අයියාගේ ඉටුනොවුණ සිහිනය සැබෑ කිරීමයි අරමුණ

සුප්‍රකට ගායන ශිල්පී පියල් පෙරේරා
දෙසැම්බර් 8, 2022

සුනිල් පෙරේරා ගැයූ අවසන් ගීතය පාර දිගේ

- ගීත‍ෙයන් මුළුමනින්ම කියවෙන්නේ ගාලු පාරේ සිදුවීම්

ජීප්සීස් නායක සුනිල් පෙරේරා දැයෙන් සමුගෙන අදට වසර එකහමාරකුත් මාස තුනකුත් ගෙවී අවසන්ය. රුදුරු කොරෝනා ඔහු ඩැහැගත්තේ සිංහල පොප් ගීත ක්ෂේත්‍රයේ දැවැන්තම බලකොටුව බවට පත් වී සිටි සුනිල් පෙරේරාගේ අවසන් හුස්ම පොදත් රැගෙනය. ශ්‍රී ලංකා ගීත ක්ෂේත්‍රය තුළ තිස්පස් වසරක් පුරා අඛණ්ඩ ජනපි‍්‍රයත්වයක් දිනූ ජිප්සීස් සහ එහි නායකත්වය දැරූ සුනිල් පෙරේරා සමස්ත ජනතාව තුළ පමණක් නොව බටහිර සංගීත ක්ෂේත්‍රයට නැඹුරු වූ පේ‍්‍රක්ෂක සිත් සතන් තුළ සදා ලැගුම්ගත් චරිතයක් බවට පත්විය. ඔහුගේ ගීත තුළ හාස්‍යෝත්පාදක රසයක් මතු වුවද ජිවන අරගලයට මුහුණ දෙන ජනතාවගේ හදගැස්ම රාවයට මෙන්ම සමාජය තුළ තිබෙන වැරැදි අඩුපාඩු ආදිය හුවා දක්වමින් නිමැවෙන ගීතයේ අන්තර්ගතයට ජනතාව බෙහෙවින් ඇලුම් කළහ.

ඇතැම් ගීත ල වස්තු බීජයේ අන්තර්ගතය ආන්දෝලානාත්මක සමාජ විවරණයකි. සමාජයීය මෙන්ම දේශපාලන රාමුව තුළ සිදුවන ඇතැම් අක්‍රමිකතා ඔහු ගීතවලින් නිර්දය ලෙස විවේචනයට ලක් කළේය. සෘජු ලෙස විවේචනය කිරීමට කිසි දිනක පසුබට නොවූ ඔහු උස්පහත් භේද නොතකා සැම විටම සිටියේ ජනතාවගෙ පාර්ශවයේය.

අතිශයින් සරල පද මාලාවන් ඔස්සේ හාස්‍ය ජනනය කරන අන්දමින් නිර්මාණය වූ ඇතැම් ගීත වල අන්තර්ගතය තුළ දක්නට ලැබෙන්නේ සමාජ මෙහෙවරකි. (ලොවේ සෑම, තාත්තා මට ඇනපු ටොක්ක) ජිප්සීස් ක්ෂේත්‍රයට පිවිසි යුගයේ ඇතැම් පිරිස්ගෙන් සුනිල් ලද ගැරහුම්, අවමන් කිසිත් සැලකුවේ නැත. ඉලක්කය ඔස්සේ හඹා ගිය සුනිල් පෙරේරා ප්‍රමුඛ ජිප්සීස් සියලුම අභියෝග ජයගත්තේ කණ්ඩායම් සංගීත තුළ ස්ථාවරත්වයක් ගොඩනගා ගනිමිනි.

සුනිල්ගේ වියෝවෙන් රටම හඬා වැටුණු බව පැවසීම අතිශෝක්තියක් නොවේ. ඔහු සංගීත ක්ෂේත්‍රයට දායක කළ ගී සම්භාරය කොතරම් ජනපි‍්‍රය ද කියතොත් ඔහු මිය ගිය ද අදටත් ඒ ගීත ජනතවාගේ හදවත් තුළ ලැගුම් ගෙන ඇත. මිය ගිය ද අදටත් ජීවමානව සිටින බව පැවසීම වරදක් නොවේ. යම් කිසි වස්තු බීජයක් ගීතයක් බවට පරිවර්තනය කිරිමේදී එය තවදුරටත් පෝෂණයකරමින් ඔහු මනෝ ලෝකයේ සැරිසරමින් ගීතයට අර්ථයක් ලබාදීමට හැම මොහොතකදීම උත්සුක වේ. අවසාන ප්‍රතිඵලය කොයි ආකාරයට නිම වේ දැයි ඔහු නිරන්තරයෙන් චිත්තරූප මවමින් නැවුම් බවින් යුතු නිර්මාණය රසිකයින්ට තිළිණ කරන්නට සිහින මැවූ පුද්ගලයෙක්.

එදා මෙදා තුර අතීතය වර්තමානය පමණක් නොව අනාගත හෙට උපන් දරුවාට රසවිඳිය හැකි ගීත සමුච්චයක් දායාද කරමින් සමුගත් නායක සුනිල් පෙරේරා ගේ ගීත බොහොමයක රචකයා චන්ද්‍රදාස පෙරේරා ය. සෑම ගීතයක්ම සංකල්පනාව සුනිල් සතුය. සංගීතය ජිප්සීස් කණ්ඩායමේ ය. ඔහු සෑම විටම පැවසූ දෙයක් වන්නේ යම් කිසි නිර්මාණයක් ජනගත කිරීමට නම් එය ආවාට ගියාට නොකළ යුත්තක් බවයි. ගීතයක් එළිදැක්වීමට පෙර එම ගීතය සජීවීව ඔහුගේ මනසින් නරඹන පුද්ගලයෙකි. විවිධ ආකාරයේ චිත්ත රූප මවා පේ‍්‍රක්ෂක හදවතට මනසට සවන් පත් යුගලට ගීත සමීප කරවන්නට කළ යුතු සියලුම උපක්‍රම යොදයි. ඒ සඳහා දින, සති, මාස පමණක් නොව වසර ගණනාවක් ගත වුවාට ඔහුට කම් නැත.

සරල විනෝදකාමී දිවිපෙවතකට උරුමකම් කීව ද සුනිල් තුළ ජීවත් වන මිනිසා මානව දයාවෙන් පිරුණු කෙනෙකි. හිත හොඳ පරාර්ථකාමී කලාකරුවෙකි. නැති බැරි අයට දන්දෙන්නේ රහසිගතවය. දකුණත දුන් දේ වම් අත නොදනී න්‍යාය තුළ ජීවත් වන ඔහු මියගිය ද අදටත් ගීත රචනයෙන් මෙන්ම වෙනත් ආකාරයෙන් ජිප්සීස් ගායක කණ්ඩායමේ ගීත සඳහා දායක වූ අයට කර්තෘ භාගය ලබා දෙන මියැදුණු එකම ශ්‍රී ලාංකීක කලාකරුවා වන්නේ ද ඔහුය.

සුනිල් පෙරේරා නිර්මාණය කළ අවසන් ගීතය පාර දිගේ නමින් පසුගිය 24 වැනිදා කොළඹ සිංගර් ආයතනයේ දී එළි දැක්විණි. සුනිල් පෙරේරාගේ සංකල්පයක් මත නිර්මාණය වූ මෙම ගීතය සුනිල් පියල් සමඟ ජිප්සීස් කණ්ඩායම ගායනා කරන ලද අතර සුනිල් අවසන් වරට ගායනා කර පටිගත කරන ලද අවසන් ගීතය වන්නේ ද මෙයයි. චන්ද්‍රදාස පෙරේරා ගී පද රචනය ඔපවත් වූ පාර දිගේ තනු නිර්මාණය පියල් පෙරේරාගෙන් වන අතර සංගීත නිර්මාණය ක්‍රිශාන් ජයතිලක විසිනි.

ගාලු පාරේ ගීතය පිළිබඳ පියල් පෙරේරා ගෙන්ම අසා දැනගනිමු.

දැනට වසර හතරකට පමණ පෙර සුනිල් අයියා මට කතා කරලා කිව්වා ලංකාවේ ඓතිහාසික සහ වටිනාකමින් යුත් ගීත ගණනාවක් බිහිවෙලා තිබෙනවා. මාර්ගයක් පිළිබඳව කිසිදු ගීතයක් ගායනා කරලා නැහැ. අපි ගාලු පාර කියලා සින්දුවක් කරමුද කියලා. ගාලු පාරේ තිබෙන සුවිශේෂත්වය පිළිබඳ චන්දාදාස ප්‍රනාන්දුට පවසා ගීතය රචනා කර ගත්තා. අයියට ඕන වුණේ මේ ඉතාමත් විශිෂ්ට ගණයේ නිර්මාණයක් කරන්න. විශාල ජනතාවක් එක් රැස් කර ගනිමින් ගාලු මුව දොර සිට ගාලු කොටුව දක්වා වාහනවල සජීවීව ගමන් කරමින් රූගත කිරිමට ඔහුට අවශ්‍ය වුයේ. මෙයට විශාල පිරිවැයක් අවශ්‍යයි. විශාල මුදලක් එක්රැස් කරගැනීමට අපහසුතාවයක් තිබුණ නිසා ගිතය පමා වුණත් වාසනාවකට අයියා ඇතුළු පිරිස ගීතය පටිගත කර තිබුණා. අයියාට කොරෝනා වැලඳී මිය යන්නට දින තුනකට පෙර මට දුරකතනයෙන් ඇමතුමක් දී පැවසුවා. මල්ලි අපි ගාලු පාරේ ගීතය හොඳට කරන්න ඕනේ. සිනමන් ලේක් හෝටලය බුක් කරන්න. එහි එක පැත්තට ගාලුපාර වගේ කඩමණ්ඩියක් නිර්මාණය කර ගාලු පාරේ ගීතයේ දොරට වැඩුම ප්‍රසංගයක් ලෙස ඉදිරිපත් කරමු යනුවෙන්.

නමුත් අවාසනාවකට දින තුනකට පසු අයියා අප හදවත් තුළ සදා වේදනාව ඉතිරි කරදී අපෙන් සදහටම සමුගත්තා.

අයියගේ එකම බලාපොරොත්තු වුණේ ගාලුපුරේ එළිදැක්වීමයි.

අයියා ජීවත්ව සිටියා නම් විශාල මුදලක් වැය කරලා මේ දොරට වැඩුම ඉතා අලංකෘතව ප්‍රාංසංගික ස්වරූපයෙන් ඉදිරිපත් කරනවා. නමුත් අයියගේ ඉටු නොවුණු සිහිනය සැබෑ කිරීම මගේ එකම අරමුණ වුණේ.

මෙය ලෙහෙසි පහසු කාර්යයක් නොවේ.

අයියාට අවශ්‍ය පරිදිම මේ නිර්මාණය සජිවී ලෙස කළ නොහැකියි. එයට ප්‍රධානතම හේතුව අයියා අද අප අතර නැහැ. නමුත් අයියා ජීවත්ව සිටින ආකාරයට ගීතය ඉදිරිපත් කිරීමටයි මට අවශ්‍ය වුණේ. ඒ සඳහා ගත යුතු හොඳම පියවර වුයේ කාටූන් ක්‍රමයට ගීතය රූගත කිරීමයි.

මෙම ගීතයට සිංගර් ආයතනයක් සමඟ තිබෙන සම්බන්ධතාවය කුමක්ද?

අයියා සිංගර් ආයතනය සමඟ වෙළෙඳ දැන්වීම් කිහිපයක් කළා. එම වෙළෙඳ දැන්වීම් වලට ලද ප්‍රතිචාරය මත අයියා පිළිබඳව ඔවුන් තුළ තිබුණේ විශාල භක්තියත්, දිනක් එහි වෙළෙඳ කළමනාකාර අධ්‍යක්ෂ සුනිල් පෙරේරා සමඟ කතා කිරීමේ දී මෙම ගීතය එළි දැක්වීමට මුල්‍යමය දායකත්වයක් ලබාදීමට සිංගර් ආයතනය එකඟ වුණා.

දෘශ්‍ය මාධ්‍යයක් ලෙස කාටුන් ක්‍රමයට එළි දැක්වූ ගාලු පාරේ සිත් ඇඳගන්නා සුලු ආකාරයට නිම වී තිබෙනවා. ඒ පිළිබඳ කතා කරමු.

ගාලු පාරේ ගීතය දෘශ්‍ය මාධ්‍යයක් ලෙස කාටුන් ක්‍රමයට නිර්මාණය කළේ රෙන්ඩි ක්‍රීස් නැමැති ශිල්පියායි. ඔහු ඉතා දක්ෂයෙක් බව මෙම නිර්මාණයෙන් ප්‍රත්‍යක්ෂ වී තිබෙනවා. ඔහු ඉතා සියුම් ලෙස සියලු දේ ග්‍රහණය කරගෙන තිබෙනවා. ජිප්සීස් ඉතිහාසය, ජිප්සීස් ගීත, මින් පෙර දෘශ්‍ය මාධ්‍යයෙන් එළි දැක් වූ ජිප්සීස් ගීතවල ආකෘති ආදී සියල්ලම මෙම ගීතයට ඇතුළත් කර තිබෙනවා.

ගීතයේ ආරම්භයේ සිට එහි අන්තර්ගතය පිළිබඳව කතා කරමු.

ගීතයෙන් මුළුමනින්ම කියවෙන්නේ ගාලුපාරේ එදිනෙදා දකින සිදුවිම්. ගාලු පාරේ තිබෙන සුවිශේෂ නගර වලට ආවේිණික වූ දෑ පිළිබඳව ඉන් අමතරව ජිප්සීස් කණ්ඩායම පිළිබඳව ඔවුන් පෙර ගැයු ගීත විසූ සාමාජිකයන් පිළිබඳවත් ගීතයන් පෙන්නුම් කෙරෙනවා.

රෙන්ඩි ක්‍රීස් ගීතය ආරම්භ කරල තිබෙන්නේ බොරලු පාරෙන්. ඒ යුගයේ ගාලු පාරේ ගාලු මුවදොර දර්ශනයක් පසුබිම් කරගෙනයි. කරත්තයකින් ගමන් කරන යුවළක් සිටිනවා. ඒ යුවළ සංකේතවත් කරන්නේ මගේ තාත්තාගේ සහ මගේ අම්මාගේ පින්තූර දෙකකින්. ගීතය ආරම්භ වෙන්නේ තාත්තා මට ඇනපු ටොක්ක එහි සඳහන් වෙලා තියෙනවා. ලංකාවේ පරණ සිතියම රෙන්ඩි ක්‍රීස් ඇන්දා. වාහනේ නැගලා යන පින්තුරය සුනිල් අයියයි රොනී ලීච් සහ මම ඉන්නවා. පරණ ගාලුමුවදොර දර්ශන නවතම හෝටල් සංකීර්ණ මෙන්ම අරගල කණ්ඩායම පසෙකින් සිටිනවා. මුල්‍යමය දායකත්වය ලබාදුන් සිංගර් ආයතනය මෙන්ම ගාලු පාර දෙපැත්තේ තිබෙන කඩ සාප්පු වල නම් ගම් සියල්ලක්ම ජිප්සීස් කණ්ඩායමේ ගීත. නෝනෙ මගේ සුදු නෝනේ සයිමා කට් වෙලා, කොත්තමල්ලී ලුණු දෙහි මල්ලිකා. ගාලු පාරේ යද්දී හමුවෙන චරිත අතර දේශපානඥයෝ විවිධ ඇමතිවරු මෙන්ම පොලිස් නිලධාරී සිටිනවා සන්දේශයත් රැගෙන යන අයත් ඉන්නවා.

අයියාගේ විශේෂ සර්වාගමික මාලය සහ සුනිල් නම සඳහන් වන ‘ඉ’ අකුර ඔහු පැලඳ සිටිනවා. ප්‍රථම නවාතැන මොරටුව ලී බඩු වලට ප්‍රචලිත මොරටුවේ වඩුවෝ සුනිල් අයියාගේ රූපයක් ලීයෙන් නිර්මාණය කරනවා. වඩු වැඩෙන් දිවි රකින බොහෝ දුකින් කල් ගෙවන දුප්පතෙකි මං ගීතයේ පද කිහිපයක්. පසුතලයෙන් දක්නට ලැබෙනවා. දෙවෙනි නවාතැන කළුතර බෝධිය එහි ආකෘතිය පෙන්නුම් කරනවා. තෙවැන්න බලපිටියේ මාළු මිලදී ගන්නා ආකාරය මාළු වෙළඳාමත් එම කාටුන් කලාව නිර්මාණය කර තිබෙනවා. ඇතැම් දේශපාලනඥයන්ගේ මුහුණු රූකඩ ලෙස පෙන්නුම් කෙරෙන අතර සුනිල් අයියාගේ මුහුණත් රූකඩයක් ලෙස දිස් වෙනවා. ගාලු පාරේ ගමන් කරද්දී පෙට්‍රල් නොමැති බව පෙන්නුම් කරන දැන්වීම් පුවරුවක් කාන්තාවන් කිහිප දෙනෙකුගේ රූ රැගත් ළිඳ ළඟ සංගමය සුමිහිරි පානේ බාර් එක. හික්කඩුව සර්ෆින් ක්‍රීඩාව පෙන්නුම් කරමින් දැක්වෙන නාම පුරුව ලියා ඇත්තේ මම නම් ගඟේ පනිනවා ගීතයයි.

එක රූප රාමුවක පෙන්නුම් කෙරෙන්නේ ජිප්සීස් කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෝ වන නිහාල් සුනිල් පියල් නිමල් සහ ලාල්ගේ රූප. පිටි කොටපන් නොනේ ගීතය පෙන්නුම් කරන නිළියන්ගේ රූප, කුරුමිට්ටන්, ජොන්සන් අංකල් සංකේතවත් කරන රූප වර්තමානයේ ජිප්සීස් සංගීත කණ්ඩායමේ පින්තූර, ගාලු කොටුව පෙන්නුම් කරන කාටුන් චිත්‍රය මේ ආකාරයට දෘශ්‍ය මාධ්‍ය තුළින් මෙම ගීතය පේ‍්‍රක්ෂක සිත් බැඳගන්නා ආකාරයට නිර්මාණය වී තිබෙනවා. මේ ගීතය සමඟ ගාලුපාරේ නමින් සංගීත ප්‍රසංගයක් ඉදිරියේ දී පවත්වන්නටත් මම බලාපොරොත්තු වෙනවා. එය අයියාගේ අවසාන බලාපොරොත්තුවයි. ජිප්සීස් කණ්ඩායමේ යූටියුබ් ඔස්සේ පාර දිගේ ගීතය ඔබට නැරඹිය හැකියි පියල් අවසන් වරට පැවැසීය.

සේයාරුව - නිශ්ශංක විජේරත්න