වර්ෂ 2023 ක්වූ December 01 වැනිදා Friday
‘ස්වර්ජනා’ ගෙනාවේ අලුත් පරම්පරාව තාත්තා ගැන දැනගත යුතු නිසා

මෙරට සිටි ප්‍රවීණතම ගේය පද රචකයකු සහ සංගීතඥයකු වන සේන වීරසේකරයන් සමරමින් ‘ ස්වර්ජනා ‘ නමින් වැඩසටහනක් අද (15) පස්වරු 3.00 ට බස්නාහිර පළාත් සෞන්දර්ය කලා නිකේතනයේදී පැවැත්වේ. මෙම වැඩසටහන සංවිධානය කිරීමේ මුලිකයා වනුයේ සේන වීරසේකරයන් ගේ පුත් තිනුර ජයන්ත වීරසේකරය.
ඔහු විසින් සිය පියා පිළිබඳ විරචිත ග්‍රන්ථයක්ද එදින දොරට වඩින අතර සේන වීරසේකරයන් අතින් 60 දශකයේදි රචනා කරන ලද ගීතයක්, අමරසිරි පීරිස් ගායනවේදියා විසින් ගායනාකොට එය ජනගත කිරිමද මෙදින සිදුවේ. මෙම ප්‍රසංගය සම්බන්ධයෙන් මෙන්ම සේන වීරසේකර පිළිබඳ පුතු මතක ආවර්ජනය කිරිම පිණිස පසුගියදා හමු වූ තිනුර සමඟ කළ කතා බහකි මේ.
පියා වෙනුවෙන් මෙවැනි වැඩසටහනක් කරන්න ඔබට හිතුණේ ඇයි?
තාත්තා බොහොම නිහඩ ජිවිතයක් ගත කරපු කෙනෙක්. හැබැයි ඔහු කරලා තියෙන වැඩ ප්‍රමාණය අති විශාලයි. කර්තමානයේ සිටින බොහෝ දෙනා අපේ තාත්තා ගැන වැඩිය දන්නෙ නෑ. ඉතින් මට හිතුණා මගේ තාත්තා ගැන වගේම, මගේ සීයා වුණු ජයන්ත වීරසේකර ගැනත් අලුත් පරම්පරාවට දැන ගන්න මෙවැනි ග්‍රන්ථයක් රචනා කළොත් හොඳයි කියලා.
ඇත්තටම මේක අපි මිට අවුරුදු 4-5 ක ඉඳලා කරන්න බලාපොරොත්තුවෙන් හිටියේ. නමුත් රටේ පැවතුණු විවිධ අස්ථාවර කාලපරිච්ඡේදයන් නිසා දවසින් දවස ඒක කල් ගියා.
නමුත් දැන් හිතෙනවා ඒක කල් ගිය එක හොඳයි කියලා. මොකද තාත්තා ලියපු සින්දුව හම්බවුණේ මේ මැත කාලයේදි. ඒ කාලේ කළා නම් මේ සින්දුව කරන්න ලැබෙන්නේ නෑ.
මොකක්ද ඒ සින්දුව?
තාත්තා ‘සිහිල් සුළං රැල්ලේ‘ ගීතය ලියපු කොළේ පිටිපස්සේ තවත් සින්දුවක් ලියලා තිබුණා. අපි කවුරුත් ඒක මේ වෙනකම් දැකලා තිබුණේ නෑ. මේ මෑත භාගයේදි තමයි
මේ කොළේ පොතක් ඇතුළේ තිබිලා හමු වුණේ. 1960 දි තමයි තාත්තා මේ සින්දුවත් ලියලා තියෙන්නේ. මම හිතන්නේ ‘සිහිල් සුළං රැල්ලේ‘ ගීතය ලියපු ආසන්න දිනයක වෙන්න ඕන.
‘ සුවඳ මල් දහසක් පිපී
සුවඳ මල් දහසක් නැසේ‘ .... කියන මේ ගීතය ට සංගීතය යොදලා අමරසිරි පිරිස් ගායනවේදියා ලවා ගායනය කෙරෙව්වා. සංගීතය නිර්මාණය කළේ නව පරපුරේ සංගීතඥයකු වන තිළිණ රුහුණගේ විසින්. 15 වැනිදාට මේ ගීතයත් දොරට වඩිනවා. ඒ වෙනුවෙන් අපි රූපරචනයකුත් කළා. මේ සින්දුව ලියපු කොළේ මම පුංචිකාලේ මටම දිපු එකක්.
මම පොතක් ඇතුළෙ දාල තිබුණා. මටත් ඒ ගැන මතකයක් තිබුණේ නෑ.
ඔබේ පියා පිළිබඳ ඔබ ලියපු පොතත් එදින දොරට වඩිනව?
‘ අපේ තාත්තා ‘ පොතේ තාත්තා ගැනයි සීයා ගැනයි දෙන්නම ගැන සඳහන් වෙනවා. තාත්තා ලියපු සින්දු 12 අතරින් සින්දු 10ක් ම මම මේ පොතට ඇතුළත් කළා.
තාත්තා සංගීතය සපයපු ගීත නම් ඇතුළත් කළේ නෑ. හැබැයි එදිනට තාත්තාගේ ගීත අතරින් අතිශයින්ම ජනප්‍රිය ගීත ටික ගායනා කරනවා. මහාචාර්ය සුනිල් ආරියරත්න, කපිල කුමාර කාලිංග, සහ අමරසිරි පීරිස් දෙසුම් පවත්වනවා. තාත්තා ගේ වේදිකා නාට්‍ය හා ටෙලින්‍ය ගීතය පිළිබඳ තපිල කුමාර කාලිංග කතා කරනවා. අමරසිරි පීරිස් තාත්තාගේ යාළුවෙක් විදියට තමයි කතා කරන්නේ. ඇත්තටම අද තාත්තාගේ යාළුවන් අතරින් බොහෝ දෙනෙක් ජීවතුන් අතර නෑ. අමරසිරි පීරිස් , විත්ටර් රත්නායක වගේ කිහිප දෙනෙක් තමයි ඉන්නේ.
තාත්තාගේ නිර්මාණ ජීවිතේ පිළිබඳ ඔබට තිබෙන මතකය කොයි වගේද?
මට හොඳ මතකයක් තියෙනවා. අපේ තාත්තා හරි සුන්දර පොඩි මනුස්සයෙක්. හැබැයි ලොකු වැඩ කරපු කෙනෙක්.කවදාවත් අපිට සැර වෙලා නෑ. අපි කලාව පැත්තට යොමු වෙනවට තාත්තා ආසාවෙන් හිටියා. නමුත් අපේ අම්මා ඒකට තදින්ම විරුද්ධ වුණා. මට මතකයි මම තබ්ලා ගහන්න ඉගෙන ගන්නකොට තබිලාව පැළුවා. ඒකට හේතුත් තිබුණා. මොකද තාත්තා මුදල් පස්සේ දුවපු කෙනෙක් නොවෙයි. අනිත් එක අදකාලේ වගේ ඉස්සර සංගීතය කියන්නේ මුදල් හම්බකරන රස්සාවක් නොවෙයි. ඉතින් ගෙදර අග හිඟ කම් ඕන තරම් තිබුණා. අම්මා ඒක දැක්ක නිසා ජිවන වෘත්තියක් විදියට අපට ඒක තෝර ගන්න ඉඩ දුන්නෙ නෑ.
අපේ ගෙදරට නිතරම තාත්තාගේ යාළුවෝ ආවා ගියා. ඒ කාලේ අපේ ගෙදර බොහෝ කලාකරුවන්ට නවාතැන් පොළක් වුණා. අමරසිරි පීරිස්, මර්වින් පෙරේරා, වික්ටර් රත්නායක, ගුණදාස කපුගේ , රත්න දිසානායක, ශ්‍රීමති රසාදරී ඇතුළු විශාල පිරිසක් මෙතැනට ආවා ගියා. මේ හමු අතරතුර බොහෝ නිර්මාණත් හැදුණා. අපේ ගෙදර ඉස්සරහ කාමරේ තනිකරම වෙන්කරලා තිබුණේ තාත්තාගේ යාළුවන් වෙනුවෙන්. අපේ තාත්තාට කොච්චර සල්ලි නැතිවුණත් පීකොක් සිගරැට් ටින් එකකට දාපු රුපියල් 150ක් 200ක් නිතරම වෙන් කරලා තිබුණා .
ඒකාලේ ඒක ලොකු මුදලක්. හැබැයි මේ මුදලින් කීයක්වත් මට ගන්න තහනම්. තාත්තා ඒක වෙන්කරලා තිබුණේ හදිස්සියේ අපේ ගෙදරට එන තාත්තාගේ යාළුවන්ට
මුදල් හදිසියක් වුණොත් දෙන්න.මට කියලා තිබුණා තාත්තා නැති වුණත් කවුරු හරි ඇවිත් ඉල්ලුවොත් දෙන්න කියලා.
තාත්තාට සින්දු ලියන්න හේතු වූණු පසුබිම් ගැන ඔබට කියලා තිබුණද?
ඔව්. අන්තිම කාලේ තාත්තා ගොඩක් මාත් එක්ක විවාතව කතා බහ කළා. තාත්තා ලියපු ‘ සිහිල් සුළං රැල්ලේ‘ ගිතය ලියලා තිබුණේ ඔහුගේම ප්‍රේමය පිළිබඳව. ඒකත් තාත්තා මට කියලා තිබුණා. තාත්තාගේ යාළුවෝ මේ ගැන හොඳීන් දැනගෙන හිටියා. තාත්තා ඒ කාලේ මුස්ලිම් ගැනු ලමයෙකුට ආදරේ කරලා තියෙනවා. එයා ඉඳලා තියෙන්නේ තාත්තාගේ ගෙදරට අල්ලපු ගෙදර . ඒ කාලේ ඒ හරියේ ගෙවල් 4යි තිබිලා තියෙන්නේ . හතරේ වත්ත කියලා තමයි ඒ හරිය හඳුන්වලා තියෙන්නෙත්.
ඒ ගැනු ළමයා හරිම ලස්සනයිලු . නමුත් සීයාට තිබෙන බය පක්ෂපාතීත්වය නිසාත්, තාත්තාගේ පවුලේ පසුබිම නිසාත් මේ අය මේ සම්බන්ධය දිගටම තියෙනවට බය වෙලා තියෙනවා. ඒ නිසා ඔවුන් මේ ගෙදර අතහැරලා නුවර පැත්තේ ගෙයක් අරගෙන ගිහින් පදිංචි වෙලා තියෙනවා. ඒ වියෝ දුකට තමයි තාත්තා ‘ සිහිල් සුළං රැල්ලේ ‘ ගීතය ලියලා තියෙන්නේ.
ඊට පස්සේ තාත්තා ඉඳලා තියෙන්නේ කවදාවත් විවාහ වෙන්නෙ නෑ. කියලයි. නමුත් හේවුඩ් එකේ තාත්තාගෙ යාළුවෙක් වුණු ප්‍රේමා එල්ලාවල හරහා අපේ අම්මව මුණ ගැසුණට පස්සේ තමයි තාත්තා කැමැති වෙලා විවාහ වෙලා තියෙන්නේ. කොහොම හරි පසුගිය කාලේ මම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට ගිහින් තාත්තා ලියපු සින්දු ටික එකතු කර ගත්තා. ඒ සියල්ලම ප්‍රේමය, විරහව පදනම් වෙච්ච ගිත තමයි තියෙන්නේ. ඒ නිසා අර විරහව සත්‍යයක් වෙන්න ඇති කියලා හිතෙනවා.
සංගීතඥයෙක් විදියට කරපු නිර්මාණ රාශියක් ඇති ඔබේ පියාට. එහෙම එකතුවක් තියෙනවද?
ඒක නම් මට ලොකු ප්‍රශ්නයක් වුණු කාරණාවක්. මාරියාවේ, උලලේනි, සඳරෑ සිහිනයේ වැනි ගීත ගත්තම ඒවා තාත්තාගේ කියලා සඳහන් වෙලා තියෙනවා. කොහොමත් තාත්තා ගිත 250ක් විතර සංගීත නිර්මාණය කරලා තියෙනවා. නමුත් තාත්තාගේ නම සඳහන් නොවුණ නිර්මාණ තවත් 200ක් විතර ඇති. මොකද ඒ කාලේ තාත්තා යාළුකමට ගිත නිර්මාණය කළා මිසක් නමක් ගැන හිතුවේ නෑ. ඒ පිළිබඳ සටහනකුත් නෑ. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක්.
ගීත නිර්මාණ වගේම වේදිකා නාට්‍ය , ටෙලි නාට්‍ය, සහ චිත්‍රපට සංගීතයේ ඔහුගේ නිර්මාණ රාශියක් තිබුණා නේද?
ඔව් . මං හිතන්නේ වේදිකා නාට්‍ය වෙන්නැති වැඩියෙන්ම තියෙන්න ඇත්තේ. සුගතපාලද සිල්වා, සුනන්ද මහේන්ද්‍ර, රන්ජිත් ධර්මකීර්ති,
කපිල කුමාර කාලිංග වැන්නන්ගේ නිර්මාණ රාශියකට තාත්තා සංගිතය සැපයුවා. ඔය අතරම ටෙලිනාට්‍යයත් කළා. ලූසන් බුලත්සිංහල ගේ ‘ තාරාදේවි‘
, විමලරත්න අධිකාරිගේ ‘ ඉසිවර අසපුව‘වගේම ඒ කාලයේ අතිශයින්ම ජනප්‍රිය වුණු ‘බෝඩිම‘ ටෙලිනාට්‍යයේත් සංගිතය තාත්තාගේ.
චිත්‍රපට සංගිතයේදී ‘ මලට නොඑන බඹරු‘, ෂෙල්ටන් පයාගලගේ ‘ ගොලු මුහුදේ කුණාටුව, ‘, අනුර චන්ද්‍රසිරිගේ ‘ තුන්වෙනි ඇහැ‘ , සයනයේ සිහිනය
වගේ ඒවට සංගිතය නිර්මාණය කළා. තාත්තා ෂෙල්ටන් පයාගලගේ ගොලු මුහුදේ කුණාටුව චිත්‍රපටය සම්බන්ධයෙන් සෑහෙන බලාපොරොත්තු තියාගෙන හිටියා.
කිසියම් ඇගයිමක් ලැබෙයි කියලා. තාත්තා එකට මියුසික් කරන්න සැහෙන්න වියදම් කළා. ඔකෙස්ට්‍රා එකට විතරක් ශිල්පීන් 89 දෙනෙක් ගත්තා නමුත් කිසිම ඇගයීමක් ලැබුණේ නැති එකට යම් කලකිරිමක් තිබුණා.ඒ වුණාට 1982 දී ‘ මලට නොඑන බඹරු , 1993 දී‘ සයනයේ සිහිනය‘ 1996 දී ‘ තුන්වෙනි ඇහැ ‘ වගේ නිර්මාණ වලට තාත්තාට ඇගයිම් ලැබි තිබෙනවා. එක වසරකදී වේදිකාව, සිනමාව හා රුපවාහිනිය යන මාධ්‍ය ත්‍රිත්වයේම සම්මාන තාත්තා දිනා ගත්තා.
අන්තිම කාලේ සතුටින්ද හිටියේ?
මරදානේ ගේ අහිමිවිම ගැන තාත්තා කනගාටුවෙන් හිටියා. අන්තිම කාලේ මාලඹේ ගෙදරක තමයි තාත්තා හිටියේ. මම විවාහ වුණාට පස්සේ අපිත් එක්ක ඉන්නත් තාත්තා කැමැති වුණේ නෑ. ඒ කාලේ ඉඳන්ම මි විතට ඇබ්බැහි වෙලයි හිටියේ. ඉස්සර ගිතයක් ලිව්වම, සංගිත නිර්මාණයක් කළාම බොහෝ විට ලැබෙන්නේ මුදල් නොවෙයිනේ. සමහර විට බෝතලයක් ලැබෙනවා.
තාත්තා කිසි දෙයක් කිසි කෙනකුගෙන් බලාපොරොත්තු වුණු කෙනෙක් නොවෙයි. අපේ සියා ජයන්ත වීරසේකර තමයි හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාට සිංහල උගන්වලා තියෙන්නේ. මරදාන ටවර් හෝල් එක ඉස්සරහා පාර නම් කරලා තියෙන්නේ අපේ සියා ගේ නමින්. මට මේ කතාව කිව්වේ තාත්තාගේ මිතුªරු අමරසිරි පිරිස් මහතා.
දවසක් තාත්තායි අමරසිරි පීරිසුයි තේ එකක් බොන්න ඒ කාලේ මරදානේ තිබුණු සෝමා කැෆේ එකට යනවලු. ඒ යනකොට පාරවල් වහලා මරදානේ ටවර්හෝල් එක ඉස්සරහා
ලොකු වේදිකාවක ජේ. ආර්. ජයවර්ධන ජනතාව අමතනවලු. ඔහු ඒ වෙලාවේ කියලා තියෙනවා මේ අසල පාර මම නම් කළේ මට සිංහල ඉගැන්නුව මගේ ගුරුවරයාගේ නමින් .
එතුමාට පුතෙක් සහ දුවෙක් හිටියා. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් මට ඒ දෙන්නව මුණ ගස්වන්න. ඔවුන්ට මම උදව් කරන්න ඕන කියලා. ඒ වෙලාවේ අමරසිරි පිරිස්
කියලා තියෙනවා අර උම ගැන කියන්නේ ගිහින් හම්බවෙයන් කියලා. තාත්තා කිසි ගානක් නැතුව තේ බොන්න ගියාලු. අපේ තාත්තාගේ හැටි එහෙමයි. හැබැයි තාත්තා හොඳ
නිර්මාණ ටිකක් බිහිකළා වගේම, හොඳ ගෝල බාලයෝ ටිකකුත් බිහිකළා. ඔවුන් අතරින් තවමත් සමහරු අපි සමඟ ඉන්නවා.
අද ඔබට මොනවද හිතෙන්නේ?
ඇත්තටම අද මට ලොකු දුකක් කනගාටුවක් හිතෙනවා මම වැඩිදුරටත් සංගිතය ඉගෙන නොගැනිම ගැන. අද මම රැකියාව විදියට කරන්නේ සංචාරක කටයුතු. නමුත් තාත්තාගේ හැකියාවන් , දක්ෂතාවයන් ඒ ආකාරයෙන්ම පිහිටලා තියෙනවා මගේ දුවට. මම හිතනවා ඇය මේ විෂය ප්‍රගුණ කරාවි කියලා . ඒ වෙනුවෙන් ඇයට අවශය සියලු පහසුකම් මම සපුරනවා.
සේයාරුව - නිශ්ශංක විජේරත්න