ලස්සනට පිපුණ වන මල පරවී ගියේය

මීගහවල සුමන ශාන්ත හිමි
සැප්තැම්බර් 2, 2021

 

ජිවිතය අනියතය - මරණය නියතය කියන දහම අපට නොයෙක්වර කියා දුන්නේ උන්වහන්සේය. පෘතග්ජන මිනිසුන් වශයෙන් අටලෝ දහමේදී අප කම්පාවෙන විට බුදුරජානන් වහන්සේ දේශනා කළ අති උතුම් ධර්මස්කන්ධය මතක් කර දෙමින් සිත් සනසා ගැනිමට මඟ පාදා දුන්නේ උන්වහන්සේය. බධර්ම මාර්ගය පෙන්වා දෙමින් , අති විශාල සමාජ සුබසාධන වැඩසටහන් රැසක් මෙන්ම, කලාව , සංස්කෘතිය අගයමින් දේශයට කළ මහඟු මෙහෙවරද සදාකාලිකව නිමකරමින් උන්වහන්සේ අද සදහටම දෙනෙත් පියාගෙනය. මේ පෝපිටිය ශ්‍රී සුදර්ශනාරාම විහාරාධිකාරීව වැඩවිසූ කිවිපති, ජෝතිර්වේදී අතිපූජ්‍ය මීගහවෙල සුමනශාන්ත හිමිපාණන්ය.

 

 

උන්වහන්සේ ගිහිකළ අප කවුරුත් හඳුනන සරත් මුනසිංහය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු වශයෙන් පමනක් නොව ප්‍රකට ගීත රචකයෙකු වශයෙන්ද එකල නමක් දිනා ගත්තෙකි.

ප්‍රවීණ ජනප්‍රිය ගායන ශිල්පී නිහාල් නෙල්සන් ගේ සංගීත දිවියේ මුල් භාගයේදීම ගිත රචනා කළ සරත් මුණසිංහයන් නිහාල් නෙල්සන් නම් ගායකයා එක රැයින් ජනප්‍රිය කළේය.

ලස්සනට පිපුණු වනමල් ගල් පීරන දියවැල් මං ආස කරන මැණික් කැටේ නිල්

දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනව කල්

ලස්සන මගේ කිරිල්ලි සුරතල්

මේ සරත් මුණසිංහයන් නිහාල් නෙල්සන්ට ලියු මුල්ම ගී අතර වූවකි.ඉන්පසු ඔහු ලියූ ගීතය එද0ා මෙදා තුර නිහාල් නෙල්සන් ගේ ජීවිතයට පමණක් නොව මෙරට සමස්ත සමාජය තුළම සුවිශේෂී කතිකාවක් ඇති කිරීමට තරම් සමත් වූගි පද රචනයක් විණ.

කිරිදුන්නේ දරුවන්ටයි සිරුරින් ඈගේ

පිරිපුන් මිනිසුන් වැඩුණේ බලයෙනි ඈගේ

මේ කලගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ

එපා එපා මස් කන්නට කිරි අම්මාගේ....

ගව ඝාතනය සහ ගව මස් ආහාරයට ගැනීම සම්බන්ධයෙන් අති විශාල සමාජ කතිතාවක් ගොඩනඟන්නට මේ ගීතය අද මේ මොහොත වනතුරුත් ඉවහල් වන බවම නොරහසක්. එම ගීතයද පූජ්‍ය මීගහවෙල සුමනශාන්ත හිමියන් විසින් ගිහිකළ ලියන ලද්දකි.

පසු කාලයක මෙම ගීතය පදනම් කොට ගෙන ‘ ශ්‍රී සුමන අභයදාන සංගමය නමින් සංගමයක් පිහිටුවා අතිවිශාල සමාජ සුබසාධන ක්‍රියාදාමයන් , පුණ්‍යකර්මයන් මෙන්ම ගවයින් රාශියකට අභයදානයද ලබා දීමට ද , කලාවට අතහිත දිමක් වශයෙන් එම සංගමය මඟින් කලාකරුවන් ප්‍රණාමයට පත් කිරීමටද උන්වහන්සේ පුරෝගාමීව කටයුතු කළෝය. මේ වෙනුවෙන් ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන්, වසන්ත නානායක්කාර , ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ හා නිෂ්පාදක සුනිල් අරුණ වීරසිරි වැන්නෝ උන්වහන්සේගේ ධෛර්යයට මහත් හක්තියක්ව පසු පසින් සිටියෝය.

ගිහිකළ තමන් සතුව පැවති කලාකාමි හැඟමන් මිය යා නොදී සිවුරේ සිට කලාව වෙනුවෙන් තමන්ට කළ හැකි යුතුකම් ඉෂ්ට කරන්නට උන්වහන්සේ කිසි විටෙකත් නොපැකිළි වූවෝය. වාර්ෂිකව පවත්වන ලද අභයදාන පුණ්‍ය මහෝත්සවයන්හිදී ගවයන් නිදහස් කිරීමේ පුණ්‍යකර්මයට අමතරව එය උත්සව ශ්‍රීයකින් සමන්විත කරමින් සංගීතාංගයන් හා කවි මඩු ආදියද පවත්වමින් වර්ණවත් කිරිමට උත්සාහ ගත්තෝය. එසේම ලංකාවේ කලාව වෙනුවෙන් කැපවූ බොහෝ ජේෂ්ඨ කලාකරුවන් රැසක් ගෞරව සම්මානයට පාත්‍ර කිරීමක්ද උන් වහන්සේ අතින් සිදුකෙරිණි. කලාශූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ, අනුලා කරුණාතිලක, බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ, ක්‍රිස්ටෝපර් පෝල්, විවියන්ද සිල්වා බොරලැස්ස, විජේරත්න වරකාගොඩ, සුගතපාල සෙනරත් යාපා ඇතුලු කලාකරුවන් රාශියක් මෙම සම්මානයන් ගෙන් පිදුම් ලැබීය.

ප්‍රවීණ ගායන ශිල්පි වර්නන් පෙරේරා ගයන ‘ රූ සිරිය ඈගේ - දෙවිලියක වාගේ ‘ යන ගීතයද උන් වහන්සේ අතින් ගිහිකලදි ලියන ලද්දකි.මෙයට අම.රව ‘ උදේ රැයින් ‘ උදා ගිරෙන් දිනපතිඳා ‘ සුවඳයි මුවේ මල් පැණී‘, වැනි ගීත රැසක් උන් වහන්සේ ගිහිකළ දී රචනා කර ඇත. ධනපාල උඩවත්ත, මිල්ටන් පෙරේරා, රුපා ඉන්දුමතී, වැනි ජේෂ්ඨ ගායන ශිල්පින් රැසකට ගිත රචනා කර ඇත.

සුමනශාන්ත හිමියන් පැවිදි දිවිය අරඹන්නේ සිය ජිවිතයේ බොහෝ සන්ධිස්ථාන පසුකළාට පසුවය. විවාහ දිවියට ඇතුළත් වි දරු මල්ලන් ද ලැබීමෙන් පසුවය. ගිහිකළ තම ප්‍රාණ සම මිතුරා වූ ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් එකල සරත් මුණසිංහයන් ගේ විවාහ දින දෙවැනි මනාලයා වූයේය.

විවාහයෙන් කලකට පසුව විදේශ ගතව දීර්ඝ කාලයක් ගතකර යළි මවුබිමට පැමිණි පසු පැවිදි දිවියට ඇතුළත් වූ සුමනශාන්ත හිමියන් එතැන් පටන් සිය ජිවිත කාලය කැප කළේ ධර්ම ශාස්ත්‍රීය සමාජ සුබ සාධන කටයුතු වෙනුවෙන්මය.

සමස්ත ශ්‍රී ලාංකික සමාජයම ගවමස් කෑමෙන් වලකාලීමට උන් වහන්සේට අති විශාල ඕනෑ කමක් විය. ඒ වෙනුවෙන් උන් වහන්සේ තම අභයදාන සංගමය මෙහෙය වූ ආකාරය අපි දැක ඇත්තෙමු . සෑම වර්ෂයකදීම පවත්වනු ලබන මෙම පුණ්‍ය මහෝත්සවයේදී ගවයන් විශාල පිරිසක් අභයදානය ලැබූ අතර , ඔවුන් බලා කියා ගැනීමට බාරදෙන පවුල් පිළිබඳත්, එම සතුනස් පිළිබඳත් පසු විපරම් කරන්නට උන් වහන්සේ මතක තබා ගත්තෝය. සෑම පුණ්‍ය උත්සවයකදීම නිර්මාංශ ආහාර ව්‍යාප්ත කිරීමේ අරමුණින් වැඩමුළු දේශන ආදිය සංවිධානය කරමින් හැකි තරම් ජනතාව වෙත එම පණිවිඩය ගෙන යෑමට විධික්‍රමයන් සම්පාදනය කළේය.

ගීත රචකයෙකු වශයෙන් උන්වහන්සේ ගේ දක්ෂතා ඇගයීමට පෙර සඳහන් කළගී පද රචනා පමණක්ම ප්‍රමාණවත්ය. ගීතය සේම කවියද උන්වහන්සේගේ ආත්මය සමඟ බැඳී තිබුණේය. සිවුපද කවි රචනාවට මෙන්ම හිටිවන කවියටද උපන් සමත්කමක් දැක්වූ උන්වහන්සේ කවියෙන් බණ දේශනා කිරීමටද මහත් දක්ෂතාවයක් දැක්වූයේය.කවියට කෙතරම් පෙම් බැන්දාද කිව හොත් ‘ මධුබිංදු ‘ නමින් කවි සඟරාවක්ද සංස්කරණය කළේය. ගිහියකු වශයෙන් ලැබූ මාධ්‍ය ඇසුර උන්වහන්සේගේ පැවිදි ජීවිතයේ ධර්ම ප්‍රචාරක කටයුතු වෙනුවෙන් බොහෝ උපකාරී විය. ශ්‍රී සුමන අභයදාන සංගමයේ වාර්ෂික පුණ්‍ය මහෝත්සවය වෙනුවෙන් සෑම වර්ෂයකම සමරු කළඹක්ද සම්පාදනය වූ අතර එම සමරු කළඹෙහි සංස්කාරකවරයා වූයේද උන්වහන්සේය.

පැවිදි දිවිය ආරම්භ කළ බෝපිටිය සුදර්ශනාරාමයේ දායක දායිකාවන් සමඟ උන්වහන්සේ ඉතා සමීප සබඳතාවයක් ගොඩනඟා ගෙන තිබිණ. ගමේ දායක දායිකාවන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළා සේම , ඔවුන්ගේ දුකට සැපට පිහිට වන පැවිදි පඬි රුවනක් ලෙසින්ද එගම වාසීන්ගේ ගෞරවයට පාත්‍ර වූයේය.

තම පැවිදි දිවිය අර්ථවත්ව ගත කරන්නට නිරන්තරයෙන් කැපවුණු උන්වහන්සේ , පසුගිය සතියේ දිනක කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාවද ලබා ගෙන යළි විහාරස්ථානයට වැඩම කර ඇත. එදින හවස් භාගයේ හදිසියේ ඇතිවුණු පපුවේ වේදනාවකින් පසු අප සියල්ලන්ටම සමු දී යන්නට ගොස් ඇත. ජිවිතයේ මැද භාගයේදි හෝ සිවුරක් දැරීමට සංසාර පුරුද්දක් තිබිය යුතුය. උන්වහන්සේ ඒ සංසාර පුරුද්දට සිවුරු දරා බුදුරදුන් දේශනා කල පරිදි ශාසනික සේවයට කැප වූවේය. ඒ මහා මෙහෙවර නිමකොට සමුදෙන ඔබ වහන්සේට නිර්වාණය දුර නොවේවා යැයි ප්‍රාර්ථනා කරමි!