ජැක්සන්ට විකල්පයක් විය හැකි නළුවෙක් ලංකාවේ නෑ

ප්‍රවීණ අධ්‍යක්ෂ/ආචාර්ය සෝමරත්න දිසානායක
පෙබරවාරි 16, 2023

කලාත්මක අගයෙන් පිරිපුන් සිනමා නිර්මාණ ඔස්සේ මෙරට ජනාකර්ෂණීය සිනමාවක් ඇති කළ එක් හැරවුම් ලක්ෂ්‍යයක් වුයේ ආචාර්ය සෝමරත්න දිසානායකයන්ය. එදා මෙදා තුර ශ්‍රී ලාංකේය සිනමා වංශ කතාවේ වැඩිම ප්‍රේක්ෂකයන් නැරඹූ චිත්‍රපට නිර්මාණය කරමින් තම සිනමා දිවිය තුළ කඩා වැටුණු දේශීය සිනමාවට නව ජවයක් ලබාදෙමින් ප්‍රේක්ෂකයා යළි සිනමා ශාලා කරා ආකර්ෂණය කරගනිමින් දේශීය සිනමාව නගාසිටුවීමට ඔහු අතින් නිර්මාණය වූ සිනමා කෘති මහත් උපකාරයක් විය. ආචාර්ය සෝමරත්නයන් දේශීය මෙන්ම විදේශීය සම්මාන රැසකින් පිදුම් ලැබු අන්තර්ජාතික සම්මානයෙන් ඇගැයුම් පැසසුම් ලැබු කලාකරුවෙකු ද වේ. ළමයින් වෙනුවෙන් චිත්‍රපට නිර්මාණය කරන අධ්‍යක්ෂවරයකු ලෙසින් බොහෝ දෙනා හඳුන්වන සෝමරත්නයන් ඉන් පරිභාහිරව වෙනස් මඟක් ගත් සිනමා කෘති ඔස්සේ ද අතිශයින් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනූ අධ්‍යක්ෂවරයකු බවට ද මේ වන විට ඔප්පු කර හමාරය. 2000 වසරේ සරෝජා චිත්‍රපටය නිර්මාණය කරමින් ජනාකර්ෂණීය සිනමාවක් අපේ සිංහල සිනමාවට දායාදා කළ සෝමරත්නයන්ගේ නව සිනමා නිර්මාණයක් එනතුරු සිනමා රසිකයන් සේම සිනමා ශාලා හිමියන් ද නොඉවසිල්ලෙන් බලාසිටිනුයේ ඔහුගේ සිනමා නිර්මාණ තුළ ඇති සිනමානුරූපී භාවයේ ඇති විචිත්‍රත්වයත් ඒ සඳහා ඇති ජනාකාර්ෂණීය බවත් නිසාමය.

සරෝජා, පුංචි සුරංගනාවි, සුරිය අරණ, සමනල තටු, සිරි රජ සිරි, බිංදු, සිරිපැරකුම්, සරිගම, සුනාමි, ජංගි හොරා වැනි චිත්‍රපට සිනමා ප්‍රේක්ෂකයින්ට තිළිණ කරමින් මෙරට වැඩිම ප්‍රේක්ෂක පිරිසක් තමන් වෙත නතුකරගෙන සිටින ආචාර්ය සෝමරත්නයන් කවදත් උත්සාහ ගනු ලැබුවේ අති නවීන ලෝක සිනමාවේ තාක්ෂණය අපේ සිනමා ප්‍රේක්ෂකයන්ට අත් විදීමට සිනමා කෘති බිහි කරන්නටය. ලොව ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරුන් වන ජේම්ස් කැමරන්, ස්ටීවන් ස්පිල්බර්ග් වැන්නන්ගේ සිනමා කෘතිවල භාවිත වන තාක්ෂණය අපේ සිනමා කෘති සඳහා ද බද්ධ කරන්නට ද දේශීය සිනමා නිර්මාණයන්ට නව තාක්ෂණීක මෙවලම් එක්කාසු කරන්නට ද ඔහු නිරන්තරයෙන් හඬක් නැගුවේ තම සිනමා කෘති ආයුධයක් ද කරගනිමිනි. කවදත් සිනමා ප්‍රේක්ෂකයාගේ පැත්තේ සිට ගනිමින්. ඔවුනගේ ගුණාත්මක රසවින්දනය වෙනුවෙන් සිනමා ශාලා නවීකරණයේ හඬක් නැගූ ප්‍රධාන භූමිකාව වුයේ ද සෝමරත්නයන්ය. ච්ධතඡර ච්ඪඨඪබචත ඉභපපධභදඤ, ච්ධතඡර ඒබථධඵ වැනි තාක්ෂණයන් දේශීය සිනමා කෘති වෙත රැගෙන එමින් යල්පැන ගිය 35ථථ සිනමා පිටපත් මුද්‍රාණයට විරෝධයක් එක් කරමින් හඬක් එක්තැන් කළ ආචාර්ය සෝමරත්නයන් කවදත් සිනමා කර්මාන්තයේ අසාධාරණය වෙනුවෙන් හඬක් නැඟූ කෙලින් සිටගත් සෘජු මතවාද ඉදිරිපත් කළ පුද්ගලයකු ද වේ.

තම සිනමා ගමනේ මද විරාමයක් අතරතුර යලිත් තම සිනමා කෘතියක් තුළින් ප්‍රේක්ෂකයන් අතරට එක් වන්නට සෝමරත්නයන් මේ වන විටත් සූදානම් වී හමාරය. ඔහුගේ අලුත්ම සිනමා නිර්මාණය වන සිංහබාහු මේ වනවිට නිර්මාණ කාර්යයයේ අවසන් අදියරයේ පවතින නිසාවෙන් ඒ පිළිබඳ අලුත්ම තොරතුරු දැන ගන්නත් එක්ක. අපි කතා කරමු ආචාර්ය සෝමරත්න දිසානායක සමඟ.

සිංහබාහු සිනමා කෘතියේ අලුත් තොරතුරු කොහොමද?

චිත්‍රපටයක තියන අසීරුම කොටස වන පටිගත කිරිමේ කොටස මේ වන විට අවසාන වෙලා තියෙන්නේ. මීට මාසයකට කලින් අපිට මේ චිත්‍රපටය කිරීමේදී නොසිතූ අභියෝගයන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපේ ප්‍රධාන නළුවා වූ ජැක්සන් ඇත්තනී අනතුරකට ලක්වීම නිසා. ජැක්සන් තවම සුවය ලබමින් ඉන්නේ රෝහලේ. ඒ නිසාම ජැක්සන්ට ඒ චරිතය දිගට කරගෙන යන්න පුළුවන්කමක් තිබුණේ නෑ. ඒ නිසා විකල්පයක් විධියට ජැක්සන්ගේ ලොකු පුතා අකිල යොදල ඒ චරිතය කළා. මගේ මේ චිත්‍රපටයේ මුල් සැලසුමෙත් තිබුණේ ප්‍රධාන චරිතය වූ සිංහයාගේ චරිතය අදියර තුනකට තරුණ, වැඩිහිටි, මහලු වශයෙන් තරුණ වයස අකිල ලවා කරවනවා කියල තමයි මම සැලසුම් කරල තිබුණෙත් මහලු සහ වැඩිහිටි වයස චරිතය ජැක්සන් තමයි කරන්න හිිටියේ. නමුත් ජැක්සන්ගේ හදිසි අනතුර නිසා ජැක්සන්ට ඉදිරියට චරිතය සම්පුර්ණ කරන්න බැරි නිසා විකල්පයක් හැටියට අකිල වැඩිහිටි හා මහලු චරිත දෙකම කරනවා. වේශ නිරූපණය මඟින් ඔහුගේ වයස ස්වරූපය පවා වෙනස් කරල තියෙනවා.

එවැන්නක් කිරීම ඔබව අභියෝගයක් වුණේ නැද්ද?

ලොකු අභියෝගයක්. හැබැයි මම හිතුවාටත් වඩා සාර්ථකව ඒ රඟපෑම සිද්ධ වුණා. මගේ වේශ නිරූපණ ශිල්පියා ඉතාම දක්ෂ විදිහට ඒ තරුණ නළුවා වයස්ගත කළා. ඒක හරිම සුන්දරයි. රංගන විලාශයෙනුත් අකිල වැඩිහිටි බව මහලු බව ගනියි ද කියලා මට ප්‍රශ්නයක් තිබුණා. මමත් දෙලොවක් අතර තමයි හිටියේ. නමුත් අකිල මම හිතුවාට වඩා ඒ චරිතය කළා. ඒ වගේම මම අකිලගෙන් ඒ චරිතය ගත්තා.

අකිල කියන්නේ සෝමරත්නගේ සිනමාවේ බීජයක් නේද?

අකිල සහ සජිත කියන්නේ මගේ සිනමාවේ දරුවෝ. ජැක්සන් කියන්නේ ජීව විද්‍යාත්මක පියා ඔහු බවද මේ දරුවන්ගේ සිනමාවේ පියා මම කියලායි. අකිල මම කියන දේ කරනවා කියන දේ අහනවා බොහොම අපුරුවට ඒ කාර්ය අකිල කළා. මට හිතෙනවා අකිල සිංහයාගේ චරිතයට නියම සාධාරණය කළා කියලා. ඒ වගේම සජිත ඔහු කරන්නේ සිංහබාහුගේ චරිතය. ඔහුත් කොහොමත් දක්ෂ නළුවා. ඉතාම සාර්ථකව ඒ චරිතයත් සජිත ඉදිරිපත් කළා.

සිංහබාහු තිරයේ විචිත්‍රවත් කරන නළු නිළි කැල වගේම කාර්මික ශිල්පීන් කොයි ආකාරයෙන් ද ඔබේ සිනමා කෘතියට ජීවය එක් කරන්නේ?

යශෝධා විමලධර්ම තමයි සුප්පාදේවියගේ චරිතය රඟපාන්නේ. ඇයත් හරි අපුරුවට සුප්පාදේවිය රංගනයෙන් ජීවත් කළා. යශෝධා මගේ සිනමා නිර්මාණයක රඟපාන පළමු වතාව වගේම ඇයත් වසර දහයක් පමණ නිහඬව ඉඳල චිත්‍රපටයක රඟපාන මුල් අවස්ථාව මේක. මේ රංගනයටත් ඇයව නව ජීවයක් එක් කළා කිව්වොත් නිවැරදියි. ටෙලි නාට්‍ය නිළියක් හැටියට කලා ක්ෂේත්‍රයේ හිටිය දුශේනි ද සිල්වා මම මුල්වරට සිනමාවට හඳුන්වා දෙනවා. ඇය තමා සිංහ සීවලීගේ චරිතය සඳහා රංගනයෙන් දායක වෙන්නේ. චිත්‍රපටයේ සියලු නළු නිළියන් ගත්තහම සීයකට වැඩියි. අපිට දැනෙන චරිත විතරක් පහළොවක් විස්සක් විතර තියනවා. සහය චරිත සඳහා කුමාර තිරිමාදුර, ධර්මපි‍්‍රය ඩයස්, ලලිත් ජනකාන්ත, නෙරංජනී ශම්මුගරාජා ප්‍රධාන වශයෙන් රඟපානවා සුප්පා දේවි ගේ චරිතයේ අදියර දෙකක් තියනවා. නව යොවුන් වයස හා වැඩිහිටි වයස. යොවුන් වයසට මම ඉස්සෙල්ලාම සිනමාවට නිළියක් හඳුන්වා දෙනවා. ඇය තවම පාසල් ශිෂ්‍යාවක් ඇය අභිලාෂි ජයතිලක. මම මෙතෙක් සිනමාවට හඳුන්වා දුන් පරපුරේ අලුත්ම එකතුවක් තමයි අභිලාෂි ඉතාම දක්ෂ ලෙස ඇය මේ චරිතය කළා.

සිංහබාහු සම්පුර්ණයෙන් නිමකරල නෑ කියලද ඔබ කියන්නේ?

සංස්කරණ කටයුතු මුල් අදියර මේ වෙනකොට නිමා කරල ඉවරයි. තව රූපගත කරන්න ජවනිකා කීපයක් තියනවා. විශේෂයෙන් මහ වැලි ගඟ දෙගොඩ ගලා යන දර්ශනයක් නොවැම්බර් දෙසැම්බර් කාල වකවානුවල තමයි මේ ස්වාභාවික උවදුර ඇති වන්නේ. ඒත් මෙවර ඒ මහා ගංවතුර තවම ඇතිවුණේ නෑ. මට ඕනේ වස්ගමුව කැලේ මහවැලි ගඟ පිටාර ගලලා දෙගොඩ ගලා යන දර්ශනයක් රූපගත කරන්න. ඒ කටයුතු තියාගෙන තමයි මේ චිත්‍රපටයේ ඉතිරි සංස්කරණ කටයුතු මේ වන විට කරගෙන යන්නේ. ඉතිරි රූ ගත කිරීම් සමඟ තමයි අවසාන සංස්කරණ වලට යන්න ඕනේ. චිත්‍රපටයෙන් 90% මේ වනවිට ඉවරයි. ඉතුරු 10% විතරයි තවම කරන්න තියෙන්නේ.

සෝමරත්නයන්ගේ මෙතෙක් නිර්මාණය වූ චිත්‍රපටවලට වඩා සිංහබාහු වෙනස් මුහුණුවරක් ගන්නේ කොයි ආකාරයෙන් ද?

මගේ සාමාන්‍ය චිත්‍රපට වලට වඩා මේ චිත්‍රපටයේ සංගීතය පැත්තෙන් ගත්තොත් මෙතෙක් මගේ චිත්‍රපට වල සංගීතය කරල තිබුණේ රෝහණ වීරසිංහ. නමුත් මට මේ සිංහබාහු තුළ වෙනසක් ඇති කරන්න ඕනෙ වුණා. මට අවශ්‍ය වුණා ග්‍රෝතික ගතියක්. මම මේ චිත්‍රපටයේ කතා කරන්නේ. දඹදිව බුදුන්ගේ සමය ඒ සමයේ තිබුණු සංගීතය බොහෝ දුරට ගෝත්‍රික පැත්තට යන සංගීතය තිබුණේ. ඒක මට මේ සඳහා ඕනෙ කළා. ඒ නිසාම ජන සංගීතය පිළිබඳව හොඳ දැනුමක් තියන මහාචාර්ය සමන් පනාපිටිය සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීත අංශයේ පීඨිපතිව මම මේ සඳහා සංගීත අධ්‍යක්ෂණයට තෝරාගත්තා. ඉතාම සුන්දර ගීත හතරක් මේ සිංහබාහු චිත්‍රපටයේ අන්තර්ගතයි. සියලු ගීත රචනා කළේ මම. සංගීතවත් කළේ සමන් පනාපිටිය. ගායනයෙන් විශාරද හර්ෂණ දිසානායක, විශාරද නුවන්දිකා සේනාරත්න, සමන් ලෙනින්, අමන්ද්‍යා උත්පලී, සචිත......... ගායනයෙන් දායක වෙනවා. සියලු ගීත මේ වන විට පටිගත කරලත් අවසානයි.

සියලු නළු නිළියන් ඔබ තෝරාගත්තේ සෝමරත්නයන්ව අනන්‍යය වූ පරීක්ෂණ රාමුවක් තුළ සිට ද?

මට කවදාවත් මට ඕනේ නළුව නිළිය තේරුවේ හිතවත්කම් යාළුකම් නෑදැකම්වලට නොවෙයිනේ. හැම නිර්මාණයකටම නළුවෝ නිළියෝ තේරුවේ මගේ පරික්ෂණ රාමුවේ සිට මිසක් කවුරුහරි කිව්වට නොවෙයිනේ. ඒ රිතිය කවදාවත් වෙනස් වෙන්නෙත් නෑ. වෙනස් කරන්නෙත් නෑ. මගේ ඉන්ටවිව් එකෙන් සමත් වන කෙනා මම මගේ ඒ නිර්මාණයට තෝරගන්නවා. ඒක තමයි මේ ආචාර්ය සෝමරත්නගේ හැටි.

ආචාර්ය සෝමරත්නයන් කවදත් සිනමා නිර්මාණ ශිල්පීන් දර්ශනීය ස්වභාවික පසුතලයෙන් සිනමා පේ‍්‍රක්ෂකයා අමන්දානන්දයට පත් කළ සිනමාකරුවෙක්.ඒ විචිත්‍රත් බව සිංහබාහු නිර්මාණයේත් තියනවද?

දිවයිනේ විවිධ ස්ථානවල විචිත්‍රත්වය මේ සිනමා නිර්මාණයේ තියනවා. සීගිරිය, කළුදිය පොකුණ, ප්‍රදේශ ආශ්‍රිත රජ මාලිගා, ගල් පර්වත, ගල් ගුහා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ හද්දි කුච්චි ප්‍රදේශයේ පුරා විද්‍යා භූමි ප්‍රදේශයේ වනාන්තරයේ මේ චිත්‍රපටයේ ප්‍රධාන ගල්ලෙන බිහිවන්නේ. මෙහි පොළොන්නරු දිස්ත්‍රික්කයේ සිරිපුර ප්‍රදේශයේ මහවැලි ගඟ ප්‍රදේශයේ දෙහිඅත්තකණ්ඩිය, රිවස්ටන්, ත්‍රිකුණාමලය, දඹුල්ල ආදී ප්‍රදේශ බොහොමයක රූපග කිරීම් මෙහි අන්තර්ගතයි. චිත්‍රපටය පුරාවට තියෙන්නේ වනාන්තර ගල්ගුහා ලාංකීකයෝ දැකල නැති බොහොම සුන්දර තැන් මෙහි තියනවා. චිත්‍රපට බලපුවහම හොයාගෙන යන්න හිතෙන තැන් මේ චිත්‍රපටයේ තියනවා. මගේ මුලික සැලසුම වුණේ මාස දෙකක් මෙහි රූපගත කිරීම් සිදුකරන්න. නමුත් අපේ රූපගත කිරීම් සිදුකරන පළමු මාසයේදීම තමයි ජැක්සන් ඇන්තනි අනතුරට පත්වන්නේ. ඒක නිසා අපේ රූපගත කිරීම් මාස තුනක් විතර නැතිවෙලා තිබුණා. අපි බලාපොරෝත්තු වුණා ජැක්සන් නැගිටලා සනීපවෙලා එයි කියලා. ඒ වෙනකන් මම බලාහිටියා ඒත් පසුව අපිට තේරුණා ඉක්මනට සුවපත්වෙන්නේ නැති නිසා හුඟාක් කල් අපිට බලා ඉන්න බැරි නිසා අපි විකල්පයක් හැටියට ජැක්සන්ගේ පවුලෙන්ම විකල්පය තෝරාගත්තා.

ජැක්සන්ගේ පවුලෙන් හැරෙන්න වෙනත් කෙනෙක් ඔබට සිංහයාට විකල්පයක් ලෙස හම්බ වුණේ නැද්ද?

එහෙමත් හිතුවා ඇත්තටම ඒ සඳහා විකල්පයක් මට මතක් වුණේ නෑ. එහෙම කෙනෙක් හොයගන්න හිටියේ නැති ගාණයි. අනික් එක තමයි අකිල ගන්න එකේ අපිට තියන ධනාත්මක ලකුණු තමයි එකක් එයාගේ තරුණ කාලය කරන්නේ එයාමයි. එතකොට එයාගේම ශරීරය මහලු කළාම ඒකේ වාසියක් තියනවා. අනික් එක තමයි ජැක්සන්ට විකල්පයක් ලෙස මට නළුවෙක් නෑ. අපේ ක්ෂේත්‍රයේ ජැක්සන්ට සරිලන නළුවෙක් ඉන්නව ද කියල මට සැකයක් තියනවා. ජැක්සන් කියන්නේ නළුවෙක් විතරක් නොවෙයි. ඔහු බහුවිධ දක්ෂතා තියන බොහොම විරල ගණයේ නිර්මාණකරුවෙක්. ඔහුගේ තියන රංගන හැකියාව දැනුම් සම්භාරය ඔහුට තියන අනෙකුත් හැකියාව ගායනය, නර්ථනය, කථනය මේ හැම දේකින්ම පරිපුර්ණ චරිතයක්නේ ඒකට විකල්පයක් නෑ. ඇත්තටම ජැක්සන්ට විකල්පයක් ලංකාවේ නෑ ඇත්තටම. ඒ නිසා මම හිතුවා අකිලව යොදාගන්න ඒකට හැම අතින්ම හොඳයි කියල ඒකට ජැක්සන්නුත් කැමතියි.

ජැක්සනුත් කැමතියි කියන්නේ කොහොමද ඔහු අනතුරකට පත් වෙලානේ?

ඔහු පළවෙනි ශෛල්‍ය කර්මය කළාට පස්සේ දින කීපයක්ම කතාබස් කළා. ජැක්සනුත් කැමති වුණා. අකිලව දාලා මේ චරිතය කරනවාට. ශෛල්‍ය කර්මයට ඉස්සෙල්ලත් ඔහු අනතුර වුණාට පස්සේ කතා කළා. අනතුර වුණා දාට පහුවදා ඉඳලා ඔහු සිහිය ලැබුවා. සිහිය ලබලා ඉන්න කොට තමයි ඔහු මාත් එක්ක කතා කළේ.

ජැක්සන්ගේ අද තත්ත්වය ගැන විවිධ කතා පැතිර යමින් තියනවා. ඇත්තටම අද ජැක්සන් ගේ තත්ත්වය කොහොමද?

මේ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරක් දිය හැක්කේ වෛද්‍යවරුන් සහ පවුලේ අයට පමණයි. මූලික ශල්‍යකර්මයෙන් පස්සේ ජැක්සන් ප්‍රකෘති සිහිය ලැබුවා. අපිත් එක්ක කතා කළා. ඊට පස්සේ සිහිසුන් වීමේ තත්ත්වයට පත්වුණේ ඇයි ද කියන එක අපටත් තේරෙන්නේ නෑ. වෛද්‍ය පැත්තෙන් අපිට නොතේරෙන ප්‍රශ්නයක් තියනවා. ඒක වෙනම කතා කළ යුතු දෙයක්. අපි දන්නෑ මොකද වුණේ කියල දින ගණනක් සිහි නැතිව ගියාට පස්සේ අපි හිතුවේ නෑ මාස ගණන් සිහි නැතිව ඉදියි කියලා. අපි හිතුවේ අද නැගිටියි හෙට නැගිටියි කියලා. ඒක නිසා තමයි මාස තුනක්ම බලාපොරොත්තුවෙන් බලා හිටියේ. නමුත් සිහිය ආවේ නෑ. අපි අදටත් ප්‍රාර්ථනා කරනවා ජැක්සන් සුවපත්වේවා කියලා අපිට එතරම් දීර්ඝ කාලයක් බලා හිටින්න බැරි නිසා වෙනත් විකල්පයක් මගේ නිර්මාණයට සොයා ගත්තේ.

මේ වූ අනතුර ජැක්සන්ට මතකද? ඔහුට සිහිය ලැබුවාට පස්සේ ඒ ගැන මොනවාද කිව්වේ?

මම හිතන්නේ ඔහුට අනතුර මතක් වෙන්න බෑ. ඒ සිදුවීම සිදු වූ ආකාරය අනුව එයාට මොනවා වුණා ද කියලවත් එයා දන්නේ නැතිව ඇති. බස් එකක් නතර කරලා තිබුණා පාරේ ජැක්සන් හිතාගන්න ඇති ඒ බස් ඒකෙන් සෙනඟ බහින්න නගින්න නතර කරපු එකක් කියලා. ජැක්සන් අනිත් පැත්තෙන් බස් එකට ඉස්සර කරල වාහනය ඉදිරියට ගත්තා. අපි කවුරුත් කරනවා වගේ වාහනයක් නතර කරල තියනවා නම් අපේ ගමන යන්න අපි ඉස්සර කරනවානේ. නමුත් මේ බස් එක නතර කරලා තියෙන්නේ අලියට. අලියා පාර අයිනේ නිසා බස් එක නතර කරලා. ජැක්සන් මේක දන්නේ නෑ ඔහු වාහනය ඔවර් ටේක් කරන කොට අලියා පාර හරහා ඔහුට අලියා දකින්න වෙලාවක් නෑ. කෙළින්ම හැප්පෙන කොට එයා මොනව වුණාද කියල දන්නැතුව ඇති. ඒක හරිම අවාසනාවක් ජැක්සන්ගේ වාහනයට විනාඩියක් පමණ ප්‍රමාද වී තමයි මම වාහනය එළවන් ආවේ එදා රූපගත කිරිම් කරලා ජැක්සන් කිව්වේ එදා රූපගත කිරීම් ගැන ජැක්සන්ට හරි සතුටුයි. එදා අපි රූපගත කිරීම් කළේ සිංහබාහු නැතිවෙලා කැලේ හොයන දර්ශනයක් තමයි. මට ජැක්සන් කියන්නේ මචෝ කියල. මචෝ අද හරි මරු හැන්දෑවට සෙට් වෙන්න ඕනේ. හරිම සුන්දරයි වැඩේ කියල මම කිව්වා ජැකා කලින් පලයන් මට පොඩි වැඩ වගයක් තියනවා මේ ටික කරල මම එන්නම් කිව්වා. ජැක්සන් පිටත් වුණා.

ජැක්සන්ගේ සිරිත තමයි එයාගේ වාහනය එයාමයි එළවන්නේ. ඒක එයාට තියන පොඩි මානසික ප්‍රශ්නයක් මගේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා එයාට මම වාහනයකුයි රියැදුරෙකුයි දීලා තියෙනවා නමුත් එයා එක පාවිච්චි කරන්නේ නෑ. එයාගේ හුරු පුරුදු කැබ් රථය තමයි එයා එළවගෙන යන්නේ ඒක ජැකාගේ හැටි. එහෙම තමයි එදාත් ගියේ මම විනාඩියට විතර පස්සේ එනකොට තමයි දැක්කේ සෙනඟ ටිකක් පිරිලා ඉන්නවා. බස් එකත් නතර කරල තියනවා. බලනකොට ජැක්සන්ගේ වාහනේ අලියත් පාර අයිනේ හිටියා. ගුරුන්නාන්සේලා, මන්ත්‍රකාරයෝ, පිල්ලියක් කියල කතා හැදුවා. ඒවා පට්ට බොරු. අලියා පාර අයිනේ හිටියා. ඌටත් තුවාල ඇති ඒ සතාත් හෙමින් හෙමින් තමයි එහාට එහාට ගියේ. ඒ අවට අසල් වැසියෝ අපිට කෑ ගැහුවා. සර් යන්න එපා අලියා ඉන්නවා කියලා. ඒ අයත් ගෙවල් වල ඉඳල බලන් හිිටියා ආවේ නෑ උදව් කරන්න. තරුණ ළමයි කීප දෙනෙක් ආවා උදව්වට. අලියා පාරෙන් එහාට පොඩ්ඩක් ගිහින් හොඩවැල වන වනා ඉන්නවා. ඉතිං පිල්ලියක්, දිෂ්ටියක් කියල කියනවා නම් ඒක මහ විහිළුවක්නේ. නවතලා තිබුණ බස් එකේ සෙනඟ තමයි අපිට උදව් කළේ. අසල්වාසීන් වැඩිය ආවේ නෑ ඒ අය අලියට බයයි. අපි අලි ගැන දන්නේ නැති නිසා අපි බය නෑ. අලියා ඉන්නවා කියලා අපිට ළඟට යන්නැතුව බෑ. අපිට ඕනෙ කළේ ඉක්මනින් ජැක්සන්ව රෝහලට ගෙනියන්න. බස් එකේ අයයි මගේ වාහනේ අයයි එකතු වෙලා ජැක්සන්ව අරන් මගේම වාහනෙන් තමයි ජැක්සන්ව රෝහලට ගෙනිච්චේ. අනුරාධපුර රෝහලේ ඉඳලා කොළඹ ගේන කොටත් ජැක්සන් කතා කරනවා. කොළඹ රෝහලේ ශල්‍ය කර්මයෙන් පස්සෙත් ජැක්සන් අපිත් සමඟ කතා කළා. එහෙම කතා කරපු ජැක්සන් තමයි අද සිහිය නොලබා රෝහලේ ඉන්නේ. මේක අපිට නොතේරෙන වෛද්‍ය ප්‍රශ්නයක්. ඒක කතා කළ යුත්තේ පැහැදිලි කළ යුත්තේ වෛද්‍යවරු අපිට ඒ ගැන කියන්න බෑ. අපිටත් ප්‍රශ්නයක් තියනවා. මේ ගැන කතා කළ යුත්තේ ප්‍රශ්න කළ යුත්තේ තවත් වෛද්‍යවරයෙක්. අපි වෛද්‍යවරු නොවන නිසා අපිට ඒ ගැන කතා කරන්න බෑ.

මීට පෙර සිංහබාහු වේදිකාවේ දැක තිබෙන පේ‍්‍රක්ෂකයන්ට ඇයි ඔබ එයම නැවතත් සිනමානුරූපියව තිරයට ගේන්නේ?

මෙතන මම කරන්නේ සිංහබාහු නැවත කිරීමක් නොවෙයි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු තමයි මෙතනදී කාටත් මතක් වෙන්නේ. හැබැයි සරච්චන්ද්‍ර තුමාන් සිංහබාහු ගත්තේ ජනප්‍රවාදයේ පැවතුණ අපේ කතාවක් සහ මහාවංශයේ සඳහන් කතාවක්. ඒ කතාව තමයි සරච්චන්ද්‍රතුමා ඔහුගේ අර්ථ කථනයෙන් ඉදිරිපත් කළේ. මහාවංශයේ සඳහන්ම කතාව නැතිව එහි සංවේදී කොටස මහාචාර්ය තුමා අරන් වේදිකාවට ගැළපෙන විධියට හදල ඉතාම සාර්ථක වේදිකා නාට්‍යයක් නිර්මාණය කළා. අපි හැමෝටම පුරුදු මතකය තමයි සරච්චන්ද්‍රතුමා ගේ සිංහබාහු නාට්‍යය. හැබැයි සරච්චන්ද්‍රතුමන් ගත්තේ ඒ කතාව මහාවංශයෙන් සහ ජනප්‍රවාදයේ පවතින පුරා වෘත්තවලින්. ඒ එතුමාගේ අර්ථ කථනය. මේ සිංහබාහු ඒ කියන්නේ මම සිනමාවට කරන සිංහබාහු සරච්චන්ද්‍රයන්ගේ වේදිකාවේ සිංහබාහු තුළින් ගත්ත එකක් නොවෙයි. ජනප්‍රවාදයේ පැවති සිංහබාහු මහාවංශයේ තිබුණු සිංහබාහු තුළින් සෝමරත්න දිසානායක දකින අර්ථ කථනය තමයි මගේ නිර්මාණයේ තියෙන්නේ. ඕනෙම කෙනෙකුට එහෙම කරන්න පුළුවන්. සරච්චන්ද්‍ර තුමාන් සිංහබාහු ගල්ලෙන සිංහසීවලී නිර්මාණය කළානේ. මගේත් මේ චරිත තියනවා ස්ථාන තියනවා. නමුත් සරච්චන්ද්‍රතුමා ගත්තේ මුලික කතාවේ තියන සිංහයා කියන සතාව කැලේ ඉන්න සතෙක් හැටියටනේ එතුමා සිංහයාව ගත්තේ. මගේ චිත්‍රපටයේ සිංහයා සතෙක් නෙමේ මම හිතනවා මුල් කතාව ගොතපු කාගෙ හරි ප්‍රබන්ධයක් මේක කියලා. ජාතියක් හැටියට සිංහල ජාතියට මේක අපහාසයක්. කැලේ රජ්ජුරුවෝ වුණාට සිංහයා වූ තිරිසන් සතෙක්. එතකොට ඕනෙ කෙනෙකුට කියන්න පුළුවන් සිංහල ජාතියේ ආරම්භය තිරිසනෙකුගෙන් පැවතෙන ජාතියක් කියලා. හැබැයි ඉතිං අපි කරන තිරිසන් වැඩ එක්ක ඒකත් නෑ කියන්නත් බෑ කාටහරි. නමුත් ඒක විද්‍යාත්මකව ගත්තත් ඇත්තක් නොවෙයිනේ. ඒක නිසා කාටහරි ප්‍රබන්ධයක් කරන්න පුළුවන්නම් මටත් පුළුවන් මගේ අර්ථකථනයෙන් ප්‍රබන්ධයක් කරන්න. ඒක නිසා මගේ නිර්මාණයේ සිංහයා කියන්නේ වන මෘගයෙක් නොවෙයි. සිංහයා කියන්නේ කැලේ හිටිය ගෝත්‍රික රජෙක්. එයා තමයි හැඩිදැඩි කැලේ නායකයා. එයාගේ නම සිංහයා. එයාගේ සේවාවේ ඉන්න අනෙකුත් අය කැලේ සත්තුන්ගේ නම් වලින් ඉන්න පිරිසක්. සිංහයා කියන්නේ මනුස්සයෙක් කියල මගේ අර්ථ කථනයේ තියනවා. අපිට දීල තියන කතාවේ ඊළඟ වැරැද්ද තමයි සිංහබාහු ඒ කියන්නේ සිංහයාගේ පුතා හා සිංහ සීවලී ඒ කියන්නේ සිංහයාගේ දුව මේ අය සිංහයාගේ දරුවෝ. නමුත් මේ දෙන්නා එකතු වෙලා තමයි සිංහල පරපුර හැදෙන්නේ මහාවංශයේ කියන විධියට ඈත ඉතිහාසයේ කියල දීල තියන විධියට විජය රජ්ජුරුවන්ගේ පියා තමයි සිංහබාහු. සිංහබාහු සහ සිංහ සීවලී කියන්නේ අයියයි නංගියි. එතකොට අපිට දීල තියන කතාවේ හැටියට අයියයි නංගිගෙනුයි තමයි සිංහල ජාතිය ඇතිවෙන්නේ. මේකත් මහ අපහාසයක්නෙ. අපේ සිංහල ජාතියට. මේක ලෝකේ පවතින දෙයක් නොවෙයිනේ. සහෝදර සහෝදරියෝ විවාහ වෙලා. දරුවෝ හදන්නේ නැනේ. ඒකත් මම මේ නිර්මාණයෙන් වෙනස් කරල තියනවා. මගේ කතාවේ මම කියනවා ඒ දෙන්නා එකට හැදුණ තමයි සිංහයා සහ සුප්පාදේවි දරුවන් හැටියට හදාගත්තා තමයි. නමුත් ඒ දෙන්නා සහෝදර සහෝදරියෝ නෙමේ කියල.

සෝමරත්න දිසානායක ඉතිහාසය කණපිට හරවන්න උත්සාහගන්නවා කියල මේ චිත්‍රපටය තිරගත වෙන අවධියේ ඔබට විරුද්ධ වූ සමාජයේ හඬක් නිර්මාණය වෙන්න බැරිකමක් නැද්ද?

සමහරවිට වෙන්න පුළුවන් ඒක තමයි එහෙම වෙන්න ඕනේ. මිනිස්සුන්ගෙන් හොඳ අහන්නයි ඉතිහාසය එහෙම පිටින්ම අරන් යන්නයි අපි වරද්ද ගත්ත වැරදි ඒවා දිගටම ගෙනියන්නයි ඊළඟ පරම්පරාවට වැරදි ආදර්ශයක් උරුම කරන්නයි මම කැමති නෑ. මගේ නිර්මාණයේ ඉතිහාසය නිවැරදි කළ යුතු තැන් මම නිවැරදි කරනවා. මම සිංහබාහු විතරක් නොවේ. අපේ ජනප්‍රවාදයේ පවතින ඇඳහිලි ආගමික දේවල් සංස්කෘතික දේවල් බොහෝ දේ තියනවා අපි බැහැර කළ යුතු දේවල් පරම්පරාවෙන් එනවා. මේක අපේ සංස්කෘතිය කියල එහෙම දෙයක් නෑ ඒව වෙනස් වෙන්න ඕනේ. ඒවා දිගින් දිගටම අරන් ආවනම් අපි ගල්යුගයේ ඉන්න ගස්් වැල් වලට වඳින වර්ගයක්නේ. අපි ඒවා යුගයෙන් යුගය වෙනස් වෙලා එකීනෙකා ප්‍රශ්න කරනවා මේවට තියන සාක්කි මොනවද කියල. ඇදහිලි විශ්වාස දෙවිවරු තිස් තුන්කෝටියක් ඉන්නවා කියනවානේ. දෙවිවරු ඒ කවුරුවත් අපි දැකල නෑනේ ඕව අපි කියන කතාන්දරනේ. ඒවා එකිනෙක පරම්පාරවලදී වෙනස් කරන්න ඕනේ. හිතන්න පුළුවන් අය තර්කානුකූලව හිතල තර්ක කරන්න. නිර්මාණකරුවෝ හැටියට අපිට තියන යුතුකමක් තමයි මිනිසුන්ගේ චින්තනය හැදීම, මිනිසුන්ගේ නිවහල් චිත්තනයක් ඇති කිරීම නිර්මාණකරුවකුගේ වගකීමක්. ඒ නිසා ඉතිහාසය මෙතෙක් දුරට ජනප්‍රවාදයේ මේ විධියට කියවුණා. මහාවංශයේ ලියල තියනවා කියල දිගටම ගෙනියන්න ඕනේ නෑ. මහාවංශය කියන්නෙත් හාමුදුරු කෙනෙක් ලියපු දෙයක් ග්‍රන්ථයක්. මහානාම හාමුදුරුවෝ බෞද්ධ හිමි නමක් නිසා බුද්ධාගම වර්ණා කරමින් අතිශෝක්තියෙන් සිංහල බෞද්ධයාට වාසිවන අයුරින් තමයි මහාවංශය රචනා කරල තියෙන්නේ. අපි කතා කරන්නේ මහ ඉහළින් ඉතිහාසයේ එකම පුස්තකය මහාවංශය කියලනේ. දීපවංශය, චූල වංශය හැමදේයකම ලියවෙච්ච දේවල් තියනවා ඒවා සමහරක් අදටත් සමාජගත වෙලා නෑ. ඒ යුගයේත් ඒවාට තහංචි තිබිල තියනවා. මහාවංශයේ අතිශෝක්තිය තිබුණාට එහි යම් යම් සිදුවීමක් තිබුණා කියලනම් පැහැදිලියි. විජය රජ්ජුරුවෝ ලංකාවට ආව කියන එක් ඇත්ත. ඒ අනුව රජ පරපුරක් ඇතිවුණා කියන එකත් ඇත්ත.

ඔබ ළමයින් ආමන්ත්‍රණය කරමින් තමයි සිනමාව ස්පර්ශ කරන්නේ. එහෙම කරපු සිනමාකරුවකු වූ ඔබ අද ඉතිහාසය තමන්ගේ සිනමා නිර්මාණ බවට පත්කරන්න පිඹුරුපත් සකසන සිනමාකරුවෙක් බවට පත්වෙලා නේද? අද මේ ඉතිහාස කතා පේ‍්‍රක්ෂකයෝ වැලඳ ගනියිද?

නිර්මාණකරුවෙකු කවදාවත් එක් දෙයකට සීමා නොවිය යුතුයි. මම කරන්නේ ඉතිහාස කතා, මම කරන්නේ විද්‍යාත්මක ප්‍රබන්ධ පමණයි, මම කරන්නේ දේශපාලන නිර්මාණ පමණයි, සමාජ විද්‍යාත්මක දේ පමණයි, මම කරන්නේ ළමයින් වෙනුවෙන් පමණයි කියල කොටුවෙන්න ඕනේ නෑ. නිර්මාණකරුවෙක්ගේ නිර්මාණ වපසරිය පුළුල් වෙන්න ඕනේ. මානව සංවේදීතාවයක් නිර්මාණය තුළ තිබිය යුතුයි. නූතන ප්‍රබන්ධයක්, ඉතිහාස ප්‍රබන්ධයක්, අනාගත ප්‍රබන්ධයක්, විද්‍යාත්මක මන:කල්පිතයක් වෙන්න පුළුවන්. ඒ නිසා එක් දෙයකට සීමා නොවිය යුතුයි. මම ඉතිහාස කතාවක් කළා කියලා ඒකට ආපසු යාමක් නොවෙයි තියෙන්නේ. සිරි පැරකුªම් මම කළේ ඉතිහාස කතාවක් දෙවන පැරකුම්බා රජුගේ කතාවක්. මම ළමා චිත්‍රපට විතරක්ම කරන්නේ නෑ. එහෙනම් මම ‘ජංගි හොරා’ කළේ. මාව ළමා චිත්‍රපට හදන අධ්‍යක්ෂවරයෙක් කියල හඳුන්වනවටවත් මම පෞද්ගලික කැමති නෑ. මම ඕනෙ දෙයක් මගේ නිර්මාණයේදී මම කරනවා කිසිම නිර්මාණකරුවෙක් එක විෂයකට කොහෙත්ම සීමා විය යුතු නෑ.

සෝමරත්න දිසානායක කියන්නේ අපේ සිනමා කර්මාන්තය වෙනුවෙන් සෘජුව හඬක් නගපු පුද්ගලයෙක්. තමන්ගේ සිනමා නිර්මාණ අතේ තියාගෙන සිනමා ශාලා හිමියන්ට සිනමා කර්මාන්තකරුවන්ට දැඩි තීන්දු තීරණ ප්‍රකාශ කළ තැනැත්තෙක්. ඒ ඔබ ගත් සෘජු ප්‍රතිපත්ති නිසාවෙන් සිනමා කර්මාන්තයේ පෙරළියක් සිදු වුණාද?

ඔව්. මම හරි සංතෝසයි. මගේ පළමුවැනි යුගයේදීම මම කිව්වා දෙයක් තමයි මම කළ දෙයක් තමයි ලෝක සිනමාවේ තාක්ෂණය මගේ සිනමා නිර්මාණවලට එකතු කිරීම. එහෙම කරල චිත්‍රපට හැදුවට පස්සේ ඒක සිනමා ශාලාවක පෙන්වන්නේ පරණ හණමිටි කාලේ තාක්ෂණයකින් නම් අපි කළ අර ලෝක තාක්ෂණයෙන් වැඩක් නෑ. චිත්‍රපටය ඇතුළේ තියන දේ පේ‍්‍රක්ෂකයා විඳින්නේ නෑ. මම කවදත් පේ‍්‍රක්ෂකයා පැත්තේ. මම කිව්වේ ඒ අයට මගේ චිත්‍රපටය ඕනෙ නම් ඔය කට්ටියගේ සිනමා ශාලාත් ඒ තාක්ෂණයට අනුගත වෙන්න කියල. සිනමාව කියන්නේ දිනෙන් දින යාවත්කාලීන වන තාක්ෂණයක්. විද්‍යාව හා තාක්ෂණය සමඟ දැඩිව තියන කලා මාධ්‍යයක්නේ සිනමාව. ඒක නිසා අපි අලුත් නිර්මාණය අනුව චිත්‍රපට හදනවා. පෙන්වන සිනමා ශාලාත් ඒ අලුත් තාක්ෂණයෙන් යාවත්කාලීන විය යුතුයි. එහෙම නැත්තම් මම චිත්‍රපට දෙන්නෙ නෑ.

ඔබ චිත්‍රපට දෙන්නෑ කියල සිනමා ශාලා හිමියන් දඩිබිඩියේ නවීකරණයට පියවරක් එක් කළාද?

මුලින් තිබුණේ 35ථථ තාක්ෂණයනේ. මට මතක හැටියට සරිගම චිත්‍රපටයෙන් තමයි මම මේ අදහස කිව්වේ. මගේ චිත්‍රපටය ඕනෙ නම් හෝල්ටික ඩිජිටල් කරන්න. එහෙම කළොත් විතරයි මම මගේ චිත්‍රපටය දෙන්නේ කියලා. මම එහෙම කිව්ව නිසාම ලංකාවේ බොහෝ සිනමා ශාලා 35ථථ අතහැර ඩිජිටල් වුණා. මම දැන් සිංහබාහු පෙන්වන්න පටන් ගත්තහම තව වෙනසක් කරනවා. දැන් ඩිජිටල් තාක්ෂණයෙත් විවිධ තාක්ෂණ ක්‍රම තියෙනවා. එකෙන් 2ඬ තාක්ෂණය තියනවා නම් සිනමා රසිකයාට හොඳ වින්දනයක් ලැබිය හැකියි. නමුත් අපේ සිනමා ශාලාවල තියනවා ඡ් සිනමාව කියල. ඒ කියන්නේ අපේ සිනමා ශාලාවල මීට දශක කීපයකට පෙර තිබු ඉන්දියාවෙන් පවා ප්‍රතික්ෂේප වූ යල් පැනපු තාක්ෂණයක්. මේ අවර ගණයේ තාක්ෂණය 2ම් තාක්ෂණයටවත් කිට්ටු වෙන්න බෑ. අපේ සිනමා ශාලා බහුතරයක තියෙන්නේ ඉන්දියාවෙන් ගලවපු යල් පැනගිය තාක්ෂණය. මම ඒ අයටත් කියනවා මගේ සිංහබාහු ඡ් සිනමා ශාලාවලට දෙන්නෙත් නෑ. ඔය ගොල්ලන්ට ඕනේ නම් මගේ චිත්‍රපටය අඩුම තරමින් සිනමා ශාලා 2ඬ වත් වෙන්න ඕනේ. 2ඬ නැති සිනමා ශාලාවලට සිංහබාහු නෑ. මගේ අයිතියක් තියනවා චිත්‍රපටයේ නිර්මාණකරුවා හැටියට මම ඒ තීන්දුව ගන්න. මට එකෙන් අවාසියක් තියනවා. 2ඬ සිනමා ශාලා ටිකයි ලංකාවේ තියෙන්නේ. සමහර නගරවල ඇත්තෙම නෑ.

ඔබට මේ සටන තනියෙන් ජයගත හැකියි කියල හිතනවද?

ඔව්. කවුරු හෝ මේක පටන්ගන්න ඕනෙනේ. ඒ කවුරු හෝ කෙනා වෙන්න මම කැමැතියි. මගේ චිත්‍රපටයක් සිනමා ශාලාවක් 2ඬ බවට යාවත්කාලීන කරගෙන දිව්වට පාඩුවෙන්නේ නෑ. සමහරවිට ඒකට කරන ආයෝජනය මගේම චිත්‍රපටයෙන් ලැබෙන්නෙත් පුළුවන්. ඉස්සරහට එන්නේ ඒ තාක්ෂණය. ඒක හෝල් හිමියට ඉතිරියක්. මගෙන් පස්සේ අනෙකුත් සිනමාකරුවනුත් මේ දේ අනුගමනය කරයි. අලුත් තාක්ෂණයට අපි පේ‍්‍රක්ෂකයාව හුරු කළ යුතුයි. 1947 දී කඩවුණු පොරොන්දුව එදා තිබුණ තාක්ෂණයට හොඳයි. එදා ලෝකේ තිබුණු ඉහළ තාක්ෂණයට තමයි ඒ සිනමාකරුවෝ ගියේ. ඒ අනුව අපිත් ඒ සඳහා යාවත්කාලීන විය යුතුයි. එදා මම සරෝජා කළේ 35ථථ රීල් එකට ඒක අරන් ලෝකෙ වටේ ගියා. අද චිත්‍රපටයක් ගෙනියන්නෑ. ලෝකෙ වටේ යන කොට එක්කෝ පෙන්ඩ්‍රයිව් එකක් ගෙනියනවා. නැත්තම් අන්තර්ජාලයෙන් චිත්‍රපටය ඒ රටට අරිනවා. ඒක තමයි තාක්ෂණය අපි වෙනස් වෙන්න ඕනේ අන්න එතැනට.

අද අපේ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් පෙළඹී සිටිනවා විදෙස් රටවල සිනමා උලෙළ සඳහාත් විදෙස් රටවල පේ‍්‍රක්ෂකයන් ඉලක්ක කරගෙනත් චිත්‍රපට තනන්න. ඒ රටවල ප්‍රදර්ශනය කර අවසන් වූ විට අපේ පේ‍්‍රක්ෂකයා වෙත මුදා හරින්න තමයි ඔවුන්ගේ අභිලාෂය. මේක අද ට්‍රෙන්ඩ් එකක් බවටත් පත්වෙලා නේද?

මම චිත්‍රපට කරන්නේ මගේ රටේ පේ්‍්‍රක්ෂකයන්ට. ලෝක තාක්ෂණය මගේ නිර්මාණ හරහා අපේ පේ‍්‍රක්ෂකයන්ට දීල තියනවා. අපේ පේ‍්‍රක්ෂකයෝ හරි කැමැතියි තාක්ෂණය සමඟ ගනුදෙනු කරන්න. සිනමා රසවිඳින්න. ඒකනේ එවැනි නිර්මාණ ඔවුන් වැඩිපුර නරඹන්නේ ඒ තාක්ෂණය ඇයි අපේ සිනමාවට එක් කරන්න බැරි වියදම් යන එක ඇත්ත. ඒත් මම කරන්නේ අපේ අයට ලෝක සිනමා තාක්ෂණය මගේ නිර්මාණ ඔස්සේ රසවිඳීමට අවකාශ ඇති කිරීම. මට අවශ්‍ය නෑ අපේ පේ‍්‍රක්ෂකයෝ අමතක කරල පිටරට පේ‍්‍රක්ෂකයන් හොයන් යන්න. සම්මාන උලෙළවලට චිත්‍රපට ඉදිරිපත් කරනවා තමයි එතකොටනේ අපේ සිනමාවත් ලෝක සිනමාව සමඟ ගැටෙන්නේ. අපේ රටේ රසිකයන්ට හදන චිත්‍රපට විදේශීකයොත් බලනවා. මගේ සරෝජා චිත්‍රපටයේ ඉඳල සුනාමි දක්වා හැම චිත්‍රපටයක්ම විදේශ රටවලත් පෙන්නුවා. අපේ දේවල් ඒ අය අතරත් ජනපි‍්‍රය කරගන්න අපි දැනගන්න ඕනේ. ඒ අයගේ දේවල් අපි හැඳින්විය යුතු නෑ. අපේ දේවල් අපි ලංකාවේ හදන්න ඕනේ ඒකට විදේශ අයව කැමති කරගන්න ඕනේ.

ඔබ තුළ සම්මාන උළෙල ඉලක්ක කිරීමක් තියනවාද?

නෑ. මම මගේ සුදුසු චිත්‍රපට ඒ උලෙළ සඳහා ඉදිරිපත් කරනවා. ඒ අය ඒවා තෝරගන්නවා. මම කරපු සියලු චිත්‍රපට සඳහා අන්තර්ජාතික සම්මාන ලැබිල තියෙනවා.

විශාල වියදමක් දරූ ඔබ කළ සුනාමි චිත්‍රපටය මෙරට තුළ තිරගතවීමත් සමඟම කොරෝනා වසංගතය නිසාවෙන් සිනමා ශාලා වැසී ගියා. එය බහුතරයක් පේ‍්‍රක්ෂකයන්ට නැරැඹීමට මඟ හැරී ගිය චිත්‍රපටයක්. නැද්ද ආයෙත් සුනාමි තිරයට ගෙන ඒමේ සැලසුමක්?

ඒ බලා ඉන්න මගේ පේ‍්‍රක්ෂක ප්‍රජාව වෙනුවෙන් ටික කලකට හරි මගේ සුනාමි නැවත පෙන්වන්න මගේ බලාපොරොත්තුවක් තියනවා. ඒත් තියන ප්‍රශ්නය හෝල් නැතිකම වගේම වැඩ නිම කළ චිත්‍රපට පෝලිමක් තියනවනේ. ඒ අයට මම ආයෙත් ආවොත් ලොකු අසාධාරණයක් සිද්ධ වෙනවා. ඔවුන්ට තවත් පෝලිමේ රැදිල ඉන්න සිද්ධ වෙනවා. ඒකට මම කැමති නෑ. ඒ වේදනාව මමත් හොඳට දන්නවා. දින වෙන්කරගෙන බලා ඉන්න අය ගැන ඒ නිසා මම වෙනත් විකල්පයකින් මේක පෙන්වන්නත් අදහස් කළා. නමුත් රටේ ලොකු ඉල්ලීමක් තියනවා ආයෙත් ප්‍රදර්ශනය කරන්න කියලා. සතියකට හරි මම සුනාමි පෙන්වනවා. මගේ සිනමා රසිකයන් වෙනුවෙන්. සුනාමි කියන්නේ ද්වි භාෂා නෙමේ ත්‍රිභාෂා චිත්‍රපටයක්. ඒක නියම හඬ පටයෙන් නියම තාක්ෂණික පහසුකම් තියන හෝල් එකක නැරඹිය යුතු චිත්‍රපටයක්.

පුන පුනා බලා සිටින ඔබේ පේ‍්‍රක්ෂකයන්ට සිංහබාහු තුළ දකින්න තියන සුවිශේෂී තාවයන් මොනවාද?

මේක සිනමාවේ අත්හදා බැලීමක්. මම මේ චිත්‍රපටයේ කතා කරන භාෂාව දෙබස් කාව්‍යයම භාෂාවක් මම භාවිතා කරන්නේ. දෙබස් උච්චාරණය කාව්‍යමය රටාවකට යන්නේ. ඒක මම කරන අත්හදා බැලීමක්. මේ දවස්වල මම කරන සංස්කරණ කටයුතු වල දී ඒක පේනවා සාර්ථක ක්‍රමයක් කියලා මම හිතනවා. ඒ වෙනස පේ‍්‍රක්ෂකයාත් හොඳින් රසවිඳියි කියලා.

ඇයි ඔබට ඔය වගේ වෙනසක් කරන්න හිතුණේ.

මේ සිංහබාහු කතාව දඹදිව බුදුරාජණන් වහන්සේගේ සමයේ වංග දේශයේ හා මගධ දේශය අතර වනාන්තරයේ ඇතිවුණු කතාවක්නේ. මේක සිංහල නොවෙයි වෙන භාෂාවක් කතා කළාට අපේම දෙය තුළ පොඩි වෙනසක් කළ යුතුයි කියල මම හිතුවා. අපිට බස තේරෙන්නත් ඕනේ. වෙනසක් වෙන්නත් ඕනේ.

ඔබ මෙතෙක් අධ්‍යක්ෂණය කළ වැඩිම පිරිවැයක් යෙදු චිත්‍රපටය සිංහබාහු ද?

මෙතෙක් මම හිතන් හිටියේ වැඩිම පිරිවැය යෙදුවේ සුනාමි චිත්‍රපටයට කියලා. නමුත් අද වැඩ නිමවෙන කොට සිංහබාහු එය අබිබවා යනවා. මම මෙතෙක් කරපු හැම චිත්‍රපටයකම නිෂ්පාදනය කළෙත් අපිමයි. රේණුකා බාලසුරිය තමයි අපේ පවුලේ දෙයක් හැටියට නිෂ්පාදනය කළේ. අපි කලින් කරපු නිර්මාණයේ මුදල් තමයි ආයෝජනය කරමින් නිෂ්පාදනය පැත්ත කවර් කළේ. මේ තත්ත්වය සුනාමි චිත්‍රපටය කොරෝනා නිසා පෙන්න ගන්න බැරිවෙන කොට අපේ පිළිවෙත අතරමඟ නතර වුණා. අපේ ගෙවල් දොරවල් පවා උකස් කරල තමයි මේ චිත්‍රපටය කළේ. ඔය අතරේ සිංහබාහු කරගන්න විධියක් නැතිව ඉන්න කොට තමයි මට නිෂ්පාදකයෙක් හමුවුණේ. ඔහු ව්‍යාපාරික වන ගාමිණී වික්‍රමසිංහ. රේණුකා බාලසූරිය විධායක නිෂ්පාදනයෙන් නිෂ්පාදන කළමනාකරණයෙන් වගේම නිෂ්පාදන පිරිවැයෙන් ද මේ සඳහා දායක වෙනවා.

මින් ඉදිරියටත් ඔබ වෙනත් නිෂ්පාදකයෙක් වෙනුවෙන් චිත්‍රපට කරනවාද?

ඔව් මම නිෂ්පාදකයෙක් ලැබුණොත් මම පසුබට වන්නේ නෑ නිර්මාණයක් කරන්න. අපිට අද තියන ප්‍රශ්නය නිෂ්පාදකයන් නැතිකම සමහර නිෂ්පාදකයෝ එනවා. නමුත් නිර්මාණකරුවා ඔහුව විනාශ කරලා. ඉතිං එකෙන්ම ඔහු නවතිනවා.

මේ වර්ෂයේදීම ඔබ සිංහබාහු තිරගත කරනවාද?

ඔව් මාර්තුවල දී මුළු චිත්‍රපටයේම වැඩ අවසන් කරනවා. ගංවතුරත් හැලුවේ නැත්තම් මම ඒක තාක්ෂණය තුළින් නිර්මාණය කරනවා. ඒ සඳහා වියදම වැඩියි. නමුත් මම තවමත් බලා ඉන්නේ ස්වාභාවික ගංවතුර එනකන්.

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න

[email protected]