වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
මෙය යුරෝපා සිනමා ඇකඩමියේ ප්‍රමිතීන්ට අනුව ඇරැඹූ චිත්‍රපට උලෙළක්

- කාන්තාවන් 30% ක් සහභාගි කර ගන්න අප උත්සාහ කළා
- වසරකට යාපනයේ නිර්මාණය වන කෙටි චිත්‍රපට සංඛ්‍යාව සියලු පළාත්වලට වඩා වැඩියි
- යාපනය අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළ දෙසැම්බර් 30 වැනිදා
ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උළෙල පිළිබඳ හඳුන්වා දෙන්නේ කොහොමද?
මෙවර දොළොස් වැනි වතාවට පවත්වන ඇජෙන්ඩා 14 කියන කෙටි චිත්‍රපට උළෙල 2011 වසරේදී ආරම්භ කළේ. ඒ වෙනකොට ඩිජිටල් තාක්ෂණය සමඟ කෙටි චිත්‍රපට නිර්මාණය වෙමින් තිබුණේ. හැබැයි ඊට පෙර කාලයක් තිබුණා කෙටි චිත්‍රපට නිර්මාණය වීම අතහැරී ගිය කාලයක්. ඒ නිසා වසරකට වරක් බැලුවත් ඉතා සීමාසහිත චිත්‍රපට ප්‍රමාණයක් බිහිවුණේ. නමුත් පසුව රූපවාහිනියේ ආගමනය වාගේම ඒ හා අදාළ විවිධ පාඨමාලාවල එක් අංගයක් ලෙස කෙටි චිත්‍රපටයක් නිර්මාණය කිරීමට යෙදීම ආදි කාරණා සමඟ නැවත කෙටි චිත්‍රපට පිළිබඳ උනන්දුවක් ඇති වෙමින් තිබුණ අවධියක තමයි අපි ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උළෙල ආරම්භ කළේ. ඒ වාගේම මූලික වශයෙන් ඊට බලපෑවේ සිනමා මාධ්‍යය භාවිත කරන්න තරුණ කණ්ඩායම් පෙලඹෙන අවස්ථාවක ඒ සඳහා යම් කිසි විදියක ඇගයීමක් සහ මේ මාධ්‍ය අත්හදා බලන්න කරන දිරි ගැන්වීමක් ලෙසයි. සම්මාන ප්‍රදානය කිරීම් කීපයකින් ආරම්භ කළ මේ උළෙලේදී ආරම්භයේ සිටම උළෙලට ලැබෙන සියලු නිර්මාණ අතරින් නිර්මාණ පහක් හොඳම කෙටි චිත්‍රපටය සඳහා නාමයෝජනා ලෙස තෝරා ගනු ලබනවා. ඒ අතරින් ජූරියේ සම්මානයක් සහ උලෙළේ හොඳම කෙටි චිත්‍රපටය සඳහා සම්මානයක් ලබා දෙනවා. ඒ වගේම ආරම්භයේදී මානව හිමිකම් සම්මානයක් ලබා දෙනු ලැබුවා. 2011 වසරේදී අප මේ සම්මාන උළෙල ආරම්භ කරද්දී මානව හිමිකම් පිළිබඳ අවධානය, විශේෂයෙන් අතුරුදන් වීම්, යුද්ධය, කාන්තාවන්ගේ අයිතිවාසිකම්, ආදි කාරණා පිළිබඳ ලාංකේය සමාජයේ වූ අවධානය වාගේම සිනමා ක්ෂේත්‍රය තුළ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ සංවේදීතාවක් අඩුවීම වැනි කරුණු පදනම් කරගෙන සිනමාකරුවන් අතර ඒ පිළිබඳ සංවේදීතාවක් ඇති කිරීම උදෙසා සමාජීය ස්ත්‍රී පුරුෂභාවය පදනම් කරගෙන නිර්මාණය වන හොඳම කෙටි චිත්‍රපටය සඳහා සම්මානයක් ලබා දෙනු ලබනවා. ඒ වාගේම වයස අවුරුදු විසිහතරට අඩු නිර්මාණකරුවන් අතරින් මතු බලාපොරොත්තු සපිරි සිනමාකරුවකු වෙනුවෙන් වෙනුවෙන් පිරිනමන සම්මානයක් ලබා දෙනු ලබනවා. මුල් යුගයේ සීමිත පළාත් කීපයකින් නිර්මාණ ලැබුණේ. හැබැයි වසර කීපයක් යද්දී අපට අවධානය යොමු කළ යුතු වු අංශ කීපයක් තිබුණා. බස්නාහිර පළාත සහ යාපනය උප අර්ධද්වීපය යනු කෙටි චිත්‍රපට බහුලව නිර්මාණය වන පළාත් දෙකක්. විශේෂයෙන් යාපනය වැනි ප්‍රදේශයක වසරකදී නිර්මාණය වන කෙටි චිත්‍රපට සංඛ්‍යාව අනෙක් සියලු පළාත්වලට වඩා වැඩියි. ඒනිසා මේ ස්ථාන දෙකින් ඔබ්බට කෙටි චිත්‍රපටය කියන මාධ්‍යය පිළිබඳ අවධානයක් ඇති කිරීම පිළිබඳ පැහැදිලි අවශ්‍යතාවක් හා වැඩපිළිවෙළක් අපට තිබුණා. ඒ වෙනුවෙන් ලංකාවේ විවිධ පළාත්වල පුහුණු වැඩසටහන් සිදු කළා. එහිදී වූ සුවිශේෂී දේ නම් ඇජෙන්ඩා 14 හැම පුහුණූ වැඩසටහනකම අවම වශයෙන් සියයට තිහක් කාන්තාවන් සිටිය යුතුයි කියන අදහසක් වීමයි. ලංකාවේ ගැහැනු දරුවන් හෝ තරුණියන් ලංකාවේ සිනමා ක්ෂේත්‍රය තුළ සිටින්නේ අඩු ප්‍රමාණයක්. විශේෂයෙන් කාර්මික ක්ෂේත්‍රවල. ඒනිසා ඒ පුහුණු වැඩසටහන්වල අවම වශයෙන් සියයට තිහක කාන්තා සහභාගිත්වයක් ඇති කරන්න අපි කටයුතු කළා. විශේෂයෙන් නැඟෙනහිර පළාතේ අම්පාර වැනි මුස්ලිම් නියෝජනය බහුල ප්‍රදේශයක ගැහැනු දරුවන් සඳහා ම සැකසූ සුවිශේෂ වැඩසටහනක් පැවැත්වීමට හැකි වීම මඟින් ඔවුන්ගේ සහභාගිත්වය මේ සඳහා යොමු කර ගනීමට හැකි වීම විශේෂත්වයක් ලෙස සැලකිය හැකියි. ඒ ආකාරයට පසු කාලීනව ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින්ම මේ කෙටි චිත්‍රපට උළෙල සඳහා නිර්මාණ යොමු වන වැඩපිළිවෙළක් ඇති කළ හැකි වුණා. ඒවගේම විවිධ ප්‍රදේශවල කෙටි චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම, ඒ පිළිබඳ සංවාද පැවැත්වීම ආදි මඟින් තවදුරටත් අවධානය යොමු කර ගැනීමට හැකි වී තියෙනවා.
මේ වසර ලංකාවේ ආර්ථික කඩා වැටීමක් වූ වසරක්. සමාජ අරගලයක් තිබූ වසරක්. එසේ තිබියෙදීත් ලංකාවේ බොහෝ පළාත්වලින් මේ උළෙල සඳහා නිර්මාණ ලැබුණා. එසේම ඒ බොහෝ චිත්‍රපටවල මංගල දර්ශනය පැවැත්වෙන්නේත් මේ උළෙල අවස්ථාවේදියි. ඒකත් සුවිශේෂයි. ඒ වගේම සජීවීකරණය පිළිබඳ තරුණයන්ගේ වූ උනන්දුව නිසා ඔවුන් ඒ සඳහා දිරි ගැන්වීම සඳහා හොඳම සජීවීකෘත චිත්‍රපටයට සම්මානයක් යෝජනා කළා. ඒ වගේම මේ වනවිට හොඳම පාරිසරික තේමාවන් රැගත් කෙටි චිත්‍රපටයට දෙනු ලබන සම්මානයක් තියෙනවා. (ට්අඡ්ඡ්ව් ඒඑඒඅච්) ඒ වගේම හොඳම කෙටි වාර්තා චිත්‍රපටයට දෙනු ලබන සම්මානය වශයෙන් ප්‍රදානයන් සිදු වෙනවා. අපි මේ චිත්‍රපට උළෙල ආරම්භ කළේ යුරෝපා සිනමා ඇකඩමියේ ප්‍රමිතීන්ට අනුවයි. යුරෝපා සිනමා ඇකඩමිය යනු යුරෝපයේ සෑම රටකම ඇති සිනමා ඇකඩමියක්. ඒ මඟින් පවත්වන සිනමා උළෙලවලදී සෑම රටකින්ම එක් කෙටි චිත්‍රපටයක් යෝජනා කරනු ලබනවා යුරෝපා සිනමා ඇකඩමියේ සම්මාන උළෙල සඳහා. ඉතින් අපි ඒ සම්මාන සඳහා යෝජනා වූ චිත්‍රපට අපේ මේ සිනමා උළෙලට සමගාමීව ප්‍රදර්ශනය කළා. ඒ අනුව අපිත් ඒ ප්‍රමිතීන්ට අනුවයි මේ උළෙල ආරම්භ කරනු ලබුවේ. සාමාන්‍යයෙන් ධාවන කාලය විනාඩි තිහක චිත්‍රපටයක් තමයි ඔවුන් කෙටි චිත්‍රපටයක් ලෙස පිළිගනු ලබන්නේ. ඒ අනුව යමින් අපිත් විනාඩි තිහක කෙටි චිත්‍රපට තමයි මේ උළෙලට බාර ගනු ලබන්නේ. නමුත් වාර්තා චිත්‍රපට අංශයේදී අපි යම් ලිහිල් බවක් දක්වනවා. එහිදී විනාඩි හතළිහක් දක්වා වු ධාවන කාලයකින් යුත් චිත්‍රපට අපි කෙටි වාර්තා චිත්‍රපට අංශය සඳහා බාර ගනු ලබනවා. මේ වනවිට ලංකාවේ තිබෙන ආර්ථික පසුබිම නිසා තරුණයන් මේ අංශයෙන් බැහැර වීමේ ඉඩක් තියෙනවා. චිත්‍රපටයක් සමඟ බැඳුණු නිෂ්පාදන පිරිවැය සම්බන්ධ ක්‍රියාවලියේදී ඔවුන් ගැටලුවලට මුහුණ දිය හැකියි. ඒ නිසා මේ වසරේ ලැබුණු නිර්මාණවල සංඛ්‍යාත්මක අඩුවීමක් දුටුවා. ඊට බලපෑ විශේෂිත හේතුවක් වන්නේ ලංකාවේ ආර්ථික කඩා වැටීමයි. ඒ සමඟ නව සම්මන ප්‍රදානයක් සිදු කරන්න. අඩු වියදමකින් අඩු කාලයකින්, වඩා හොඳ නිර්මාණයක් කිරීමේ හැකියාව පිළිබඳ අත් හදා බලීමේ කාර්‍යයක යෙදෙන්න විනාඩි තුනක ධාවන කාලයකින් යුත් හොඳම මයික්‍රෝ ශෝර්ට් ෆිල්ම් කියන අංශයෙන් සම්මාන ප්‍රදානයක් සිදු කරන්න මේ වසරේ යෝජනා කර තියෙනවා. මේ යටතේ තරුණයන්ට හැකියි ජංගම දුරකතනය ඔස්සේ අත් හදා බැලීම් සිදු කරන්න. ඊට අමතරව අපි මේ වනවිට හොඳම කැමරාකරණය, හොඳම සංස්කරණය, සහ ප්‍රශස්ත රංගනය සඳහාත් සම්මාන ලබා දී තියෙනවා. ඒ අංශවලට අමතරව වෙනත් යම් අංශයක දක්ෂතාවක් වේ නම් අපි එයද ජූරියේ විශේෂ අගැයීමකට ලක් කරනු ලබනවා. මෙහි ජූරිය පස්දෙනකුගෙන් සමන්විතයි. චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක්, කැමරා ශිල්පියෙක්, සංස්කරණ ශිල්පියෙක්, භාෂාව පිළිබඳ දැනුමැති අයෙක්, විචාරකයෙක්, ආදි වශයෙන් වූ පිරිසකගෙන් ජූරිය සමන්විත වනවා. මේ වසරේ ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උළෙල පැවැත්වෙන්නේ දෙසැම්බර් 8 වැනිදා සිට දොළොස් වැනිදා දක්වායි. කොළඹ හත ග්‍රෙගරි පාරේ ජර්මන් සංස්කෘතික ආයතනය සහ බාන්ස් පෙදෙසේ අලියොන්ස් ෆ්රාන්සේස් යන ආයතනවල ප්‍රදර්ශන උළෙල පැවැත්වෙන්නේ. සම්මාන උළෙල පැවැත්වෙන්නේ එළඹෙන 12 වැනිදායි. ඒ අතරතුර කාලය තුළ ලෝකයේ සම්මානයට පාත්‍ර වූ කෙටි චිත්‍රපට ප්‍රදර්ශන, කෙටි චිත්‍රපටකරුවන් සමඟ සිදුවන සංවාද, ආදියෙන් සමන්විත වෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඇජෙන්ඩා 14 ෆේස්බුක් පිටුවෙන් දැනගත හැකියි. මෙවර උළෙලේදී මෙරට නිෂ්පාදිත කෙටි චිත්‍රපට 36ක් ප්‍රදර්ශනය වීමට නියමිතයි. ඒවාගේම දීර්ඝ කාලයක් නොකඩවා පැවැත්වෙන කෙටි චිත්‍රපට උළෙල ලෙසත් ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උළෙල හඳුන්වා දිය හැකියි. ඊට අමතරව මෙවර සහභාගි වන ප්‍රේක්ෂකයන්ට තමන් නරඹන ලාංකේය කෙටි චිත්‍රප අතරින් කැමතිම චිත්‍රපටය වෙනුවෙන් ඒභඤඪඥදජඥ ඛ්ඩධඪජඥ ඒඹචපඤ සම්මානය සඳහා ඡන්දය භාවිත කිරීමේ අවස්ථාවද හිමි වෙනවා.
යාපනය අන්තර්ජාතික සිනමා උළෙල පිළිබඳ අදහසක් දැක්වූවොත් ?
ලංකාවේ පැවැත්වෙන එකම අන්තර්ජාතික චිත්‍රපට උළෙල එයයි. එය මේ වනවිට වසර අටක් නොකඩවා පැවැත්වෙනවා. මෙවර එය දෙසැම්බර් 30 වැනිදා සිට 2023 ජනවාරි 8 වැනිදා දක්වායි පැවැත්වෙන්නේ. යාපනය රීගල් සිනමා සංකීර්ණයේ, යාපනය විශ්වවිද්‍යාලයේ කයිලාසපති ශ්‍රවණාගාරයේ සහ යාපනය කලම් සංස්කෘතික ආයතනයේ එය පැවැත්වෙන්නේ.
මේ චිත්‍රපට උළෙල සංසන්දනාත්මකව බැලුවොත් දකින විශේෂත්ව මොනවාද ?
සියලු භාෂා කතා කරන, සියලු වාර්ගිකයන් එකතු වන උළෙලක් ලෙස කොළඹ පැවැත්වෙන ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උළෙල හඳුන්වා දෙන්න පුළුවන්. ඊට ලංකාවේ සියලු පළාත්වල නියෝජනයන් සතුයි. යාපනය අන්තර්ජාතික සිනමා උළෙල පිළිබඳ අදහසත් ඊට සමානයි. ඊට කොළඹ සිට සහභාගී වන සිනමාකරුවන් දැකිය හැකියි. ඒ උළෙලත් විවිධත්වයෙන් යුතුයි. අපේ මූලික බලාපොරොත්තුව ලංකාවේ සිනමාවේ දියුණුවයි. ඒ සඳහා වන ජාතික හා අන්තර්ජාතික අගැයීම් හා සම්මාන ප්‍රදානයන් මේ උලෙළ දෙකෙහි දකින්න පුළුවන්. සියලු ජාතීන් අතර සහභාගීත්වය මෙහි පොදු ලක්ෂණයක්. ඒ සඳහා අවැසි වන සාධක මේ උළෙල දෙකෙහි ම තියෙනවා.
කෙටි චිත්‍රපටකරුවන්ගේ දැක්ම මේ කෙටි චිත්‍රපට ඔස්සේ විහිදී යන විදිහ ගැන ඔබේ නිරීක්ෂණය කොයි වගේද ?
ඒකට එක වාක්‍යයකින් පිළිතුරු දෙන්න බෑ. සාමාන්‍යයෙන් වසරකට විවිධ තේමාවන් යටතේ කෙටි චිත්‍රපට එකසිය පනහක් පමණ නිර්මාණය වෙනවා. නමුත් කියන්න පුළුවන් තමන් ජීවත් වන භූමියට, තමන් ජීවත් වන සමාජීය, ආර්ථික සහ දේශපාලන වටපිටාවට ඇති තමන්ගේ ප්‍රතිචාරය තමයි මේ චිත්‍රපටවල දකින්න පුළුවන් වෙන්නේ කියන එක. ඔවුන්ගේ ජීවිත පිළිබඳ තමයි මේ චිත්‍රපටවලින් මතු කරන්නේ. ඒවායේ පුද්ගල බද්ධ නිර්මාණ වාගේම සමාජ විවරණ දකින්න ලැබී තියෙනවා. ඒවගේම අත් හදා බැලීම් අංශය ගත් විට ඔවුන් මාධ්‍ය තුළ නව තාක්ෂණය සමඟ කරන අත්හදා බැලීම් තියෙනවා. යුද්ධයකින් පසු ලංකාවේ ඇති වූ විවිධ දේශපාලනික විපර්යාස සමඟ පවතින සමාජ දේශපාලන ආර්ථික තත්ත්වය කෙරෙහි තරුණයන්ගේ ප්‍රතිචාරයයි අපි දකින්නේ. සමහරවිට නීති සංශෝධන කෙරෙහි කරන අභියෝගයන් පවා දකිනවා. ඒ නිසා විවිධ ප්‍රතිචාර හා නව තාක්ෂණික අත්හදා බැලීම් මේ නිර්මාණවල හඳුනා ගන්න පුළුවන්.
වර්තමාන නිෂ්පාදන පිරිවැය හා අනිකුත් අභියෝග හමුවේ ඔවුන්ගේ නිර්මාණවල තාක්ෂණික ගුණාත්මකභාවය සැලකිල්ලට ගන්නේ කොහොමද ?
තරුණයන් නව දෙනකු සමඟ කළවෘත්තාන්ත චිත්‍රපටයක් තමයි ගුඩ්නයිට් කලම්බු කියන්නේ. කෝවිඩ් සමයේ කළ එය මිනිත්තු 77ක් දිගු චිත්‍රපටයක්. එය මේ වනවිට අන්තර්ජාතික සිනමා උළෙලවලට පවා ඉදිරිපත් වෙනවා. එය ජංගම දුරකතනයක් භාවිත කර පුළුල් සිනමා තිරයකට ප්‍රක්ෂේපණය කර කළ වෘත්තාන්ත චිත්‍රපටයක්. ඉතින් ජංගම දුරකතනය පවා අද ඉතා දියුණු රූපගත කිරීම් කළ හැකි මට්ටම දක්වා පැමිණ තිබෙනවා. ඒ නිසා තවදුරටත් මේවා බාධාවන් නොවේ. නමුත් ඔවුන් එය හරියට දැන කළ යුතුයි. තාක්ෂණය පැත්තෙන් තරුණයන්ගේ උනන්දුව ඉහළයි. ඒ නිසා තාක්ෂණය උපරිමයෙන් භාවිත කරන නිර්මාණ අපට ලැබෙනවා. දැන් ඔබ ඇසුවා සේ තාක්ෂණය පිළිබඳ ඔවුන්ට අභියෝග තියෙනවා. කෙසේ වෙතත් අපේ විනිශ්චයේදී තාක්ෂණය සමඟ සිනමාකරුවා කොයිතරම් දුරට තමන්ගේ අදහස් ප්‍රකාශනයට යොදා ගන්නා මාධ්‍යය පිළිබඳ දැනුවත් ද, සංවේදී ද යන්න හා ඔවුන්ගේ ශක්‍යතාවන් තමයි අපි බලන්නේ.
මේ කෙටි චිත්‍රපට උළෙල සඳහා එක්වන නිර්මාණකරුවන්ගේ සහභාගීත්වය කුමන වයස් කාණ්ඩ යටතේ ද වර්ගීකරණය වෙන්නේ ?
කෙටි චිත්‍රපටය කියන නිර්මාණය ඕනෑම වයසක කෙනකුට අත්හදා බැලිය හැකියි. ඕනෑම වයසක අයකුගේ නිර්මාණ අප පිළිගන්නවා. නමුත් උළෙලට නිර්මාණ ලැබෙන වයස් කාණ්ඩ බැලුවොත් අවුරුදු පහළොවේ සිට හතළිස් පහ අතර පිරිසගෙන් වැඩිපුරම නිර්මාණ ලැබෙන බවක් පෙනෙන්න තියෙනවා. එහිදී විශේෂයෙන් අවුරුදු විසි හතරට අඩු මතු බලාපොරොත්තු සපිරි අධ්‍යක්ෂවරයාට පිරිනැමෙන සම්මානය නිසා බොහෝ තරුණයන් ඔවුන්ගේ නිර්මාණ ඉදිරිපත් කරනවා. සතුටට කාරණයක් වන්නේ එබඳු මතු බලාපොරොත්තු සපිරි අධ්‍යක්ෂවරයාට පිරිනැමෙන සම්මානය ලැබූ සමහර තරුණයන් පසුකාලයේ ප්‍රධාන සම්මාන පවා දිනාගෙන තිබීමයි.
ලංකාවේ පොදු ප්‍රේක්ෂකයා කෙටි චිත්‍රපටය කියන මාධ්‍යය කොයි විදියට ද හඳුනා ගෙන තිබෙන්නේ?
මේ කෙටි චිත්‍රපට උළෙල පටන් ගත්තේ ලංකාවේ මේ පිළිබඳ යම් උනන්දුවක් ඇතිවෙමින් තිබුණු මොහොතකයි. ඒ උනන්දුව ප්‍රේක්ෂකාගාරය තුළ තව වැඩි දියුණු කිරීමේ අරමුණින් තමයි අපි මේ උළෙල පටන් ගත්තේ.මම කෙටි චිත්‍රපටයක් මුල්වරට නිෂ්පාදනය කළේ අවුරුදු දාහතේදියි. හැබැයි එවකට එය මට විශාල අභියෝගයක් වුණා. නිෂ්පාදන පිරිවැය, උපකරණවල මිල ආදි බොහෝ කාරණා නිසා. හැබැයි ඩිජිටල් තාක්ෂණයේ ආගමනයත් එක්ක අපට පෙනුණ දෙයක් තමයි නව තාක්ෂණය තමන්ගේ නිර්මාණ කාර්යයේදී තරුණයන්ට පහසුවෙන් ප්‍රයෝජනයට ගන්න පුළුවන් කියන කාරණය. ඒ සඳහා තමයි අපි ඒ මොහොතේ මේ උළෙල ආරම්භ කළේ. ඒ සමඟ කෙටි චිත්‍රපටය මාධ්‍යයක් විදියට සමාජගත කරන්නත් විවිධ වැඩපිළිවෙළ අපට තිබුණා. අපි පෙරදීත් කතා කළ විදියට කෙටි චිත්‍රපට විවිධ පළාත්වල,නගරවල ප්‍රදර්ශනය කිරීම, ඒ සම්බන්ධ විවිධ වැඩමුළු පැවැත්වීම ඒවාගේම ඇජෙන්ඩා 14 ආයතනයෙන් පුහුණුව ලැබූ පිරිසගෙන් සමන්විත චිත්‍රපට සමාජ ආදි ගොඩනැඟීමත් සමඟ කොළඹ යාපනය ආදි කෙටි චිත්‍රපටය ජනප්‍රිය ප්‍රදේශවලින් පරිබාහිරව එය හඳුන්වා දෙන්න පුළුවන් වුණා. ඒ වගේම ලංකාවේ තැනෙන කෙටි චිත්‍රපට අන්තර්ජාතික උළෙලවලට ඉදිරිපත් කිරීම, ඒවාට සම්මාන ආදි හිමි වීම යන කාරණා මත කෙටි චිත්‍රපටයට ලොකු උනන්දුවක් ඇති වුණා.තරුණ පරපුර වගේම කෙටි චිත්‍රපට නරඹන වැඩිහිටි පරපුරකුත් සිටිනවා. ඒ අනුව කෙටි චිත්‍රපටය මාධ්‍යයක් විදියට මේ වෙද්දී සෑහෙන අවධානයකට ලක් වී තියෙනවා.