නැවත රඟපාන්න කැමැතියි

හර්ෂණි පෙරේරා
දෙසැම්බර් 8, 2022

හර්ෂණි ක්ෂේත්‍රයට එන්නේ 2000මුල?

ඔව් මම 2004 අවුරුද්දේ මිස් ශ්‍රී ලංකා. පසුව 2005 අවුරුද්දේ මම චීනයට ගියා මිස් ටුවරිසම් වර්ල්ඩ් ඉවෙන්ට් එක සඳහා. එහිදී මම මිස් ඒෂියා මිනි ටයිට්ල් එක ජයග්‍රහණය කළා. ඔය කාලයේ මම වෙළඳ දැන්වීම් ගණනාවක හිටියා. නිතර නිතර මම පුංචි තිරයේ පේන්න වුණා. පසුව උදයකාන්ත වර්ණසූරිය මහත්මා මට කතා කරලා කිව්වා එතුමාගේ හිරිපොද වැස්ස චිත්‍රපටයේ එන ටීචර්ගේ චරිතය කරමු කියලා. මම එයට කැමැති වුණා.ඒ වෙනුවෙන් සරසවිය සම්මාන උලෙළේ වසරේ නැගී එන නිළිය සම්මානයට පාත්‍ර වුණා. 

හිරිපොද වැස්ස චිත්‍රපටයෙන් ඔබව ආදරයෙන් වැලඳගත් ප්‍රේක්ෂකයා අතරමං කරලා ඔබ රංගනයෙන් සමුගත්තා?

චිත්‍රපටයෙන් පසුව බොහෝ ආරාධනා ගලාගෙන ආවා. මට ලොකු කැමැත්තක් තිබුණේ නැහැ රංගනයට. හිරිපොද වැස්ස චිත්‍රපටයේ මට ලැබුණු චරිතයට මම කැමැති වූ නිසයි එහි රඟපෑවේ. මම විවාහ වුණා. විවාහයෙන් පසුව මගේ ස්වාමියා (එවකට ස්වර්ණවාහිනී ප්‍රධාන විධායක නිලධාරි බුද්ධික කුලසේකර) කැමැති වුණේ නැහැ මම රඟපානවට. මගේ පුතා ලැබෙන්න ආවම මම මටම නීතියක් දා ගත්තා දරුවගේ සියලු වැඩකටයුතු මමම කරන්න ඕන කියලා. මේ වගේ කාරණා නිසා මම රංගනයෙන් සමුගත්තා.

හර්ෂිනීට දැන් ලොකු පුතෙක් ඉන්නවා නේද?

ඔව්. දැන් එයාට අවුරුදු පහළොවක්. පුතාගේ නම ආකේෂ් කුලසේකර. ඔහු ජූනියර් මොඩල් ඉන්ටර්නැෂනල් ටීන් මේල් 2021 ජයග්‍රහණය කළා. මමයි මගේ පුතයි ඉන්න පින්තූර දැකලා මට කෝල් එකක් ආවා පුතාව මේ තරඟයට යවමුද කියලා. පුතා අඩි 6.1ක් උසයි නිසත් ඔහුගේ පෙනුම නිසත් මටත් හිතුණා දිනන්න අවස්ථාව තියෙනවා කියලා. ඔහු ඒ තරඟය ජයග්‍රහණය කළා. එහිදි තවත් මිනි ටයිට්ල් දෙකක් ජයග්‍රහණය කළා බෙස්ට් නැෂනල් කොස්ටියුම් සහ බෙස්‍ට් ඉන්ටර්විව් කියන. මම එයාගේ පස්සෙන්ම ඉදගෙන තනියෙමම එයාව ගොඩනැඟුවා. පුදුම සතුටක් මට දැනෙන්නේ.

ඔබත් පසුගියදා සම්මාන දෙකකට පාත්‍ර වුණා?

ඔව්. ඒ දෙකම අන්තර්ජාතික මට්ටමින් ලැබුණු ඇගැයීම්. අවුට්ස්ටෑන්ඩින් විමෙන් ලීඩර්ශිප් සහ පර්සනැලිටි ඔෆ් ද ඉයර් කියන සම්මාන දෙකයි මට ලැබුණේ. එය සංවිධානය කරන්නේ ටයිම්ස් විමෙන් ඕගනයිසේෂන්- නිව්යෝක්. එය ලෝකයේම කාන්තාවන් සම්බන්ධව තිබෙන සංවිධානයක්. මේ වසරේ එය පැවැත්වුණේ පසුගිය ඔක්තෝබර් 16 වැනිදා ඉන්දියාවේ දී. මම එයට සහභාගි වුණා.

මෙවැනි සම්මාන ලැබෙන්න ඔබව සමාජය තුළ දන්නේ කොහොමද?

බොහෝ දෙනෙක් මාව දන්නේ මම ජුවෙලරි ඩිසයිනර් කෙනෙක් විදිහට. සිනමාවේ ඉන්න අය දන්නවා මාව හිරිපොද වැස්ස චිත්‍රපට නිසා.

ඔබට ඉන්දියාවෙනුත් රංගනයට ආරාධනා ලැබුණා ඒ කාලයේ?

මට ආරාධනා ලැබුණා ඉන්දියාවේ චිත්‍රපටවලටත් රංගනයෙන් දායකවෙන්න. ඒ අවස්ථා මඟ හැරුණා මගේ පුතා නිසා. මුල්ම ආරාධනාව එද්දි පුතා ලැබෙන්න අරන් මාස තුනයි. දෙවෙනි අවස්ථාව ලැබෙද්දි මගේ පුතාට අවුරුදු හතරයි. ඒ චිත්‍රපටය සඳහා මාස අටක් පමණ මට ඉන්දියාවේ ඉන්න වෙන නිසා මම ඒ අවස්ථාවත් ප්‍රතික්ෂේප කළා. මට ඔස්කාර් විනින්ග් නිළියක් වීමේ සිහිනයක් තිබුණා. ඒත් එය සල්ලි ලැබෙනවා කියලා ගිහින් රඟපාන්න කැමැති නැහැ. එය ප්‍රමිතියකට අනුවයි සිදුවිය යුත්තේ.

ඔබත් මිස් ශ්‍රී ලංකා කෙනෙක්. අන්තර්ජාතිකවත් ජයග්‍රහණය ලබාගෙන තියෙනවා. මොකද හිතෙන්නේ අද ලංකාවේ සංවිධානය වන පැජන්ට් ගැන?

මෙහෙමයි. මුලින්ම අපි දැනගන්න ඕන අපි තුළ ප්‍රමිතියක් ගොඩනඟාගන්න. අද වෙලා තියෙන්නේ මෙ තරඟවලට එන ළමයින්ම පෙලඹිලා තියෙනවා මොනවිදිහකින් හරි දිනන්න. ඒ ක්‍රමයයි වෙනස් වෙන්න ඕන. තමන්ගේ පරිස්සම ගැන තමන් හිතන්න ඕන.

ඔබ රඟපෑ හිරිපොද වැස්ස චිත්‍රපටය අද බලනවිට මොකද හිතෙන්නේ?

ඒක නම් ඇත්තටම සුන්දර මතකයක්. චිත්‍රපට කරලා අවුරුදු 18 ක් වුණත් අදටත් හිනා යනවා ඒක බලද්දි. ඒකේ හරිම සුහද නළු නිළියෝ කණ්ඩායමක් හිටියා. රොෂාන්, චතුරිකා, අනර්කලි, වගේ. ජයන්ත අතපත්තු හරිම විහිළුයි. ඒ කාලය අදටත් හරිම ආසාවෙන් මතක් කරන්නේ.

රංගනය මගහැරීම ගැන පසුතැවීමක් නැද්ද ආපසු හැරිලා බලද්දි?

මගේ වෘත්තීයට මම හරිම ආදරෙයි. රංගන හැකියාව ලැබීම දෙවියන් විසින් අමතරව දෙන ලද වරප්‍රසාදයක්. මට දක්ෂතා ගොඩක් තියෙනවා. මට චිත්‍ර අඳීන්න පුළුවන්. මට දුකක් තියෙනවා ඉන්දියානු චිත්‍රපටය මගහැරුණු එකගැන. හොලිවුඩ්වලට යන්න මට ආරාධනා තිබුණා මම ඇමෙරිකාවේ ඉගෙනගන්න කාලේ. ඒ 2003 වසරේ. මම ඇමෙරිකාවේ දියමන්ති පිළිබඳ ඉගෙනගද්දි මා සමඟ ඉගෙනගන්න පැමිණි හොලිවුඩ් අධ්‍යක්ෂවරයෙක් මට ආරාධනා කළා රඟපාන්න. ඒ මගේ තරුණම කාලේ. ඒ කාලයේ මගෙ අම්මයි තාත්තායි අයියයි ඇමෙරිකාවේ ජීවත්වුණේ. මගේ අම්මා කිව්වා ඔයා ජුවෙලරි ගැන ඉගෙනගන්නනේ ආවේ කරන්න ආ දෙය කරන්න කියලා. හොලිවුඩ් ගමනත් එතනින්ම නතර කරන්න වුණා.

ජුවෙලරි ඩිසයින් කරන්න බලපෑම ඇති වුණේ?

මගේ මුල් ගම රාජගිරිය. ගෙදර ඉස්සහා ගෙදර මගේ යාළුවාගේ තාත්තා කළේ මැණික් ඔපදමන එක. දන්න තේරෙන කාලයේ ඉදලම මම ඒ දිලිසෙන මැණික් ඔපදමන දිහා ආසාවෙන් බලන් ඉන්නවා. ඒ අංකල් මට මැණික් ගැන කියලා දෙනවා.

ඔබ වෘත්තීයෙන්?

මම රන් ආභරණ නිර්මාණ ශිල්පිනියක්. අවුරුදු 18 සිටම වැඩ කරනවා. ඒ වෙනුවෙන් සී එන් එන් වර්ල්ඩ් නිව්ස් එකටත් ඉන්ටර්විව් එකක් කළා අවුරුදු 21දී. බොහෝදෙනෙක් මාව දැනගත්‍තේ මේ ඉන්ටර්විව් එකෙන් පස්සේ.

හර්ෂිණිට නැවත කලාවට එන්න අදහසක් නැද්ද?

මම ආසයි නැවත රඟපාන්න. හොඳ නිර්මාණයකින් වෙනසක් තිබෙන චරිතයක් කරන්න ආරාධනා ලැබුණොත් අනිවාර්යයෙන්ම භාරගන්නවා.