සංගීතයෙන් ඔබ්බට ගොස් සමාජ මෙහෙවරක් කිරීමයි මගේ අරමුණ

ප්‍රවීණ ගායනවේදී, සංගීතවේදී කීර්ති පැස්කුවල්
ජනවාරි 26, 2023

 

සඳලතා පායලා මල් වැට ගාව ඉරිමා උදේ..

නිල් උපුලී මල් කැකුළී....

කඳුළ ඉතින් සමාවෙයන්...

කවි කාරියේ සින්දු කියනා ළදේ...

ආදරේ හිත සනසන ආදරේ...

තව දවසක් හමුව...

රන් තරු පායන...

ගී ලොව ළයාන්විතයා

කීර්ති පැස්කුවෙල් අද සරසවිය හා පිළිසඳරට එක් වන්නේ ජනවාරි 29 වැනිදා ඔහුගේ ජන්ම දිනය වෙනුවෙන් නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වෙන මනමාල හැන්දෑව ප්‍ර‍්‍රසංගය වෙනුවෙන් කතාබහක යෙදෙන්නටයි.

කීර්ති පැස්කුවෙල් යනු ගායකයෙකු පමණක් නොවේ. ඔහු අති දක්ෂ බේස් ගිටාර් වාදකයෙකි. සංගීත අධ්‍යක්ෂවරයෙකි. තනු නිර්මාපකයෙකි. නළුවෙකි. රියැලිටි තරඟ විනිසුරුවරයෙකි. දරුවන් සංගීතඥානය ලබාදෙන සංගීත ගුරුවරයෙකි. සකල කලා කෞශල්‍යයන්ගෙන් පමණක් රසිකයන් ආමන්ත්‍රණය කිරීමෙන් සෑහීමකට පත් නොවු ඔහු පෞද්ගලික ජීවිතේ පිළිකා රෝගීන් වෙනුවෙන් අපේක්ෂා රෝහලේ නොයෙකුත් සත්කාරයන් සමූහයකට දායක වූ සංවේදී හදවතක් ඇති පුද්ගලයෙකි. කීර්ති හා පුරා කියා ක්ෂේත්‍රයට පිවිසියේ අවුරුදු 15දීය. අඩසිය වසරක කාලයක් පුරා සිය ළයාන්විත හඬින් රසික ආමන්ත්‍රණය කරමින් සිංහල ගීත ක්ෂේත්‍රය පෝෂණය කළ කීර්ති අදටත් ජනපි‍්‍රයත්වය අඛණ්ඩව පවත්වාගෙන ආ කලාකරුවෙකි.

මගේ ගම මහනුවර, ධර්මරාජ විද්‍යාලයේ ඉගෙන ගත්තේ. පවුලේ බාලයා මම. මගේ උපන්දිනේට තාත්තා ගෙනත් දුන්නා. ජපන් මැන්ඩලීනය. මම බලාපොරොත්තු දහසක් පොදි බැඳගෙන ජපන් මැන්ඩලීනයේ තත් පිරිමදින්නට බලාගෙන සිටියත් පසුවදා පහන් වෙද්දී මැන්ඩලීනය අතුරුදන් පාසල් කාලේ සංගීතයට ඇබ්බැහි වේවි කියා අම්මා මැන්ඩලීනය හංගලා.

පුංචි කාලේ ඉඳලම සංගීතයට ඇලුම් කළ කෙනෙක්. පාසැලේදී ඩෙස්ක් එක හිඩැස් අතර බ්ලේඩ් කෑලි තබලා ඒවා එහා මෙහා කරද්දි ස්වරයක් හටගන්නවා. ඒ අනුව අපි සින්දු කිව්වා. ගිටාර් ගහන්න සින්දු කියන තරම් සතුටක් මගේ ජීවිතයේ තවත් නැහැ.

කීර්ති ඔබේ සොහොයුරා පත්මසිරි පැස්කුවෙල් සංගීතඥයෙක්. වාදකයෙක්. ක්ෂේත්‍රයට පිවිසීමට ඔහු ඔබට බොහෝ සෙයින් උදවු කරන්නට ඇති?

ඔව් අයියා මට බෙහෙවින් උදව් කළා. ඒත් මුල් කාලේ අම්මා අයියට නීතියක් දැම්මා. මට ගිටාර උගන්නට එපා. මම අධ්‍යාපනය කඩාකප්පල් කර ගනීවි කියා. නමුත් අයියගෙන් ඉගෙන ගත්තු ගෝලයෙකු ගෙන් තමයි හොරෙන් ගිටාර් ගහන්න ඉගෙන ගත්තෙ. මම රිදම් ගිටාරය තමයි මුලින්ම වයන්නට පටන් ගත්තේ.

නිවසේදී පවා සංගීතයට බාධක පැමිණියත් සියලු බාධක මැද ඔබ අද ජය ටැඹ කරා පැමිණ සිටිනවා. කතා කරමු ඒ පිළිබඳව?

මම 9 වැනි පන්තියේ අධ්‍යාපනය ලබද්දී ටැලන්ට් කන්ටෙස්ට් ප්‍රසංගයක් තිබුණා. එම ප්‍රසංගයේ ඉදිරිපත් වූ ඇතැම් ළමයින්ව පුහුණු කළෙත් මම. නමුත් අවාසනාවකට ටැලෙන්ට් කන්ටෙස්ට් එකෙන් මට ලැබුණේ හත්වැනි ස්ථානය. වාදන කණ්ඩායමේ යම්කිසි වරදක් නිසා මට ගීතය ගැයීමට අපහසු තත්ත්වයක් උදා වුණා. මේ තමයි මගේ ප්‍රථම ජයග්‍රහණය එය පරාජයෙන් ලද ජයග්‍රහණයක්.

ප්‍රසංග වේදිකාවේ හා පුරා කියා ගී ගයද්දී වයස කීයද?

වයස අවුරුදු පහළොවක් විතර ඇති ගී ගැයුවේ මහනුවර කිරිබත්කුඹුර. මේ දවස්වල අපි පුංචි දරුවෝ ටිකක්. මම කොට කලිසම ඇදලා තමයි ප්‍රසංගයට සහභාගි වුණේ. මම හා පුරා කියා ගැයුවේ මහාචාර්ය සනත් නන්දසිරි ගේ මහද වීණා ගීතයයි. එතැනදීම මැදිවියේ මහත්තුරු හතර දෙනෙක් කිව්වා පුතා කවදා හරි ලංකාවේ ජනපි‍්‍රය ගායකයෙක් වෙනවා කියලා. ඔවුන් පළකළ අනාවැකිය මගේ සිහිනය සැබෑ කරගැනීමට විශාල අනුබලයක් වුණා. මම ගෙදරට හොරෙන් යාළුවන් එක්ක එකතුවෙලා පුංචි පුංචි සාදවල ගිටාරය වාදනය කරමින් ගීත ගායනවා. මම ගීත ගයද්දී අහගෙන ඉන්න මගේ යාළුවෝ හරිම කැමැතියි. දවසක් මගේ කවකටු පෙට්ටියේ සංගීත කණ්ඩායමක පින්තූරයක් අලවලා තිබෙනවා දුටු එක්තරා පුද්ගලයෙක් මා දිහා බලලා කිව්වේ පුතා කවදා හරි හොඳ සංගීතඥයෙක් වෙනවා කියා. ඇත්තටම මගේ සංගීත දිවියට පිළිබඳ කියැවුණු අනාවැකි බොහෝයි. ඒ සියල්ල ගායකයෙකු සංගීතඥයෙකු වීමේ සිහිනය මට සැබෑ කර ගැනීමට ලොකු ධෛර්යයක් වුණා.

80 / 90 දශකයේ ජනපි‍්‍රයත්වයේ හිණිපෙත්තේ සිටී ස්ටැන්ලි පීරිස් ප්‍රමුඛ ෆෝචුන්ස් කණ්ඩායමේ බේස් ගිටාරය වාදනය කළ තරුණයා ඔබයි. කොහොමද කණ්ඩායමට සම්බන්ධ වුණේ?

සියලුම වාද්‍ය භාණ්ඩ සමඟ මඟුල් ගෙදරක සින්දු කියන්න අපට ආරාධනා ලැබුණා. නමුත් ප්‍රශ්නය බේස් ගිටාරය වාදනය කරන්න කිසිවකු නැහැ. අපි ආධුනික නිසා කිසිවෙකු අපට උදව්වට එන්නෙත් නැහැ. මම උත්සාහ කරලා ශබ්ද විකාශන හිමි පුද්ගලයාගෙන් බේස් ගිටාරයක් ඉල්ලාගෙන කොහොමහරි බේස් ගිටාරය වාදනය කරන්නට පුහුණු වුණා. මඟුල් ගෙදරදීම ම බේස් ගිටාරය වාදනය කරනු දුටු ඔහු මට ආරාධනා කළා එකතු වී සංගීත කණ්ඩායමක් ආරම්භ කරන්නට. ෆෝචුන්ස් කණ්ඩායමේ නායක ස්ටැන්ලි පීරිස් ඉන් ඉවත් වී රූකාන්ත ගුණතිලක, මහින්ද බණ්ඩාර මම ඇතුළුව සංගීත කණ්ඩායමක් පිහිටෙව්වා. නම ගැලැක්සීස්, මාස හයක් පමණ පුහුණුවීම් කරලා අපි ප්‍රසංග වේදිකාවට පිවිසීමත් සමඟ මහනුවර ප්‍රදේශයේ ගැලැක්සීස් ජනපි‍්‍රය වුණා. පසුව නැවතත් ස්ටැන්ලි පීරිස් අප සියල්ලන් එකතු කර 1983 දෙවැනි වරට ෆෝචුන්ස් කණ්ඩායම ආරම්භ කළා. ස්ටැන්ලි පීරිස් ප්‍රමුඛ ෆෝචුන්ස් මහනුවර ප්‍රදේශයේ පමණක් නොවේ ලංකාව පුරාම අතිශය ජනපි‍්‍රය වුණා.

ඔබ ස්ටැන්ලි පීරිස්ගේ සංගීත ආභාසය ඇසුරෙ හැදී වැඩුණු කෙනෙක්. කෙලෙසද ඔහුගෙන් ඔබගේ සංගීත දිවියට ලද පන්නරය?

ස්ටැන්ලි පීරිස් මහතා ඒ දිනවල ගීත බොහොමයකට සංගීතය නිර්මාණය කළ කෙනෙක්. ඔහුගේ පටිගත කිරීම් වලදී සංගීත භාණ්ඩ වාදනය කිරීම සඳහා රූකාන්ත, මහින්ද බණ්ඩාර, සරත් වික්‍රම සහ මාව ඔහු කොළඹට කැඳවාගෙන යනවා. එහිදී මට ලංකාවේ දක්ෂ වාද්‍ය ශිල්පීන් සංගීත අධ්‍යක්ෂවරු මෙන්ම ගායකයින් ගායිකාවන් හඳුනාගන්නට ලැබුණා. දිනක් මට එහිදී ග්‍රේෂන් ආනන්ද මුණ ගැසී කියා ඔහු මට ආරාධනා කළා. ඔහු හා පුරා ගායනා කර ඇත. දුරක දෑස පාවෙලා ගීතයට බේස් ගිටාරය වාදනය කරන්නට මම බේස් ගිටාර් වාදනය කළ ප්‍රථම ගීතය වුයේ ග්‍රේෂන් ආනන්ද ගේ ප්‍රථම ගීතය වන ඈත දුරක ගීතයයි. එය මගේ ජිවිතේ සන්ධිස්ථානයක්. ඉන්පසු ගායන ශිල්පීන් විශාල ප්‍රමාණයකට විවිධ සංගීත අධ්‍යක්ෂවරු යටතේ ගීත පටිගත කිරීම් බොහොමයක් සඳහා බේස් ගිටාරය වාදනය කිරීමට හැකිවුණා. මම වාදනය පමණක් නොව සංගීත ශිල්පියෙකුට අවශ්‍ය වන්නා වූ ශබ්දාගාර ආශ්‍රිත තාක්ෂණික කරුණු කාරණා පිළිබඳ මට අවබෝධයක් ලබාගැනීමේ සුවිශේෂී අවස්ථාව මෙහිදී මට හිමි වුණා. ඒ අවස්ථාවන් මට හිමි වුණේ ස්ටැන්ලි පීරිස් නිසා.

ඔබ විශාරද නන්දා මාලිනියගේ සත්‍යයේ ගීතයට අත්වැල ගී ගායනා කළා?

ඔව්. ඒ අවස්ථාව මට හිමි කර දුන්නේ ස්ටැන්ලි පීරිස් මහතා. මම නන්දා මාලිනිය ගේ සත්‍යයේ ගීතයේ ප්‍රසංග වාර 530කට අත්වැල් ගායනයෙන් සහභාගී වුණා. මම හා පුරා කියා විදෙස් සංචාරයකට යන්නට ලැබුණේ නන්දා මාලිනියගේ සත්‍යයේ ගීතය සමඟ. 1985 ඩුබායි රටට, පසුව නන්දා මාලිනීයගේ ‘පවන’ ප්‍රසංගයටත් අත්වැල් ගායනයෙන් දර්ශන වාර 30කට සහභාගි වුණා. මම හැමවිටම උත්සාහ කළේ සංගීතය වාදනය පිළිබඳ හසළ දැනුමකින් සන්නද්ධ වන්නට. එයට සුදුසුම තෝතැන්න මෙතැනදී මට හිමිවුණා. පැට්‍රික් දෙනිපිටිය ගේ කොංගෝ, මවුන්ට් චයිම්ස්, සත්සර, ක්ලර් නයිට් ආදී සංගීත කණ්ඩායම් වල වාදකයෙකු ලෙස කටයුතු කළා.

වාදකයෙකුව සිටි ඔබ එකවරම 90 දශකයේ මුල් භාගයේ ජනපි‍්‍රය ගීත ගණානාවක් සමඟ රසිකයන් අතරට ආවා?

ට්‍රැන්ගල් සංගීත කණ්ඩායමේ සිටි දක්ෂ සංගීතඥ සුනිල් ධර්මසේන අමිල ලේබලේ යටතේ ඔහු සංගීතවත් කළ කැසට් පටයක් සඳහා ගීත ගායනයට මට හා පුරා කියා අවස්ථාව ලබා දුන්නා. හන්තානේ නීල කඳු වැටියේ මගේ ප්‍රථම ගීතය, පද රචනය හේම ශ්‍රී අල්විස් සංගීතය පත්මසිරි පැස්කුවෙල්. ඉන් අනතුරුව ඉඩකඩ ලැබෙන හැම අවස්ථාවකම ගීතයක් පටිගත කරන්න මට අවස්ථාව හිමි වුණා. නිල් අහසේ, කවිකාරියේ, ඔබ මා හමු වූ ආදී ගීත පහළොවක් පමණ මම පටිගත කළා. මේ අතරතුර මම ගුවන් විදුලියට ගීත 6ක් පටිගත කර ලබාදුන්නත් 5කට අනුමැතිය ලැබුණේ. නමුත් අලුත් ගායකයෙක් නිසාදෝ මගේ තැටිය ඉරිගසා විනාශකර තිබුණා. පසුව මම නැවතත් ගීත පටිගත කර ගුවන් විදුලියට බාර දීමට සිදුවුණා.

ගායකයකු ලෙස ජනපි‍්‍රයත්වයක් දිනාගැනීමට ෆෝචුන්ස් කණ්ඩායම ඔබට රුකුලක් වුණා නේද?

ස්වාධීන රූපවාහිිනියේ මධු රසාංග වැඩසටහනට ගීත රූපගත කිරීම් වලදී සංගීතය සපයන්නේ ෆෝචූන් කණ්ඩාමයි. දිනක් එහි සිටි තාක්ෂණ ශිල්පියෙක් මගේ සින්දුවක් රූපගත කර ගන්නට අවස්ථාව සලසා දුන්නා. මම නීල අහසේ රූපගත කළා. නමුත් එය ප්‍රචාරය වුණේ නැහැ. පසුකාලීනව සින්දුව පුචාරය වීමත් සමඟම මම එක රැයන් ජනපි‍්‍රය වුණා. එයට හේතුවුණේ ෆෝචුන්ස් කණ්ඩායම නිතරම මධු රසාංග වැඩසටහන මගින් ජනතාව අතර සමීප වී සිටීම. එය මගේ ජනපි‍්‍රයත්වයට රුකුලක් වුණා.

ඔබගේ කුලුඳුල් කැසට් පටය?

මට ලොකු ආසාවක් තිබුණ කැසට් පටයක් කරන්නට. කැසට් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් මුණ ගැසුණා. නමුත් මම නවකයෙක් නිසා බොහෝ දෙනා මාව ප්‍රතික්ෂේප කළා. අවසානයේදී මගේ බිරිද ගේ රත්තරන් මාලය සහ මුදු සියල්ල උගස් තියලා සවන පිනන ගී නමින් කැසට් පටයක් මම නිෂ්පාදනය කළා. මම ෆෝචුන්ස් කණ්ඩායමේ කටයුතු කරද්දී කැසට් කලාවට මෙන්ම සංගීතයට සම්බන්ධ බොහෝ අය ඇසුරු කිරිමේ අවස්ථාව හිමිවුණා. ඡායාරූප ශිල්පීන්, ඇඳුම් නිර්මාණ කරුවන්, පුවත්පත් මාධ්‍යවේදීන්, මේ සියල්ලන්ම හඳුනා ගැනීම නිසා මට මෙම කැසට් පටය ඉතා සාර්ථක ලෙස ඉදිරිපත් කරන්නට ඔවුන්ගේ සහයෝගය ලැබුණා. මම තමයි ෆෝචුන්ස් කණ්ඩායමට ඇඳුම් නිර්මාණය කළේ.

මගේ කුලුඳුල් කැසට් පටය එළිදැක්වුයේ නාවල කොස්වත්තේ ලංකා කැසට් ව්‍යාපාරික ස්ථානයේ එදින කැසට් ව්‍යාපාරිකයෝ විශාල සංඛ්‍යාවක් මගේ කැසට්පටි මිලදී ගන්නට පැමිණ සිටියා. ඒ අතර මගේ කැසට් එක නිෂ්පාදනය කිරීම ප්‍රතික්ෂේප කළ අයත් හිටියා. එයත් දෛවෝපගත සිදුවීමක්.

නිතින් මුකේෂ් ලංකාවට පැමිණි ප්‍රසංගය සංගීතවත් කළ සරත් දසනායකයන්ගේ වාදක මඬුල්ලේ ඔබත් සාමාජිකයෙක් වී සිටියා නේද?

ඔව්. ඒ වාසනාව මට හිමිවුණා. ග්‍රේෂන් ආනන්ද, මර්වින් පෙරේරා, මහින්ද බණ්ඩාර සහ මම, හතර දෙනාම එදා ප්‍රසංගයේ වාදකයින් ලෙස කටයුතු කළ ‘සිංහල රජ කාලේ’ වගේ ගීතය නිර්මාණය වුණේ එදා මර්වින් පෙරේරා, ග්‍රේෂන් ආනන්ද, මහින්ද බණ්ඩාර ඇතුළු අපි හතර දෙනාටමයි. ඒ ගීතය ගායනා කරන්න තිබුණේ. නමුත් මයික් එක වඩාත් ළං වී තිබුණේ මගේ කටහඬට. අවසානයේදී රැව් පිළිරැව් දුන්නේ මගේ කටහඬ, පසුව මම සිංහල රජ කාලෙ ගීතය මගේ කුලුඳුල් කැසට් පටයක් ඇතුළත් කළා. මම පසුකාලීනව සුපර් ෆෝචුන්ස් නැමැති නවතම කණ්ඩායමට සම්බන්ධ කටයුතු කළා.

ගායකයෙක් පමණක් නොවෙයි ඔබ නළුවෙක්. හා පුරා කියා රඟ පෑ චාරුලතා ටෙලි නාට්‍යය පිළිබඳ කතා කරමු?

මම හා පුරා කියා රඟපෑවේ චාරුලතා ටෙලිනාට්‍ය රංජන් රාමනායක සහ සුසන්තා චන්ද්‍රමාලි සමඟ. ගව්වෙන් ගව්ව ටෙලි නාට්‍යයේ අචල අලස් සමඟ තරු. ටෙලි නාට්‍යය වසත්ති චතුරාණි සහ ග්‍රැන්විල් රොද්‍රිගු සමඟ. මම බය නෑ ශ්‍යමා චිත්‍රපටයේ සහ රතු රෝස ටෙලි නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය කළේ මම. සහරාවේ සිහිනය සහ උමයංගනා චිත්‍රපටවල වල ගීත ගායනා කළා.

කලක් ලංකාව අතහැර නවසීලන්තයට පදිංචියට ගියා නේද?

ඔව් අසූ තුනේ ජනවාර්ගික අර්බුද නිසා කලාව අඩාල වුණා. පසුව මම ව්‍යාපාර කිහිපයක් පටන් ගත්තා. ඒ ව්‍යාපාර සියල්ල බංකොළොත් වුණා. දිවි නසා ගන්නා තරමට සියලුදේම නැති වී ගියා. අවසානයේ මම නවසීලන්තටය ගියා. මගේ දරු පවුලක් රැගෙන නවසීලන්තයේදී මම විවිධ රැකියා කළා. ඊට අමතරව ක්ෂිතිජය නැමැති ගුවන් විදුලි නාළිකාවේ පි‍්‍රයානන්ද විජේසුන්දර සහ සුමිත්‍රා රාහුබද්ධ සමඟින් කටයුතු කළා. මම සංගීත පාසලක් ශ්‍රී ලාංකීක දරුවන්ට ආරම්භ කළා මගේ දෙවැනි දුව නටාලියා ඉපදුණේ නවසීලන්තේ. ඒ නිසා ඇයට නවසීලන්ත පුරවැසිභාවය තිබෙනවා. මම නැවත ලංකාවට ආවේ 2000 වසරේ.

ඔබේ දෙවැනි ආගමනයත් සමඟ ඔබ ජනපි‍්‍රයත්වයට කැන්දාගෙන ආ කඳුල ගැන කතා කරමු.

ලංකාවට ආවට පස්සේ මට හිතුණා. ඒ දිනවල ලංකාවේ තිබූ ගීත රැල්ලෙන් පරිබාහිර අලුත් යමක් රසිකයාට තිළිණ කරන්නට. ඒ අනුව තමා කඳුල නිර්මාණය වුණේ. කඳුළ රචනා කළේ ලක්මාලි කාරියවසම්. සංගීතවත් කළේ සුරේෂ් ද සිල්වා. කඳුළු පටිගත කරලා ගෙදර ආවා. පස්සේ මට විශාරද නීලා වික්‍රමසිංහ පැවසුවා. මල්ලි් මේ ගීතය ජනපි‍්‍රය වේවි ඔයා චැනල් වලට දෙන්න කියා. මුලින්ම දුන්නේ සිරසට. එදා ඇරඹි ජනපි‍්‍රයත්වය කඳුළට අදත් තිබෙනවා. මම මේ වන විට සඳලතා, තරු දහසක්, නිල අහසේ, නිලුපුලී, ශාන්ත රැයේ නන් ස්ටොප් ඇතුළු කැසට් 16කට පමණ ගීත ගයා තිබෙනවා. මගේ ප්‍රථම ඛ්ච් තැටිය 1992 Best Of Kirthi  නමින් නිකුත් වුණා.

ඔබේ සොනික් ස්ටුඩියෝ එක කලාකරුවන් අතර බෙහෙවින් ජනප්‍ර‍්‍රිය වුණා නේද?

ඔව් මම 1994 සොනික් ස්ටුඩියෝ එක ආරම්භ කළා. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. කේමදාස මාස්ටර් ඔහුගේ සංගීත කටයුතු බොහොමයක් සිදු කළේ මගේ ශබ්දාගරයේ. මම සාධරණ මුදලක් අය කළ නිසා ඒ කලාකරුවන්ට මූල්‍යමය වශයෙන් විශාල පහසුවක් වුණා. බොහෝ දෙනා ඔවුන්ගේ ප්‍රථම ගීතය හා පුරා කියා පටිගත කිරීමට තෝරාගත්තේ මගේ ශබ්දාගාරය.

ශ්‍රී ලාංකීක කලා ශිල්පීන් විශේෂයෙන් සංගීත ශිල්පීන්, ගීත රචකකයන්, ගායක ගායිකාවන්, ශබ්ද පරිපාලකයන්, මේ සියලන්ගේම දුරකථන අංක ඇතුළත් කර මම සොනික් නමින් පුංචි සාක්කුවේ ගෙන යා හැකි දින පොතක් 1998 නිර්මාණය කළා. පසුගිය අවුරුද්දේ නවකයින්ගේ දුරකථන අංක ද ඇතුළත් කර එය යාවත්කාලීන කළා.

ඔබ ම සංගීතය නිර්මාණය කළ ගීත අපට එතරම් අසන්නට ලැබුණේ නැහැ?

සසරේ පැතූ සේ, රෝද තුනේ, මගේ පුංචි නංගා ආදී මා ගැයූ ගීත විසි පහක් තිහක් අතර සංඛ්‍යාවකට සංගීත නිර්මාණය කර තිබෙනවා. නමුත් එය එතරම් ජනපි‍්‍රය වුණේ නැහැ.

ඔබ සංගීත පන්ති ඇරඹුවා නේද?

ඔව් පැස්කුවල් සවුන්ඩ් ඔෆ් මියුසික් නමින් වින්දනීය සංගීත පන්ති පැවැත්තුවා. ගායන වාදන අඩුපාඩු හදාගෙන තම හැකියාවන් ඉස්මතු කර ගැනීමයි. ඒ සංගීත පන්තියේ අරමුණ. ඒ සමඟම සංගීතය හැදෑරීමක් අවශ්‍ය සිසුන්ට Trinity college of London  විභාග වලට පෙනී සිටීමේ පන්ති පැවැත්වුවා. කෝවිඩ් නිසා එය වසා දැමීමට සිදුවුණා. Zonic music center  නමින් සංගීත භාණ්ඩ අලෙවි සලක් මං නුගේගොඩ පවත්වාගෙන යනවා. මම ගායකයෙකු ලෙස පමණක් රැඳී නොසිට ගායනය, සංගීතය, සංගීත භාණ්ඩ වාදනය, තාක්ෂණය, ශබ්ද අනුනාද, ගායන විශ්ලේෂණය ආදී හැම දෙයකින්ම පෝෂණය වුණා.

කීර්තිගේ හදවත හදිස්සේයම නැවතුනා නේද?

ඔව් 2011 මම ව්‍යායාම කරමින් සිටියදී එකවරම දහඩිය දමා ක්ලාන්ත ගතියක් ඇති වුණා. වහාම මගේ බිරිඳ මාව රෝහලට ඇතුළත් කළා. රෝහලේදී මට කෘත්‍රිම හෘද ස්පන්දනය ලබාදී මාව නැවත වරක් ජීවත් වීමට වාසනාව උදා කර දුන්නා. ඇත්තටම ඒක අමුතුම අත්දැකීමක්. මගේ හදවත නැවතුණා මට දීප්තිමත් ආලෝකයක් පෙනුණා. සැහැල්ලු වී මාව පා වීගෙන යනවා සේ මට දැනුණා. ඒ සමඟම නැවත පියවී සිහිය ආවා. වෛද්‍යවරුන් හෙදියන් මා වට කරගෙන පසුව වෛද්‍යතුමා මට ස්ටෙන්ට් එකක් දැම්මා. ඇත්තටම ම එලව ගිහින් මෙලොව ආවා කිව්වොත් නිවැරදි. ඒ අත්දැකීම මම වින්දා.

කීර්ති පිළිකා රෝගීන් වෙනුවෙන් විශාල සමාජ සත්කාරයකට අත දී තිබෙනවා. ඒ ගැන කතා කරමු

මගේ හදවත නතර වූ සිද්ධියෙන් පස්සේ මම තීරණය කළා කලාවෙන් පමණක් නොව මානුෂික සත්කාරයෙන් මිනිසුන්ට සේවය කරන්නට. ඇත්තටම රටේ ජනතාව මට ආදරෙයි. සංගීතයෙන් පමණක් නොවේ. මනුෂ්‍යත්වය පෙරදැරිව ඔවුන්ට පෙරළා ආදරය කළ යුතුයි. ඒ නිසා මම තෝරාගත්තේ ඉතා අසරණව මානසික තැවුලට පත්වී රෝගාතුරව සිටින මහරගම අපේක්ෂා රෝහලේ ලියුකේමියා රෝගීන්ව. මහරගම අපේක්ෂා රෝහලේ ඇටමිදුළු බද්ධ ඒකකයේ හෙල්ත් ක්ලීක් එකක් පවත්වාගෙන යනවා. මා ඇතුළු තව දෙදෙනෙකු මේ සම්බන්ධයෙන් වැඩ කරනවා. අපේක්ෂා රෝහලේ ඇටමිදුළු බද්ධ ඒකක දෙකයි තිබුණේ. රෝගීන් පන්සියයක පෝලිමක් ලියුකේමියාවෙන් පෙළෙනවා. දැන් ඒකක 8 දක්වා වැඩි කිරීමට හැකිවුණා. බොහෝ අයගේ ආධාර වලින්. මේ වන විට රෝගීන් 200 කට ජීවිතය දානය ලැබිලා තියෙනවා. ඇත්තටම මේක පුණ්‍ය කර්මයක්. කොතලාවල ආරක්ෂක රෝහලට ලක්ෂ එකසිය හැට අටක් වටිනා හයිටෙක් කිමෝ තෙරපි යන්ත්‍රයක් භාරදීමට කටයුතු කර තිබෙනවා. සියල්ල විනිවිද පෙනෙන ආකාරයට වැඩ කටයුතු කිරීම නිතරම කටයුතු කරනවා. එසේ නොවුණොත් මගේ නමටත් කැළලක් ඇති වෙනවා. මෙවර පවත්වන මනමාල හැන්දෑවේ අරමුණත් අපේක්ෂා රෝහලේ ඇටමිදුලු බද්ධ ඒකකයේ රෝගීන් වෙනුවෙන් භාරකාර අරමුදලක් පිහිටුවීමට මුලික අඩිතාලම් දැමීමයි.

මම පුණ්‍ය කර්මයන්ට දායක වන්නට කැමති පුද්ගලයෙක්. පසුගිය උපන් දිනයට මම සංගීත භාණ්ඩ 550 ක් දුප්පත් පාසල් දරුවන්ට ලබා දුන්නා. ඒ සමාජ සේවාව මම දිගටම කරගෙන යනවා. මගේ මූලිකත්වයෙන් සංගීත අධ්‍යක්ෂවරුන් ගේ සංගමය, ගීත රචකයින්ගේ සංගමය ආරම්භ කළා. මම ගායක ගායිකා සංගමයේ සභාපතිව සිටි 2016 ස්වර්ණමය යුගයක් කිරීමට මට හැකියාව ලැබුණා. මගේ ජීවිත කතාව ලියා තිබෙනවා. පොතේ නම කීර්ති එහි මම ගැයූ ගීත හයසීයක් අඩංගුයි.

ඔබේ පවුලේ තොරතුරු?

මගේ පළමු විවාහයෙන් දියණියක් සහ පුතෙකු සිටිනවා. දියණිය දිනේෂා ඇය පදිංචිය එංගලන්තේ. විවාහකයි. ඇයට අවුරුදු පහක පුතෙක් සිටිනවා. ඔහු නේවින්. මම දැන් සීයා කෙනෙක්. මගේ දෙවැනි පුතා කසුන්. ඔහුගේ බිරිඳ චේතනා ඇයට ගායන හැකියාව තිබෙනවා. මගේ දෙවෙනි විවාහයේ බිරිඳ චන්දනා දැන් අපි විවාහ වෙලා අවුරුදු 28යි. වැඩිමහල් දියණිය චාරුණි ඇය නීතිඥවරියක්. පොඩි දුවට නවසීලන්තේ ද්විත්ව පුරවැසිභාවය තිබෙනවා. ඇය නටාලී. ඇය විවාහ වී ඔස්ට්‍රේලියාවේ පදිංචියට යෑමටයි බලාපොරොත්තුව. මගේ දියණිය චාරණී සහ ලේළිය චේතනා දෙදෙනාම මනමාල හැන්දෑව ප්‍රසංගයේ මා සමඟ යුග ගීත ගායනා කරනවා.

මනමාල හැන්දෑව ගැන යමක් කියන්න?

මනමාල හැන්දෑව 29 දා සවස 6ට නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වෙනවා. මා සමඟ චන්ද්‍රලේඛා, නිරෝෂා, ධම්මිකා, මරියසෙල්, සමිතා, දුව චාරණී, ලේළිය චේතනා යුග ගීත ගායනා කරනවා. සංගීතය නාලක සංජීව ජයසිංහගේ ප්‍රසංග අනුග්‍රහය මගේ හොඳ රසිකයෙක් වන තුවාන් ෆර්ශාන් ගෙන්. නර්තන වින්‍යාසය චන්න විජේවර්ධනගෙන්. ඉදිරිපත් කිරීම සාරංග දිසාසේකර.

 

[email protected]