විසිපස් වසරක් ‘සවනට ගී මධු’ ගෙන ආ ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ

ඔක්තෝබර් 13, 2022

පුරා වසර 25ක් එකම නමකින් එකම නිර්මාණ අධ්‍යක්ෂවරයකු සහ එකම නිවේදකයකු විසින් පවත්වාගෙන යන වැඩසටහනක් ඇතැයි කීවොත් සමහර විට එය ඔබ විශ්වාස නොකරනු ඇත. එහෙත් එවැනි වැඩසටහනක් පිළිබඳ හෝඩුවාවක් පසුගිය දින අපට අසන්නට ලැබිණ. මේ වැඩසටහන වූයේ ‘සවනට ගී මධු’ය. වැඩසටහනේ නිර්මාණ අධ්‍යක්ෂවරයා සහ නිවේදකයා වන්නේ ශි‍්‍රමත් ඉන්ද්‍රජිත් ලියනගේය.

ශ්‍රීමත්ට පුවත්පත් කලාවට ඇත්තේ පරම්පරාගත ඥාතිත්වයකි. ඒ ඔහුගේ පියා ප්‍රවීණ පුවත්පත්කලාවේදියකු, ගත්කතුවරයකු වූ ගුණදාස ලියනගේ නිසාය. එසේම ඔහුගේ මව් පාර්ශ්වයද ලේඛන කලාවට දැක්වුයේ දැඩි සමීපත්වයකි. ඒ කෘතීන් ගණනාවක් රචනා කළ චන්ද්‍රලතා ලියනගේ ඔහුගේ ආදරණීය මව නිසාය. දෙපාර්ශ්වයෙන් හිමි වූ දක්ෂතා හැකියාවන්ගෙන් පරිපුර්ණව ශ්‍රීමත් සිය කලා දිවිය ඔහුටම අනන්‍ය වූ ආකාරයට ගොඩ නඟා ගත්තේය. ශ්‍රීමත් ඉන්ද්‍රජිත් යන නාමය සමඟම ‘සවනට ගී මධු’ යන්න ගසට පොත්ත මෙන් වූ බැඳීමක් ඇති වුයේ පුරා වසර 25ක් තිස්සේ ඔහු මේ වෙනුවෙන් කළ කැපකිරිම් නිසාය.

‘ඇත්තටම ‘සවනට ගී මධු’ ප්‍රසංගය මම පටන් ගත්තෙ 1997 වර්ෂයේදී එවකට ටී.එන්.එල් රූපවාහිනී නාළිකාවෙන් තමයි මේක විකාශය වුණේ. එදා මේ වැඩසටහන නිෂ්පාදනය කළේ එස්.ඒ.බෙනට් මහතායි. එදා මෙදා තුර ගාමිණි මාලිනිගේ සිට මෙදා හේමාල් - උදාරි දක්වා සිංහල සිනමාවේ සියලුම නළු නිළියන් මේ වැඩසටහනට මම සම්බන්ධ කරගෙන තිබෙනවා. මේ වැඩසටහන විශේෂයෙන්ම නිර්මාණය වුණේ සිනමාව මූලික කරගෙනයි. නමුත් පසු කාලීනව සකල කලාවන් වෙනුවෙන්ම විවිධ වැඩ සටහන් කරන්නට මට පුළුවන් වුණා.’

වර්තමානයේ අතිශයින් ජනප්‍රිය, ඉහළ තලයක වැජඹෙන බොහෝ කලාකරුවන්ගේ මුල්ම රූපවාහිනි වැඩසටහන වූයේ ද ‘සවනට ගී මධුය.’ ඒ හරහා ගායක ගායිකාවන්, සංගීත ශිල්පීන්, නළු, නිළියන් චිත්‍රපට අධ්‍යක්ෂ, නිෂ්පාදකවරුන් ඇතුළු බොහෝ පිරිස් මෙම වැඩසටහන ඔස්සේ සිය නිර්මාණ ජීවිතය ඔපවත් කර ගත්හ. එදා මෙදා තුර මෙරට බිහි වූ අති දක්ෂ කලාකරුවන් රැසකගේ ජීවමය වැඩ සටහන් රාශියක් ශ්‍රීමත් සතුවන අතර ඉන් දුර්ලභ ගණයේ වැඩසටහන් කීපයක් ච්ඍච් මාර්ගයෙන් නොමිලයේ ලබාදීමේ වැඩපිළිවෙළක් ද ඔහු ඇති කළේය.

‘අපේ කලා ක්ෂේත්‍රයේ අතිශයින් ජනපි‍්‍රය, දක්ෂ පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා ඇතුළත් වැඩ සටහන් රාශියක් මා සතු වෙනවා. මේ අය අතර ගාමිණි ෆොන්සේකා, මාලිනි ෆොන්සේකා, ජෝ අබේවික්‍රම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ආචාර්ය කේමදාසයන්, නිමල් මෙන්ඩිස් වැනි අය ඉන්නවා. ඒ වගේම අද ජීවතුන් අතර නැති සුවිශේෂ පුද්ගල චරිත රැසකුත් මේ අතර වෙනවා. එවැනි සුවිශේෂ චරිත ඇතුළත් ඩී.වී.ඩී. 50ක් විතර මේ වන විට නොමිලයේ බෙදා දීමට නිකුත් කරල තිබෙනවා.”

වසර 25ක් එකම වැඩසටහනක් මේ ආකාරයෙන් පවත්වාගෙන යෑම යනුු විශාල අභියෝගයකි. ආරම්භයේ සිටම ශ්‍රීමත් මෙම වැඩසටහන පවත්වාගෙන ආවේ අනුග්‍රාහක දායකත්වයක් ද සමඟය. එසේම මෙම වැඩසටහන් මාලාව නිසා ශ්‍රීමත්ට ජීවිත තර්ජන ඇති වූ අවස්ථාවන් මෙන්ම ඔහු අපහසු තත්ත්වයට පත් කළ අවස්ථාවන් ද ඕනෑ තරම් විය. මල් මෙන්ම ගල් ද ශ්‍රීමත්ට එල්ල කළ පිරිස් කොතෙකුත් විය. එහෙත් ඒ කිසිදු දෙයකින් ‘සවනට ගී මධු’ ප්‍රසංගය හෝ ශ්‍රිමත් ගේ ගමන නවතා ලීමට නොහැකි වූයේය.

‘මේ වැඩසටහන පටන් ගනිද්දීම මම ඒ සඳහා යොදා ගත්තේ මේ වගේ පාඨයක්. ‘සාම්ප්‍රදායික සංවාද රටාව කටුගෙට යැවූ රූපවාහිනි ප්‍රාසංගික වැඩසටහන” යනුවෙන්. මේ අදහස තුළම තිබෙනවනේ මේක වෙනස් ආකාරයේ දෙයක් බව. වැඩසටහන සම්බන්ධ වුණු සමහර ජ්‍යෙෂ්ඨයන් කරපු කියපු කතා ඒ දවස්වල ආන්දෝලනාත්මකව තුඩ තුඩ රැව් දුන්නා. මට මතකයි එකල ගාමිණි ෆොන්සේකා මැතිතුමා සමඟ මම සංවාද ගණනාවක් කළා. එතුමා කරපු යම් යම් ප්‍රකාශ නිසා ක්ෂේත්‍රයේ අති විශාල ආන්දෝලනයක් ඇති වුණා. ඒ වගේම මට මතකයි එක්තරා සිනමා නිළියක් මේ වැඩසටහනින් අතර මැද දි නැගිටලා ගියා.

සමහරෙක් වැඩසටහන අතරතුර ශ්‍රීමත්ට තවදුරටත් ජීවත් වෙන්න අවශ්‍ය ද කියලා ඇහුවා. අද ඒවා මට මගේ මාධ්‍ය ජීවිතේ රසබර මතක’ වර්තමානයේ මෙම වැඩසටහන රසවිඳිය හැක්කේ සිටි එෆ්.එම්. ගුවන් විදුලිය ඔස්සේ ප.ව 1.15 සිට ප.ව 3.00 දක්වාය. එය රූප මාධ්‍යය ඔස්සේ ‘නැරඹීමට නම්’ ‘අද’ යූ ටියුබය ඔස්සේ හැකිය. පසුගිය දින එළැඹි විජය කුමාරතුංගයන්ගේ 77 වැනි ජන්ම දිනය වෙනුවෙන් ඔහු සුවිශේෂි වැඩසටහනක් නිර්මාණය කළ අතර කලින් කලට රටේ සිදුවන්නා වූ සුවිශේෂී සංසිද්ධීන්, කලාවේ සංසිද්ධීන් ගෙන එමින් ජනහද ගැස්ම හඳුනන නිර්මාණත්මක යමක් කිරීම ඔහුගේ අපේක්ෂාවයි.

වර්තමානයේ සවනට ගී මධු වැඩසටහනේ උපදේශකත්වය දරනුයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහය. අධීක්ෂණය සිටි එෆ්.එම්. නියෝජ්‍ය අධ්‍යක්ෂ අරුණ එදිරිසිංහය.

‘සවනට ගී මධු’ වැඩසටහනත් එක්ක මම තවත් වැඩසටහන් රාශියකට මඟ පාදා ගත්තා. කලාකරුවන්ට උපහාර පිදිමේ වැඩසටහනක්. හර්බට් රංජිත් පීරිස් සමඟ එකතු වෙලා පැදුරු සාජ්ජයක් කළා. ෆෙ‍්‍රඩී සිල්වා මහත්මයා ජිවතුන් අතර සිටියදී ඔහු වෙනුවෙන් උපහාර උත්සවයක් කළා. ඔහුට වෛද්‍යධාර ලබා දුන්නා. මුදල් පරිත්‍යාගයක් ද කළා. ඒ වගේම නව පරපුරකට ඉදිරියට එන්නට අත හිත දුන්නා. ඔවුන්ගේ නිර්මාණ ඉදිරිපත් කරන්නට වේදිකාවක් හදලා දුන්නා. ඒ නිසා ගෙවුණු කාලයත් එක්ක ආපස්සට හැරිලා බලනකොට මට සතුටු වෙන්න කාරණා බොහොමයක් තිබෙනවා.

ඉදිරියේදීත් අලුත් වැඩ රාශියක් කරන්න බලාපොරොත්තු වෙනවා. නිවේදන කලාව හා හඬ කැවීම පිළිබඳ පොත් දෙකක් එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම සුපුරුදු පරිදි දෙසැම්බර් මාසේ මගේ උපන් දිනය නිමිත්තෙන් ප්‍රසංගයක් පවත්වන්නට සුදානමින් සිටිනවා.