‘සිහින සරුංගල්’ ගීතයට වස්තු විෂය වූයේ විරල තේමාවක්

ගායන ශිල්පී-සංගීත අධ්‍යක්ෂ-විශාරද සහන් ගුණවර්ධන
මාර්තු 2, 2023

 

ගායකයකු හා සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස සිය නිර්මාණකරණයේදී එහි හැඩ රුව සේම එහි ගුණ සුවඳ පිළිබඳත් වැඩි අවධානයක් යොමු කරන නිර්මාණකරුවකු ලෙස සහන් ගුණවර්ධන මේ වන විට වැඩි අවධානයක් දිනා සිටී.

විශේෂයෙන් පසුගිය දා ඔහු ගායනා කළ සිහින සරුංගල් ගීතය වැඩි දෙනෙකුගේ අවධානය දිනා ගනු ලැබුයේ ද නිර්මාණ කාරයයේදී ඉහත කී කාරණා පිළිබඳ ඔහු නොමඳ අවධානයක් දෙමින් කටයුතු කර ඇති බැවිනි.

සංගීතය සමඟ බැඳුණු ඔබේ අතීත මතක අවදි කරමු.

මම පුංචි කාලයේ ඉඳන් වැඩියෙන්ම කැමැති වූ දේ තමයි සංගීතය කියන්නේ. මට අවුරුදු තුනේදි විතර තාත්තයි, අම්මයි එක්ක ඉන්දියාවේ සංචාරයක නිරත වූ වෙලාවක, සර්පිනාවක් දැක එය තාත්තාගෙන් ඉල්ලාම සිටියාලු. තාත්තා එතරම් කැමැති වී නැතත් එය රැගෙන දෙන තුරු මා එතැනින් ඉවත් වී නෑ. ඉතින් ඒවාගෙ අතීතයක් තමයි සංගීතයයි මායි අතර තියෙන්නේ. අදටත් ඒ සර්පිනාව අපේ ගෙදර තියෙනවා. දැන් ඊටත් අවුරුදු තිස් දෙකක් විතර. කොහොමටත් සංගීතයට හා කලාවට නැඹුරු පරිසරයක් මං පුංචි කාලෙ ඉඳන්ම අපේ ගෙදර තිබුණේ.

 

ඔබ සංගීතය හදාරන්න යොමුවන්නේ කුමන අවධියකදී ද?

අවුරුදු දහයෙදි, දොළහෙදි විතර. අම්මා තමයි මුලික වී මාව ඊට යොමු කරන්නේ. එඩ්වඩ් ජයකොඩි ගුරුතුමා ළඟට. ඇත්තටම මුලින්ම මං දැනගෙන හිටියෙත් නෑ සංගීතය හදාරන්නයි මාව එතැනට යොමු කළේ කියා. මගේ සතුට වෙනුවෙනුයි ඇත්තෙන්ම මුලින්ම මාව යොමු කළේ. කෙසේ් නමුත් එතැන් සිට දිගටම සංගීතය සඳහා යොමු වුණා. කුඩා කාලයේ සිටම බලාපොරොත්තුව වී තිබුණේ සංගීත අධ්‍යක්ෂවරයකු වන්නයි. ඉතින් දිගටම සංගීතය හදාරා 2006 පමණ වන විටයි වයලීන් වාද්‍ය විශාරද (සංගීත විශාරද) හා ගායන විශාරද විභාග සම්පුර්ණ කරනු ලැබුවේ. සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා යටතේ තමයි ගායනය හැදෑරුවේ. වයලීන් වාදනය හැදෑරුවේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය කැලුම් සංජීව ගුරුතුමා යටතේයි. වාණිජ්‍ය විෂය යටතේ උසස් පෙළ හැදෑරුවත් සංගීතයට හා ගායනයට හැමදාම කැමැත්තක් තිබ්බා. ඒ නිසා ඒ කාලෙදි වුණත් මං වැඩිපුරම රැඳුණේ සංගීත කාමරයේ. අපේ කණ්ඩායම තමයි 2004 මගේ පාසල වූ කොළඹ රාජකීය විද්‍යාලයේ මුල්වරට ‘සාගා’ කියන ප්‍රසංගය 2004 ඉදිරිපත් කළේ. සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ එක්ව අපි ඒ ප්‍රසංගය කළේ. මම උසස් පෙළ සමයේ වසර දෙකක් එහි වාදකයකු විදියට කටයුතු කළා.

 

2006 උසස් පෙළ නිම කිරීමෙන් පසු කුමන මාර්ගයක් ද තෝරා ගත්තේ?

උසස් පෙළින් පසු තිබුණෙත් සංගීත අධ්‍යක්ෂවරයකු වීමේ සිහිනයමයි. හැබැයි ගෙදරින් ඒ සඳහා එතරම්ම කැමැත්තක් දැක්වුයේ නෑ. තාත්තා (ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා) නම් කිව්වේ වාණිජ්‍ය විෂය ධාරාවෙන් දිගටම ඉගෙන ගන්න කියලයි. ඉතින් ඒ අනුව ආර්ථික විද්‍යා උපාධියත්, අන්තර්ජාතික වෙළෙඳාම පිළිබඳ ශාස්ත්‍රපති උපාධියේ අධ්‍යයන කටයුතුත් සම්පූර්ණ කළේ එංගලන්තයේයි. ඒ කාලයේ දී සංගීත කටයුතුවල යම් පමණකට විනෝදාංශයක් ලෙස පමණයි නිරත වන්න හැකි වුණේ. අධ්‍යයන කටයුතු සමඟ මගේම නව නිර්මාණ බිහිකිරීමේ පසුබිමක් තිබුණෙ නැහැ. මම නැවත ලංකාවට පැමිණෙන්නේ 2014 වසරේ. හැබැයි මම එහිදී ආරම්භ කරන්නේ කෘෂිකර්මයට සම්බන්ධ ව්‍යාපාරයක්. කාබනික වගාවන්, ඒ වගේම අගය එකතු කළ නිෂ්පාදන අපනයන ආදි පිළිබඳ තමයි වැඩි අවධානයක් යොමු කළේ.

සංගීතයට නැවත වෘත්තීය වශයෙන් නැඹුරු වුණේ කෝවිඩ් අවධියේදියි. මොකද වැඩිපුර කාල වේලාවක් තිබුණු කාලයක්නෙ අපි හැමෝටම. ඉතින් ඒ කාලයේදී තමයි තාත්තා සින්දුවක් ලියන්නෙ ‘රටට වාසනා වේ’ කියලා. ඒක මට කියන්න කියල තාත්තා කිව්වා මගේ ඊළඟ ගීතය සකුන්තලා. එහි පද රචනය කරන්නෙත් මගේ තාත්තාමයි කසුන් කල්හාර සොහොයුරා තමයි එහි සංගීතය නිර්මාණය කරන්නේ.

ඔබේ අලුත්ම ගීතය ‘සිහින සරුංගල්’ ගැනයි මේ දිනවල බොහෝ දෙනෙක් කතා කරන්නේ.

ඔව්. ඒකත් තාත්තාමයි ලියුවේ. සංගීතය කළේ නදීක ගුරුගේ. ඒ ගීතයේ තේමාව ගැන තමයි ගොඩක්ම කතාබහට ලක්වුණේ. සමරිසි ප්‍රජාව පිළිබඳයි ඉන් නිරූපණය වෙන්නේ. වැඩිය කතා නොකරන තේමාවක්. ඉතින් ඒ සමාජයේ පිරිස් වෙත ඉන් විශාල අවධානයක් ලැබුණා සේම සිය අනන්‍යතාවන් පිළිබඳ කතා කිරීම පිළිබඳ ඔවුන්ගේ ප්‍රසාදයත් හිමිවුණා. ඇත්තටම ඒ ගීතය මගේ නිර්මාණ අතර සුවිශේෂ ගීතයක් වුණා. එහි රූප රචනය කළේ දොන් මාධව කරුණානායකයි. එය අවධානයට ලක්වූ රූප රචනයක්. දින හයක් තුළ එය යූටියුබ් වාර ලක්ෂයක් සම්පූර්ණ කර තිබුණා. ඉතින් එයත් සුවිශේෂයි.

 

ගීතයකින් කළ හැකි බලපෑම කුමන ආකාරයි ද?

ලොකු බලපෑමක් කළ හැකියි. මොකද හැඟීම් - දැනීම් කියන දේ සංගීතය සමඟ ගොඩක් සම්බන්ධයි. අනික සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්. දැන් ‘සිහින සරුංගල්’ ගීතය බැලුවොත් එහි තේමාව, සංගීතය මේ හැමදෙයින්ම ලොකු සමාජ පණිවිඩයක් අපට මුදා හරින්න පුළුවන් වුණා. ඉතින් මම හිතන්නේ ඒක හරිම විශේෂ දෙයක්. ඇත්තටතම නිර්මාණ කාර්යයක් විදියට විශාල බලපෑමක් කළ හැකි දෙයක් ගීතය කියන්නේ.

 

මෙරට සංගීත ක්ෂේත්‍රය පිළිබඳ සේම ගායකයකුට මේ වටපිටාවේ ඇති ඉඩකඩ පිළිබඳ ඔබේ අදහස කොයි වගේද?

මට හිතෙන්නෙ මෙහෙමයි. මම වසර හතක් විතර සිටියෙ එංගලන්තයේ ඉතින් ඒ රටවල සංගීත ක්ෂේත්‍රයේ කටයුතු සිදුවන විදිය මම දැක්කා. ඒ වගේම අපේ රටේ බුද්ධිමය දේපළ පනත කොයි තරම් දුරට ශක්තිමත් ද යන්න ගැටලුවකුත් අපට තියෙනවා. හොඳම උදාහරණය තමයි මේ තරම් සියුමැලි ද කළුගල් කියන ගීතය එහි තනිකරම තිබෙන්න ලංකාවේ කලාකරුවකුගෙ ඛේදවාචකය කියා මට හිතෙන්නේ. කලාකරුවකු වියපත් වෙද්දී ඔහුට තිබෙන ආරක්ෂණය පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඉතින් එබඳු ගැටලු නිවැරැදි විය යුතුයි කියන එකයි මගෙත් අදහස වෙන්නේ.

 

මේ ක්ෂේත්‍රයේ නවකයකුට මුහුණ දීමට විය හැකි බාධක පිළිබඳ ඔබේ අවබෝධය කොයි වගේද?

ඕනෑම නිර්මාණකරුවකුට බලපාන බාධක සමූහයක් තියෙනවා. විශේෂයෙන්ම ඕනෑම නිර්මාණයක් සම්පූර්ණ කර එළි දක්වන්න නම් පිරිවැයක් දැරිය යුතුයි. ඒක නිර්මාණකරුවකුට බරක් විය හැකියි. හැබැයි පිටරටවල තත්ත්වය ඊට වඩා වෙනස්. හොඳ නිර්මාණ සමාගම් තියෙනවා. ඒ මඟින් හොඳ නිර්මාණකරුවන්ට නිර්මාණ සාදා දෙන්න මැදිහත් වෙනවා. නමුත් ලංකාවේ එහෙම තත්ත්වයක් දකින්න නැහැ. එතකොට නවක නිර්මාණකරුවකුට ඒ වගේ පසුබිමක මුහුණ දෙන්න වෙන බාධක ගොඩක් තියෙනවා. විශේෂයෙන් මූල්‍ය පැත්තෙන්. මොකද අද සෑම දෙයක්ම මුදල් තමයි තීරණය වෙන්නෙ. ඉතින් කාලයක් ක්ෂේත්‍රයේ සිටි පසු, නමක් හදාගත් විට නම් කෙනකුට මේ තත්ත්වය ටිකක් පහසුවෙයි. ඒ හැරුණු කොට නවකයකුට සෑහෙන කැප කිරීමක් කරන්න වෙන බව පිළිගන්න වෙනවා.

 

නිර්මාණකරුවකුගේ දැනුම - අවබෝධය නිර්මාණයක යහපැවැත්මට කරන බලපෑම ගැන ඔබේ අදහස මොන වගේ එකක් ද?

මට නම් ගොඩක්ම අත්දැකීම් ලැබුණේ ‘සිහින සරුංගල්’ ගීතයෙන් පස්සෙයි. විශේෂයෙන්ම ඒ ගීතය සඳහා ලැබුණු ප්‍රතිචාරවලින් බොහෝ දේ ගැන නැවත හිතන්න ඉඩක් නිර්මාණය වුණා කියා හිතනවා. ඒ ගීතයේ තේමාව හැමෝගෙම අවධානයට යොමු වුණා. එයින් ඒ සමාජයේ පිරිසට නැවත අවධානය යොමු වුණා. සේම ඒ ප්‍රශ්නය දිහා වෙනමම අවබෝධයකින් බලන්නත් මිනිස්සු පෙලඹුණා. ඉතින් මම හිතන්නේ අන්න ඒක තමයි අපිට කරන්න පුළුවන් ලොකුම බලපෑම කියා.

 

ක්ෂේත්‍රයක් විදියට මෙහි වර්ධනයක් සිදුවන්න නම් සැබවින්ම සිදුවිය යුතු වෙනස්කම් මොනවාද?

මූලිකව අපි කුමන මාධ්‍යයක වැඩ කළත් විශේෂයෙන් සංගීත ක්ෂේත්‍රයේ දී අපි අපේ රාමුවලින්, සීමා සහිත දැනුම් ප්‍රමාණවලින්, අදහස්වලින් එළියට ආ යුතුයි. සීමිත සංගීත රසඥතාවලින් එහාට ගමන් කළ යුතුයි. සංගීත ක්ෂේත්‍රයේදී නම් විවිධ ශෛලීන්වල සංගීතය ඇසිය යුතුයි. ඒ නාද රිද්මවලට අවධානය යොමු කළ යුතුයි. නිතරම ඒවා පරිශිලනය කළ යුතුයි. මේවා ගුණාත්මක නිර්මාණකරණය කියන කාර්යයේදී හරිම වැදගත්. ඊළඟට සංගීතය පැත්තෙන් බැලුවිට ශබ්ද ඉංජිනේරු තාක්ෂණික අතින් අපි ලොකු පසුබෑමක ඉන්නේ. ඒ දුර්වලතා නිසා ගුණාත්මක නිර්මාණයක් එළිදැක්වීමේදී විශාල බාධා ඇතිවෙනවා. මේ නිසා අපට ගොඩාක් වෙලාවට අපේ නිර්මාණයක් අන්තර්ජාතික නිර්මාණයක තාක්ෂණික මට්ටමට ගෙන එන්න බැරි වෙනවා.

ඊළඟ කාරණය අපි කොයිම විටකවත් රැල්ලට සංගීතය නොකළ යුතුයි. එසේ කළ විට සංගීතයේ ගුණාත්මක භාවයටයි ලොකු හානියක් වෙන්නේ. යම් නිර්මාණකරුවකුගේ නිර්මාණයක් වැනිම නිර්මාණයක් සැලැසුම් කරනවා වෙනුවට වෙනත් අලුත් කෝණයකින් නිර්මාණකරණයට ප්‍රවේශ වීමයි වැදගත් වෙන්නේ.

 

සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කිරීම ඔබේ සුවිශේෂ කැමැත්ත බව ප්‍රකාශ කළා

ඔව් දැනටමත් මා ඊට නැඹුරුව කටයුතු කරමිනුයි ඉන්නේ. මේ වසරේ නව නිර්මාණ කීපයක් එන්නත් තියෙනවා. ගායනය වගේම සංගීත අධ්‍යක්ෂණය පැත්තෙන් දායක වූ නිර්මාණ කීපයක්. ඒ වගේම මේ වසරේ අග මගේ ඒක පුද්ගල ප්‍රසංගයක් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. එහිදී මගේ අලුත්ම නිර්මාණ තමයි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ.

 

නව නිර්මාණකරුවකු විදියට ඔබ අලුත් පරපුරේ අයට දෙන පණිවිඩය මොකක්ද?

අලුතින් කවුරු හෝ ක්ෂේත්‍රයට එනවා නම් හැදෑරීමක් තිබිය යුතුමයි. ක්ෂණිකව කැපී පෙනෙන අදහසින් ක්ෂේත්‍රයට නොආ යුතුයි. එසේ ආවත් පැවැත්මත් අඩුයි. මොකද වර්ධනය වීමට කෙනකුට කාලය අවශ්‍යයි. අනික නිතරම අලුත් දෙයක් සිතිය යුතුමයි. තවත් අයකු කළ පළියට, ඒක තමයි දැන් ට්‍රෙන්ඩ් එක කියා දෙයක් නොකොට කැපවීමෙන් ඊට වඩා වෙනස් දෙයක් කරන්න උත්සාහ ගැනීම වැදගත් කියන එකයි මගේ අදහස වෙන්නේ. ඊළඟට ගීතයකදී එහි සෑම අංශයක් පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන් පදමාලාවකදී අමු වචනම නොයොදා ඒ වෙනුවට අපට තිබෙන විශිෂ්ට සාහිත්‍යයේ හමුවන ගුණංග හා සාධක ස්පර්ශ කරමිනුත් නිර්මාණකරණයේ යෙදීම හරි වැදගත් කියලයි හිතන්නේ.

 

[email protected]