වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
වේදිකා නාට්‍ය වේශ නිරූපණ ශිල්පීන්ට අඩු සැලකිලි ඇයි?

කන්ද උඩරට පුරවරයෙහි කලා දක්ෂතාවයන් වලින් පිරිපුන් තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් මේ වන විට ක්ෂේත්රයේ පුරා අතුරු සිදුරු නැතිව පිරී ඉතිරී ගොස් තිබේ.වේදිකාව, ටෙලිනාට්‍ය සිනමාව ත්‍රිත්වයේම කැපී පෙනෙන දක්ෂතාවයන් දක්වන පිරිස් ඒ අතර වේ. පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන වකවානුවේ සෞන්දර්ය ඒකකඹයේ දක්ෂතාවයන් දැක්වූ සිසු සිසුවියන් අතර ඔහු කැපී පෙනෙන ශිෂ්‍යයකු විය.රංගනයට මෙන්ම වේශ නිරූපණයට විශේෂ දක්ෂතාවයක් දැක්වුයේය. පාසල් වේදිකාවේ රංගන ශිල්පීන් සියල්ල ඔහුගේ වේශ නිරූපණයෙන් හැඩවිය. බහුතරයක් කතා නොකරන වේදිකාවේ වේශ නිරූපණ ශිල්පින් අතර ඔහුද වේ. ඔහු ජයන්ත එදිරිසිංහ. මේ සරසවිය සමඟ පසුගිය දින කළ කතා බහයි.
ජයන්තගේ පසුගිය වකවානුව ගෙවුණේ කොහොමද?
මම පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ වකවානුවේ තමයි වේදිකාවට අවතීර්ණ වන්නේ. ඒ කාලෙදි මම වේදිකා නාට්‍ය 15ක විතර වේශ නිරූපණ ශිල්පියෙක් ලෙස පාසලේ කටයුතු කළා. පාසලේ නාට්‍ය හා රංග කලාව උගන්නපු ගුරුවරුන් මට එදා මග පෙන්නුවේ නැත්නම් මෙපමණ දුරක් මට එන්න ලැබෙන් නැහැ. අපේ දක්ෂතාවයන් වෙන වෙනම හඳුනා ගෙන එක එක්කෙනාගේ ගමන් මාර්ගය එදා සකසලා දුන්නා. එදා ඒ ගමන ආපු ගොඩක් දෙනෙක් අද ක්ෂේත්රයේ නිරත වෙලා ඉන්නවා.
පාසල් වේදිකාවේ කළ නාට්‍ය මොනවාද?
සම්බුලා ජාතකය, වෙස්සන්තර ජාතකය, අංගුලිමාල, කාලගෝල, කදා වළලු, කූවේණි, කොසොල් මහ රජ, අහසින් පොළවට, අම්මාගේ දුක, බල්ලාට නමක් තියන්න, සුදු බණ්ඩාගේ සිහිනය, පැලේ පැදුර, පාර වැරදුණු මාලනී, පාරුව පදින තුරු, නළපාන ජාතකය, ජින්නා දුටු ගම, පාසල ඇරෙන්න විනාඩියයි යන වේදිකා නාට්‍ය පාසල්, අන්තර් පාසල්, දිස්ත්‍රික් සමස්ත ලංකා මට්ටමින්, තරඟ වැදිච්ච නාට්‍යයයි වේශ නිරූපණයෙන් දායක වෙච්ච එවායි.
පාසල් වේදිකාවෙන් පස්සේ ක්ෂේත්රයට අවතීර්ණ වන්නේ කොහොමද?
පාසලෙන් පසු මම වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ වේශ නිරූපණ ශිල්පය පිළිබඳ ව්.ඍ.Q. තඥමඥත 4 දක්වා පාඨමාලාව හැදෑරුවා. ඉන්පසු රූපලාවණ්‍ය ශිල්පය පිළිබඳව වැඩිදුර හැදෑරීම සඳහා රමණි ප්‍රනාන්දු ඇකඩමියට ඇතුල්වෙලා ඒ පාඨමාලා ද අවසන් කළා. පසුව කලා ක්ෂේත්රයට සම්බන්ධ ඇකඩමි කිහිපයකම වේශ නිරූපණය පිළිබඳ රංගන ශිල්පින්ට ඔවුනොවුන් ගේ චරිතයට ආවේණික ලෙස නිරූපණයන් යොදා ගන්නා ක්‍රම සහ සරලම ක්‍රම කොහොමද කාලය තුළ ප්‍රතිනිර්මාණය කරන්නේ කියලා හදැරුවා. වේදිකා නාට්‍ය 15, 20ක් විතර වේශ නිරූපණයෙන් වේදිකාවේ දායක වෙලා තියෙනවා. ඊට අමතරව ටෙලි නාට්‍ය සහ සිනමා පට වලට ද දායක වුණා.
ක්ෂේත්රයට පැමිණි පසු ඔබ වඩාත් ප්‍රිය කළේ වේශ නිරූපණය කළ කවර වේදිකා නාට්‍යද?
මම කරපු හැම නාට්‍යයකට මම කැමැතියි. ඒත් ඒ අතර නාට්‍ය කිහිපයක ට හිත බැඳුණා වේශ නිරූපණය කළ. රහස් ගමනය, රජ සමයම, කොසොල් මහරජු, මහා සමයමට පෙර, තුට්ටු දෙකේ කතාවක්, දෙවෙනි කතානායක, ජනේලයෙන් බලන්න යන වේදිකා නාට්‍යවලට මම ගොඩක් ප්‍රිය කළා දැනට මම ක්ෂේත්රයට ඇවිල්ලා. වසර 18 ක් පමණ ගත වෙනවා
වඩාත් ප්‍රිය කරන්නේ වේදිකාවට ද ටෙලිනාට්‍යයට ද සිනමාවට ද?
මම දැනට වසර 18 ක් වෙනවා ක්ෂේත්රයට ඇවිල්ලා. ඒ වැඩි හරියක් ම වේශ නිරූපණයෙන් දායක වුණේ වේදිකා නාට්‍ය තුළටයි. ටෙලි නාට්‍යයට සහ සිනමාවට කැමති නෑ කියනවා නෙවෙයි. ඒවටත් මම දායක වෙලා තියෙනවා. ඒත් මාව නො පෙනෙන චරිතයක් හැටියට හරි මම අද මේ තැන ඉන්නේ වේදිකාව තුළ මම කළ වේශ නිරූපණයන් නිසයි. වේදිකා වේශ නිරූපණ ශිල්පීන් ගැන ගොඩක් දෙනෙක් මාධ්‍ය තුළින් කතා කරනවා අඩුයි. වේදිකාවේ නළුවකුගේ නිළියකුගේ රංගනය සම්පූර්ණ වෙන්න ඊට මැනවින් ගැළපෙන වේශ නිරූපණයක් අත්‍යවශ්‍යයි. ඒ නිසා මම මුල් අඩිතාලමේ ඉන්න කැමති වෙන්නේ ඒ නිසයි. මගේ ජීවිතයේ මා ලද පහන එතනයි.
ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
මම ආපු මුල් කාලේ ඉඳන්ම අද වෙනකම් ප්‍රවීණයන්ගෙන් මට හොඳ සහයෝගයක් ලැබෙනවා. දන්නැති දේවල් ගොඩක් මට වේශ නිරූපණය කරන විට කියාදුන්නා. ඒ සියලු දෙනාට මම මේක අවස්ථාවක් කරගන්නවා මට කළ උදව් උපකාර වලට ස්තූති කරන්න. ඇවිත් ගොඩක් කලක් වුණත් මම තාමත් ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න තියෙන දේවල් වැඩියි. කිසිකෙනෙකුට මේක ඉගෙන ගෙන ඉවරයි කියලා කියන්න කොයිම මොහොතකවත් බැහැ. ඒ තරම් පුළුල් පරාසයක තියෙන ක්ෂේත්රයක්. ඉවසීම සහ කැපකිරීම කරන්න පුළුවන් නම් හොඳ ගමනක් තියෙනවා ඕනෑම කෙනකුට. ක්ෂේත්රය ගැන පුළුල් අධ්‍යාපනයක් ලබා ගෙන අවබෝධයක් තියාගෙන හැම මොහොතකම ක්ෂේත්රයට පිවිසෙන ඕන කියන එක මම අනාගතේ පිවිසෙන්න ඉන්න සියලු දෙනාටම කියනවා.
කලාවට අමතරව මනාලියන් හා නිරූපණ ශිල්පීන් ද ඔබේ අතින් හැඩ කරනවා නේද?
අද ක්ෂේත්රය තුළ පවතින දේවලුත් එක්ක හැම ක්ෂේත්රයකටම නිරතවීම වටිනවා කියන එකයි මගේ අදහස. ලද අධ්‍යාපනයෙන් සමාජයට යමක් කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා කියන එකයි මට එදා ඉඳන්ම ඕනකම තිබුණේ. ඒ නිසා සියලු දේවල් සමබරව කරගෙන යන්න මට හැකියාවක් තියෙනවා. කොටු වෙච්ච රාමුවක් ඇතුළේ ක්‍රියා කරන්න මම කැමැති නැහැ. ඒ නිසා තමයි දොර ඇරගෙන ඉදිරියට යන්න මේ උත්සාහ කරන්නේ. මෙය වෘත්තීය මට්ටමේ දෙයක් නිසා මට හොඳ අත්දැකීම් තියනවා කියන්න ඕන. එහෙම වුණොත් තමන්ගෙ රැකියාව ගැන කාටවත් බය වෙන්න ඕනේ නැහැ කියලයි මට කියන්න තියෙන්නේ.
ක්ෂේත්රයේ සම්මානයට පාත්‍ර වෙච්ච වේශ නිරූපණ ශිල්පියෙක්ද?
පාසල් මට්ටමේ ජයග්‍රහණ රැසක් මම හිමිකරගෙන තියෙනවා. ඉන්පස්සෙ කිහිප සැරයක්ම රාජ්‍ය මට්ටමේ නිර්දේශිත නාම අතරට එක්වුණා. පසුව සිටි ඇන් ග්ලාස් සහතික සම්මාන පත්‍රයක් ද හිමි වුණා.මධ්‍යම පළාත් මට්ටමේ ජයග්‍රහණ කීයකට ගත්තා. සම්මාන සහතික වලට වැඩිය මම බලාපොරොත්තු වෙන්නේ මගේ දක්ෂතාවයන් ප්‍රේක්ෂකයා හමුවට ගෙන ඒම තමයි. ජනතා සම්මානය ලැබෙනවානම් වෙනත් සම්මාන මොකටද කියලා හිතෙනවා. අද ගොඩක් සම්මාන ලැබෙන්නේ දක්ෂතාවයට නෙවෙයි. ඒ නිසා ඒ ගැන කතා කරන්න ඕන නැහැ කියලා හිතෙනවා.
පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?
මුල් කාලේ මම ක්ෂේත්රයට එනවට ගෙදරින් ගොඩක් අකමැති වුණා. ඒත් දැන් ඒ සියල්ල ආපස්සට හැරිලා මගේ ගමනට සියලු දෙනාම උදව් කරනවා. මගේ පවුලේ අයියලා දෙන්නයි නංගිලා දෙන්නයි මමයි අම්මයි තාත්තයි හත්දෙනෙක් වෙනවා. ජීවිතය හරිම සතුටින් අපේ පවුලේ කටයුතු සිදු වෙන්නේ.
ඉදිරි කාලය කොහොමද?
ඉදිරියේ වේදිකා නාට්‍ය කිහිපයකටම කතා කරලා තියෙනවා. ඊට අමතර නිරූපණ ක්ෂේත්රය හා මනාලියන් හැඩගැන්වීම් ද කරනවා. මීට අමතරව වැඩ කිහිපයක්ම ඉදිරියේ සැලසුම් කරගෙන යමින් සිටින්නේ. ඒ සියලු නිෂ්පාදකවරුන් හා ඉදිරියේ එන්න තියෙන වැඩකටයුතු අනුව තමයි තීරණය කරන්න වෙන්නේ. කුමන දේ අද කරන්නේ කියලා තීරණය කරන්න වෙන්නේ පසුදින අලුයමයි. ඒ නිසා අනාගතය ගැන සිහින දකිනවා ට වැඩිය වර්තමානයේ තිබෙන දේ කරලා ජීවත් ජීවත්වීම තමයි අදට උචිත ම දේ කියලයි මම හිතන්නේ.