වර්ෂ 2023 ක්වූ December 09 වැනිදා Saturday
මේ වටිනාකම මට දුන්නට බොහොම ස්තූතියි

යටගියාව තුළ වැළලුණු අබිරහස් ඝාතනයක සුල මුල සොයා ගන්නට උදව් කරනා ඇය ඒ වෙනුවෙන් පැමිණියෙක්දැයි කිසිවිටකත් අපට නොසිතෙන්නට රංගනයේ යෙදෙයි. ඇගේ ප්‍රේමණීය රංගන ඉරියව් තුළින් ඈ මෙසේ සිනමා ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ මේ දිනවල තිරගත වන ‘දෙවැනි යුද්ධය’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට එක්වෙමිනි.
එය එසේ වත්දී ඇය මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ‘ක්ෂීර සාගරය කැලඹිණ’ චිත්‍රපටයේ පුරම්බිකාව වන්නීය. ඇගේ සිනමා රාජධානියේ මහා අධිරාජයා කොට සලකන මෙන්ම ක්ෂීර සාගරය චිත්‍රපටයේ ඇගේ මහා අධිරාජ්‍යයාද වන ප්‍රවීණ රූපණවේදී ජැක්සන් ඇන්තනී නොමැතිව, ඔහුත් සමඟ කළ රංගනයේ සොඳුරු සිහිවටන සමරමින් ඈ අපේ පිළිසඳරට එක් වූවාය.
ඈව හඳුන්වාදෙන්නට ඒ විතරක්ද ප්‍රමාණවත් නොවන්නීය. ඒ ඈ මෙම මස 22 වැනිදා සිට තිරයට පැමිණෙන ජයන්ත චන්ද්‍රසිරි ගේ ‘මිදුණු විශ්වය’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයද නිරූපණය කරන නිසාය. 1950 දශකයේ සිටි නිළියක වන ‘රාජිනි මදිරාක්ෂි’ ගේ චරිතයෙන් ඈ සිනමා ප්‍රේක්ෂකයන් හමුවන්නේ පුරා මාස තුනකට ආසන්න කාලයක් මෙරට තුළ නිදහස් වුණු චිත්‍රපට අතර ලංකාවේ ප්‍රවීණතම සිනමා අධ්‍යක්ෂවරුන් තිදෙනකු ගේ සිනමා කෘති ත්‍රිත්වයක ප්‍රධාන චරිත ත්‍රිත්වයක් නිරූපණය කරමිනි.
අනෙක් සුවිශේෂතම කාර්ය වන්නේ මෙම චරිත ත්‍රිත්වය තුළ ඈ දක්වනු ලබන රංගන කුසලතාවයේ විවිධත්වයයි. මේ සියල්ල පිළිබඳ කතා බහකට පසුගිය දිනක අපි ඈ හමුවුණෙමු. කවදත් සුපුරුසු සුහදශිලි බවින්ම ඇරඹුණු අපේ කතා බහ සිනමා දිවියේ මෙන්ම ඇගේ ජීවිතයේද විවිධ කාරණා කෙරෙහි අපේ අවධානය යොමු විය.
“ඇත්තටම මේ චිත්‍රපට ත්‍රිත්වය මට ලබා දුන්නේ ත්‍රිත්ව ආකාරයේ අත්දැකීම්. මේ චිත්‍රපට තුන සම්පූර්ණයෙන්ම එකිනෙකින් වෙනස් නිර්මාණ තුනක්. මේ අතරින් මුලින්ම තිරයට පැමිණියේ වී. සිවදාසන් මහත්මයාගේ ‘දෙවැනි යුද්ධය’ චිත්‍රපටය . අධ්‍යක්ෂවරයා ගෙන් මට ලැබුණු උපදෙස් වගේම මේ චිත්‍රපටයේදී මට එක්ව රඟපාන්නට අවස්ථාව ලැබුණු සරත් කොතලාවල සහ පුබුදු චතුරංග කියන නළුවන් දෙදෙනාගෙන් ලැබුණු දැනුම් සම්භාරයත් අති විශේෂයි. පුබුදු සහ සරත් කොතලාවල සමඟ මම මීට ප්‍රථම ටෙලිනාට්‍ය වල වැඩ කරලා තිබුණා. සරත් කොතලාවල මහත්මයා මගේ චරිතය මටත් වඩා හොඳීන් දැකපු කෙනක් කියලා මට හිතුණා. ඔහුත් සමඟ වැඩ කරත්දි ඔහු මට නිතර උපදෙස් දෙනවා උදාරි මෙහෙම කළොත් හොඳ නැත්ද? කියලා අහලා. ඒ වගේම තමයි පුබුදු චතුරංග කියන්නෙත් අති දක්ෂ නළුවෙක්. මේ චිත්‍රපටයේ ඔහුගේ රංගනයන් ගැන කියන්න ආයේ වචන දෙකක් නෑ. ඉතින් දෙවැනි යුද්ධය චිත්‍රපටයේ මගේ රංගනයේ කිසියම් සාර්ථකත්වයක් තිබේනම් එහි ගෞරවය අධ්‍යක්ෂවරයාට වගේම සරත් කොතලාවල සහ පුබුදු චතුරංග යන රංගන ශිල්පින් දෙදෙනාටත් හිමිවිය යුතුයි.”
උදාරිගේ රංගනය රැගත් මීළඟට තිරගත වුණු චිත්‍රපටය වූයේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ අධ්‍යක්ෂණයක් වූ ‘ක්ෂීර සාගරය කැලඹිණ’ චිත්‍රපටයයි. මෙම චිත්‍රපටයේ උදාරි නිරූපණය කරනුයේ පුරම්බිකාවගේ චරිතයය. එක් අතකින් මෙම රංගනය උදාරි වැනි නිළියකට සුවිශේෂ වන කාරණා රාශියකි. එක් කරුණක් වන්නේ උදාරි මහාචාර්ය සුනිල් ආරියරත්න වැනි ජ්‍යෙෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂවරයකුගේ චිත්‍රපටයක රඟපාන ප්‍රථම අවස්ථාව මෙය වීමය. අනික් පැත්තෙන් මෙම චිත්‍රපටයේ තිර රචනය ජැක්සන් ඇන්තනි වැනි ප්‍රබල තිර රචකයකු ගේ තිර රචනයක් වීමය. ක්ෂිර සාගරය කැලඹිණ තිර රචනය වනුයේ ප්‍රවීණ සාහිත්‍යවේදී සයිමන් නවගත්තේගමයන්ගේ නව කතාවෙන් විම ද එක් අතකට සුවිශේෂ කාරණාවකි. සයිමන් ගේ සාහිත්‍යකරණය ඇසුරින් රංගනයේ යෙදීම උදාරිට නම් ආගන්තුක කාරණාවක් නොවන්නේ ඇය මින් පෙර සයිමන් නවගත්තේගම ගේ ‘සංසාරණ්‍යය අසබඩ’ කෘතිය ඇසුරින් කළ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය නිරූපණය කිරීමෙන් වසරේ හොඳම නිළිය ලෙසින් සම්මානයටද පාත්‍ර වූ නිසාය.
“ඇත්තටම ‘ක්ෂිර සාගරය’ වගේ චිත්‍රපටයක ට මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ මම හිතන්නේ මගේ පෙර පිනක් නිසා කියලයි. සයිමන් නවගත්තේගම වැනි අති දැවැන්ත සාහිත්‍යවේදියකුගේ පොතක්, ජැක්සන් ඇන්තනි වැනි දැවැන්ත පෞරුෂයක් අතින් ලියවුණු තිරනාටකයක් මෙන්ම මහාචාර්ය සුනිල් ආරියරත්න වැනි ප්‍රවීණ අධ්‍යක්ෂවරයකුගේ අධ්‍යක්ෂණය යටතේ මට රඟපාන්නට ලැබීම මට විශාල භාග්‍යයක්. මම මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ චිත්‍රපටයක රඟපාන පළමු අවස්ථාව මේ. අනිත් පැත්තෙන් මම ජැක්සන් ඇන්තනී මහත්මයාගේ චිත්‍රපටයක ඔහු යටතේ අධ්‍යක්ෂණය වී තිබුණද ඔහුත් සමඟ එකට රංගනයේ යෙදෙන ප්‍රථම අවස්ථාවත් මේක. ඉතින් මේක මගේ සිනමා ජීවිතේ සුවිශේෂ චිත්‍රපටයක්.
ඇත්තටම මට විශාල දුකක් තිබෙනවා අද ජැක්සන් ඇන්තනී මහත්මයා රෝගීව පසුවන වෙලාවේ මේ චිත්‍රපට සඳහා මට තනිවම සහභාගි වීමට සිදුවීම පිළිබඳ. මම එතුමන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම ඔහුත් සමඟ වැඩ කරනවා කියන්නේ විශ්වවිද්‍යාලයක හිටියා වගේ තමයි. මහා දැනුම් ගබඩාවක්. ඔහුගෙන් මට වචන වලින් කියන්න බැරි තරම් සහයෝගයක් ලැබුණා. මට විතරක් නොවෙයි හේමාල්, සචිනි, රවීන් කණිෂ්ක අපි හැම දෙනාටම ඒ සහයෝගය ඔහු ගෙන් ලැබුණා.
ඇත්තටම ක්ෂීර සාගරය චිත්‍රපටයේ බහුතරයක් මට රංගනයෙන් යමක් කරන්න තිබුණේ නෑ. මගේ රූප ශෝභාව තමයි ඒ චිත්‍රපටය පුරාම ඉස්මතු කරලා තිබුණේ. මම හිතනවා පෙර නොවූ විරූ තරම් රූප ශෝභාවක් මගේ මේ චිත්‍රපටය තුළින් මම දකිනවා. ඉතින් ඒකට විශේෂයෙන්ම ස්තුති වන්ත වෙන්න ඕන. මේ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා වන චන්න දේශප්‍රිය මහතාට. ඔහු ගේ තෙවැනි ඇස ඒ ආශ්චර්යමත් රූප ශෝභාව මට දීලා තිබුණා.”
උදාරිගේ රංගන කෞශල්‍යයේ අපූර්වත්වය මොනවට පිළිබිඹු කළ සිනමා පටය වූයේ ජයන්ත චන්ද්‍රසිරිගේ ‘මිදුණු විශ්වය’ චිත්‍රපටයයි. එක්දහස් නමසිය හැට දශකයේ නිළියකගේ චරිතය ඇය නිරූපණය කරනුයේ ඒ චරිතය තුළින් කිසිවිටෙකත් අපට උදාරි කෙනෙක් මතු නොවන ආකාරයෙනි.
ඇත්තටම ‘මිදුණු විශ්වය’ චිත්‍රපටය මගේ රංගන ජීවිතයේ සුවිශේෂි සන්ධිස්ථානයක් කියලා මම විශ්වාස කරනවා. මුලින්ම මේ චිත්‍රපටයට මාව සම්බන්ධ කර ගැනීම ගැන අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහත්මාට මගේ ස්තූතිය පුද කරන්න ඕන. මේ චිත්‍රපටයේ හදවත තමයි මම රඟපාන රාජිනි මදිරාක්ෂි චරිතය. මම හිතනවා ඔහුගේ මෙහෙය වීමෙන්, ඔහු දුන්න අවවාද අනුශාසනා උපදෙස් අනුව ඔහුට ඕන කරන රාජිණි මම දුන්න කියලා විශ්වාස කරනවා.”
එක්තරා ආකාරයකට උදාරි මේ චිත්‍රපටය තුළ ප්‍රශ්න කරනුයේ ඇගේ වෘත්තිය ජීවිතය වන නිළිකමමය. ඒ නිළිකම යටින් දිවෙන සුන්දර ප්‍රේමවෘත්තාන්තය තුළ ඇය කාලය තරණය කරන ප්‍රේමවන්තියකි. විශේෂයෙන්ම උදාරි ගේ රංගනය ඇතුළත් මේ චිත්‍රපටය සරසවිය පුවත්පත හා නිරන්තරයෙන් බැඳී තිබීමද සුවිශේෂී සංසිද්ධියකි. මෙම චිත්‍රපටය තුළින් වුවද උදාරි දිනා ගන්නේ සරසවිය සම්මානයකි.
“ඇත්තටම ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා ස්ක්‍රිප්ට් එක දීලා ලොකේෂන් එකට ඇවිත් මට රඟපාන්න කියලා කිව්වේ නෑ. අපි හුඟාක් පුහුණු විම් කළා. ශාරීරික අභ්‍යාස කළා. යෝගා කළා. කෙනෙක් මගේ රංගනයේ සුවිශේෂී වෙනසක් දකිනවා නම් ඒ වෙනසට හේතුව ඒකයි. මේ චිත්‍රපටය ඇතුළෙ මට චරිත කීපයක් නිරුපණය කරන්න තිබුණා. බිරිඳක් විදියට, ෆේල් වුණු රංගන ශිල්පිනියක් විදියට හා සාර්ථක වුණු රංගන ශිල්පිනියක් විදියට. ඒක මට ලොකු අභියෝගයක් වුණා. මගේ ආදර කතාව ගොඩනැඟෙන්නේ උද්දික ප්‍රේමරත්න සමඟ වුවත් මට වැඩියෙන්ම රඟපාන් තිබුණේ මගේ සැමියා විදියට රඟපාපු බුද්ධික ජයරත්න සමඟ. ඇත්තටම බුද්ධික ජයරත්නගේ රංගනය ගැන මට විශේෂ යමක් කියන්න ඕන ඔහු අති විශිෂ්ට විදියට මේ චරිතය රඟපෑවා. ඒක නිසා මගේ චරිතය තවතවත් එළිය වුණා, සාර්ථක වුණා කියලා මට හිතෙනවා. මමත් ඉස්ඉස්සෙල්ලාම මේ චිත්‍රපටයේ මගේ රඟපෑම් දකින්නේ ඇමරිකාවේ තිබුණු දර්ශන වාරයකදී. ලංකාවේ විශේෂ දර්ශන වාර කීපයක්ම පැවැත්වුණත් මම විදේශ ගතවෙලා හිටපු නිසා මට බලන්න ලැබුණේ නෑ. චිත්‍රපටය දකිද්දි මටම උන්මාදයක් ඇතිවුණා මම කොහොමද මෙහෙම කළේ කියලා. මට ඒ වටිනාකම දුන්නට අධ්‍යක්ෂවරයාට බෙහෙවින්ම ස්තුතියි.”
උදාරිගේ සිනමා ජීවිතයේ ස්වර්ණමය කාලයක්ද මේ එළඹිලා තියෙන්නේ කියන තරමට මේ වසර ඇගේ සිනමා කෘති රැසක් තිර ගතවන වර්ෂයක් බවට පත්ව තිබේ. මේ වනවිට දෙවැනි යුද්ධය සහ ක්ෂීර සාගරය කැලඹිණ තිරගත වී ඇති අතර ඉදිරි 22 වැනිදා ‘මිදුණු විශ්වය’ තිර ගතවේ. එසේම ඉදිරියේදි සංජිව පුෂ්පකුමාරගේ ‘ආශූ’ චිත්‍රපටයද තිරගත විමට නියමිතය. එහි පදනම වන්නේ හිටපු කථානායක කරු ජයසූරිය මැතිතුමන්ගේ මිය ගිය දියණියගේ ජීවිත කතාවය. ඉන්පසු ජැක්සන් ඇන්තනි මහතාගේ ‘එකගෙයි සොකරි ’, සරත් වීරසේකර ගේ ‘ශ්‍රී සිද්ධා’ සහ ජැක්සන් ඇන්තනී අනතුරට ලක්වීමට පෙර අවසාන වශයෙන් අධ්‍යක්ෂණය කළ ‘සම්බුලා’ සිංහල චිත්‍රපටය සහ ‘දේවි සම්බුලා’ ඉංගී‍්‍රසි චිත්‍රපටය තිරයට පැමිණිමට නියමිතය.
මෙනයින් බලන කල උදාරි සිනමා නිළියක වශයෙන් හඳුන්වන්නට අප කැමැතිය. එහෙත් ඇය මේ දෙස බලනුයේ වෙනත්ම කෝණයකිනි.
“මම මගේ කලා ජීවිතේ අරඹන්නේ සිනමාවෙන් තමයි. ඒ උදයකාන්ත වර්ණසූරියගේ ‘පායා එන්න හිරු සේ’ චිත්‍රපටයෙන්. නමුත් මාව ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණේ මම ‘බොඳ මීදුම්’ නාට්‍යය කළාට පස්සේ. ඉතින් මට පුංචි තිරයට කෙනහිලි කමක් කරන්න බෑ. මම මේ මාධ්‍ය දෙකටම එක වගේ ආදරෙයි.
උදාරි සිය පදිංචිය සඳහා තෝරාගෙන ඇත්තේ සිංගප්පූරුවය. එහෙත් කලා කටයුතුවල නිරත වන්නට ඇය නිරන්තරයෙන් ලංකාවත් සමඟ සබඳතා පවත්වන්නීය. මේ දිනවලද ඇය ලංකාවට පැමිණ ටෙලිනාට්‍ය රුපගත කිරිම්වල යෙදි සිටින්නීය.
“මේ දවස්වල මම අලුත් ටෙලිනාට්‍ය දෙකක රුපගත කිරිම්වල යෙදිලා ඉන්නවා. එකක් තමයි චමිල් පතිරණ අධ්‍යක්ෂණය කරන ‘සිටුවර පුවත’ ටෙලි නාට්‍යය. මේ කතාවට පදනම් වෙලා තියෙන්නේ රූපා ශ්‍රියාණි ඒකනායකගේ ‘සිටුවර පුවත’ නව කතාව. රොෂාන් රවින්ද්‍ර සහ මම තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ.
සාරංග දිසාසේකරයි මමයි ඉන්න තව ටෙලිනාට්‍යයක මේ දවස්වල වැඩ කරනවා. අපි දෙන්නා බොඳ මිදුම් කරලා අවුරුදු 15ට පස්සේ ආයේ එකට වැඩ කරනවා. මේක යුනිවර්සිටි ළමයි ටිකක් එකතු වෙලා කරන වැඩක්. ඒකේ නම ‘අළුපාට දේදුනු’. මම ලංකාවේ නැති වුණාට අවුරුදු ගණනාවක් තිස්සේ මේ ගමන ඇවිත් මට පුරුදුයි. අනිත් එක සිංගප්පුරුව කියන්නේ ලොකු දුරක් නෙමෙයිනේ. ෂුටිං තියන කොට මම එනවා. ඉවර වුණාම යනවා. දුවටත් දැන් ඒක පුරුදුයි. දැන් එයාට අවුරුදු 11ක්. එයාගේ අධ්‍යපන කටයුතුවල එයා නිරත වෙනවා. ඒවා පාඩු කරගෙන එයා එන්නත් කැමැති නෑ. හැබැයි එයා මම ගැන ආඩම්බරයි. එහේ එයාගේ යාළුවන්ට, ටිචර්ස්ලට එහෙම අම්මා නිළියක් කියලා කියන්නේ ආඩම්බරයෙන්.
ඇත්තටම මගේ වෘත්තිය ජීවිතේ අවුරුදු 15ක් මම රඟපාල ඉවර වුණාට පස්සේ සයිමන් නවගත්තේගම මහත්තයාගේ ‘සංසාරආරණ්‍යය අසබඩ’ කෘතිය ඇසුරෙන් සංජය නිර්මාල් කරපු එනමින් යුත් ටෙලිනාට්‍යයේ රංගනය උදෙසා මට හොඳම නිළිය සම්මානය ලැබෙනවා සුමති සහ රයිගම් උලෙළ දෙකේම. දැන් මම සයිමන් නවගත්තේගම මහත්තයාගේම ‘ක්ෂීර සාගරය කැලඹිණ’ කෘතියටත් දායක වෙනවා . ඇත්තටම ඒකත් එක අතකින් දෛවෝපගතයි. සිනමාවේදි මට නොලැබුණ සම්මානයක් තමයි හොඳම නිළිය සම්මානය. ඉතින් ඒක හීන වලින් එකක්. ඒක කවද හරි හම්බවෙයි කියන බලාපොරොත්තුවකින් ඉන්නවා. වෘත්තිය ජීවිතේ මගේ ජීවිතේ තියෙනකල් ඉන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව තමයි තියෙන්නේ.
සිනමා නිළියකගේ එකම බලාපොරොත්තුව, සිහිනය, හොඳම නිළිය සම්මානය....
උදාරිගේ සිහිනයත් එයමයි. ඇය ‘මිදුණු විශ්වය’ සිනමා කෘතියේ රාජිණීට ජීවය දෙමින් සිනමා පටය තුළ සරසවිය සම්මානයට පාත්‍ර වෙයි. ඒ සුබ සිහින සඵල වන්නට උදාරි ඔබට සුබ පැතුම්!
සේයාරූ - නිශ්ශංක විජේරත්න