වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
මවත් දුවත් එකම වේදිකාවේ නර්තනයෙහි යෙදෙන අයුරු බලන්න

කඨක් නර්තන ප්‍රසංග නර්තන නෘත්‍ය නාටක මෙරට මෙන්ම අන්තර්ජාතික වේදිකාව තුළ නිෂ්පාදනය කරමින් කථක් නර්තන විෂය ව්‍යාප්ත කිරීමට සුවිශාල මෙහෙවරක් කළ ඇය. දශක දෙකකට අධික කාලයක් පුරා විශාල ශිෂ්‍ය පිරිසක් මේ වන විට බිහිකොට ඇත. කථක් නර්තන ශිල්පිනියක ලෙසත් කථක් නර්තන විශ්වවිද්‍යාල ආචාර්යවරියක ලෙසත් කටයුතු කරන ඈ ශ්‍රී බ්‍රින්දාවන් කථක් කේන්ද්‍රය හා කැන්ඩි කථක් කේන්ද්‍රයේ නිර්මාතෘවරිය ද වන්නීය. කථක් නර්තනය ඉදිරියට රැගෙන යාමට තම ශ්‍රමය කැප කර සිටින ප්‍රවීණ කලාකාරියක වන ඈ මහාචාර්ය වෛද්‍යවතී රාජපක්ෂ ගුරුමැණියන් ගේ සහ පණ්ඩිත් අර්ජුන් මිශ්‍රා ගුරු දේවයාණන් යටතේ ශිල්ප ප්‍රගුණ කරනු ලැබුවාය. වර්තමානයේ ශ්‍රී ලංකා යුද හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්දියානු නර්තන අංශය භාර ප්‍රධානියා ලෙස කටයුතු කරන ඈ ත්‍රිවිධ හමුදාව තුළ කථක් නර්තනය ව්‍යාප්ත කිරීමට මුල් වූ ප්‍රථම කාන්තා නිලධාරිනීයද වන්නීය. නමින් ඈ ශාස්ත්‍රපති, නෘත්‍ය නිපුන් ශිංගාර්මණී මේජර් වෙරෝනිකා දසනායක මහත්මියයි. වයස අවුරුදු පහේ පටන් මහාචාර්ය වෛද්‍යවතී රාජපක්ෂ ගුරුමෑණියන් යටතේ උඩරට නර්තනය ඉගෙන ගන්නා වෙරෝනිකා උසස් පෙළ විෂය ධාරාව සඳහා තෝරාගන්නේ ද නර්තන විෂය ධාරාවන්ය. තම ගුරුමැණියන් කථක් නර්තනය ගැන ලබාදුන් දැනුමත් ගුරුමෑණියන් කථක් නර්තනයේ යෙදෙන ආකාරයත් දකින වෙරෝනිකා කථක් නර්තනයට අසීමිතව පෙම් කරන්නට පටන් ගත්තාය.
මේ අතරේ ඇයට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් ශිෂ්‍යත්වයක් ලැබෙනුයේ ඉන්දියාවේ භාත්කණ්ඩේ සංගීත විශ්ව විද්‍යාලයේ ඉගෙන ගැනීම සඳහාය. එහිදී ප්‍රාසංගික කලා විශේෂවේදී උපාධිය හදාරන ඈ ලක්නව් ගුරුකුල සම්ප්‍රදායේ පාරම්පාරික ශිල්ප ක්‍රමය යටතේ කථක් නර්තනය ඉගෙනීම අරභනුයේ පණ්ඩිත් අර්ජුන් මිශ්‍රා ගුරුදේවයන් යටතේය. එහිදී පුරා වසර අටක් කථක් නර්තන සම්ප්‍රදාය පිළිබඳ ශාස්ත්‍රිය දැනුම මෙන්ම නර්තන ශිල්පිනියක් ලෙස ලැබු පුහුණුවෙන් අනතුරුව නැවතත් ලංකාවට පැමිණ 2008 වසරේ පටන් කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක ලෙස කටයුතු කරන අතරේ, නුවර, යාපනය, විශ්ව විද්‍යාල වලත් බොහෝ ශිෂ්‍ය පිරිසක් වෙත මෙම නර්තනය ව්‍යාප්ත කරලීමේ කටයුතුවල නියැළී සිටින්නීය.
අද දින සවස මරදාන ටවර් හෝල් රඟහලේ පැවැත්වෙන ගුරු අභිනන්දන ගුරු දක්ෂිණා කථක් නර්තන ප්‍රසංගය පිළිබඳ එහි සංවිධායක ශාස්ත්‍රපති නෘත්‍ය නිපුන්, ශිංගාර්මණී මේජර් වෙරෝනිකා දසනායක කෙරෙන සංවාදාත්මක කතා බහකි මේ.
කථක් නර්තන කලාව ගැන පැහැදිලි කිරිමක් සිද්ධ කළොත්?
භාරතීය නර්තන කලා අතර උත්තරභාරතීය කථක් නර්තන කලාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක් “කථක්” ‘කථා කහේ සෝ කථා කහා වේ’ යනුවෙන් කථාකර් කථාවක් කියනවා යන අර්ථය එයින් පිළිඹිබු වෙනවා. අද වන විට කථක් නර්තන කලාව ලොව පුරා විශ්වීය නර්තනයක් වී හමාරයි. මේ නර්තන කලාව ලක්නව්, ජායිපූර්, බෙනාරිස් ආදී විවිධ ගුරුකුල යටතේ ප්‍රචලිතව තියනවා. භාවේන්ද්‍රිය හා බුද්ධීන්ද්‍රය ලෙස සමතුලිත ලෙස පිනවිය හැකි කථක් නර්තනය ඉන්දීය සංස්කෘතියට දායාද වූ ආභරණයක් කිව්වොත් නිවැරදියි. කථක් නර්තනය භාරතීය හින්දුස්ථානී සංගීතය හා සුසංයෝගි වී පසු කලෙක සියුම් කලා සම්ප්‍රදායක් බවට පත්වුණා. වර්තමානයේ බොලිවුඩ් සිනමාව අතික්‍රමණය කරමින් කථක් නර්තනය ප්‍රාසංගික වේදිකාව තුළ සුෆි කථක්, ෆ්ලැමින් කෝ සහ කථක්, ටැප් සහ කථක්, යෝග කථක් ආදී ලෙස ජනපි‍්‍රය සංස්කෘතිය තුළ අධිකාරීත්වයක් ගෙන තියනවා.
මෙවැනි ප්‍රසංගයක් සංවිධානය කිරීමේ අරමුණ පැහැදිලි කළොත්?
මේ ප්‍රසංගය මම සංවිධානය කළත් මගේම ඒක පුද්ගල ප්‍රසංගයක් වන්නේ නෑ. මම 2008 වසරේ පටන් රටේ සතර දිග් භාගයේම දරුවන්ට කථක් නර්තනය ඉගැන්වීම සිදුකරනවා. බොහෝ ශිෂ්‍ය පිරිසකට මම මේ දැනුම බෙදාදීම පුහුණුවීම් සිද්ධ කරනවා. මේ අතරින් මම ලඟ අවුරුදු දහයක් ඉගෙනගත් දරුවෙක්වන. නෘත්‍ය විශාරද චිත්රීනා මේඩ්ස් ශිල්පීයත්වයට පත්වෙලා ඇය කළ එළි දැක්වීමක් සිද්ධ කරනවා. ඒ කළඑළි දක්වන මංගල්‍යයට අපි කියන්නේ ගුරු දක්ෂිණා කියල අද නර්තන ප්‍රසංගය සවස හයට ආරම්භ කළත් ගුරුපූජා කටයුතු අපි සවස හතරේ සිට ආරම්භ කරනවා. මෙම ප්‍රසංගයේ මුල්ම ප්‍රවේශය ගන්නේ නෘත්‍ය විශාරද චිත්රීනා මේඩ්ස් ඇය තමයි. මේ ප්‍රසංගයේ ප්‍රධාන නර්තන ශිල්පිනිය ඇගේ මංගල දර්ශනය තමයි මේ අවස්ථාව. ඊට පසු එහි දෙවන භාගය ලෙස මම ගුරුවරියක් වගේම නර්තන ශිල්පිනියක් ලෙස ලක්නව් සම්ප්‍රදායේ තියන ප්‍රවීණයකු විසින් සිදුකරන සුවිශේෂී අංගයන් කිහිපයක් මා විසින් ඉදිරිපත් කරනු ලබනවා. ඉන් අනතුරුව තවත් සුවිශේෂී දෙයක් මෙහිදී සිද්ධ කරනවා. මට උගන්නපු මහාචාර්ය වෛද්‍යවතී රාජපක්ෂ මහත්මියට ගුරු අභිනන්දන් උපහාරයක් සිද්ධ කරනවා. මෙහිදි මට විශේෂ යමක් කියන්න තියනවා. වෛද්‍යවතී මහත්මියට දැන් වයස අවුරුදු අසුවක් ඇය වසර හැටක් විතර විශ්ව විද්‍යාලයේ සේවය කළා. මේ වනවිට ඇය අතින් නිර්මාණය වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දස දහස් ගණනක් ලෝකය පුරා විසිරී සිටිනවා. ඒ හැමෝටම මම ආරාධනා කරනවා. මේ උත්සවයට එන්න ඇවිත් එතුමියට උපහාර දක්වන්න කියල. එතුමියගේ මුල්ම ගෝලයෝ සිටී නම් මම ඒ අයටත් විවෘතව ආරාධනා කරනවා. එතුමියට එදාට වේදිකාවට ඇවිත් උපහාර දක්වන්න කියලා මම අද ගුරුවරයෙක් ලෙස යම් තැනක වැජඹෙනවා නම් ඒකෙ සම්පුර්ණ ගෞරවය මගේ මුල් ගුරුවරයාට හිමිවිය යුතුයි. ගුරුවරු අප අතරින් වෙන් වුණාට පස්සේ මොන උපහාර තිබ්බත් වැඩක් නෑ. ඒක ප්‍රායෝගික නොවන නිසා ජීවත්ව ඉන්න අවධියේ ඒ සතුට ඒ ඇස්වලට දෙන්න පුුළුවන්නම් ඒක තමයි වටින්නේ තවත් විශේෂත්වයක් මෙහිදී සිද්ධ වෙනවා. නෘත්‍ය විශාරද චිත්රීනා මේඩිස් ගේ මව වන නෘත්‍ය විශාරද තෙල්මා මේඩ්ස් එදාට වේදිකාවේ නර්තනයේ යෙදෙනවා දුවත් සමඟ. ලංකාවේ ප්‍රථම වතාවට තමයි, කථක් නර්තනයේ මවක් හා දුවක් වේදිකාවේ එකට නර්තනයේ යෙදෙන මේ අවස්ථාව චිත්රීනාගේ මව වන තෙල්මා මේඩ්ස් මගේ කලකට ඉහත දී ශිෂ්‍යාවක් ඒකත් මෙහි විශේෂත්වයක්. තෙල්මා කොළඹ මියුසියස් විද්‍යාලයේ ආචාර්යවරියක්, වගේම මනමේ නාට්‍යයේ මනමේ කුමරියට, සිංහබාහු නාට්‍යයේ සිංහ සීවලී, කුවේණි නාට්‍යයේ කුවේණි චරිත සඳහාත් සුබ සහ යස, සිහල වංශලා නාට්‍ය සඳහාත් රංගනයෙන් එක් වූ කලාකාරිණියක්.
චිත්රීනාත් කොළඹ මියුසිසස් විද්‍යාලයේ අධ්‍යාපනය ලබා නර්තන හා නාට්‍ය අංශයෙන් සමස්තලංකා ජයග්‍රහණ මෙන්ම ක්‍රීඩා අංශයෙන් ද ජයග්‍රහණ රැසක් ලැබු ශිෂ්‍යාවක්. වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ශිල්පිනියක් වන ඇය මේ වන විට එම්. සෆීර් මහතාගේ ඈන් ෆ්‍රෑන්ක් වේදිකා නාට්‍යයේ ප්‍රධාන භූමිකාව ද නිරූපණය කරනු ලැබුවා.
ලක්නව් ගුරුකුල සම්ප්‍රදායේ විශේෂ නර්තන පදවලින් යුක්ත වූ නර්තන අංග රැසක් දැක බලා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් එදාට පේ‍්‍රක්ෂකයන්ට උදාවෙනවා.
ඔබේ ප්‍රසංගය තුළ එදාට ඔබ පර්යේෂණයක් පවා කරන්න සුදානමක් තියන බවක් කිව්වා නේද?
ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය අංකුරාන් දත්තා ගේහා මහාචාර්ය වෛද්‍යවතී රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ප්‍රසංගයේදී මම අත්හදා බැලීමකත් නිරත වෙන්න බලාපොරොත්තු වෙනවා. උඩරට නැටුම් මම කළාට කථක් මම තෝරගත්තාට පස්සේ මම ඒක විතරයි නටන්නේ. ඉන්දියාවේ ඩාන්සර් කෙනෙක් වෙන ඩාන්ස් එකක් කරන්නෑ. තමන් තෝරාගත් එක හැරෙන්න ඊට හේතුව තමන්ගේ මූමන්ස් වෙනස්වීම. තමන් කරන දේ තුළ ගැඹුරට යන්න පුළුවන්. එහි පිරිසුදුභාවය රැකගන්න එයම ප්‍රගුණ කිරිමක් පමණයි කරන්නේ. කාලයක් අපි ඒ දේ කිරීම තුළ තමයි නැටුමෙන් අපි දිලිසෙන්න පටන් ගත්තේ. මම අවුරුදු විස්සක් කළ එකම දේ මේ එකම දේ කිරීම තුළ මගේ පරිකල්පන ශක්තිය තව වැඩිවෙනවා. කථක් කියන්නේ බොහොම විවෘත නැටුමක්. අපිට ඕනෙ දෙයක් නිර්මාණය කරගන්න පුුළුවන්. ඒ තුළ බොහෝ ඉඩකඩ තියනවා. නමුත් කථක් සඳහා අනන්‍ය වූ ලක්ෂණයන් තියාගන්න ඕනේ.
මම විශ්වවිද්‍යාලයේ මාස්ටර් ඩිගි‍්‍රයට කළේ කථක් නර්තන කලාවේ නව ප්‍රවණතා නමින් මේ නැටුම වෙස්ටන්, ටැප් ෆ්ලැමින්කෝ ඩාන්ස් එකක් එක්ක මික්ස් වෙලා අලුත් ස්ටයිල් බිහි කරල තියනවා. මම මතුවට අපේක්ෂා කරන්නේ ශ්‍රී ලාංකීක ස්ටයිල් එකක්. මේ තුළ අපේ රහට හදන්න. එදාට මගේ ප්‍රසංගය තුළ උත්සාහයක් දරනවා. ශාස්ත්‍රපති සංගීත නිපුන් හේෂාන් ගමගේ ගේ ලස්සන ගීතයක් තියනවා ශ්‍රී රාධා කියල ඉන්දියානු මෙලඩිය. නමුත් සිංහල වචන මේ නැටුමේ භාෂාව හින්දිනේ ඒභාෂාවෙන් අර්ථය ගන්න හැමෝටම අපහසුයිනේ. නැටුම දන්න කෙනා ඒක තේරුම් ගනියි. නමුත් සිංහලෙන් කළොත් නරඹන කෙනාට අර්ථයත් මම කරන දේත් හොඳට අවබෝධවෙයි. ඒ නිසා එදාට හේෂාන් ගමගේ මාත් එක්ක ගායනයෙන් එකතු වෙනවා. මගේ අභිනයන් සමඟ එදාට ගායනා කරන ගීතය සංගීවත් කරල තියෙන්නේ බිබිලියානේ මහානාම හාමුදුරුවෝ. මගේ ශිෂ්‍යාවෝ හින්දි ගීතයට නටනකොට මම අපේ පේ‍්‍රක්ෂකාගාරය කැමති වෙන වැඩකට තමයි සුදානම.
වෙරෝනිකා කලක් නිවේදිකාවක් ලෙසත් කටයුතු කළා නේද?
අ.පො.ස. සා.පෙළ දක්වා මම අධ්‍යාපනය ලැබුවේ මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ 1998 සාමාන්‍ය පෙළ ලියල ඉන්න කාලයේ තරුණ සේවා සභාව මඟින් ඉදිිරිපත් කළ තුරුණු ශක්ති පළමු කණ්ඩායමට මහනුවර දිස්ත්‍රික්කය නියෝජ්‍ය කරමින් නිවේදන අංශයෙන් ජයග්‍රහණය කර පළාත් මට්ටමින් ද මම ජයග්‍රහණය කරනු ලැබුවා. එහිදී ගුවන් විදුලියේ විසිර සංස්කෘතික ගුවන් විදුලිය ආරම්භ කිරීමත් සමඟ තරගයෙන් ජයග්‍රහණය කළ අපි සැමට ආරාධනා කළා. එහි සේවය සඳහා. ඔය අතරේ මම උසස් පෙළට ඉගෙන ගන්නත් සුදානම් වෙලා හිටියේ. ගුවන් විදුලියට ඒ මේ පහසුව සඳහා. මම කොළඹට ඇවිත් නුගේගොඩ අනුලා විද්‍යාලයට ඇතුළත් වුණා උසස් පෙළ සඳහා. නිවේදන කටයුතු වගේම වැඩසටහන් නිෂ්පාදනයත් මම සිද්ධ කළා. උදේට ඉස්කෝලේ එන මම හවසට ගුවන් විදුලියේ වැඩ කළා. මගේ මුල්ම රැකියාව වුණේ නිවේදන වෘත්තිය පාසල් ශිෂ්‍යයකුව හිඳිමින් රැකියාවක් කළා. ඒ දවස්වල මීඩියා පැත්තෙන් ඉදිරියට යන්න තමයි අපේක්ෂා කළේ. උසස් පෙළ ලියා ඉන්න අතරතුර මගේ මිතුරියක් මාර්ගයෙන් මට දැනගන්න ලැබුණා, ඉන්දියාවේ අධ්‍යාපනයට ශිෂ්‍යත්ව ලබාදෙනවා කියල. ඒ අනුව මමත් ඉල්ලුම් කළා කුඩා කාලයේ පටන් මම නර්තන හදාරන නිසා. ශිෂ්‍යත්වය ලැබී ඉන්දියාවට ගියත් මට අපේ රූපවාහිනී නාළිකා පවා ආරාධනා කළා. නැවත එන්න ඔවුන් ගේ ආයතන වෙත කියල. ඒත් මම කල්පනා කළා මම යන්න ගිය ගමන වෙනස් වුණ නිසා දිගටම නර්තනයට යොමුවෙන්න අදහස් කළා. දෛවය මගේ ගමන වෙනස් කළ නිසා.
කොපමණ කාලයක පුහුණුවක් මේ සඳහා අවශ්‍ය වෙනවාද?
ඉන්දියාවේ නම් වයස අවුරුදු පහේ ඉඳලා මේ සඳහා පුහුණුව ලබනවා. නිවැරැදි ශිල්පිණියක් අඩුම තරමේ අවුරුදු පහකවත් පුහුණුවක් ලැබිය යුතුයි. උපරීමයට සීමාවක් නෑ. දැන් මේ සඳහා ඉන්දියාවට යා යුතුම නෑ. අපි ඒ දැනුම ලංකාවට ගෙනත් තියනවා.
යුද හමුදාවට ඔබේ දායකත්වය එක්වෙන්නේ කොහොමද?
මගේ පියා විශ්‍රාමික කපිතාන් ශාන්ත දසනායක. මගේ අම්මා ආරියලතා දසනායක. ඇය ගුරුවරියක්. මගේ පවුල් පසුබිම තුළ හමුදා පරිසරයක් තිබීම මට සාමාන්‍යදෙයක්. මම ඉන්දියාවේ අධ්‍යාපනය ලබල ලංකාවට ඇවිත් ඉන්නා අතරේ මගේ ගුරුතුමිය වෛද්‍යවතී රාජපක්ෂ මැතිනිය මගෙන් ඇහුවා යුද හමුදාවේ ඉන්දීය නර්තනය තියනවා ඒක ඩිවලොප් කරන්න කෙනෙක් නෑ. පුළුවන් ද භාරගෙන කරන්න කියලා. මම ඒ අභියෝගය භාරගත්තා. මගේ ජීවිතයේ ලෙජන්ඩ් කෙනෙක් තමයි මගේ ගුරුතුමිය. 2017 වසරේ තමයි මම යුද හමුදාවට එක් වෙන්නේ. එහිදී මගේ තියන දක්ෂතාවලට ඔවුන් මාව බඳවා ගන්නවා හමුදාවේ මේජර් නිලයට මේකත් විශේෂයි. කාන්තා නිලධාරිනියක් ඉන්දීය නර්තනය පිළිබඳව ඇවිත් තියන මුල්ම අවස්ථාව වීම, යුද හමුදාව තුළ කාන්තා නර්තන ශිල්පිනියන් 250ක් ඉන්නවා. ඒ අතරින් කථක් නර්ථන ශිල්පීන් හතළිහක් ඉන්නවා. විශේෂයෙන්ම ඉන්දීය නර්තනය හදාරපු අනෙකුත් අයත් මේ දේවල් හදාරනවා. හැමෝම සෑම විෂයක්ම ලෝකයේ තියන හැම නර්තතයක්ම අපි හදාරනවා. අපේ යුද හමුදා නර්තන කණ්ඩායම හැමදේටම දක්ෂයි. හැම අතින්ම ප්‍රවීණත්වයට පත් වූ පිරිසක් අපිට ඉන්නවා.
ඔබේ ඉදිරි බලාපොරොත්තු මොන වගේද?
මට ඕනේ මේක පුළුවන් තරම් ජනගත කරන්න. මේක ඖෂධයක් හොද තෙරපියක්. උත්තේජනයක්. ශාස්ත්‍රීය සංගීතය, තබ්ලාව, බටනළාව තුළින් ඇසෙන මිහිර අපේ සිත් සුවපත් කරනවා. මම මේ ප්‍රසංගය පවත් වන්නේ නොමිලේ මම විවෘතව ආරාධනා කරනවා. සෑම කෙනෙක්ම ඇවිත් මේ කලා රසය විඳින්න සිත් සුව පත් කරගන්න කියලා. ඕනෙම ආතතියක් දුරලන්න පුළුවන් දිව්‍ය ඖෂධයක් තමයි කථක් නර්තනය.
ඉන්දියාවෙන් කථක් නර්තනය ඉගෙන ගත් ඔබට ඉන්දියාවේ කථක් ප්‍රසංග සඳහාත් ආරාධනා ගලාගෙන එනවා?
මුලින්ම එහෙම ආරාධනයක් අනුව ඉන්දියාවට ගියේ 2014 වසරේ. නර්තන ශිල්පිනියන් අට දෙනෙක්ගෙන් සමන්විත මගේ කණ්ඩායම. වර්ණවත් කළේ එහෙ තිබුණු මාදූර් ක්‍රිෂ්ණා ලීලා ප්‍රසංගය. ඒ සඳහා විසිදහසක පේ‍්‍රක්ෂක පිරිසක් නැරඹීම සඳහා පැමිණ සිටියා. එහිදී ඉහළ ප්‍රතිචාර අපට ලැබුණා. පේ‍්‍රක්ෂකයෝ මා ළඟට ඇවිත් කකුල් දෙකඅල්ලා වැන්දා. අපි ඔබ තුළින් ක්‍රිෂ්ණා දුටුවා කියලා. පේ‍්‍රක්ෂකයන්ගෙන් කෙනෙක් ඇගේ කරබැදි මාලය මට පරිත්‍යාග කළා. තවත් පේ‍්‍රක්ෂකයෙක් සල්ලි මිටියක් අරන් ඇවිත් හිතේ හැටියට අපිට බෙදල දුන්නා. ඒ වගේ අසීමිත ප්‍රශංසාවක් අපිට ලැබුණා. මහා කුම්බමේලා උත්සවයෙදී අපි දවස් තුනක් ඉන්දියාවේ ලක්ෂ ගාණක් ජනතාව ඉදිරියේ කථක් නර්තනය ඉදිරිපත් කරපු අවස්ථාත් තිබුණා.
පවුලේ තොරතුරු කොහොමද?
මගේ දුව ආදිත්‍යා අබේරත්න. තවම අවුරුදු තුනක පුංචි දැරියක්. මගේ සැමියා මේජර් මොරිස් අබේරත්න. ඔහුත් යුද හමුදාවේ සැපයුම් අංශයේ සේවය කරනවා.
නවීණ තාක්ෂණය ඔස්සෙත් ඔබ කථක් නර්ථනය ව්‍යාප්ත කිරීමේ කාර්යෙත් නියැළී ඉන්නවා.
මගේ යු ටියුබ් නාළිකාවේත් මම මේ පිළිබඳ පාඨමාලාවන් ඉදිරිපත් කරනවා. වෙරෝනිකා දසනායක නමින් පවත්වා ගෙන යන මේ යුටියුබ් චැනල් එකේ මගේ මේ ප්‍රසංගය සජීවීව සවස හතරේ සිට එය නිමාව දකිනතුරු විකාශය කරන්නත් මම සියලු කටයුතු සුදානම් කරල තියනවා. ෂෝ එක මට ඕනේ මුලු ලෝකයටම සජීවිව පෙන්වන්න. කවදහරි ආයෙත් මේ වගේ ෂෝ එකක් කළත් මේ ආකාරයට නැවත ෂෝ එකක් නිර්මාණය වෙන එකක් නෑ. ඒ නිසා මේ දිව්‍ය ඖෂධය චිරාත් කාලයක් ජනමනස සුවපත් කරාවි.
සේයාරූ - නිශ්ශංක විජේරත්න