වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
සංගීත දිවියේ 25 වසරක ගී ආවර්ජනා

සඳගිර Live in concert 25 වැනිදා සවස නෙළුම් පොකුණ රඟහලේදී
කෙනෙකු කිසියම් වෘත්තියක වසර 25ක් වැනි දීර්ඝ කාලයක නියුතු වෙනවා යනු එය සුවිශේෂී කාරණාවකි. ඒ දීර්ඝ කාලීන වෘත්තීය සංගීතය වැනි සෞන්දර්යාත්මක විෂයක් හා බැඳී පැවතීම ඊටත් එහා ගිය සුවිශේෂී කාරණයකි. මෙකී ජීවිතය තුළ ආපසු හැරෙද්දී කෙතරම් සොඳුරු නිර්මාණ ඔහු අතින් දැයට තිළිණ වී ඇත්ද? ඉන් කෙතරම් නම් රසික ජනතාවක් ප්රබෝධයට පත් වී ඇත්ද යන්න විශේෂයෙන්ම වැදගත්ය. අපේ කතා නායකයාගේ නිර්මාණ දිවිය තුළ මෙරට සංගීත ලෝලී ප්‍රේක්ෂක ජනතාව ඔහුගේ සත්සරින් ආනන්දයට පත්වීද යන්න පිළිබඳ ආයේ කතා දෙකක් නැත. ඔහු පුරා අවුරුදු 25ක් පෙනී සිටිනුයේ සුභාවිත ගීතය වෙනුවෙනි. ඔහු අතින් නිමවෙන සත්සර රටා සංගීත ලෝලී රසකාමීහු ආදරයෙන් වැලඳ ගත්හ. ඔහු වත්මන් සංගීත ක්ෂේත්රයේ ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂවරයෙකු වන දර්ශන වික්රමතුංගය.
දර්ශනගේ සංගීත දිවියට විසිපස් වසරක් පිරීම නිමිත්තෙන් “ සඳගිර Live in concert මෙම මස 25 වැනි දින සවස නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.
දර්ශන කුඩා කාලයේ සිටම සංගීතයට පෙම් බැන්ඳෙකි. අවිස්සාවේල්ල ප්‍රදේශයේ උපන් දර්ශන පාසැල් අධ්‍යාපනය ලබනුයේ කොළඹ අසෝක විද්‍යාලයෙනි. ද්වීයිතික අධ්‍යාපනය සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වන දර්ශනගේ සංගීත අධ්‍යාපනයේ මුල් අවස්ථා පාසල් ජීවිතයෙන්ම ආරම්භවන්නකි. එවක කොළඹ අසෝක විද්‍යාලයේ සංගීත ගුරුවරුන් වූ ධම්මිකා කරුණාරත්න, ලෙස්ලි විජේවික්‍රම යන ගුරුවරුන්ගෙන් ඔහු සංගීත අධ්‍යාපනය ලබන්නේය. එසේම ඔහු අවිස්සාවේල්ල පන්සිළු කලායතනයේ ආනන්ද රාජපක්ෂ හා ගාමිණී බංඩරගම ගුරුවරුන්ගෙන්ද සංගීත අධ්‍යාපනය ලබන්නේය. පසුකලෙක නුගේගොඩ කලාභූමි ආයතනයේ ආනන්ද වීරසිරි හා ලක්ෂ්මන් විජේසේකර යන ගුරුවරුන්ගෙන් හා මෙරට සංගීත ක්ෂේත්රයට නවක ගායන තරු රාශියක් හඳුන්වා දුන් ජනප්‍රිය සංගීත ගුරුවරයෙකු වූ විශාරද නිහාල් ගම්හේවා ළඟින්ද සංගීතය ඉගෙන ගත්තේය.
නිසි කල නිසි පුහුණුව සහ නිසි ගුරුවරුන් හමුවෙන් ලද සංගීත අධ්‍යාපනය දර්ශනගේ සංගීත ගමන සාර්ථකත්වය කරා ළඟා කරන්නට හේතුවක් වූයේය. ගුරුවරුන් සෙවණින් සංගීත අධ්‍යාපනය ලබමින් සිටි දර්ශනගේ සංගීත දිවිය ගී තනු නිර්මාණ ශිල්පියෙකු දක්වා ගමන් කිරීමට මූලාරම්භය සනිටුහන් වනුයේ අහම්බයකිනි. ඒ 1998 දී පුවත්පතක පළ වූ දැන්වීමක් නිසාවෙනි. මෙම දැන්වීම පළ කර තිබුණේ එවකට සංගීත ක්ෂේත්රයේ අතිශයින්ම ජනපි‍්‍රය කැසට් නිෂ්පාදන ආයතනයක් වූ සිංග්ලංකා ආයතනයය. එහි සඳහන්ව තිබුණේ නව ගී තනු නිර්මාණ ශිල්පීන් සඳහා අවස්ථාවක් ලබාදෙන තරඟකාරී අවස්ථාවක් පිළිබඳවය. සංගීතය පිළිබඳ සැබෑ උනන්දුවකින්, ආදරයකින්, ආසාවකින්, කැපවීමෙන් කටයුතු කළ තරුණයකු වූ දර්ශන මෙම තරඟකාරී අවස්ථාවට මුහුණදෙන්නට සූදානම් වූයේය. ඔහු විසින්ම පද රචනය කොට, තනු නිර්මාණය කළ ගීතයක් මෙම තරඟකාරී අවස්ථාවට ඉදිරිපත් කළ දර්ශනගේ එම ගීතය, ගීත 400කින් පමණ තෝරාගත් ගීත 16ට ඇතුළත් වූයේය.
‘ගිරි සිරසින් සඳ පායා“ කියන ගීතය තමයි මම මේ තරඟයට ඉදිරිපත් කළේ. ගීත 400ක් වගේ විශාල ප්‍රමාණයකින් ගිත 16ක් අවසන් වටයට තෝරා ගන්නවා. ඒ ගීත 16 අතරේ මගේ ගීතයත් තිබුණා. ඊටපස්සේ මේ ගීතය ආචාර්ය නන්දා මාලිනිය වෙත යොමු කරනවා. ඇය ඒ කාලේ කරපු “ මලට රේණු“ ගී සමුච්චයට මගේ ‘ගී සිරසින් සඳ පායා‘ ගීතයක් ඇතුළත් වෙනවා. ඒ ගීතය තමයි මම ප්‍රවීණ ගායන ශිල්පිනියක් වෙත නිර්මාණය කළ පළමු ගීතය වන්නේ.
දර්ශනගේ සංගීත ගමන්මගේ ආරම්භය සනිටුහන් වන්නේද මෙරට ප්‍රමුඛතම ගායන ශිල්පිනියකගේ දායකත්වයෙනි. නන්දා මාලිනිය වටා නිර්මාණය වී තිබූ සංගීත සංස්කෘතියට ආධුනිකයකු වූ දර්ශනට ද සිය ගමන්මඟ හසුරුවාගන්නට බොහෝ විට මඟ පෙන්වන්නට ඇත.
දර්ශන ගී තනු නිර්මාණයට පමණක් නොව සත්සර මෙහෙයවා වෙනත් නිර්මාණ කටයුතුවල යෙදෙන්නටද ඒ කාලයේ සිටම උනන්දු වූවෙකි. අනාගතයේ දක්ෂ සංගීතඥයකු වීමේ පෙර නිමිති ඔහු ආධුනික යුගයේ සිටම ප්‍රකට කර ඇත්තේය. 1998 වර්ෂයේදී ජාතික තරුණ සේවා සභාව මඟින් පැවැත්වූ යෞවන සම්මාන උළෙල සඳහා දර්ශන ‘ජීවිතය‘ නමින් සංගීත සංධ්වනියක් නිර්මාණය කරනුයේ ඒ නිසාය. 1999 වර්ෂයේදී ඔහු එම තරඟාවලියෙන් ප්‍රථම ස්ථානය ලබා ගත්තේය.
1999 වර්ෂයේදී තුරුණු ශක්ති සෞන්දර්ය චාරිකාවට ඉදිරිපත් කරපු ගී තනුවක් වෙනුවෙන් මම සම්මානයට පාත්‍ර ද වෙනවා. ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න, බණ්ඩාර ඇහැළියගොඩ, සුනිල් ආර් ගමගේ හා නිහාල් ගම්හේවා යන අයගේ මඟ පෙන්වීම යටතේ ජාතික තරුණ සේවා සභාව සහ ජාතික රූපවාහිනිය ඒකාබද්ධව පවත්වපු මේ තරඟයට ඉදිරිපත් කරපු ගීතය රචනා කළේ රවි සිරිවර්ධන විසින් ගීතය ගායනා කරනු ලැබුවේ කාංචනා හේරත් විසින් “ ලිහිණියේ නාඩා ....යදින්............. කියන ගීතයේ තනුව තමයි සම්මානයට පාත්‍ර වෙන්නේ.
මෙරට ගුවන් විදුලි නාලිකා ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ආරම්භ වූ ලක්හඩ ගුවන් විදුලිය වෙනුවෙන් දර්ශන ජිංගල්ස් කිහිපයක්ම නිර්මාණය කළේය. “සක් හඩක් බඳු ජය හඩක් - අන් කවුරුන්ද ලක්හඩ මිසක් - ලක්හඩ“ යනුවෙන් එකල අතිශයින්ම ජනපි‍්‍රය වූ ජිංගල්ස් නිර්මාණ ශිල්පියා වූයේ දර්ශනය.
2014, 2015 හා 2016 වර්ෂවලදී පවත්වන ලද රාජ්‍ය සංගීත සම්මාන උළෙලවලදී දර්ශනගේ ගී තනු නිර්මාණ සම්මානයට පාත්‍ර වෙන අතර, 2016 වසරේදී පවත්වන ලද 68 වන ජාතික නිදහස් දින උත්සවය වෙනුවෙන් ගුවන් විදුලි සංස්ථාවෙන් නිර්මාණය කරන ලද “රාං කුරුලු දූපත“ ගීත නාටකයේ සංගීත අධ්‍යක්ෂණය කරන ලද්දේද ඔහු විසිනි. එම ගීත නාටකය අප අතරින් වියෝ වූ ගුවන් විදුලි සංස්ථාවේ භාතිය ජයතිලක විසින් නිෂ්පාදනය කරන ලද්දක් වන අතර ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ විසින් රචනා කරන ලද්දකි.
දර්ශන චිත්‍රපට සංගීත නිර්මාණය කෙරෙහිද සිය දක්ෂතා පෙන්නුම් කළෙකි. “ටවුමේ ඉස්කෝලේ, වැලි පවුරු, නිහඩ සෙවණැලි, ලොක් ඩවුන් (ඉදිරියේදී විකාශය වීමට නියමිත) වැනි චිත්‍රපටවල සංගීත අධ්යක්ෂවරයා වූයේ ඔහුයි. ටෙලි නාට්‍ය සංගීත නිර්මාණයේදී සුදත්ත තිලක්සිරි විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘මාලතී මලක්‘, අඳුරු සෙවණැලි, සිකුරු වසන්තේ, නේරංජනා යන ටෙලි නාට්‍යයද අනුරුද්ධ ජයසිංහගේ ‘සමනළුන්ට එන්න කියන්න’ ටෙලි නාට්‍යය ද දර්ශන අතින් සංගීතවත් විය. ඉදිරියේදී විකාශයට නියමිත ගයාන් ඉන්දික කහවත්ත අධ්‍යක්ෂණය කළ ‘නිහඬ ගිර’ ටෙලි නාට්‍යයේ තේමා ගීතයද ඔහු විසින් නිර්මාණය කරන ලදී.
මේ සියලු කාරණාවන්ට අමතරව දර්ශනගේ ගී තනු නිර්මාණයන්ය. සංවේදී බව අප විඳීනුයේ ඔහු විසින් නිර්මාණය කරන ලද ජනපි‍්‍රය ගී තනු වලිනි.
‘කොහේ හෝ නුඹ නතර වී -
කාට හෝ ජීවිතය දී
තුටින් නම් මට ඒ ඇති -
නුඹ මගේ නොවුණට කම් නැතී
ප්‍රවීණ ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ ගයන මෙම ගීතයේ පද රචනය ශාමිලා හුසේන්ගෙනි.
කි‍්‍රෂාන්ත එරන්දක ගායනා කරන අතිශයින්ම සංවේදී ගීතයක් පසුගිය කාලයේ අපට අසන්නට ලැබිණ. සමාජ මාධ්‍ය ඔස්සේ ද මෙම ගීතයට බොහෝ ප්‍රතිචාර ලැබී තිබෙනු අපි දැක්කෙමු.
“අවසන් හුස්ම ගිලිහෙන
මතු යම් දිනක
අයදිම් වරම් මා හට ඉක්මන් වෙන්න
නුඹ නැතිදාට මේ ජීවන මඟ යන්න
මට සවි නොමැත
ඔබ මා ගිය පසු එන්න
(කි‍්‍රෂාන්ත එරන්දක/රසික ඩී. දුමින්ද)
“ හීන පේන සෑම රෑකම
වෙන කාටත් නොකී
ලේන කුලේ සිට
නුඹ මට යශෝදරාවකි
නීල නුවන් යුග නොපියා
තනි යහනේ සිටි
ආලවන්තකම ළඳුනේ පාරමිතාවකි
(හර්ෂණ දිසානායක/ ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි)
“ මටත් තිබුණා ප්‍රේමයක්
තාම ඉඳහිට මතක
දළුලන පේ‍්‍රමයක්
කාලයේ දුර ගෙවා ආ මුත්
සිතේ ගැඹුරේ නිදා නොනිදන
මටත් තිබුණා පේ‍්‍රමයක්
(චන්දන ලියනාරච්චි/රසික ඩී. දුමින්ද)
“ හිතේ හැංඟි හැංඟි ඔබ තවම ඉන්නවා
නෙතේ කඳුළැලි තියන්
හිත හුස්ම වැටෙනවා
සිතේ රිද්මය මගේ
ඔබෙ රුවම සොයනවා
ආදරේ ගුලි කරන් මම තවම ඉන්නවා
(වික්ටර් රත්නායක/ තරින්ද ගුණවර්ධන)
“ මට තනියම
පිය නඟන්න බෑ මේ ගිරි මඟ
හිත ඇති හිතකට
වඩින්න දෙනු මැන අවසර
(දීපිකා පි‍්‍රයදර්ශනී/ නිමලා මැණිකේ වීරසේකර)
“ රාවණා මා ඔබේ සීතා
සුරැකි පතිදම් හිමි නමින්
බැඳුණ ඔබ වෙත පෙම් දමින්
රාවණා මා ඔබේ සීතා
(සශිකා නිසංසලා/ ආරාධනා ඒකනායක)
ඉහත ජනපි‍්‍රය ගීත සියල්ලෙහිම ගී තනු නිර්මාණ ශිල්පියා වනුයේ දර්ශනය. මේ වනවිට ගී තනු නිර්මාණ 1500ක් ඉක්මවා නිර්මාණය කර ඇත. මෙම ගීත අතරින් තෝරා ගත් ගීත රැසක් එදිනට ගායනා කරනු ඇත. ආචාර්ය වික්ටර් රත්නායක, ටී.එම්.ජයරත්න, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, අමරසිරි පීරිස්, කරුණාරත්න දිවුල්ගනේ, දීපිකා පි‍්‍රයදර්ශනී පීරිස්, ජානක වික්‍රමසිංහ, කි‍්‍රෂාන්ත එරන්දක, ජගත් වික්‍රමසිංහ, ප්‍රදීපා ධර්මදාස, චන්දන ලියනාරච්චි, දයාන් විතරණ, රොඩ්නි වර්ණකුල, රජීව් සෙබස්තියන්, ඉන්දිකා උපමාලි, උරේෂා රවිහාරි, සශිකා නිසංසලා, සුභානි හර්ෂණී, මංජුලා දිල්රුක්ෂි, හර්ෂණ දිසානායක, දුමාල් වර්ණකුලසූරිය, සමන් ලෙනින්, ශානිකා සුමනසේකර, ඉන්දික ලියනගේ, ගායනයෙන් එක්වෙන අතර ගීත රචනයෙන් පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමි, ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ, බණ්ඩාර ඇහැළියගොඩ, සුනිල් ආර්. ගමගේ, ශාන්ත කුමාර විතාන, ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි, බන්දුල නානායක්කාරවසම්, යමුනා මාලිනී පෙරේරා, රවී සිරිවර්ධන, සුගත් සෝමවීර, ශාමිලා හුසේන්, රසික ඩී. දුමින්ද, නීතීඥ දයානන්ද රත්නායක, රංජිත් මල්ලියාවඩු, නයනසේන වන්නිනායක, කමලා මැණිකේ වීරසේකර, මහේෂ් හේවාපතිරණ, තරින්ද ගුණවර්ධන, බණ්ඩාර කුමාරනායක, ශර්මිලා ආනන්ද, වෛද්‍ය දුමින්ද හඳපාන්ගොඩ, ඉසුරු තිලකවර්ධන, සමීර පේ‍්‍රමචන්ද්‍ර, චාන්දනී නයනකුමාරි, ආරාධනා ඒකනායක දායක වෙති. මහින්ද බණ්ඩාර ප්රමුඛ 25 දෙනෙකුගෙන් යුතු වාදක මඩුල්ලකගෙන් සමන්විත වන ‘සඳගිර ලයිව් ඉන් කොන්සට් සඳහා කථනයෙන් වජිර ලියනගේ දායක වේ. අනුග්‍රාහක දායකත්වය සපයනුයේ ඹ්ච්ඉ අවුරෝරා පදනමය.
සේයාරූ - දයාන් විතාරණ