වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
සටන් නළුකමින් එහා ගිහින් චිත්‍රපටයක් නිපදවනවා

- මට ‘පොරක්’ වෙන්න ඕනෙ නෑ
- ජේසුස් වහන්සේගේ චරිතය රඟපාන්න ලැබීම මගේ ජීවිතයේ් සුවිශේෂ වරමක්
ලාංකේය සිනමා ඉතිහාසයේ සටන් නළුවන් සහ සටන් අධ්‍යක්ෂවරුන්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. නළුවන් බිහිවෙන ආකාරයෙන් සටන් නළුවෙකු බිහිවීම එක්තරා ආකාරයකින් පහසු කාරණයක් නොවේ. සටන් නළුවකු මෙන්ම, සටන් අධ්‍යක්ෂකවරයකු වෙන්නට සුවිශේෂී සුදුසුකම් රැසක් සැපිරිය යුතුය. අපේ සිනමා ඉතිහාසය පුරා ද එවන් සුදුසුකම් සැපිරූ සටන් නළුවන් සහ සටන් අධ්‍යක්ෂවරුන් සිටිනුයේ ඉතාමත් අඩුවෙනි.
කාලයක් පුරා තමන් සතුවන කුසලතාවයන් ප්‍රගුණ කරමින් සහ සටන් නළුවෙකුට ඔබින රූපකායකින් යුතුව ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්නට පිවිසි අජිත් කුමාර අත්තනායක අපේ සිනමාවේ සටන් නළු භූමිකාව සහ සටන් අධ්‍යක්ෂවරයාගේ භූමිකාව ඉදිරියට පවත්වාගෙන යන්නට කැප වූවෙකි. පුරා වසර ගණනාවක් ටෙලි නාට්‍ය හා සිනමා ක්ෂේත්‍රයන්හි විවිධ අත්දැකීම් සපුරා ගනිමින් ඔහු වර්තමානයේ සිංහල සිනමාවේ සටන් නළු හා සටන් අධ්‍යක්ෂණ කාර්යයේ ප්‍රමුඛ ස්ථානයකට පැමිණ සිටියි.
‘ඇත්තටම කිවුවොත් මට මගේ කලා ජීවිතේ පටන් ගත්තේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයෙන්, මුලින්ම මම වැඩ කළේ ‘දයාරත්න රටගෙදර ගේ බෝගල සවුන්දිරිස්’ ටෙලි නාට්‍යයේ. ඒ වගේම තමයි රටගෙදර සර් ගේ පළවෙනි චිත්‍රපටය වුණු ‘නිල්දිය යහන’ චිත්‍රපටයටත් මාව සම්බන්ධ කර ගත්තා. ඔහු ඒ දිනවලට කරපු ‘සිත නිවන කතා’ ඒකාංගික ටෙලි නාට්‍ය මාලාවේ කතන්දර ගණනාවකට මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒත් එක්කම මට වෙළෙඳ දැන්වීම් රාශියකටත් පෙනී සිටින්න අවස්ථාව ලැබුණා. ඔය විදියට තමයි මගේ නිර්මාණ ජීවිතේ පටන් ගත්තේ.
එදා නළු චරිතවලින් ටෙලි නාට්‍යවල සහ චිත්‍රපට වල අපිට හමු වූ අජිත් අද බොහෝ විට දක්නට ලැබෙනුයේ සටන් නළුවෙකු සහ සටන් අධ්‍යක්ෂවරයෙකු ලෙසිනි. මේ දිනවල ද ඔහු සුරේෂ් කුමාරසිංහ අධ්‍යක්ෂණය කරන ‘සුපර් හීරෝ’ චිත්‍රපටයට සම්බන්ධ වී සිටියි. එසේම ඔහු නිෂ්පාදනයෙන් දායක වුණු ‘හිත හොඳ පැංචා’ චිත්‍රපටය ද මේ දිනවල සංස්කරණ කටයුතු සිදුකරමින් පවතී. හිත හොඳ පැංචා සුරේෂ් කුමාරසිංහගේ සහ කීර්ති බණ්ඩාර ගේ අධ්‍යක්ෂණයකි.
‘මම මුලින් නළුවෙක් වෙන්න හිතාගෙන හිටපු කෙනෙක් නොවෙයි. මුල් යුගයේ මගේ ජීවිතය වුණේ සංගීතය. ඒ කාලේ බෑන්ඩ් එකකට සම්බන්ධ වෙලා එහි ඔක්ටපෑඩ් වාදකයා ලෙසින් කටයුතු කළා. ඒ කාලේ ලක්ස් තරු වරම කියල වැඩසටහනක් තිබුණා. මම ඒකට ඉදිරිපත් වෙලා ලංකාවෙන්ම 7 වැනියා වුණා. ඊට පස්සේ මම කොළඹ ආවා. ඒ කාලේ තමයි ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයට සම්බන්ධ වෙලා නාට්‍ය කලාව ඉගෙන ගන්න පටන් ගත්තේ. ඔය කාලෙම මට ෆාදර් කෙනෙකුගේ මාර්ගයෙන් පාස්කු නාට්‍යයක ජීසස් ගේ චරිතය රඟපාන්න අවස්ථාව ලැබෙනවා. ඇත්තටම ඒක මගේ ජීවිතේ මට ලැබුණු සුවිශේෂ වරමක්. ඒ පාස්කු නාට්‍යයේ ජීසස්ට ඇත්තටම ඇණ ගහනවා. ඒ තමයි ලංකාවේ තිබුණු පළවෙනි පාස්කුව ඇත්තටම ඇණ ගහන. මේ නාට්‍යයෙදී මීට කලින් තුන් දෙනෙක් මැරිල තියෙනවා. නමුත් මට ඒ චරිතය කරන්න වාසනාවක් තිබුණා. අජිත් පාස්කු නාට්‍යයක ජීසස්ට රඟපෑව ද ඔහු උපතින් බෞද්ධයෙකි. එහෙත් ජේසුස් වහන්සේ කෙරෙහි උපන් අප්‍රමාණ භක්තියකින් යුතුව ඔහු මෙම චරිතය රඟපා ඇත. මේ අතරම අජිත්ට අනුර මාධව ජයසේකර විසින් අධ්‍යක්ෂණය කරන ලද චක්‍රායුධය’ හා ‘මහතලා හටන’ ටෙලි නාට්‍යය සඳහා එක්වීමට අවස්ථාව ලැබී ඇත. මහතලා හටන වැනි නාට්‍යය ඔහුගේ සටන් හැකියාවෙන් ප්‍රයෝජන ගැනීමට හැකිවීම ද ඔහුට ලැබුණ භාග්‍යයකි.
‘මම සටන් අධ්‍යක්ෂවරයකු වශයෙන් සිනමාවට ප්‍රවිෂ්ට වෙන්නේ හරිම අහම්බයකින්. සනත් අබේසේකර අධ්‍යක්ෂණය කරපු ‘මහින්දාගමනය’ චිත්‍රපටයට මම සම්බන්ධ වුණේ නළුවෙක් විදියට. මම රඟපාන්න ගියාම එතැන සටන් අධ්‍යක්ෂවරයෙක් හිටියෙ නෑ. ඉතින් මගෙන් ඇහුවා සටන් අධ්‍යක්ෂණය කරන්න පුළුවන් ද කියලා. අභියෝගයේ ආවම මම කවදාවත් පස්සට යන කෙනෙක් නොවෙයි. ඉතින් මම මගේ අත්දැකීම්, දැනුම් ඇසුරින් කාගෙත් සහයෝගයෙන් ඒ වැඩේ කළා. ඒකෙන් මට නැඟී එන සටන් අධ්‍යක්ෂකට සම්මානයකුත් ලැබුණා.’
අජිත් වර්තමානයේ සිනමාවෙන් නිතර හමු වුණ ද ඔහු ගෙවුණු කාලය පුරා මෙරට ටෙලි නාට්‍ය කර්මාන්තය තුළ නිතර රැඳී සිටි අයෙක්. මේ වන විට ටෙලිනාට්‍ය 20 -25 ආසන්න ප්‍රමාණයකට ඔහු රංගනයෙන් දායක වී ඇත.
‘මගේ ගම මාතර. මාතර ඉඳන් කොළඹට ඇවිත් කලා කටයුතු වල නියැළෙන්න මම ලොකු කට්ටක් කෑවා. මේ වෙලාවෙ මතක් කරන්න ඕන අසෝක සෙනරත් මුදලි. සුමිත් මුදන්නායක වැන්මෝ මට ගොඩක් උදව් කළා. ප්‍රවීණ සටන් නළු හා අධ්‍යක්ෂ විල්සන් කරු මගේ ඥාතියෙකුත් වෙනවා. අපි මේ ඉස්සරහට අරගෙන යන්නේ ඒ අය අපට කියාදුන්න. ඒ අය අපට ඉතිරි කරල ගිය දේවල්. මගේ පූර්වාදර්ශය වුණේ ඇත්තටම සුමිත් මුදන්නායක තමයි. ඊට පස්සේ ටෙඩී විද්‍යාලංකාර වැන්නේ මේ ක්ෂේත්‍රයේ දැවැන්ත චරිත. මම හැදෙන්නේ මේ චරිත දිහා බලාගෙන. ඇත්තටම කිවුවොත් මම මේ ක්ෂේත්‍රයට එන්නේ කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාගෙන නොවෙයි. අර කතාවට කියනවනේ ‘ඇම්මට එනවා කියලා. කලාව කෙරෙහි උපන් ඇම්මට තමයි මේ ගමන ආවේ.
මට මේ සටන් කලාව තව දුරටත් පුහුණු කර ගන්න අවස්ථාවක් දේශපානඥයකු ගේ මාර්ගයෙන් උදාවුණා. මට ඉන්දියාවට යන්න අවස්ථාව ලැබුණා. එහිදී මට ඉන්දියානු සටන් අධ්‍යක්ෂවරුන් සමඟ වැඩ කිරීමේ අවස්ථාව ලැබුණා. ‘
අජිත් ගේ ‘සිනමා ජීවිතය තුළත් විවිධ චරිත නිරූපණය කිරීමේ අවස්ථා ඔහුට හිමි වී ඇත. සිරි දළදාගමනය, මයි නේම් ඊස් බන්දු, කිඩ්නැප්, හොරා පොලිස් ඇතුළු චිත්‍රපට රැසකට ඔහු රංගනයෙන් දායක වී ඇත.
‘පසුගිය කාලේ මම සරත් දික්කුඹුරගේ ‘මරුකතර’ චිත්‍රපටයේත් වැඩ කළා. ඒ වගේම ඉන්දියන් ප්‍රඩක්ෂන් එකක ලාංකේය ප්‍රධාන සම්බන්ධීකාරක වශයෙනුත් කටයුතු කරනවා. රංගනයට, සටන් අධ්‍යක්ෂණයට අමතරව මම බත්තරමුල්ලෙ වෙළෙඳ ප්‍රචාරණ ආයතනයක් පවත්වා ගෙන යනවා. ඇත්තටම අපේ මේ රැකියාව කරන්න ශාරීරික වශයෙන් ලොකු ශක්තියක් තියෙන්න ඕන. මගේ ජීවිතේ මට අභියෝග නෑ. මොකද මම අපේ ප්‍රවීණයන්ගේ පිටුපසින් ආව කෙනෙක්. කොයි මොහොතකවත් මම ‘පොරක්’ වෙන්න ඕන කියන අදහසක් මට නෑ. මට දෙන වැඩේ සාර්ථකව කරන ඒක තමයි මට තියෙන අභියෝගය. මගේ ඊළඟ ලොකුම බලාපොරොත්තුව තමයි චිත්‍රපටයක් නිෂ්පාදනය කරන එක. ඇත්තටම යුද්ධය ගැන ලියවුණු කතාවක් තියෙනවා. ලංකාවේ ජනපි‍්‍රය චරිත යොදාගෙන කරන්න තමයි මගේ බලාපොරොත්තුව. මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරන්නේ සුරේෂ් කුමාරසිංහ.
කොහොම වුණත් හරිම දුෂ්කර ගමනක් මම ආවා. ඒ ගමනේ උපරීම බලාපොරොත්තුව කලාව වෙනුවෙන් යමක් කිරීම. මට අවුරුදු 17ක දුවෙක් ඉන්නවා. මගේ බිරිඳ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සේවය කරන්නේ. මේ දෙදෙනාගෙන්ම මගේ කලා දිවියට ලොකු සහයෝගයක් ලැබෙනවා. මේ ගමන එද්දි අතර මඟ දී හමුවුණ අශෝක සෙනරත් මුදලි දයාරත්න රටගෙදර. සුමිත් මුදන්නායක, කීර්ති බණ්ඩාර, සුරේෂ් කුමාරසිංහ, සරත් දික්කුඹුර, වයි.එෆ්. චාමික ආදි අය මතක් කරන්න ඕන. මගේ ආසවක් තියෙනවා සම්මාන උලෙළකදී මට සම්මාන නොලැබුණත් මම කරපු චිත්‍රපට 3ක් වත් නොමිනේට් වනවා දකින්න. ඒ වෙනුවෙන් හොඳ නිර්මාණ කරමින් ඉන්නවා.