‘තාත්තා එක්ක එන්න’ නව ආරක පිය ගුණ සැමරුමක්

නීතිඥ අරවින්ද හබක්කල
ජුනි 15, 2023

තාත්තා එක්ක එන්න

ඔව්. ජුනි 18 වැනිදා පියවරුන්ගේ දිනයේදී තාත්තා තාත්තා ගැන හිතන්න, තාත්තා ගැන හදවතේ ගැඹුරේම තැන්පත්ව ඇති මතක අලුත් කරගන්න, තාත්තා එක්ක ආයෙම කතා කරන්න, තාත්තා ගැන දැනුණ තැන් ආයෙම සිහිපත් කරන්න එළඹෙන සුවිශේෂ සැඳෑවකට ඔබටද අගනා ආරාධනයක් තිබේ.

නීතිඥ අරවින්ද හබක්කල ගේ සංකල්පයක් ලෙස ගොඩනැඟුණ තාත්තා එක්ක එන්න ප්‍රසංගය ජුනි 18 වැනිදා සවස 6:15ට ශ්‍රී ලංකා පදනම් ආයතනයයේදී පැවැත්වේ.

මහේෂ් නිශ්ශංක, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සහ රවී සිරිවර්ධන නිර්මාණකරුවන්ගේ අගනා අදහසින් සුපෝෂිතව රවීන් කනිෂ්ක, සුනීර සුමංග, නදීෂා විජේසුන්දර සහ සමන්ත සෙනෙවිරත්න කලාකරුවන්ගේ ගී හඬින් තාත්තා එක්ක එන්න ප්‍රසංගය වර්ණවත් වීමට නියමිත ය.

විනී හබක්කල සමාජ සත්කාර පදනමේ නිර්මාතෘ නීතිඥ අරවින්ද හබක්කල තාත්තා එක්ක එන්න සුවිශේෂ සැඳෑව පිළිබඳ සේම මේ සැඳැව සමඟ අලුත් වන සිය පියාණන් පිළිබඳ සුවිශේෂ මතක රැසක් පිළිබඳ මෙන්ම සෑම තාත්තා කෙනකු පිළිබඳ අපට මඟ හැරුණු සංවේදී කාරණා ගණනාවක් ඉස්මතු කරමින් වටිනා කතාබහක යෙදේ.

 

 

තාත්තා එක්ක එන්න සුවිශේෂ අවස්ථාවක්. සුවිශේෂ වැඩසටහනක්. ඇයි ඔබ මේතරම් සුවිශේෂ ව තාත්තා ගැන කතා කරන්නේ ?

“තාත්තා එක්ක එන්න” තාත්තලා පිළිබඳ සුවිශේෂ සංකල්පයක්. ඒ ඔස්සේ කතා කරන්නේ තාත්තලා ගැනමයි. ඇත්තටම මට කියන්න ඕනේ තාත්තලා ගැන පුත්තු කතා කළ යුතුයි කියන පණිවිඩයයි. අපි අම්මයි පුතයි ගැන කතා කරනවා. තාත්තගෙයි දුවගෙයි ආදරේ ගැන කියනවා. එතනදි මගෙ මූලික අදහස තමයි මම පෙර කියු ලෙස තාත්තලා ගැන පුත්තු කතා කරන්න ඕනේ කියන එක. මේ කාරණාවෙදී මගේ අදහස කියුවොත් මට දැනෙන්නේ මෙහෙම දෙයක්. හැමවිටම පිරිමියකු තවත් පිරිමියකු වර්ණනා කරනවාට වඩා කාන්තාවක් වර්ණනා කරන ඉඩ වැඩියි.ඒක ජීව විද්‍යාත්මකවත් සැබෑ කාරණාවක්.තාත්තා කෙනෙක් දුවෙකුට වැඩි බැඳීිමක් අපි දකිනවා. හැබැයි තාත්තා කෙනෙක් පුතෙක් සමඟ ගනුදෙනු කරන්නෙ වෙනම විදියකටයි. ගෙදරක් ඇතුළෙ ඔවුන් දෙදෙනාම තම තමාගෙ පෞරුෂත්වයන් පිළිබඳ හැඟීමක් එක්කයි කටයුතු කරන්න පෙලඹී ඉන්නේ. ඒක සාමාන්‍යයි. පුතෙක් ලොකු වෙන්න වෙන්නත් මේක දකින්න පුළුවන්. ඊළඟට ස්වාභාවයෙන්ම ගැහැනියට වඩා පිරිමියකු ශක්තිමත් කියන තැනත් අපි ඉන්නවානෙ. පිරිමියකු තම හදවතේ වේදනා පිට කරනවා අපි දකින්නේ හරි අඩුවෙන්. ඔවුන් දරුවන්ට ආදරය පෙන්නන්තේත් අඩුවෙන්. මොකක් හෝ ඉතා විශේෂ අවස්ථාවකදී තමයි ඔවුන් තමන්ගෙ ආදරය පෙන්නන්නේ. එහෙම නැතිනම් දරුවන් ටික ගොනු වුණේ මව වටායි. ඒවෙලාවලදී තාත්තා කෙනෙක් ක්‍රමයෙන් හුදෙකලා වීමක් වුණා. පිරිමියකුට ප්‍රසිද්ධියේ අඬන්න බැහැ.හැඟීම් පිට කරන්න බැහැ. හැබැයි ඒ වගෙ පසුබිමක් තුළ අපේ ගෙදර මොකක් හෝ දෙයක් වුණාම ඉස්සෙල්ලාම ඇඬුවෙ අපෙ තාත්තායි.මම තාත්තගෙ ඒ සංවේදීකමටයි ආදරය කරන්නේ. ඒ සංවේදීවීමට බලපෑවේ ගෞරවයකටත් වඩා මට තාත්තා ගැන තිබුණ සෙනෙහසයි. මවුපිය ගෞරවය කියන එක අපේ සමාජයේ ඉහළින්ම තිබෙන දෙයක්. එතනදීත් මම තාත්තාගෙන් දැක්කා විශේෂ දෙයක්. ඒ මොකක්ද කියුවොත් මම තාත්තාට ගෞරව කළා හා සමානව සමහර විට ඊටත් වැඩියෙන් තාත්තා මට ගෞරවයක් ඇතිව බොහෝ අවස්ථාවලදී සැලකීමයි. තාත්තා එතැනදී මට සැලකුවේ ඔහුගේ පුතා විදියට නෙවෙයි මනුස්සයෙක් විදියටයි. මගෙ තාත්තා තනියම ඉගෙන ගත් මනුස්සයෙක්. තාත්තාට සිංහල දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනම හොඳීන් පුළුවන්.හැබැයි මම ක්‍රමයෙන් ලොකු වෙද්දී, මම නීතිඥයකු වෙද්දී තාත්තා මට පුටුව දෙන්න ගත්තා. එහෙම වෙන්න හේතුව මම දකින්නේ තාත්තා මට මනුස්සයකු විදියට සැලකීමයි.

ඇත්තටම අපේ සමාජයේ අපි දරුවෙක් හදන්නෙ ආයෝජනයක් විදියටයි. අපි දරුවෙක් හැදුවම ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා. ඒ දරුවො අපි කියන විදියට කසාදයක් කරගන්න ඕන, අපි කියන විදියට දරුවො ටික හදන්න ඕන, ඒ ළමයින්ට අපි කියන විදියට ඇඳුම් පැලඳුම් පවා අන්දන්න ඕනේ කියන දේ හදවතට වැදුණු සමාජයක ඉඳනුයි අපි කතා කරන්නේ. ඉතින් එපමණකුත් නෙවෙයිනෙ. සම්පූර්ණයෙන් ජීවිතය අතහරිනවානෙ දරුවො වෙනුවෙන්. එතනදි බොහෝ වෙලාවට තාත්තා කියල කියන්නෙ පවුල රැකබලාගන්නෙක්නෙ. හැබැයි ඊට එහා ගිය තාත්තා කෙනෙක් ගැන අපි හිතන්න ඕන කියන එකයි මට දැනෙන්නේ. පවුලට දරුමල්ලන් ලැබී අම්මා ඒ දරුවන් එක්ක ජීවත් වෙද්දී හුදෙකලා වන තාත්තා ගැන අපි කල්පනා කරන්නෙ අඩුවෙන්. එහිදී මතුපිටින් සරලව පෙනුණ නමුත් සියුම්ව සෙවිය යුතු දේ මේ තුළ බොහෝ තියෙනවා කියලයි තාත්තා ගේ ජීවිතය ඇසුරෙන් මා හැමදාම කල්පනා කළේ. ඉතින් මේ වගෙ ගොඩක් කාරණා අපට තාත්තා කෙනෙක් ගැන කතා කරන්න තියෙනවා කියන එකයි මේ වැඩසටහන ඔස්සේ මිනිසුන්ට කියන්න පසුබිමක් හදනවා.

එතැනදී මම මගෙ තාත්තා පුදුමාකාර මනුස්සයෙක් කියන්නෙ ගොඩක් හේතු නිසායි. මගෙ තාත්තා තනියෙන් ඉගෙන ගත්තු මනුස්සයෙක්. ඒත් තාත්තාට රස්සාවක් කරන්න බැරි වුණා කවදාවත්. ජීවත් වීම සඳහා හැමදේම කරන්න ඇති තාත්තා. හැබැයි මම දණගාන අවධියේමයි තාත්තා කියල තියෙන්නේ මාව නීතිඥයකු කරන බව. එතකොට අපි ඉඳල තියෙන්නේ ඇළහැර. ඇළහැර දඹුලු කැලේ පාමුල ඉඳන් කවුරු හරි මනුස්සයෙක් ඒකාලෙ තමාගෙ ළමයෙක් නීතිඥයෙක් කරනවයි කියන්නෙ පොඩි කතාවක් නෙවෙයි. ඒක මහා එකක්. ඒක අපෙ තාත්තා කළා. හැබැයි එක දවසක්වත් තාත්තා මා ගාවට ඇවිත් ජීවත් වුණේ නෑ. තාත්තා මිය යනතුරු මමම දුන්නොත් මිසක මගෙන් සල්ලි ඉල්ලලා නැහැ. මියයන තුරුම මගෙන් ඇඳුමක් ඉල්ලලා නැහැ. තාත්තා ආයෝජනයක් නෙවෙයි කළේ. තාත්තා එක දෙයයි කියල තිබුණේ. ඒ මං රජෙක් වගේ පුතෙක් හැදුවා. මං නැතිවූදාක පුතා මාව වළලලා දායි කියලයි. මටත් මෙතනදී පැහැදිලි කර දෙන්න ඕන ඒ දෙයයි.

අපි දරුවො හදන්න ඕන ආයෝජනයක් නොවන විදියටයි. එහෙම වුණාම දරුවො හැමදාම මවුපියන්ට ආදරය කරයි. මම තාත්තාට ආදරය කරන්නෙ තාත්තා මගෙන් මොනවත් බලාපොරොත්තු නොවුණ නිසායි. මනුස්සයෙක් ලෙස සලකන තාත්තා හැමදාම මට ආදරය කළ නිසා වගේම මගෙ ජීවිතයට මැදිහත් නොවුණ නිසයි. මගෙ හැම හැඟීමක් ම මට කියන්න පුළුවන් වු හොඳම යාළුවා මගෙ තාත්තාවූ නිසයි. ඒ නිසයි මම තාත්තාට ආදරය කරන්නේ. තාත්තා කියන මහා දැවැන්ත මිනිහෙක් හිටියෙ නෑ. එහෙම මනුස්සයෙක් මට පේන්නෙ නැහැ. හැබැයි මං තාත්තාට ගොඩක් ආදරෙයි. මගෙ තාත්තා අද මා ළඟ නැහැ. හැබැයි තාත්තා මට හිටිය හොඳම යාළුවා. ඒ ටික තමයි මට අවධාරණය කරන්න ඕනේ.

 

හැබැයි ගොඩක් අයට තාත්තලාව දැනෙන්නෙ නැහැ ?

එහෙම නොදැනෙන්න හේතු ගොඩක් තියෙනවා. මොකද එහෙම ජීවත් වෙන්න ලේසි නැහැ. ඇත්තටම මට මගෙ තාත්තා ව දැනෙන තරම් මගෙ දරුවට මාව දැනෙනවා ද කියල මම දන්නේ නැහැ. ඉස්සරට වඩා දැන් දේවල් වෙනස් ඇති. ඒ මොන දේ අතරෙ වුණත් එහෙම ජීවත් වෙනඑක ලේසි නැහැ.

 

මේ වැඩසටහනේ පරමාර්ථය පැහැදිලි කරදෙන්නේ කොහොමද ?

අපි කතා කරන්නේ තාත්තලා ගැනයි. මේ වැඩසටහන ඇතුළෙ හැමෝටම දැනෙන තැනක් තියෙනවා. ඒක ඇතුළෙ කොතන හරි ඔබේ කතාව තියෙනවා. කොතන හරි මගෙ තාත්තගෙ කතාව තියෙනවා. කෙනෙක් කියන්න පුළුවන් මේ විදිහෙ තාත්තා කෙනෙක් මට නැහැයි කියා. නමුත් මම කියන්නෙ අපට එහෙම තාත්තා කෙනෙක් වෙන්න පුළුවන් කියන එකයි. ඒ කියන්නෙ අපිට හොඳ තාත්තා කෙනෙක් නැති වුණත් හොඳ තාත්තා කෙනෙක් වෙන්න පුළුවන් කියන එකයි. අපි විවාහ වී හෝ සමහර විට දරුවන් නැතිවෙන්නත් පුළුවන්. හැබැයි අපි මේ කතාව අහන එකෙන් අපට හොඳ මනුස්සයෙක් වෙන්න පුළුවන්. මම කියන්නෙ අපි මේ දේ කතා කරන්න, කරන්න එක මනුස්සයෙක් හෝ වෙනස් වෙන්න පුළුවන් කියන එකයි.

 

මේ වැඩසටහන මඟින් තවදුරටත් පුළුල් වනසමාජ සත්කාර ගණනාවකුත් තිබෙනවා නේද ?

ඔව් විනී හබක්කල සමාජ සත්කාර පදනම හරහා දරුවන් වෙනුවෙන් ඵලදායී කටයුතු ගණනාවක් කරන්නත් අපි පසුබිම සාදා තියෙනවා එහිදී දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වගේම ඔවුන්ගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය උදෙසා වන සුබ සාධන කටයුතු කීපයක් අපි මේ ඔස්සේ ලැබෙන ආදායමෙන් ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. උදාහරණයක් ලෙස මෙවර තාත්තා එක්ක එන්න වැඩසටහනට සමගාමීව පාසල් අභ්‍යාස පොත් තුන්දාහක් මුද්‍රණය කොට පොත් තුන්සියය බැගින් පාසල් දහයකට සඳහා ලබා දෙන්න කටයුතු කරනවා. ඒක පොත් බැංකුවක් ලෙස වර්ධනය කරන්න අදහස් කරනවා. ඒ පොත් බැංකුවෙන් දරුවකුට පාසල් වේලාව තුළ හදිසියේ පොතක් අවශ්‍ය වූවොත් නොමිලේ ලබාගත හැකියි. ඊළඟට පැන්සල්, මකන, සනීපාරක්ෂක ද්‍රව්‍ය මෙන්ම පාසල් දරුවන්ගේ යට ඇඳුම් ආදිය මේ බැංකුවට ලබා දීමෙන් මේ බැංකුව වර්ධනය කර ගැනීමේ අදහස මම ව්‍යප්ත කරමින් සිටිනවා. ඒ සඳහා එක්ව කටයුතු කරන්න පිරිස් ඉදිරිපත් වෙනවා. මේ පොත් බැංකුව මම නම් කරලා තියෙන්නේ විනී හබක්කල පොත් බැංකුව ලෙසයි. ඊට අමතරව විනී හබක්කල පදනම මඟින් සමාජ සත්කාර ගණනාවක් ක්‍රියාත්මක කරන්නත් කටයුතු කර තියෙනවා ඉතින්.

තාත්තා ගැන කතා කරන්න අපි හැමෝටම දෙයක් තියෙනවා. තාත්තා කෙනෙක් ගැන හිතන්න දෙයක් තියෙනවා. ඒ වගේම තාත්තා ගැන අපට දැනෙන තැනක් තියෙනවා. ඒක ආයෙම මතක් කරන්න තාත්තා එක්ක එදාට එන්න. ඒක මම මෙහෙමත් කියන්නම් කතා නොකර ජීවත් වෙන, කතා නොකර මිය ගිය, කතා නැති තාත්තලා ගැන කතා නොකරපු දේ කතා කරන හැන්දෑවට තාත්තා එක්ක එන්න.

 

 

[email protected]

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න