මේ දවස්වල තරු හදන කෑම

සැප්තැම්බර් 16, 2021

 

 

ඇසට නොපෙනෙන පුංචිම පුංචි වෛරසයක් නිසා මුළු ලෝකයම රෝග බියෙන් ඇලලී ඉන්න මොහොතක් මේ. වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ විටින් විට මෙරටට පැනවුණු නීරෝධායන ඇඳීරිනීතිය මේ වන විටද මාසයක් තිස්සේ පැනවීලා. අනෙක් සෑම ක්ෂේත්‍රයක සේම කලා ක්ෂේත්‍රයේද වැඩ කටයුතු ටිකෙන් ටික අඩාල වෙලා. සියලුදෙනා මෙන්ම කලාකරුවන්ද නිවෙස්වලට වී තම නිවැසියන් සමඟ කාලය ගත කරන වකවානුවක් මේ. තම පවුලේ සියලුදෙනා සමඟ විවිධ කෑම වට්ටෝරු අත්හදා බලන්නට කලාකරුවන්ද පෙලඹී ඇති බවක් අපට පෙනෙනවා. මේ ලොක්ඩවුන් කාලසීමාවේ ඔවුන් එසේ අත්හදා බැලූ රසවත් කෑම වට්ටෝරු පාඨක ඔබ සමඟ බෙදාගන්නට අප තීරණය කළා. ලංකාවේ ජනප්‍රිය කලාකරුවන් රැසක් ඔවුන්ගේ රසවත් කෑම වට්ටෝරු අප සමඟ පැවසුවා. මේ රසවත් කෑම වට්ටෝරු අත්හදා බලමින් තම පවුලේ අය සමඟ මේ මොහොතේ පරිස්සමෙන් කාලය ගත කරන ලෙස ඔවුන් ඔබගෙන් ඉල්ලා සිටියා.

 

චතුරිකාගෙන් කටට සැරට ඌරුමස් ව්‍යංජනයක්

 

මේ දවස් ටිකේ අපි ගෙදර ඉන්න නිසා ටිකක් කාලය වැය කරලා හදන කෑම වට්ටෝරු හදාගෙන කනවා. රූගත කිරීම් තියෙන දවස්වලට අපි ඉක්මනින් කෑම හදලා දුවනවා. දැන් එහෙම නැතුව ටික කාලයක් යන කෑම හදනවා. ගයානුත් ගමේ කෑම කන්න ආස නිසා අපි නිතරම ගමේ විදිහට කන්න උත්සාහ කරනවා. මේ ළඟකදි අපි මඤ්ඤොක්කා තම්බලා ඌරුමස් ව්‍යංජනයක් හදලා කෑවා. ඒ ඌරුමස් ව්‍යංජනයේ වට්ටෝරුව මම කියන්නම්.

 

ඌරුමස් පොඩියට කපාගන්න ඕනේ. ලොකුවට කපාගන්න හොඳ නැහැ. එතකොට පහේ පන්න ටික මස් එකට උරාගන්නේ අඩුවෙන්. කපපු මස් එකට බැදපු තුනපහ ටිකක්, ලුණු, ගම්මිරිස් ටිකක් දාලා කලවම් කරලා පදම් වෙන්න විනාඩි විස්සක් තියන්න. වෙනම භාජනයකට තෙල් ටිකක් දාලා ඒකට පොඩියට කපාගත්ත ඉඟුරු, සුදුළූණු දාන්න. තෙල් ගොඩක් දාන්න එපා. ඌරුමස්වල තෙල් තියෙන නිසා තෙල් ටිකක් පාවිච්චි කරන්න. ඉඟුරු, සුදු ළූණු ටික රන්වන් පාටට බැදෙන කොට ඒකට සේර, කරාබුනැටි, කරපිංචා, රතුළූණු, නයිමිරිස් කරල් දෙකක් විතර දාලා තෙම්පරාදු කරගන්න. මිරිස් කුඩු, අමු තුනපහ කුඩු ඒ මිශ්‍රණයටම දාලා ටික වෙලාවක් බැඳගන්න. මේකට බැදපු තුනපහ පාවිච්චි කරන්න එපා. මොකද රස සහ ඌරුමස් ව්‍යංජනයේ පාට වෙනස් වෙනවා. මේ මිශ්‍රණයට අර පදම් වෙන්න තියාගත්ත ඌරුමස් ටික, ගොරකා කෑලි දෙකක් සහ වතුර ඉතාම ස්වල්පයක් එකතු කරලා පියනකින් වහලා විනාඩි විස්සක් විතර මද ගින්නේ තැබෙන්න තියන්න. අවශ්‍ය නම් දියකිරි අඬුකෝප්ප භාගයක් විතර දාන්න. පියන ඉවත් කරලා ටික වෙලාවක් උයාගෙන වතුර ගතිය අඩු වෙද්දි අබ ස්වල්පයක් ඒකට එකතු කරගන්න. තව විනාඩි පහක් විතර ඌරුමස් ව්‍යංජනය උයාගන්න. මේ ව්‍යංජනය ඕනෙම ප්‍රධාන ආහාරයක් වේලක් එක්ක කන්න පුළුවන්.

 

 

ඇඟට ගුණ රසවත් එළවළු සලාදයක් සාරංගගෙන්

 

 

මේ දවස්වල හැමවෙලාවකම වගේ අපි ඇඟට ගුණදායී ආහාර වේල් ගන්න පුරුදු වෙලා ඉන්නවා. විශේෂයෙන් දිනක්ෂි අම්මා කෙනෙක් වෙන්න යන නිසා දරුවා නිරෝගීව වැඩෙන්න ඕනේ නිසා කාබනික එළවළු පලතුරු නිතරම ආහාර වේලට එකතු කරගන්නවා. ඒක අපේ ශරීරයටත් හිතකරයි. මේ දවස්වල නිතරම ගුණාත්මක කෑම කනබොන නිසා මම සෞඛ්‍යයට හිතකර ආහාර වට්ටෝරුවක් කියන්නම්. එළවළු සලාද කියන්නේ ලංකාවේ අපි බත් එක්ක කන තවත් එක දෙයක්. ඒත් ඒක ප්‍රධාන ආහාර වේලක් විදිහටත් කන්න පුළුවන්. මම කියන්න යන්නේ එහෙම හදාගන්න පුළුවන් එළවළු සලාදයක් ගැන. මේකට හැකි නම් කාබනික එළවළු ගන්නවා නම් වඩා හොඳයි.

සලාද කොළ, ගෝවා, පිපිඤ්ඤා, ළූණු, තක්කාලි, අලිපේර තරමක කෑලිවලට කපාගන්න. අමුවෙන් කන්න පුළුවන් ඕනේම එළවළුවක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් පොඩියට කපාගන්න එපා. තරම කෑලිවලට කපාගන්න. ඊටපස්සේ මේකට මයෝනිස්, ලුණු, ගම්මිරිස් දාලා කලවම් කරගන්න ඕනේ. මයෝනිස් වෙනුවට මේකට යෝගට් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. අවශ්‍ය නම් බිත්තරයක් තම්බලා කෑලිවලට කපලා එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් කුකුළ් මස් හෝ වෙනත් මස් වර්ගයක් රෝස්ට් කරලා කෑලිවලට කපලා කලවම් කරගන්නත් පුළුවන්. ඒත් මතක තියාගන්න ඕනේ කොළපාට එළවළු වැඩි ප්‍රමාණයක් කනබොන තරමට ඒක අපේ ශරීරයට හිතකරයි කියන එක. මේ එළවළු සලාදය ප්‍රධාන ආහාර වේලක් විදිහට උදේට හෝ රෑට ගන්න පුළුවන්.

 

නිරංජනීගෙන් දකුණු ඉන්දියානු ක්‍රමයට වම්බටු ව්‍යංජනයක්

 

 

අපේ දෙමළ ප්‍රජාව අතර හරිම ජනප්‍රිය කෑමක් තමයි දකුණු ඉන්දියානු ක්‍රමයට හදන වම්බටු ව්‍යංජනය. ඒක මම ඉගෙනගත්තේ මගේ අම්මාගෙන්. මම උයන්න කියලා මුලින්ම ඉගෙනගත්තෙත් මේ වම්බටු ව්‍යංජනය තමයි. මේ වම්බටු ව්‍යංජනය බත්, ඉඳීආප්ප, තෝසේ, පිට්ටු, ඉට්ලි ඕනෙම කෑමක් එක්ක කන්න පුළුවන්. මේ ව්‍යංජනයට උළුහාල් වැඩිපුර දානවා. ඒකෙන් ශරීරයේ සීනි ප්‍රමාණය සහ උෂ්ණත්වය අඩු කරනවා වගේම කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරනවා. ඒ නිසා මේ ව්‍යංජනය රස වගේම ඇඟට ගුණයි.

මුලින්ම වම්බටු ටික අරගෙන පොඩියට දික් අතට කපන්න. ගොඩක් පොඩියට කපන්නත් එපා. ඇඟිලි පුරුක් දෙකක විතර ප්‍රමාණයට කපන්න. කපපු වම්බටු ටික හොඳට හෝදගන්න. ඊටපස්සේ ඒ ටිකට කහකුඩු ටිකක්, ලුණු ටිකක් දාලා කලවම් කරලා ටික වෙලාවක් තියලා ගැඹුරු තෙලේ බැදගන්න. වෙනම හට්ටියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා අබ, උළුහාල් දාලා බැඳගන්න. උළුහාල් වැඩිපුර දාන තරමට මේ ව්‍යංජනය රසයි. හොඳට මතක තියාගන්න ඕනේ අබ, උළුහාල් කර වෙන්න බදින්න එපා. ඒකට කරපිංචා, පොඩියට කපා ගත්ත රතුළූණු, අමුමිරිස්, සුදුළූණු, තක්කාලි දාලා තෙම්පරාදු කරගන්න. ඊටපස්සේ ඒකට හොඳ අමු තුනපහ ටිකක් වැඩිපුර, කහකුඩු ටිකක්, මිරිස් කුඩු ටිකක් දාගන්න. මේ ඔක්කොම ටික හොඳට කලවම් කරගන්න. හොඳට මතක තියාගන්න මේක හදන්න ඕනේ මඳගින්නේ. ටික වෙලාවක් යද්දි මේක හොඳ මිශ්‍රණයක් වෙනවා. ඊටපස්සේ ඒකට සියඹලා මිශ්‍ර කරගත්ත උකු පොල් කෝප්පයක් විතර දාගන්න. සියඹලා තමන්ගේ රස අනුව මිශ්‍ර කරගන්න ඕනේ. ටිකක් ඇඹුල් රස වැඩියෙන් එන තරමට මේ වම්බටු ව්‍යංජනය රසයි. කිරි ටික උතුරගෙන එනකොට කලින් ගැඹුරු තෙලේ බැදගත්ත වම්බටු ටික දාලා ටිකක් කලවම් කරගන්න. ඊටපස්සේ මිනිත්තු දෙක තුනක් ව්‍යංජනය පියනකින් වහලා උයාගන්න. ඊටපස්සේ අවසානයට ලුණු ටිකක් රස අනුව දාලා කලවම් කරගෙන ලිපෙන් බාගන්න.

 

 

හේමාල්ගෙන් මාතලේ රසට කජු මාළුවක්

 

මේ දවස්වල මම ඉන්නේ මාතලේ මහගෙදර. ඒ නිසා අම්මා හදන කෑම කාලා බීලා ඉන්නවා. මම කොළඹ ඉන්න නිසා අම්මාගේ කෑම කන්න ලැබෙන්නේ කලාතුරකින්. මේ දවස් ටිකේ හිතේ හැටියට ඒ කෑමවල රස බලනවා. මම තනියම උයාගෙන කනකොට පවා අම්මාගේ විවිධ කෑම වට්ටෝරු අත්හදා බලනවා. ඒවායින් මම කන්න ආසම කෑමක් අපේ අම්මාගේ කජු මාළුව. ඒක හදන විදිහ මම කියන්නම්.

මුලින්ම කජු දෙකට පළලා වතුරේ පෙඟෙන්න දාන්න. ඊටපස්සේ ඒකේ වතුර ටික ඉවත් කරලා කජු ටිකට රස අනුව ලුණු, තුනපහ, කහ දාන්න. කරපිංචා, පොඩියට කපාගත්ත රතුළූණු, අමුමිරිස්, උම්බලකඩ, උළුහාල් ටිකක්, පොඩියට කපාගත්ත සුදුළූණු ඒ කජු මිශ්‍රණයටම දාගන්න. ඊටපස්සේ ඒකට දිය කිරි ටිකක් දාලා ලිපේ තියාගෙන මඳගින්නේ උයාගන්න. වතුර ගතිය අඩු වෙනකොට ඒකට මිටි කිරි ටිකක් එකතු කරගන්න. රස බලලා මදි නම් ලුණු ටිකක් එකතු කරගෙන කිරි ටික උතුරනකොට ලිපෙන් බාගන්න.

 

 

හොට් බැටර් කට්ල්ෆිෂ් මාධවීගේ රසට

 

 

මේ ලොක්ඩවුන් කාලේ නම් බත් සහ ව්‍යංජන හැමදාම හදාගෙන කනවා. ගෙදර ළඟටම එළවළු ටික අරගෙන එනවා. ඒ නිසා වෙනදාට වඩා එළවළු කැවෙනවා. මේ වගේ වෙලාවක ලොකුවට වියදම් නොකර තියෙන දෙයකින් මොනවාහරි හදාගෙන කන්න අපි ඉගෙනගන්නවා. එහෙම ගෙදර තියෙන දේවලින් හදාගෙන කන්න පුළුවන් කෑමක් මම කියන්නම්. හොට් බටර් කට්ල්ෆිෂ් කියන්නේ ලංකාවේ හැමෝම කන්න කැමති කෑමක්. ඒ වගේම මේ මට හදන්න පුළුවන් කෑමවලින් හරිම ලේසියෙන් ඉක්මනට හදාගන්න පුළුවන් කෑමක්. මේක මාළුමස් කන්නේ නැති අයට හතුවලින් හදාගන්න පුළුවන්.

දැල්ලො අරගෙන පොඩි කෑලිවලට කපලා ලුණු ටිකක් දාලා කලවම් කරගන්න. වෙනම භාජනයක් අරගෙන ඒකට පාන්පිටි, ලුණු, වතුර හෝ කිරි, පොඩියට කපාගත්ත සුදුළූණු, (සුදුළූණු පවුඩර් තියෙනවා නම් වඩා හොඳයි) මිරිස්කුඩු දාලා මිශ්‍රණයක් හදාගන්න. දැල්ලො කැබලි වෙන වෙනම ඒ මිශ්‍රණයේ තවරගෙන ඊටපස්සේ කෝන් පිටිවලත් තවරගෙන ගැඹුරු තෙලේ බැදගන්න. වෙනම තාච්චියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා ඉඟුරු, සුදුළූණූ, රම්පෙ, කරපිංචා, ළූණු, අමුමිරිස් හෝ මාළුමිරිස් දාලා තෙම්පරාදු කරගන්න. ඊටපස්සේ මේකට කෑලි මිරිස් ටිකක් දාන්න. ඇති තරමට ලුණු සහ සීනි ටිකක් එකතු කරගන්න. මගේ හොට් බැටර් කට්ල්ෆිෂ් එකේ රහස තමයි සීනි. සීනි එකතු කළාම තමයි ඒ රස එන්නේ. අවසානයට කලින් පිටි බැටර් එකේ දාලා බැදගත්ත දැල්ලො ටික එකතු කරගන්න.

 

 

අවන් එකක් නැතුව හදන පීසා වට්ටෝරුවක් රයිනිගෙන්

 

මේ දවස්වල අපේ ගේ හදනවා. ඒ නිසා අපි ඉන්නේ වෙනත් නිවෙසක. එතැන පහසුකම් අඩුයි. අවන් එකක් එහෙම නැහැ. ඉතින් මම පාන්, පීසා ඔක්කොම සාමාන්‍ය ලිපෙන් හදන්න ඉගෙනගත්තා. මම එහෙම අවන් එකක් නැතුව හදන්න පුළුවන් පීසා වට්ටෝරුවක් කියන්නම්.

සාමාන්‍ය විදිහට පීසාවලට පිටි අනාගන්න ඕනේ. ඒකට පාන්පිටි, ඊස්ට්, ඔලිව් තෙල්, ලුණු දාලා හොඳට අනාගෙන පිපෙන්න තියන්න ඕනේ. සාමාන්‍ය පිටි මිශ්‍රණය වගේ ගොඩක් මෘදු වෙන්න ඕනේ නැහැ. පැය දෙකක් විතර පිටි මිශ්‍රණය වහලා තියාගන්න. ඊට පස්සේ ඒකෙන් එක පීසා එකකට හරියන්න කෑල්ලක් කඩාගෙන රවුමට තුනී කරගන්න. නොන්ස්ටික් (නොඇලෙන) පෑන් එකකට තෙල් ටිකක් දාලා තුනී කරගත්ත පීසා රොටිය ඒකට දාලා මද ගින්නේ ටික වෙලාවක් තියන්න. ඊටපස්සේ රොටිය අනිත් පැත්ත හරවලා ඒකට තක්කාලි සෝස් තවරගන්න. ඒකට චීස්, කෑලි කපාගත්ත ළූණු, මාළුමිරිස්, මස් හෝ මාළු දාලා පියනකින් වහලා තැම්බෙන්න තියන්න. සාමාන්‍යයෙන් එක පීසා එකක් හදන්න විනාඩි හයක් වගේ යන්නේ. මගේ සැමියා ආසයි ටෙරියාකි චිකන් කන්න. ඒ නිසා මම කුකුළු මස් ගෙනල්ලා පොඩියට කපලා ඒකට මීපැණි, සෝයාසෝස් දාලා ටෙරියාකි චිකන් හදලා ඒවා තමයි පීසා එකට දාන්නේ.

 

රවීන් ආසම විදිහට කිරිකොස් ව්‍යංජනයක්

 

 

මම සාමාන්‍යයෙන් බත් විරෝධියෙක්. දවසකට එක වේලක් විතරයි මම බත් කන්නේ. බත්වලට වඩා අනම් මනම් කන්න තමයි මම කැමති. මේ දවස්වල මම ඇඟට හොඳ නිසා කොළ කැඳ, පළා වර්ග වැඩිපුර කනවා බොනවා. මම බත් කන්නේ අඩුවෙන් වුණාට බත් කනවා නම් බත් එක්ක කන්න ආසම ව්‍යංජනයක් තමයි කිරිකොස්. බත් එක්ක කිරිකොස් හදලා, හුරුල්ලෝ මාළු මිරිසට හදලා, මිරිස් ටිකක් පුච්චලා ගත්තා නම් අම්මෝ... කිරිකොස් ව්‍යංජනය හදන විදිහ එක එක ප්‍රදේශවලට විවිධයි. මේ මම කැමති විදිහට කිරිකොස් ව්‍යංජනයක්.

හොඳට පැහුණු කොස් අරගෙන තීරුවලට කපාගෙන හෝදගන්න. ඒකට මිරිස්කුඩු, අමු තුනපහ, කහ, ලුණු රස අනුව දාගන්න. ඊටපස්සේ කොස් ටික තැම්බෙන්න අවශ්‍ය තරමට දියකිරි දාගෙන මඳගින්නෙ හොඳට තම්බගන්න. ඊටපස්සේ ඒකට මිටිකිරි කෝප්පයක් විතර දාලා හොඳට උතුරවාගන්න. කිරිකොස් ව්‍යංජනය හදලා ඉවරයි. ඒත් ඒකේ රස තව වැඩි වෙන්නේ ඒකට තෙම්පරාදුව දැම්මාම. ඒක හදාගන්න වෙනම තාච්චියක් ලිපේ තියලා ඒකට තෙල් දාගන්න. ඊටපස්සේ ඒකට අබ, උළුහාල් දාලා ටික වෙලාවක් බැදගන්න. ඊටපස්සේ සුදුළූණු, ළූණු, රම්පෙ, කරපිංචා, කුරුඳු පොතු දාලා කෑලි මිරිස් ටිකකුත් හොඳට කලවම් කරගන්න. ඊටපස්සේ ඒක කලින් හදාගත්ත කිරිකොස් එකට එකතු කරලා කලවම් කරගන්න.