වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
ආදරණීය රත්මලී... ඔබේ දඩයම නැවත සක්‍රීයයි

ආදරණීය රත්මලී ...
ඔබෙන් මම මිදිලා පුරා හතළිස් වසරක් ගත වෙලා ඉවරයි. නමුත් එදා ටත් වැඩිය ඔබ ගැන අද ආයෙත් කතාවෙනවා. ලේ කඳුළින් වැසුණු ඔබේ ජීවිත කතාවේ අවසන් අඩ ලියන්නට මට ආයෙත් සිද්ධ වෙලා. එදා ඔබව තිරයේ ජීවමාන කළ වසන්ත ඔබේසේකර පවා පුරා හතළිස් වසකට පසු යළි ඔබ ගැන මෙසේ සිහිපත් කරාවි යැයි කෙදිනකවත් සිතන්නට නැත. මා ඔහු සමඟ සමීප සබඳතාවයක් පවත්වාගෙන ගිය ද කෙදිනක වත් එහෙම දෙයක් කළ යුතුය යන අදහසක් මා අසා තිබුණේ ද නැත. එහෙත් වෛද්‍ය නෙඔමාල් පෙරේරා ඔහුගේම සිතුවිල්ලකට අනුව ඔබේ පරපුරේ දෙවැනි පරම්පරාව හා බැඳෙමින් යළි ඔබ ගැන මතකය අවදි කිරීම මේ ලියවිල්ලට හේතුවයි. ඒ ඔහු ‘දඩඉම’ නිර්මාණය කරමින් සිනමාවට ගෙන ආ නව කතා කලාවයි. ඔබ නොදන්නවාට, දඩඉම නිර්මාණය වනුයේ මගේ ජීවිතයේ ද එක්තරා අන්දමක තීරණාත්මක සංසිද්ධියක ප්‍රතිඵලයක් වශයෙනි. අහිමි වෙන්නට ඔන්න මෙන්න තිබූ ජීවිතය නැවත මට අත්පත් කොට දුන්නේ වෛද්‍ය නෙඔමාල් පෙරේරා ය. අපි දෙදෙනා අතර ඇතිවුණ ඒ සංවේදී බැඳීම මත මා සුව වීමෙන් පසු, ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද කෙටි චිත්‍රපටයක් නැරැඹීමට සහ එදින ප්‍රධාන ආරාධිත අමුත්තිය සඳහා ලැබුණු ආරාධනයකින් අප හමුවූ අවස්ථාවක, ඔහු චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් දැක්වූ කුසලතාවය දැක මා ඔහුට යෝජනා කළේ ඔබ චිත්‍රපටයක් කරන්න මම රඟපාන්නම් කියාය.
කාලය දින සති මාස ගෙවී ගියා රත්මලී. තවත් දවසක මා ගෞරව සම්මානයෙන් පිදුම් ලබන මොහොතක ආරාධිත ලැයිස්තුවේ දොස්තර නෙඔමාල් සහ දොස්තර නිශානි ද වූවා. එදින සම්මානය පිරිනැමීමට පෙර විනාඩි කීපයකට දඩයමේ ඔබේ සිරුර මතින් ධාවනය වන කාර් රථයේ ශබ්දය අසන්නට සලස්වා එය කුමන චිත්‍රපටයේ දැයි විමසුවා. කිව්වට විශ්වාස කරන එකක් නෑ රත්මලී, සියලු දෙනාම ඒ හඬ හඳුනාගත්තා. දොස්තර නෙඔමාලුත් ක්ෂණයකින් ඒ හඬ හඳුනාගෙන තිබුණා. සම්මාන උලෙළ අවසන් වී මට සුබ පතන්නට ආ මොහොතේ පවා ඔහු ඇසුවේ අපි දඩයමේ ඊළඟ කොටස චිත්‍රපටයකට කරමුද කියායි. මම කැමතිවුණා රත්මලී, වෛද්‍ය නෙඔමාල් හරි ලස්සනට ඒ කතාව ලියලා තිබුණා. තිර රචනය කියෙව්වම මට හරියට ආස හිතුණා. ඉතින් මම ඔබේ අක්කා වුණා.
මම සම්පූර්ණයෙන් රත්මලී අමතක කළා. මම ඔබේ වැඩිමල් සොහොයුරිය වුණා. ඔබේ ගමන බිමන, ඔබේ කටහඬ, දෙබස්, හැසිරීම් ඔක්කොම අමතක කළා. මේ චරිතය රත්මලී ට වැඩිය හා හාත්පසින්ම වෙනස් චරිතයක් වුණා. මෙතැනදී අපට ආව ලොකුම අභියෝගය වුණේ ජයනාත් සොයා ගැනීමයි. ඔබ ආදරය කරපු, ඔබ අනාථ කරපු, ඔබට දරුවෙක් දුන්න, අවසානයේ ඔබ මරා දැමූ ජයනාත් දඩයම අවසන් කළ ජයනාත් ඒ පෞරුෂයේ ම ඉන්න කැමැති වුණා මිස, යළිත් ජයනාත් වන්නට කැමැති වුණේ නෑ. ඉතින් අපි ජයනාත් කෙනෙක් හෙව්වා. ඒ පෞරුෂයට ගැළපෙන, ඒ වයසට ගැළපෙන ජයනාත් අපට මුණගැසුණා. ඒ ජැක්සන් ඇන්තනි මට වෙනසක් දැනුණෙ නෑ. ඒ රත්මලී මම රත්මලී නොවන නිසා.
වෛද්‍ය නෙඔමාල් මාව නිර්මාණය කළේ ඔබේ දරුවාත්, පියාත් රැගෙන විදේශයකට ගොස් චිත්‍ර ශිල්පිනියක ලෙසින් පරිපූර්ණ ජීවිතයක් ගෙනියන ගැහැනියක ලෙසින්. ඔබේ වැඩිමල් පුත් ප්‍රසංගයක් සඳහා ලංකාවට පැමිණීමෙන් පස්සේ තමයි මේ හැලහැප්පීම් ඔක්කොම සිද්ධ වෙන්නේ. ඇත්තටම රත්මලී මම ලංකාවට එන්නේ ඔයාගේ පුතා වත් අරගෙන ඉක්මනින් ලංකාවෙන් යන්න. ඒත් සිද්ධ වුණේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.මකුළු දැලක බැඳෙනව වගේ අපි මේ ප්‍රශ්නෙ පැටලුණා. ඔබ ජයනාත් ට බැඳුණු බැඳීල්ල මට කවදාවත් අමතක නෑ. ඔබ ජයනාත් මුළු ලෝකෙටම වැඩිය විශ්වාස කළා. යහළුවන් ඔබට අනතුරු අගවත්දීත් ඔබ ඔහු මතම හිටියා. දරුවෙකු දී පිටව යත්දීත්, නැවත දරුවෙකු දී මාරු වත්දීත් ඔබ ඔහු මත්තේම සිටියා. ඔබට සැබැවින්ම අවශ්‍ය වුණේ ඔහු හොඳ මිනිසකු කර විවාහ කරගෙන යහපත් ජීවිතයක් ගෙනියෑමට ය. එහෙත් ඔබ පැතූ සුන්දර ලොව ඔබට හමු වුණේ නෑ. ඔබට හමුවූ ජයනාත් සිනමාවේ සිටි කඩවසම්ම දුෂ්ටයා යි. එවැනි කෲර චරිතයක් මං හිතන්නේ ලාංකේය සිනමාවේ ම නෑ කියලයි. එහෙම හිතෙන්න තරම් රවීන්ද්‍රගේ රංගනය කොයි තරම් ඉහළ තැනක තියෙනවද කියලා තේරෙනවා ඇතිනේ.
දඩඉමේ දී මට හමුවුණේ ඒ වගේම රංගන ශිල්පීන් ශිල්පිනියන් පිරිසක්. ජැක්සන්ගේ රංගනය ගැන තවත් අටුවා ටීකා කියන්නට අවශ්‍ය නැති බව හැමෝම දන්නවා. ඒ වගේම ඔහුගේ පුත් අඛිල වගේම මරියෝ වැනි නවක රංගන ශිල්පීනුත් සමඟ එකට වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා.
මගේ සිනමා ජීවිතයේ මට මුණගැසුණු අධ්‍යක්ෂවරුන් අතරට තවත් සුවිශේෂී අධ්‍යක්ෂවරයෙක් මට හමු වුණා. ඒ වෛද්‍ය නෙඔමාල් පෙරේරා. ඒ වගේම හැමදාමත් විශිෂ්ට ගණයේ කැමරා ශිල්පීන් රාශියක් සමඟ වැඩ කරපු මට, වැඩේ හොඳට දන්න, අති දක්ෂ කැමරා ශිල්පී රුවන් කොස්තා සමඟ වැඩ කරන ලැබීමත් සතුටක් වුණා. වෛද්‍ය නෙඔමාල් කියන්නේ අතිශය කාර්යබහුල පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක්. චිත්‍රපටය රූගත කිරීම් වෙනුවෙන් එක දිගට කාලය වෙන් කර ගැනීම සැබවින්ම ඔහුට අසීරු කරුණක්. එහෙත් ඔහු රූගත කිරීම් අතරතුර ඒ ශල්‍යකර්මවල යෙදුණා. ජීවිත ගලවා ගැනීමේ ශල්‍යකර්ම වගේම ලාංකේය සිනමාවට යහපත් සිනමා නිර්මාණයක් පිරිනැමීමේ ශල්‍යකර්මය ද ඔහු මැනැවින් ඉටු කළා. රත්මලී ......අද මේ තරම් ඔබ ගැන වුවත් කතා වනුයේ ඒ නිසයි. මේ සියලු කාර්යයන් සාර්ථක කර ගැනීමට දිවා රෑ නොබලා වෙහෙස වූ තවත් කණ්ඩායමක් ඉන්නවා., ඒ වෛද්‍ය නෙඔමාල් ගේ ආදරණීය බිරිය වෛද්‍ය නිශානි ප්‍රනාන්දු සහ ඇගේ පවුලේ සාමාජික සාමාජිකාවන්. කවදත් සිනමාවට හිතැති සිනමාවේ නිරත වූ පවුලක් වශයෙන් ඔවුන් සියලු දෙනාගේම උදව් උපකාර, කැපවීම නොවන්නට මෙය මේ තරම් අලංකාර නොවනු ඇත. ඉතින් රත්මලී ...වෛද්‍ය නෙඔමාල් ට අනුව දඩයම තවමත් සක්‍රීය යයි. අවුරුදු හතළිහකට පස්සේ වුණත් මට කියන්න තියෙන්නේ ඔබේ ආත්මයට සැනසීමක් ලැබේවා ! කියලයි.
මම
ස්වර්ණා මල්ලවාරච්චි.
සේයාරූ - නිශ්ශංක විජේරත්න