අමතක නොවන චරිත ඉතිරි කොට සමුගත් බුද්ධි

රඟපෑ චරිත අදටත් ප්‍රේක්ෂකයන්ගේ මතකයෙන් ගිලිහී නැහැ
ජනවාරි 12, 2023

 

වේදිකාවේත් සිනමාවේත් ටෙලි නාට්‍ය කලාවේත් කුසලතා පූර්ණ ප්‍රතිභාවක් විදහා පෑ රංගවේදියකු වූ බුද්ධි දයාරත්න වික්‍රම මහතා රසික සිත් තුළ මතකය පමණක් ඉතිරිකොට ඉකුත් 05 වැනිදා ජීවන රඟමඩලෙන් සදහටම බැස ගියේය. කලක පටන් අසනීප තත්ත්වයෙන් පසු වූ ඒ මහතා මියයන විට අසූ තුන්වන වියේ පසුවිය. හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බුද්ධි වික්‍රමගේ අවසන් කටයුතු ඉකුත් 06 වැනිදා පන්නිපිටිය සුසාන භූමියේදී සිදුකෙරිණි.

1939 ජනවාරි 19 වැනිදා ගාල්ලේ හීනටිගල දී උපත ලැබු බුද්ධි, හීනටිගල සාරිපුත්‍ර විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය ලැබීය.

සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනි දරුවා ලෙස උපත ලැබූ බුද්ධි පාසල් සමයේදීම මහාචාර්ය විනීවිතාරණ නිෂ්පාදනය කළ අවුරුද්ද වේදිකා නාට්‍යයේ රඟමින් කලා ක්ෂේත්‍රයට මුල් වරට එක්විය.

පාසල් සමයෙන් පසුව 1959 දී මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිර්මාණකරුවකු ලෙස සේවයට එක්විය. මේ කාලයේ ඔහුට ධම්ම ජාගොඩ, සැන්ටින් ගුණවර්ධන, ෂෙල්ටන් ද සිල්වා, මර්වින් ජයතුංග වැනි එවක නාට්‍ය කලාවේ පෙරළිකාරයන් රැසක් හඳුනාගන්නට ලැබීමත් සමඟ බුද්ධි නාට්‍ය කලාවට එක්විය.

ජී.ඩී.එල් පෙරේරා ආරම්භ කළ කලාපෙළ නාට්‍ය කණ්ඩායම හා එක්වන බුද්ධි වික්‍රම 1962 දී ජී.ඩී.එල්. පෙරේරාගේ මඟුල් මතේ වේදිකා නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට එක්විය. ඉන්පසු විවිධ නාට්‍ය කරුවන්ගේ අන්දරේ, පරස්තාව, කාමරේ පොරේ, ජනේලය, තොටුපළ, මෙහෙව් ලෝකයක්, කෝන්තරේ, මනරංජන වැඩ වර්ජන, හොටබරි යුද්දේ, අපායේ අවුරුදු, ශ්‍රී වික්‍රම වැනි වේදිකා නාට්‍ය රැසක රඟපෑවේය.

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රැකියාවෙන් පසු පිඟන් භාණ්ඩ සංස්ථාවේ සේවයට එක්වන බුද්ධි වික්‍රම කලක් එහි සේවය කොට එයින් ඉවත් වන්නේ රංගනයත් කලාවත් එකවිට කරගෙන යාම අපහසු නිසාවෙන්ය. ආර්.ආර්.සමරකෝන්ගේ දුවිලි වේදිකා නාට්‍යයේ අවසන් වරට රඟපෑ බුද්ධි වඩාත් ජනපි‍්‍රය තලයේ වැජඹෙන්නේ 1962 - 2016 අතර කාලයේදීය. සිනමාවේ වේදිකාවේ, පුංචි තිරයේ ජනපි‍්‍රය නළුවකු වූ බුද්ධි ජනතා සම්මානයට පාත්‍ර වූ නළුවෙක් විය. තාරාදේවි, දූ දරුවෝ, සුසීමා, අඹ යාළුවෝ, බව තරණය, රූපවාහිනී නාට්‍ය බුද්ධිගේ ඒ ජනපි‍්‍රයත්වයේ සන්ධිස්ථාන විය.

1964 ජී.ඩී.එල්. පෙරේරාගේ සාමා චිත්‍රපටයෙන් සිනමාවට එක්වන බුද්ධි සැඩොල් කඳුළු, වැලිකතර, හාර ලක්ෂය, දහසක් සිතුවිලි, තරණය, අම්මේ ඔබ නිසා, අන්තිම රැය, චක්‍රායුධ, තරංගා, රෝමියෝ ජුලියට් කතාවක් ආදී චිත්‍රපට රැසක චරිත නිරූපණය කළේය. ඒ අතර විලේජ් බයි ද සී, වෝටර් ගුඩ් මැරේජ්, ද ග්‍රේටස්ට් ගිෆ්ට් වැනි විචාරත්මක පැසසුම් ලද විදේශීය චිත්‍රපටවල ද රඟපෑවේය.

ජනපි‍්‍රය චරිත රැසක් සිනමාව තුළ නිරූපණය කළ බුද්ධි වැලිකතර චිත්‍රපටයේ ගෝරිං, මුදලාලිගේ මිතුරෙකු ලෙසින් ද හාර ලක්සෙ චිත්‍රපටයේ මං කොල්ල කාරයකු ලෙසත් රඟ පෑ චරිත අදත් සිනමා පේ‍්‍රක්ෂකයන් අතර මතකයෙන් ගිලිහී නොමැත.

ලුෂන් බුලත්සිංහල අධ්‍යක්ෂණය කළ එක මවකගේ දරුවෝ ටෙලි නාට්‍ය තුළින් පුංචි තිරයට එක් වූ බුද්ධි, ඉන්පසු දූ දරුවෝ, කුමාරිහාමි, තාරාදේවි, ගම්පෙරළිය, අඹ යාළුවෝ, සුසීමා, හිරුට මුවාවෙන් ආදී ටෙලි නාට්‍ය රැසක චරිත නිරූපණය කළේය. බුද්ධි වික්‍රමට අනන්‍ය වූ රංග ශෛලියක් තිබුණි. පුංචි තිරයට පැමිණීමත් සමඟ වඩාත් ජනපි‍්‍රය වූ ඔහු චරිතාංග නළුවකු ලෙස ඔහුට ලැබෙන ඕනෙම චරිතයක් සඳහා ප්‍රවිශ්ටවීමට අපුරු දක්ෂතාවක් ඔහු සතු විය. දෙබස් උච්චාරණය හා කටහඬ ඔහුගේ චරිත නිරූපණයේදී විශේෂ විය. ඒ නිසාම ඔහුගේ රංගනය ද අනෙකුත් රංග ශිල්පීන් අතර කැපී පෙනෙන්නට විය.

වේදිකාවෙන් ලද පරිචය නිසාවෙන්, සිනමාවට ටෙලි නාට්‍ය කලාවට පැමිණිම හේතුවෙන් ඔහුත් සමඟ වැඩ කිරීම අධ්‍යක්ෂවරුන්ට පහසුවක් විය. තම රංග ප්‍රතිභාව තුළින් පේ‍්‍රක්ෂක හදවත් සලල කිරීමට බුද්ධි සමත්විය. සානුකම්පිත චරිත තුළින් පුංචි තිරය තුළ ප්‍රතිනිර්මාණය කළ ඔහුගේ රංග ප්‍රතිභාව පේ‍්‍රක්ෂකයන්ගේ දෙනෙත සමහර අවස්ථාවලදී කඳුළින් තෙත් කිරීමට සමත්විය. සැබෑ ජීවිතයේදී ඉතා නිහඬ ජීවිතයක් ගත කළ බුද්ධිගේ වචන උච්චාරණය පවා නිසැකවම පේ‍්‍රක්ෂක හදවත් ග්‍රහණය කරගැනීමට සමත්විය. වේදිකාව, සිනමාව, රූපවාහිනිය තුළින් ඔහු සැමවිටම නැවුම් චරිතයක් හා බද්ධ වී කලඑළි බැස්සේය.

ගුණාත්මක නිර්මාණ තුළින් කවදත් පේ‍්‍රක්ෂකයන් අතරට ආ බුද්ධිට හදිසියේ පැමිණි රෝගාබාධ නිසාවෙන් රංගනයට විරාමයක් තබන්නට සිදුවිය. 2013 වසරේදී ඔහු බයිපාස් සැත්කමකට පවා භාජනය විය. ඒ නිසාම බුද්ධි 2016 වසරේ රඟපෑමෙන් ඉවත් විය. ඒ නහර ගැට ගැසී දෙපා අක්‍රිය වී නැවත අසනීප වීමට පටන් ගත් හෙයිනි. වසර පහක පමණ කාලයක් තිස්සේ මෙම තත්ත්වය කෙමෙන් කෙමෙන් වර්ධනය වෙමින් පැවති අතර වසර තුනහමාරක පමණ කාලයක් රෝද පුටුවට සීමාවන්නට ඔහුට සිදුවිය.

බුද්ධි වික්‍රම පිගන් සංස්ථාවේ සේවය කරන සමයේ එහිදී හඳුනාගත් අයිරාංගනී වන්නකු කෝරාල මහත්මිය සමඟ 1975 දී විවාහ වූ අතර ඔවුන් දෙපළ ගේ එකම දියණිය වුයේ කුෂ්ලානිය.

කුමාරිහාමි ටෙලි නාට්‍යයේ මෝසස්ට, තාරාදේවි ටෙලි නාට්‍යයේ සිරිසේනට, අඹ යාළුවෝ ටෙලි නාට්‍යයේ කැන්ද ලන්දට අසීමිතව ආදරය කළ බුද්ධි වික්‍රම අද අප අතරින් නික්ම ගොස් ඇත. පේ‍්‍රක්ෂකයන් හැටියට එම චරිත අප අතරට එක්කළ බුද්ධි වික්‍රම කිසිදා අමතක නොවනු ඇත. පුංචි තිරය, වේදිකාව, මෙන්ම සිනමාව තුළ ද මතක හිටින චරිත බොහොමයක් ඔස්සේ ඔහු කළ කී දෑ අදත් අප අතර ඉතිරිව ඇත. ඒත්... ඒ සෑම චරිතාංගයක් වෙනුවෙන්ම ජීව ප්‍රාණය එක්කළ බුද්ධි වික්‍රම යළි කිසිදා නොඑන ගමන් ගොසිනි.

බුද්ධි වික්‍රම ඔබට නිවන් සුව!

 

[email protected]