
‘ඉතින්, එදා භාරතයේ අග්‍රගණ්‍ය සංගීතවේදී චිතල්කර් රාමචන්ද්‍ර නමැති වීර ප්‍රකට චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයා අපේ තාත්තාට හමුවන්නේ මදුරාසියේදී. වාදනයේහි නිපුණ අපේ තාත්තාට එහිදී අවස්ථාවක් ලැබෙනවා. ඒ එවකට ‘වන මෝහිණී’ කියන දමිළ චිත්‍රපටයේ වයලීන වාදනයට. එතැනින් අල්බේලා, අශාද්, ඉන්සානියාත්, ස්ත්‍රී ආදී හින්දි චිත්‍රපටවල වාදක මණ්ඩලයේ වයලීන වාදකයෙකු ලෙසින් එක් වුණා. එතුමාගේ සමත්කම් දුටු චිතලකර් සංගීතවේදී අධ්‍යක්ෂවරයා ගුරුහරුකම් දෙමින් ඔහුගේ සහාය සංගීත අධ්‍යක්ෂවරයා හැටියට අපේ තාත්තාව සමීපයේම තබා ගත්තා.
මේ අහන්නකෝ.. අපේ තාත්තා ඒ කියන්නෙ අපේ සීයත් හරි ලස්සනයි. ඒ සීයා තමන්ගෙ වාදක මඩුල්ලත් අරන් භාරතයේ ප්‍රභූ මන්දිරවල රජ මැදුරු වලට ගිහින් සංගීත ප්‍රසංග පවත්වල තියෙනවා. ඇත්තෙන්ම අපේ තාත්තාගෙ ඉඳල, ඒ පරපුරු මිනිස්සුගේ වන්දනා මානයට පවා පත් වී තියෙනවා. ‘රුවැත්තියක ද වන අපේ කතානායකගේ බාලම දියණිය නීලියාගේ හදෙහි තම ආදරණීය පියාණන් පිළිබඳ පිරුණු භක්තිමත් හැඟීමක් ඇතැයි ද මට සිතෙයි.
අපේ මුත්තුස්වාමි මාස්ටර් ඉන්දියාවේ රජයේ පාසලක අධ්‍යාපනය ලැබුව ද ඉගෙනුමට වැඩි නැඹුරුවක්, කුසලතාවක් පෙන්නුම් කළේ සංගීතයටය. තම එකම මුනුපුරා, තම එකම පුතු මතුදාක තම පරපුරේ විශිෂ්ට නාමය ඉදිරියට රැගෙන යනු ඇති බවට සීයාගේ ද පියාණන්ගේ ද හදවතෙහි ඇතිව තිබුණේ බලවත් විශ්වාසයකි.
තමන් සමඟ රජ සිටු මැදුරුවල සංගීතයට ගිය විට හපන්කම් පෑ තම කුඩා පුතු නරඹන්නන් ඔසවා කර මත තබා අගය කළ සැටි ද පියා බලා සිටියේය. කෙසේ හෝ මහා සංගීතඥ චිතල්කර් ගේ චිත්‍රපටවල සහය සංගීත අධ්‍යක්ෂක වුයේ අපේ මුත්තුස්වාමි මාස්ටර් හෙවත් අපේ කතා නායකයාය. එතුමා චිත්‍රපට සංගීතයට අවතීර්ණ වුයේ එලෙසය.
ශ්‍රී ලාංකික ව්‍යපාරිකයකු වූ එස්.එම් නායගම් මහතා මදුරාසියේ කලාමුර්ති නමින් චිත්‍රාගාරයක් පිහිටුවමින් දෙමළ චිත්‍රපටයක් තැනීමට සුදානම් වුයේය. එම චිත්‍රපටය ‘කුමර ගුරු’ය. මෙහි සංගීත අධ්‍යක්ෂණයට පැමිණි සංගීතවේදී නාරායන් අයියර් දැන හඳුනාගෙන නොසිටි නමුදු නායගම් මහතා විසින් නාරායන්ගේ සහායකයා ලෙසට අපේ මුත්තුස්වාමි මහතාව හඳුන්වා දුන්නේය. මේ නිසාම ප්‍රථම සිංහල කථානාද චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුව‘ නායගම් මහතා ඉන්දියාවේ නිපදවන විට සංගීත අධ්‍යක්ෂක නාරායන් අයියර් ගේ ප්‍රධාන සහායක සේම එම වාද්‍ය මණ්ඩලයේ වයලීන වාදකයා වීමේ භාග්‍යය ද හිමිකර ගත්තේ අපේ මුත්තුසාමි මාස්ටර්ය.
අපේ මුත්තුස්වාමි මාස්ටර් නායගම් මහතාගේ ඇරියුමින් ලංකාවට පැමිණියේය. සුන්දර සවුන්ඩ් නමින් ලංකාවේ චිත්‍රාගාරයක් පිහිටුවමින් එහි ශබ්ද පටිගත කිරීම, ගීත පටිගත කිරීම සහ නිත්‍ය වාදක මඩුල්ලක් පිහිටුවීමේ කාර්යභාරය ද නායගම් මහතා පවරනු ලැබුවේ අපේ කතා නායකයාටය.
නායගම් මහතා නිපද වූ ‘බණ්ඩා නගරයට පැමිණීම’ චිත්‍රපටයේ සංගීතඥ නාරායන් අයියර් ගේ සහාය සංගීත අධ්‍යක්ෂවරයා වුයේ ද අපේ මුත්තුස්වාමි මාස්ටර්ය.
දියණිය නීලියා මා හා තවමත් සුහද සංවාද යේය.
‘ඉතින්, අපේ තාත්තා ‘ප්‍රේම තරඟය’ කියන චිත්‍රපටයේ එකම සංගීත අධ්‍යක්ෂවරයා වුණා. අනේ අපේ තාත්තා ඒ චිත්‍රපටයෙන් පළමු වරට සංගීත අධ්‍යක්ෂක හැටියට ඉන්දියාවේ අන්තර් ජාතික සම්මානයට පාත්‍ර එය ඓතිහාසික සිදුවීමක් වුණා. හොඳම සංගීත අධ්‍යක්ෂ හැටියටත් අපේ තාත්තා ප්‍රථම වරට සම්මානිත වුණා.
මෙම ධ්ව්ච්ධ්ඒව් බ්ර්‍ණඋඅව්ඒඹ්ධ්ඉඊ ඒඉඉර්‍ණඛ්ධ්ඒඊධ්ර්‍ණව් ඒඹ්ඹ් ධ්ව්ච්ධ්ඒ ඛ්උඹ්ඊඋඅඒඹ් ඛ්ඒඅව්ධ්ඍඒඹ් - 1954 ඕඥඵබ ර්භඵඪජචත ච්ඪපඥජබධප 1953 ඪද ‘ර්‍ථපඥථච ඊඩචපචදඨචරච’ ලෙසින් එහි සඳහන් ව තිබිණි.
සුවහසක් රසික දනන්ගේ ආදරයටම පාත්‍රව ඉමහත් ජනපි‍්‍රයත්වයකට ද භාග්‍යවන්ත වූ මුත්තුස්වාමි මාස්ටර් පිළිබඳව එවක අග්‍රාමාත්‍ය සර් ජෝන් කොතලාවල මහතාගේ නොමඳ පැසසුමට ද බඳුන් වී භාරත දේශයේ ජනිත අපේ මුත්තුස්වාමි මාස්ටර්ට ලංකාවේ පදිංචි වී තම සංගීත දැනුම සිරි ලංකාවේ ප්‍රකට කරන ලෙසට ඇරයුම් කර සිටියේය.
“ඔව්. අපේ තාත්තාට ලංකාවේ පදිංචිවන්න නම් කොහෙත්ම අදහසක් තිබිලාම නැහැ. ඒත් අගමැතිතුමාගේ බලවත් ඉල්ලීමට අහක බලන්න තාත්තාට හිතක් තිබිලත් නැහැ. එතුමා ම තාත්තාට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය පිරිනමල තියෙනවා.’
නීලියාගේ මුහුණුවර වෙනස් වෙයි සිනා විරහිතය. මුහුණුවර මලානිකය.
‘එදා සර් ජෝන් අගමැතිතුමා තුළ අපේ තාත්තා ගැන ඇති වූ ආදරය සංවේදී හිත පසු කලෙක අපේ තාත්තා වෙනුවෙන් සමහරුන් තුළ ඇතිවුයේ නැත්තෙ ඇයි කියල අපට තාමත් හිතාගන්ඩ බැහැ. ඉන්දියාවේ නිසා ද දෙමළ නිසා ද තාම දන්නේ නැහැ.
‘අපේ තාත්තා උතුම් මනුස්සයෙක්. වෙන කාව හරි කපාගෙන තැන හදාගන්න කෙනකුත් නෙවි. මිනිසුන්ට හරි ආදරෙයි. තාත්තාගෙ මෙහෙවීමෙන් සංගීත කටයුතු කරද්දි නම් තාත්තා හරිම තදයි. ඒ තාත්තාට අවශ්‍යම විදිහට වැඩේ නුලටම කෙරෙන්න ඕන හින්දා. ඒක වාදක මඩුලුත් දන්නවා. වැරැද්දුවොත් තාත්තා ළඟට එනකොට සමහර අයට ඇඳුමෙ මුත්‍රා පවා පිටවෙලා තියෙනවා. බයටම, අනේ ඒත් තාත්තා අනුන් ඉදිරියේ කිසිම කෙනෙක්ව පහත් කරල සැර වැර දමල ඉන්නෙ නැහැ. වැරැදුණු තැන කියාදිල සංගීත භාණ්ඩයත් ටියුන් කරල කියාදෙනවා. එහෙම අපේ තාත්තාට කෙණහිලිකම් කළේ ඇයි කියල හිතාගන්න බැහැ.’ ඇය තම දෑස නැඟි කඳුළු මට රහසේ පිසගන්නීය.
සර් ජෝන් මහතාගේ නිවසෙහි පැවැති උපන් දින සාදය ද එතුමාගේ ඇරියුමින් මිහිරිමත් කළ ඔහුට මුව නොසැහෙන සේ ප්‍රශංසා කළ අවස්ථාව ඕ බිඳුණු ස්වරයෙන් කියන්නීය.
සිංහල සිනමා සංගීත ක්ෂේත්‍රය විප්ලවීය වෙනසකට බඳුන් කරවමින් මේ යුගයේ ජනකාන්තව පසුවන ගායන ශිල්පීන්, ශිල්පිනියන්. වාදකයන්, සංගීතවේදීන් රැසක්ම සිංහල සිනමා ක්ෂේත්‍රයට ජාති ආගම් භේදයෙන් තොරව හඳුන්වා දෙමින් සුභාවිත ගීතයට ලැදි සුවහසකගේ ගෞරව බහුමානයට ම පාත්‍ර වුයේ ද අපේ මුත්තුස්වාමි මාස්ටර්ය.
පේ‍්‍රම තරඟයෙන් ධර්මදාස ලතා යුවළ යුග ගායනයෙන් ඉහළට නැගුණි. ඇන්ජලින්, සුජාතා පෙරේරා (අත්තනායක) සේම වාදක මඩුල්ලෙහි එදා ඇල්බට් පෙරේරා (අමරදේවයන්) වික්ටර් රත්නායක, අත්වැල් ගායනයෙන් නන්දා මාලිනිය, මොහිදින් බෙග්, ජී.ඇස්.බී රාණි, එච්. ආර්. ජෝතිපාල, නාරද දිසාසේකර, රුක්මණී දේවි, ක්‍රිස්ටි ලෙනාඩ්, සිඩ්නි ආටිගල, අයිරින් ලියනගේ, මල්ලිකා කහවිට ආදීන් ඇතුළු තවත් බොහෝ අය මුත්තුස්වාමි මාස්ටර්ගේ ලැයිස්තුවේය.
‘අපේ අම්මාගෙ වැඩිමල් සොහොයුරා වික්ටර් විජයන්ත ෂෙනායි භාණ්ඩය වාදනය කළා. මේ දෙයත් හරිම නරකයි. අපේ තාත්තා කරපු තැටි නිර්මාණ, අපේ තාත්තාගෙ ගීත අදටත් නිසි අවසරයක් නොලබාම කළුකඩ හොර තැටි වෙළොන්දෝ ව්‍යාපාර කරනවා. ඒ තැටිවල තියෙන්නෙත් අපේ තාත්තගෙ නම එක එක නම් දාගෙන හිතුමතේ වෙළඳාම් කරනවා. ඒක හරි වැරදියි. ඒව ගැන හොයන්න බලන්නවත් අය නෑ. හරිම ලැජ්ජා නැති වැඩක්’
‘ඇත්තටම මට මගේ තාත්තගෙ නම රැකගැනීම වෙනුවෙන් ලොකු සටනක් කරන්න වෙලා තියෙන්නෙ. ඔය සන්දේශය චිත්‍රපටයෙ වගේම තවත් තැටි මං ළඟත් තියෙනවා. හරිම කනගාටුයි. පසු කලෙක චිත්‍රපටයෙ නාමාවලියෙන් පවා තාත්තාගෙ නම කපල වෙනත් නම් හදනවා. එය වැරදියි.
‘අපේ තාත්තා විජාතිකයකු නිසා පහර ගැසුවා. ඇතැම් කුහක මිනිස්සු මුත්තුස්වාමි නාමය සමහරු විකෘති කරනවා. පැහැදිලිවම අපේ තාත්තාගෙ නාමය කපා හරින්න තරම් වෙහෙසෙන කුහක මිනිසුන් ඉන්නවා. මම දිගටම සටන් කරනවා.’
ඇයගේ මොලොක් කටහඬ වේගවත්ය. ඕ නිහඬවම බිම බලා හිඳී.
සිංහල චිත්‍රපටයක් සඳහා ප්‍රථම වරට වැඩිම වාදක මණ්ඩලයක් යොදා ගත්තේ ද එතුමාය. මාතලන් චිත්‍රපටයේ වාදක මඩුල්ල සාමාජිකයන් 80කි. ගීත පටිගත කළේ මදුරාසියේ ‘වාහිණී’ චිත්‍රාගාරයේය. ‘රම්‍යලතා හී වාදක මඩුල්ල 33කි.
එවකට ලක්දිව ප්‍රමුඛ ව්‍යාපාරිකයකු වුද චිත්‍රපට නිෂ්පාදකවරයකු වූ විජයපාල හෙට්ටිආරච්චි මහතා අපේ කතා නායකයාට වහ වැටී සිටි අයෙකු යැයි කිවහොත් වඩාත් නිවැරදිය. තම ධනයෙන් හා පුරා කියා ඔහු ලංකාවට ගෙන් වූ විදුලි සර පුවරුව (කීබෝඩ්) එය අත්හදා බලන්නැයි මුලින්ම දුන්නේ මුත්තුස්වාමි මාස්ටර්ගේ අතටය. අතට ගත් සැණින් බලා සිටියවුත් මවිතයට පත් කරවමින් මාස්ටර් වැයුවේ ‘සුදට සුදේ වලාකුළයි. ගීතයේ අනුවාදනයය.
වාද්‍ය භාණ්ඩ වැඩිම ගණනක් වාදනයේහි දක්ෂයකු එදා සිටියේ නම් ඒ අපේ කතා නායකයාණෝය.
1961 දෙසැම්බර් 9 වනදා කේ.ගුණරත්නම් මහතාගේ විජය චිත්‍රාගාරය විවෘත කළෙත් අපේ තාත්තා. වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක සංගීත සපයා ඇත්තෙත් අපේ තාත්තා. ඒ නායගම් හා ගුණරත්නම් මහත්වරුන්ගේ නිර්මාණවල මට මතක නම් ටික කියන්නම්කෝ. පේ‍්‍රම තරඟය, අහංකාර ස්ත්‍රි, මාතලන්, රම්‍යලතා, සිරියලතා, නලඟන, කුරුලු බැද්ද, දරුවා කාගෙද, සිකුරු තරුව, යටගිය දවස, ඔක්කොම හරි, සන්දේශය, පුරුෂ රත්නය, ඇමතිකම, චණ්ඩියා, උතුම් ස්ත්‍රිය, සසරක හැටි, මේ වගේ චිත්‍රපට ගණනාවක තාත්තා සංගීතය මුසු කළා. සිංහල සහ දෙමළ චිත්‍රපට ගණනාවක් තියෙනවා.’ මැලවී ගිය මුහුණින් පසු වූ නීලියා සිනාසෙන්නීය.
‘මගේ මාමා හෙන්රි පෙරේරා ගැයූ මං පොඩි කලේ දැක්කට පස්සේ පුෂ්පරාණි ආරියරත්න ගැයූ පෙම් හදවත පාරවා... ආදී ගීිත සංගීතය තාත්තාගෙ.
චිත්‍රපට වලට අමතරව ග්‍රැමෆෝන් හා ගුවන් විදුලි සරල ගී වලට ද එතුමා සංගීත අධ්‍යක්ෂණය කර තිබෙයි. 1971 දී ගුවන් විදුලියේ දෙමළ වාදක මණ්ඩලයේ ප්‍රධානියා වුයේ ද එතුමාය.
‘අපේ තාත්තා පසුබිම් ගායනයට එක්වුණේ ‘නළඟන’ චිත්‍රපටයෙන්. ඉන් පස්සේ සිතක මහිම, වහල් දූපත, අල්ලපු ගෙදර, සත පනහ, ගොපලු හඬ, ඔක්කොම හරි ආදී තවත් චිත්‍රපටවලට සංගීතයෙන් තාත්තා සම්බන්ධ වුණා’
මා සමීපයේම පසුවන දියණිය නීලියාගේ හා මගේ පිළිසඳරට නිහඬවම සන්සුන්ව සවන් යොමා හුන් අපේ කතා නායකාගේ බිරිඳ නීලියා පෙරේරා මැතිනිය දෙස බැලීමි. ඕ අවිහිංසකව සිනා වුවාය.
‘මගේ මහත්මයා හරිම තැන්පත්. එයා දෙවියන්ට බුදුන්ට පවා භක්තිමත් හින්දු භක්තිකයෙක්. මම කොළඹ විශාඛා විද්‍යාලයේ තමා ඉගෙන ගත්තේ. ‘මට මහත්මයා පුදුම ආදරයක් තිබුණා. එයාගෙ හැම දේකදිම මම උපරිමයෙන් එයාට කැපවුණා.’
ඕ තොමෝ බිම බලා සිටින්නීය. නෙනඟ නැඟී කඳුළක් සිය උපැස් යුවළ මුහුණින් ඉවතට ගෙන පිසදා ගත්තාය.
එතුමාට හොඳ කනක් තිබුණු බව ඕ කීවාය.
බමුණුආරච්චිගේ දෝන නීලියා පෙරේරා මහත්මිය ද සංගීතයට ඉතා ප්‍රියය. ඇයගේ පියා ද අපේ මුත්තුස්වාමි මාස්ටර්ගේ කුසලතාවනට ආශක්තව පසු වූ අයෙකි. හේ ප්‍රකට කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ බී.ඩී. පෙරේරායි. අපේ මාස්ටර් සමඟ සමීප සබඳතාවක් ද ගොඩනැඟී තිබිණි.
දෛවෝපත සිදුවීමක් ලෙසින් නීලියා පෙරේරා දියණිය තම පියාගේ ද අවසරය මත ඕ යුවතියකව සිටිය දී තම අනාගත ප්‍රේමණීය සහකරුවා මොහු බව නොදැනම ඔහුගේ සර්පිනාවට ගීතයක් ගායනා කළාය.
‘හමන සිසිල් සුළඟ නටයි. එකට හැපීලා.
ගුවන් තලේ නඳුන් වනේ බිමට වැටීලා.’ එම ගීතයය.
එදා එතුමාගේ සර්පිනා වාදනයට ගැයුම් හඬ මුසුකළ අපේ කතා නායක මුත්තුස්වාමි මාස්ටර් සමඟ අතිනත ගත්තේ මා හමුවේ පසුවන නීලියා පෙරේරා මැතිනියය. එනම් 1961 ක් වු නොවැම්බර් මස 8 වනදාය.
ආගම් දෙකකි. එතුමා දෙමළ ජාතිකයෙකි. බෞද්ධාගමික පරිසරයකට නතුව ප්‍රභූ පැලැන්තියකට හිමි නීලියා මැතිනියගේ විවාහය යම් යම් විරසක බාධක මධ්‍යයේ සිදු වුවද ඒ නොහොඳ නෝක්කාඩුකම් පහ වී දෙපාර්ශ්වය අතර නොබිඳෙන තරමේ බැඳීමකට ලක්වුයේ එම දෙපළගේ වැඩිමහල් එකම පුත්‍රයා වන මෝහාන් රාජ් උපතත් සමඟිනි. මෝහාන් රාජ් ද තම පියා ගත් ගමන් මඟ පියවර නඟා අප්සරාස් නම් ප්‍රකට වාදක මඩුල්ලේ නියමුවා ලෙසින් ද ගායකයකු ලෙසින් ද මේ වනවිට රසික දනන්ගේ ආදරයට ම පාත්‍ර වී සිටී.
අපේ කතා නායකයාට මොහාන් රාජ් පුතු සමඟ චිත්‍රාංගි, ප්‍රසන්නි වධනී දියණියන් සමඟ මා හා කතා කරන කීර්තිකා නීලියා ද එතුමාගේ බාලම දියණියය.
දියණිය නීලියා සුසුමක් හෙළුවාය.
‘අපේ තාත්තා හරිම නිහඬ කෙනෙක්. කතාව නම් හරිම අඩුයි. නිර්මාණවල යෙදෙන කොට භාවනාවක වගේ. එදා ඉතින් තාක්ෂණය දියුණුවකුත් නැහැනේ. ඒ හින්දා කරන වැඩේ හරියටම කරන්න සියවරක්වත් මහන්සි වෙන්න වුණා. ඔය සන්දේශය කරද්දිත් එහි ගීත අපේ තාත්තා තමයි ඉන්දියාවට ගිහින් නිසි විදිහට කරගෙන ආවෙ. ඒ තරම් කැප වී වැඩ කරන තාත්තට ඇතැමුන් කළ කෙනහිලිකම් ඉවරයක් නැහැ. ඒ වුණත් තාත්තා ඒ කා ගැනවත් වෛරයක් තරහක් හිතේ තියන් උන්නේ නැහැ.’
‘අප්පේ ඒ දවස්වල මං පුංචියිනෙ. අපේ ගෙදර චිත්‍රපට නිෂ්පාදකවරු පෝලිමේ. හැබැයි වැඩක් මාස ගණන් කල් අදින සිරිතක් තාත්තා ගාව නැහැ. බොහෝ විට අනේ රෑ නිදිවරලා එළිවෙලා ගෙදරට එන්නෙ. ගෙදරින් පිටව යද්දි අපේ අම්මා අපේ තාත්තාට වඳිනවා. තාත්තා රෑ නින්දට යද්දිත් අපේ අම්මා දණ ගහල වඳිනවා. අපේ තාත්තා සිංහල හා දෙමළ චිත්‍රපට 225කට විතර සංගීත නිර්මාණය කළා. ‘ඇත්තම කියනවා නම් තාත්තා එක්ක එකට හිටපු එකට වැඩ කරපු අයත් කෙණහිලිකම් කළා. අසාමාන්‍ය දක්ෂතාවක් තාත්තාට තිබුණ නිසයි සමහරු තාත්තාට වෙනස්කම් කළේ කියා අපි දැනගෙන ඉන්නේ.’
ඇයගේ දැස කඳුළට බරය. එය සඟවා ගන්නට ඕ හදිසියේ නැගිට ඉවතට යයි. අපි තව මොනව හරි බීලා ඉමුදැයි අසමින් යළි පැමිණ අසුන් ගනියි.
‘අල්ලපු ගෙදර චිත්‍රපටයෙ ‘පියාසලන ඉගිල්ලී’ ගීතයට බෙග් මාස්ටර් සම්මානිත වුණත් එහි සංගීතය නිර්මාණය කළ මුත්තුස්වාමි මාස්ටර් මුකුත්ම ලැබුණේ නැහැ. තාත්තා පසුකාලීනව ක්ෂේත්‍රයේ ඇතැමුන්ගේ ක්‍රියාකලාප අනුව හරියට දුක්වුණා. ගෙවීම්වලට ගිවිසුම් ගහලත් මුදල් නැති වු අවස්ථා තියෙනවා. බොහෝ අය වැඩ ගත්තාට මුදල් දුන්නේ නැහැ. නිෂ්පාදකවරුන් තාත්තාව සොයාගෙන ඇවිත් සංගීත අධ්‍යක්ෂණය කරන්න කියලා. වෙනත් සංගීත අධ්‍යක්ෂකවරුන් නම් කරල එයාලත් එක්ක බෙදාගෙන කරන්න කියලා කියපු අවස්ථා තියෙනවා. තාත්තාගෙ හිතේ කහටක් නැහැ. බෙදාගෙන වැඩක් කරන්න වුණත් තාත්තා කැමැතියි.’
‘අහන්නකො... අපේ අම්මත් ගායිකාවක් වුණේ කුªරුලු බැද්ද චිත්‍රපටයෙන් රෙකෝඩින් දවසෙ ඇන්ජලින් මහත්මිය ආවෙ නැහැ. අපේ අම්මාට ඒ අවස්ථාව ඉබේම ආවා. ඒ දවස්වල අපේ අම්මා නැටුම් කළේ. අම්මගෙ කුසලතා හඳුනා උන්න අපේ සීයා. අම්මාගෙ තාත්තා හැමදේම උගන්වන්න වෙහෙසුණා. හීන් බබා ධර්මසිරි ගුරුතුමා ළඟටයි අම්මාව එක්ක යන්නේ. එස්රාජ් වාදනය එඩ්වින් සමරදිවාකර ගුරුතුමා යටතේ කළේ පාසල් සමයේ නෙට්බෝල් ටීම් එකෙත් කැප්ටන් තමා අපේ අම්මා.’
නීලීයාගේ දීප්තිමත් දෙනෙත් සතුටින් පොපියන්නාක් මෙනි. ඇත්තෙන්ම ඕ ඉහවහා ගිය සතුටකිනි.
‘අපේ අම්මාගෙයි තාත්තගෙයි බැඳීම හරිම ආදර්ශවත් අප විශ්වාස කරන ලොකුම දේ නම් අප ඔක්කෝම එකතුව මේ යන්නේ සංසාරගත බැඳීම් එක්කලම ගමනක්, අම්මා තාත්තා වෙනුවෙන් සැදී පැහැදී උන්නෙ. බෙදීම්වලට වඩා බැඳීම් උතුම් කියන එක අපේ ගෙදර නිතර පෙනුණු දෙයක්. තාත්තා නිතර කීවෙත් මේ ටිකමයි.
‘අපේ තාත්තාගෙ ඒ පවුලේ එකම පිරිමි දරුවා අපේ තාත්තා. තාත්තාගෙ පුතත් පවුලේ එකම පිරිමි දරුවා. ඒ අපේ අයියා මොහාන් රාජ්. අයියා මොහාන් රාජ්ටන් ඉස්සරහට එන්න දෙන්නෙ නැති තත්ත්වයක් පේනවා. හරියට අපේ තාත්තාට කළ කෙණහිලිකම් වගේ, 1962.9.27 දා තමයි මොහාන් රාජ් අයියා ඉපදුණේ, පවුලක පිරිමි දරුවා වැඩිමල් වුණාම පරපුර ගෙනයාමට හරි අගෙයි. ‘තාත්තාගෙ ප්‍රතිරූපයම අයියාට එහෙමම පිහිටලා තියෙනවා. කොහොම හරි මොහාන් රාජ් අයියාගෙ උපතත් එක්ක සිද්ධ වුණ වැදගත්ම සිදුවීම අම්මාගෙ පාර්ශ්වයයි. තාත්තාගෙ පාර්ශ්වයයි අතරේ තිබු දුරස් බව නැත්තටම නැතිවෙලා ගිහින් එකම දම්වැලක පුරුක් වගේ තද බැඳීමකට මුල පිරීම.
‘අපේ අම්මාගෙ පවුලේ එකම දුව අපේ අම්මා. තාත්තා ඉන්දියානු කෙනෙක් නිසා හැමදේකින්ම වගේ අපේ අම්මාට සිද්ධ වුණා තාත්තගෙ පැත්තෙ විදිහටම හැඩ ගැහෙන්න. සිංහල බුද්ධාගමේ තරුණියන් දෙමළ හින්දු ආගමික පරිසරයකට හැඩගැහෙනවා කියන්නෙ ඒ ඉවසීම හැදියාව අම්මා ළඟ තිබුණු නිසාම ඒ ඈයො අම්මාට තදින් ළංවුණා. කොහොම හරි ඉතින් තාත්තාට වගේම අපේ අම්මටත් දෙමළ බස ලිවීම කතා කිරීම වතුර වගේ කොටින්ම අම්මත් ඉන්දියානු කාන්තාවක් වගේම වුණා. අම්මයි තාත්තයි පන්සල් ගියා. තාත්තාට හරිම හිතවත් කොළොන්නාවෙ සෝමාලංකාර හිමියන් තමා අපේ කේන්දර බලන්නෙ නම් දමන්නෙ.
‘තාත්තා ලොකු ඇසුරක් තිබ්බා සිංහල අයත් එක්කල. සිංහල අයට ආදරෙයි. එහෙම කාලෙක තමා අපි ඉපදුණේ. අපේ තාත්තාට ඔය ආගම් භේද කියල දේකුත් තිබුණෙම නැහැ. අයියා අවුරුදු 12 ඉඳලාම දක්ෂකම් පෙන්වන්න ගත්තා. අම්මා තමයි අයියාව සංගීතයට යොමු කළේ. හොඳ කනක් තියෙනවා අයියාටත්.’
නීලියා සිහින් අත්පුඩියක් තලමින් අසුනේ හරි බරි ගැහෙමින් සිනාපහළ කරන්නීය.
‘ඔන්න මෙහෙම දෙයකුත් වුණනෙ. අයියා ඉගෙන ගත්තේ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයෙනෙ. උත්සවයක් තිබුණා. පූජකතුමන්ලා අයියාටත් ආරාධනා කළා කියමුකෝ. ඔන්න ඉතින් අපේ තාත්තාත් දුරකින් ඉඳලා තියෙනවා. අයියව පෙනිල නැහැ. දැන් ඔන්න අයියා ප්ලේ කරනවා හොඳේ. ඔන්න අපේ තාත්තා අහල තියෙනවා ෆාදර්ගෙන් අර දක්ෂ විදිහට වයන දරුවා කවුද කියලා. ෆාදර් කියල තියෙනවා ඒ වෙන දරුවෙක් නෙවි මාස්ටර්ගෙම පුතානෙ කියලා. (ඕ සිනාසෙන්නීය) අනේ අපේ තාත්තාට සතුට දරා ගන්න බැරිකමට වෙන්නැති. අපේ තාත්තා දුවල ගිහින් අපේ අයියාව බදාගෙන වර්ණනා කරලා තියෙනවා. මේ අයියම තමා අප්සරාස් වාදක කණ්ඩායම හැදුවෙත්.
‘සමහර අයගෙ දරුවෝ වගේ අයියාට තාත්තාගෙ නිර්මාණවලින් ජීවත් වෙන්න නම් වුවමනා වුණේම නැහැ. රට රටවල ප්‍රසංග කළා. සිංහල හින්දු දෙමළ අයගෙ ආරාධනා වලටත් ගියා. තාත්තගෙ ගීත රසිකයෝ ඉල්ලුවාම අයියා ගායනා කරනවා. අයියාට තාත්තාගෙ ආශිර්වාදයත් ලැබුණා. පසුකලෙක අයියා එක්ක තාත්තත් රූපවාහිනී වැඩසටහන් වලටත් එකතු වුණානෙ. අපිත් ඒව බලන්න ගියා. 1971 දී තාත්තා ගුවන් විදුලියෙ වාදක මණ්ඩලයෙ ඔකෙස්ට්‍රා ලීඩර් හැටියට හිිටියේ. පසුව තාත්තා විශ්‍රාම ගියාට විශ්‍රාම වැටුපක්වත් තාත්තාට ලැබුණෙ නැහැනෙ. චිත්‍රපටවලට අමතරව ග්‍රැමෆෝන් තැටිවලට වගේම ගුවන් විදුලි සරල ගී වලටත් තාත්තා සංගීතය සැපයුවා. අපේ තාත්තාට භාණ්ඩ ගණනාවක්ම වාදනය කිරීමට ඇති හැකියාව ගැන නම් කවුරුත් දන්නවා.
‘කවුරු කෙණහිලිකම් කළත් අපේ තාත්තාට හරසර පුද දුන් අය නම් වැඩියි. මධුරයාමේ, මගෙ දෑසම පියවී උන්නේ, ගිලුණා සෝක ගඟේ... ආදී තාත්තා ගැයු තවත් ගීත ගොඩාක් ජනපි‍්‍රය වුණා. තාත්තාට වෙලාවට කෑමත් නැතිවුණා. මේ අතරේදී තාත්තා දියවැඩියාව රෝගයටත් ගොදුරු වුණා. පසුකලෙක දැඩි කලකිරීමෙන් තාත්තා ජීවත් වුණේ. ගෙදරටම වෙලයි තාත්තා උන්නෙ.’
අපේ සොඳුරු කතා නායක මුත්තුස්වාමි මාස්ටර් ගෙදර ගත කරනා කාලය අතිශයින්ම එතුමාට සුවය දනවන්නක්ම විය. එතුමා ඉඳහිට තම උපන් බිම ඉන්දියාවට ගොස් පැමිණියේය. පරම්පරාගත සංගීත කීර්තිනාමයට තවත් වටිනාකම් එකතු පහදු කරලන්නට එතුමා සමත් වුයේය.
‘අපි අපේ තාත්තා වෙනුවෙන් අපේ පවුලේ අයත් එක්ව ලංකා කලා පදනම සමඟ එල්ෆින්ස්ටන් රඟහලේ උපහාර උලෙළවල් පැවැත්වුවා. හැමෝටම අපේ තාත්තාව අමතකයි වගේ. දෙවන උපහාර උත්සවය ඕ.ර්.ධ්.ඛ්.ඩ් එකේ කළා. අයි.ටී.එන්. අනුග්‍රහයෙන්. එයට මුල්වුනේ එවක රජයේ චිත්‍රපට සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ජයන්ත ධර්මදාස මහත්මයා.
‘ඇත්තම කියන්නම්. අප හැමෝම අසරණ වූ සමයකුත් තිබුණා. ඒ කාලෙ අපි රාජ්‍ය නායක නායිකාවනට ලිපි මඟින් තත්ත්වය පැහැදිලි කළා. තාත්තා නමින් කිසිදු දෙයක් අම්මාටවත් ලැබුණේ නැහැ. කියලත් ලියුවා. ඒවා අදාළ අයට ලැබුණා ද නැද්ද දන්නෙත් නැහැ. අපේ අම්මාට ඔය තැන තැනට මේවා කිය කියා යන්නට කැමැත්තක් තිබුණෙත් නැහැ. කොහොම හරි අපේ අම්මා ජයන්ත ධර්මදාස මහත්තයාට දුරකතනයෙන් කතා කළා. අනේ එතුමාගේ සංවේදී හිතක් කලකට පසුව මිනිසුන් අතරින් අපට හමුවුණා. එන්න කීවාම අපි ගියා. එතුමා තමයි බණ්ඩාරනායක සමරු රඟහලේ තාත්තාට උපහාර පිදීමේ උත්සවයට මුල් වුණේ. ඒ වගේම එතුමා අපට බොහෝ උදව් කළා. තාත්තා වෙනුවෙන් එතුමා විතරයි අපට උදව්වට හිටියේ. අපේ අම්මා අදත් මා ළඟ. අම්මාව අපිට වැඩි නැහැ. අපේ පවුලේ කවදාවත් බත් හැලි හතරක් ළිප තියලා නැහැ. මේ අම්මාගෙ මහගෙදරනෙ.
කීර්තිකා නීලියා පුන පුනා කීයේ තමන් සැම සමඟ තම පියාණන් අදටත් ඉන්නා බවමය. එතුමා ගේ ආශීර්වාදය එදා මෙන්ම අදටත් හිමිවන බවමය. අපි ඉන්නා තුරු තාත්තගෙ ගෞරවය නාමය පණ සේ ආරක්ෂා කරනවා. අපේ තාත්තාට නිගරු වන නොදන්න දේවල් ලියන්න එපා කියන්න. අපට ඒකත් ලොකු උදව්වක්. විකෘති කරල ලියපු අය කර තිබෙන්නෙ බරපතළ වරදක්. කියන්න තියෙන්නෙ අපේ තාත්තා අදටත් ජීවමානයි. ඉන්නා තැනෙක ඉඳන් අපි දිහා බලා ඉන්නවා. ඇත්තමයි.’
අපේ ආර් මුත්තුස්වාමි නම් මහා සංගීතඥයාණන් සිය ජන්ම ගත නිකැළැල් ප්‍රතිභාව පසක් කරවමින් කලාශූරී, දිපශිඛා, සරසවි, ඕ.සී.අයි.සී. ඇතුළු සම්මාන රැසකින්ම සම්මානිත වුයේ ය. එතුමා හුදකලාවම නිවසේ සිට තමන් පැමිණි ජයග්‍රාහී මඟ දෙස ආපහු හැරී බලා පවුලේ අය හා නිවසට පැමිණෙන හිත මිතුරන් සමඟ සතුට බෙදා ගත්තේය.
මේ වන විට එතුමා වරින් වර රෝගාතුර වෙයි. දියවැඩියාව ද උත්සන්න වෙයි.
හදිසියේම එතුමාගේ නිවහනට එතුමා සොයා පැමිණියේ විජය කුමාරණතුංගයන්ය. ඉන් අපේ කතානායකයා විමතියටත් ඉමහත් සතුටටත් පත්ව ගියාසේය.
‘මුත්තුස්වාමි මාස්ටර්. මම ඔබතුමාවම හමු වෙන්නමයි මේ ආවේ. ඔහොම ගෙදරටම වෙලා ඉන්න ඕන කෙනෙක් නෙමෙයිනෙ. රටට ගොඩක් දේවල් දුන් කෙනෙක්. අප ඒ හින්දා ආයෙත් වැඩ පටන් ගනිමු.’ විජයගේ අත එතුමා අතින් තවමත් මිදුණේ නැති.
‘මම සමාව කියල චිත්‍රපටයක් කරන්න ලෑස්තිව ඉන්නේ. ඒකට මට ඔබතුමාගේ සංගීත අධ්‍යක්ෂණය ඕනෙ හැමදේම මං බලාගන්නම්.’
විජය පිටව ගියේ එතුමාට තම නිවසට කෑමකට එන්නැයි ආරාධනයක් ද කරමිනි.
නියමිත දිනයේ එතුමා එහි ගියේය. එදා ඒ කෑම මේසයේ විජය සමඟ චන්ද්‍රිකා මැතිනිය ද එතුමාට සමීපව හිඳ සුහද කතාබහෙන් පසුවුවාය. එතුමාගේ අපරිමිත සතුට ද ‘සමාව‘ චිත්‍රපටයට එකතු වන්නට ලැබීමය. ඒ විජයගේ දයාබර මිත්‍රත්වය ද මතය.
දැන් අපේ මාස්ටර් නව පණක් ලද්දකු මෙනි. නිතර කතාව බිරිය නිලීයා සමඟ අලුත් චිත්‍රපටය හා විජය ගැනමය. විජයගෙන් ඇමතුමක් ලැබිණි.
‘මාස්ටර් මං විජය. මේ 17 දා අනිද්දා නාරාහේන්පිට ස්ටුඩියෝ එකේ වොයිස් රොකෝඩින් කරන්න කතා කරගන්න.’
ඒ කිවේ 15 වනදාය. විජයගේ ගුණම කියමින් පසු වූ අපේ මුත්තුස්වාමි මාස්ටර්ට පසුදා අසන්නට ලැබුණු පුවතකින් කම්පිතව ගියේය. තමන් සහ තම එකම පුතු මොහාන් රාජ් ද සමඟ එක්ව විජයගේ චිත්‍රපටයට සංගීත අධ්‍යක්ෂණයේ සිහිනය සුනු විසුනුව බිම පතිත වනුු දුටුවේය. එතුමා කෑගසා ගෙතුළ දෙවනත් කරමින් හඬා වැටුණේය. දෑතින් මුහුණ වසාගෙන කුඩා දරුවකු සේ හඬන්නට වන්නේය. විජය කුමාරතුංගයන් ඊට පෙර දින 16 දා සාහසිකයකුගේ වෙඩි පහරකට ගොදුරු වුයේය.
එතැන් සිට අපේ කතා නායක බලාගත් අත බලාගත්වනමය. නිහඬවමය. ඔහු කෝමා තත්ත්වයක බව වෛද්‍යවරු කීහ. පියවී සිහිය ලබන්නේ ආපසු නිහඬවම පසුවන්නේය. ගෙතුළ තිබු සිරියාව සතුට උඩුයටිකුරුව ගියාසේය.
එතුමා බලවත් සේ රෝගාතුර වුයේය. දරුවන් ගැන බියක් ද හිත දැවුණේය. සුරංගනාවියන් තම සුරූපී දියණියන් තිදෙනා එක්ක සෙල්ලම් කරමින් ඉන්නවායි කියමින් දුටු සිහිනයක් ගැන ද එතුමා තම සමීපයේම පසු වූ මිතුරකුට වචන අමාරුවෙන් ගළපා කියාගත්තේය.
එතුමා අසාධ්‍ය වුයේය. වහා පවුලේ අය එක්ව රෝහලකට රැගෙන යන්නට කටයුතු කෙරිණි. දියණියක වන චිත්‍රාංගි දෙස බැලු එතුමා ‘දුවේ ඔයාටත් මට ලැබුණා වගේ ප්‍රසිද්ධ දක්ෂ පුතෙක්ම ලැබෙන්න ඕනා.”
තම පියාගේ වදනින් චිත්‍රාංගි දියණිය හැඬුවාය.
තව තවත් අසාධ්‍ය තත්ත්වයටම හැරිණි. රියක් පණ ගැන්විණි. අපේ මාස්ටර් අසල ඥාතින් කිහිප දෙනෙකුද රිය තුළය. එතුමා සමීපයේම පසු වූ ඥාතිවරයාට කෑ ගැසිණි. රිය ද නැවතිිණි.
ඒ වන විට අපේ මුත්තුස්වාමි ශූරීන්ගේ හිස පහතට කඩා වැටී තිබිණි.
නීලියාගේ දෑස රත්පැහැ වී තියේ. බොහෝ වේලාවක් තිස්සේ හැඬු සේ මුහුණ කියාදෙයි. ඈ නෙත කඳුුළු මම දුටිමි.
‘මල් ශාලාවෙන් එනතුරු තාත්තගෙ ඇඟිලි ගැටගහල තිබුණෙ. මට තවමත් මැවී පේනවා වගේ අපේ තාත්තගෙ ඇඟිලි ගැට ගහල තිබුණට මං දැක්කෙ තාත්තා හුස්ම ගන්නව ගන්නව වගේමයි. තාත්තා මැරුණත් අපේ හිත්වලින් නම් මැරෙන්නෙ නැහැ.’ යි බිඳුණු හඬින් කී නීලියා වහා දෑසේ කඳුළු පිසදාගත්තාය.
භාරතයේ ඉපිද සිය ප්‍රතිභා මහිමයෙන් රාජ්‍ය නායකයකුගේ ආරාධනයෙන් ලංකාවේ පුරවැසි බව ලබා සිංහල සිනමාවේ මුල් යුගයේ සිට නොනිමි මෙහෙවරක යෙදුණු අපේ සොඳුරු කතානායක ආර්. මුත්තුස්වාමි නම් පරිණත සංගීතවේදියාණෝ අවුරුදු 62ක් ආයුෂ වින්දනය කරමින් 1988 ක් වූ ජුනි මස 27 වනදා අදරැති සුවහසක් රසික දනන්ගේ නෙත් කඳුළට බර කරවමින් යළි අවදි නොවනා නින්දකට වැටුණේය.