ජැක්සන්ට ඉක්මන් සුවය අපේ පැතුමයි

සිංහබාහු චිත‍්‍රපටයේ නිෂ්පාදක ගාමිණී වික‍්‍රමසිංහ
ජූලි 7, 2022

 

දකුණු පළාතේ බද්දේගම අගලේගම හැදී වැඩුණු ඔහු ද්විතික අධ්‍යාපනය ගමේ ගලිඔය විදුහලෙන් ලබා ගත්තේය. ඉන් පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා ඇල්පිටිය ශාන්ත මේරී විදුහලටත්, කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයටත් ඇතුළත් විය. ගමන් මගේ නවමු සංධිස්ථානයක් වෙනස් කරමින් හේ නැවත ගාල්ල රිච්මන්ඞ් විදුහලට ඇතුළත් වන්නේය. උසස් පෙළ අධ්‍යාපන සුදුසුකම් මත ඉංජිනේරුවරයකු වීමේ සිහිනය සැබෑ කරගන්නට කටුබැද්ද විශ්වවිද්‍යාලයේ උසස් ඩිප්ලෝමා පාඨමාලාව ද හැදැරිය. පසුව ඉදිකිරීම් ක්ෂේත‍්‍රයට පිවිසුණේය. සිතේ තිබුණු සිහිනයක් ලෙස ව්‍යාපාරයක ආයතනයක හිමිකරු බවට ද පත්විය. ව්‍යාපාර ක්ෂේත‍්‍රය තුළ කලක් රැකෙමින්ම කලාවට යමක් කළ යුතු හොඳම මාධ්‍යය සිනමාව ලෙස ඔහු තීරණය කළේය. එය මල්ඵල ගන්වමින් ගාමිණී වික‍්‍රමසිංහ නම් ඔහු ආචාර්ය සෝමරත්න දිසානායක සමඟ නවක නිෂ්පාදකයකු ලෙස ”‍සිංහබාහු”‍ සිනමාපටය නිෂ්පාදනය කරන්නේය. සරසවිය පුවත්පත වෙනුවෙන් පසුගිය දිනෙක ඔහු සමඟ කළ සාකච්ඡාවයි මේ.

 

 

ඔබ ජැක්සන් ඇන්තනි අනතුරට ලක්වු අවස්ථාවේ අනුරාධපුර නේද හිටියේ?

 

ජැක්සන් ඇන්තනි මහතා සිංහබාහු දෙවැනි අදියරේ රුපගත කිරීම් මේ දවස්වල අනුරාධපුර ප‍්‍රදේශය ආශ‍්‍රිතව කරමින් සිටියේ. එහි රූප ගතකිරිම් ඔහුට මේතාක් දි තිබූ දින ඉවර කරලා කොළඹ බලා එනගමන් මේ අනතුර සිදුවෙලා තියෙන්නේ. මේ බව දැනගත්ත ගමන්ම රේණුකා බාලසූරිය සහ සොමරත්න දිසානයක සමඟ අපි අනුරාධපුර රෝහලට ගියා. මම පාන්දර හතර පහ වෙනකල්ම හිටියා. කොහොම හරි ලොකු උත්සහයක් ගත්තා අපි ගුවන් හමුදාවෙන් හෙලිකෝප්ටරයක් ගෙනැල්ලා කොළඹට එවෙලෙ ගෙනියන්නට එය සාර්ථක උණේ නැ... පස්සේ කොහොම හරි ඇම්බියුලන්ස් එකකින් කොළඹට ගෙනිච්චා... අපේ රටට මේවගේ වටිනා සම්පතක් අරක්ෂා කරගැනීම තරම් දෙයක් ඒ මොහොතේ හිතනවා ඇරෙන්නට වෙනදෙයක් මගේ හිතට අවේ නෑ.... රේණුකා ඇතුළු‍ අපි සියලූ‍ දෙනාගේ උත්සහාය නිසා අපි ප‍්‍රාර්ථනා කරන බෝධියකින් ආගම දහමට අනුව ඉක්මනින් සුවවෙලා නැවත දර්ශන තලයට එන්න ලැබෙන්න කියලා ප‍්‍රාර්ථනා කරනවා.

 

සිනමාවට සම්බන්ධ ඔබේ අතීතය කොහොමද ?

 

මුලින්ම මම සිනමාපටයක් බැලූ‍වේ ගාල්ල ක්වින්ස් සිනමා ශාලාවේදී. මගේ තාත්තගේ උකුළ උඩ ඉඳගෙන ඒ බලපු සිනමාපටය තමයි මාතලන්. ඒ කාලේ සිනමා පටයක් බලන්න යන්නේ පවුල පිටින්මයි. වැඩි ගාණකුත් ඒ දවස්වල නෑ. මට මතක හැටියට සත 40 ක් හරි 45 හරි. ඒ කාලයෙ හියුගෝ ප‍්‍රනාන්දු, විජිත මල්ලිකා, ආනන්ද ජයරත්න, ජීවරාණි කුරුකුලසූරිය, සන්ධ්‍යා කුමාරි,ගාමිණී ෆොන්සේකා වැනි නළු නිළියන්ට හරිම කැමතියි. ඊට පස්සේ පාසල් යන කාලේ අම්බලන්ගොඩ සිනමා ශාලා තුනක් තිබ්බා. ඒවායේ අපි වැඩියෙන්ම බැලූ‍වේ ඉංග‍්‍රීසි චිත‍්‍රපටයි. සත 55ට ගැලරියට යනවා. ගැලරියේ අන්තිම පේළියෙ තමයි ඉඳගන්නේ. මොකද ඊට පස්සේ තියෙන්නෙ ඕ.ඞී.සීි. සමහර වෙලාවට ඕ.ඩි.සියේ කවුරුවත් හිටියෙ නැත්තම් අපි කොල්ලෝ සියලූ‍ දෙනාම හිමිහිට ඒ පැත්තට යනවා. වැඩි හරියක් හැබැයි බැලූ‍වෙ කව්බෝයි සිනමාපටයි. පුදුම ආස්වාදයක් පාසල් යන කාලේ මේ සිනමාපට බලලා ලැබුවේ. ගාල්ලේ රිච්මන්ඞ් ගියාට පස්සේ ඉඳල හිටලා බැලූ‍වා. කටුබැද්ද විශ්වවිද්‍යාලයට ආවට පස්සෙ හැබැයි ්ජඑසදබ සෙකප තමයි ගොඩක්ම බැලූ‍වේ. මම එක්තරා සිනමා ලෝලියෙක් ඒ කාලේ. පස්සේ රටවල් කිහිපයකට මම ගියා එහි ඉංග‍්‍රීසි සිනමාපට ගොඩක් බැලූ‍වා. දැන් ඉතින් හදම එමඉැ නාලිකාව ගොඩක් පරිහරණය කරනවා. සිනමා ශාලාවකට යන්න පුළුවන් වෙලාවක යනවා. මගේ කාලපරිච්ෙඡ්ද කලාවත් සමඟ ඔය ආකාරයෙන් තමයි ගත කරන්නේ.

 

ඔබේ පවුලේ විස්තර කොහොමද ?

 

මට දුවයි පුතයි දෙන්නෙක් ඉන්නවා පුතා නම් ඕස්ටේ‍්‍රලියාවේ ඉන්නේ. දැන් ලංකාවට ඇවිල්ලා මේ දවස්වල ඉන්නේ. දුව විවාහකයි. මගේ බිරිඳ නැති වෙලා අවුරුදු කිහිපයක් වෙනවා. මේ විදිහට මම මේ ව්‍යාපාර කටයුතු මේ දරුවන් දෙදෙනාත් එක්ක කරගෙන යනවා. මගේ සතුට හැම වෙලේම බෙදා ගන්නෙ මේ දෙන්නත් එක්ක තමයි දැන්.

 

සිනමා නිෂ්පාදනයට සම්බන්ධ වෙන්න ඕනෑ කියලා අදහසක් ආවේ ඇයි?

 

මම ඇත්තටම ව්‍යාපාරික ක්ෂේත‍්‍රයට සම්බන්ධ පුද්ගලයෙක්. සිනමාව පිළිබඳව ගවේෂණාත්මක දේවල් ගොඩක් මම අධ්‍යයනය කරල තියෙනවා. මගේ වෘත්තිය වන්නේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රය සම්බන්ධ ඉංජිනේරු අංශයටයි. නමුත් ටික කාලයක් ඕනම දේක නියැළිලා සිටින විට ඕනෑම අයෙකුට කලාවටත් ආසාවක් ඇතිවෙනවා. මම එහෙම කියන්නේ මගේ ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ ඉන්න ගොඩක් අය කලාවට සම්බන්ධ නිසාය. අපි කරන සියලූ දේවල්වලින් මදකට හරිම ඈත් වෙලා විනෝදාත්මක පැත්තටත් යොමු වෙන්න ඕනෑ. එහෙම නම් කලාව පිළිබඳ හොඳ අධ්‍යයනයක් කරනවා වගේම අපි කලාවෙත් නිරත වෙන්නත් ඕනෑ. ඒ නිසා මගේ හිතේ පොඩි ආසාවක් ඇති වුණා සිනමාපටයකට දායක වෙන්නට තිබුණොත් හොඳයි කියලා. මට නටන්න, ගයන්න, රඟපාන්න බෑනේ. පුළුවන් එකම කර්තව්‍යය තමයි නිෂ්පාදනයට දායක වෙන්න පුළුවන් වෙන එක. ඒ නිසා මම එය තෝරා ගත්තා.

 

සෝමරත්න දිසානායකයන්ගේ සිනමාපටයට දායක වෙන්නෙ කොහොමද ?

 

පසුගිය කාලය පුරාවටම රූපවාහිනිය සහ සිනමා ශාලාවකට ගිහිල්ලා චිත‍්‍රපටියක් බලලා නැහැ. හැබැයි මට විවේකයක් හමුවුණාම මම හදම එමඉැ නාලිකාවල යම් යම් දේවල් බලනවා. මේ බලන අතරතුර ඉතාම වැදගත් දෙයක් තිබුණා මගේ ආශාවක් සම්බන්ධව. මම 2004 මේ ගැන හිත හිත හිටියේ. සුදත්ත තිලකසිරිගේ හදම එමඉැ නාලිකාවේ සෝමරත්න දිසානායකයන්ගේ නවතම සිනමාපට කීපයකට නිෂ්පාදකවරයෙකු හොයනවා කියලා දැක්කා. ඒක හරහා තමයි මට සෝමරත්න දිසානායකයන් හමුවන්නේ. මම පළවෙනි දවසේ කතා කරලා දෙවෙනි දවසේ හමුවුණා එදා ම අපි තිරණය කළා. සෝමරත්න දිසානායකයන් මං ගැන එදා තීරණයක් ගන්න ඇති .මටත් එදා ඔහු ගැන හොඳ පැහැදීමක් ඇති වුණා .අනික ඔහු සිනමාවට හොඳ සේවාවක් කළ පුද්ගලයෙක් වගේම මේ පිටපත හොඳ නිර්මාණයක් නිසා මම සිංහබාහු නිෂ්පාදන කටයුත්තට අත ගැහුවා.

 

අද පවතින වාතාවරණය තුල මෙවැනි දැවැන්ත සිනමා පටයකට අත ගසන්නට බය හිතුණේ නැද්ද?

 

ඕනෑම දේකට බය වුණොත් අපි පරාජය වෙනවා. ජයග‍්‍රහණය ලබන්න නම් අවදානමකට මූණ දිය යුතුමයි. ව්‍යාපාරයක් කරනවා කියන්නෙත් ලාභ පාඩු දෙකම විඳ ගන්න ඕනෑ. මම කුඩා කල ඉඳන්ම අභියෝග මැද තමයි ජීවිතය ගත කළේ. ඕනම කෙනෙකුට අභියෝගය එන්න එන්න ඔහු ශක්තිමත් වෙනවා. උදාහරණයකට හිතන්නකො මී මැසි ජනපදයක මී මැසි රැජන තෝරන්නේ කොහොමද කියලා, ඒ අභියෝගය භාරගන්න මී මැසි ජනපදයේ පිරිමි මැස්සන් සියලූ‍ දෙනාම උත්සාහ ගන්නවා. හැබැයි ශක්තිමත්ම පිරිමි මැස්සා තමයි රැජිනත් එක්ක එකතු වෙන්නේ. ඒ ඔහු ඒ අභියෝගය බාර ගත්ත නිසා මමත් එහෙම තමයි.

 

2004 වසරේ ජැක්සන් ඇන්තනීට කළ ආරාධනාව මොකක්ද?

 

මේ කාලයේ ජැක්සන් ඇන්තනි හරිම ප‍්‍රසිද්ධ නළුවෙක්, දැනටත් එහෙම තමයි. ප‍්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක් හොඳ අධ්‍යක්ෂකවරයෙක් නිසා මට හිතුනා මගේ ඒ සිහින සැබෑ කරගන්න පුළුවන් කියලා. ඔහු කරපු නිර්මාණ ගොඩක් මම බැලූ‍වා. ඒවා බලලා මට පොඩි ආසාවක් ඇති වුණා. ඔහු සමඟ සිනමා නිර්මාණයකට දායක වෙන්නට පුළුවන් වෙයි කියලා. ඒත් අපි දෙන්නටම කාර්යබහුල නිසා මුණ ගැසීමට ලැබුණේ නැහැ. මේ පිළිබඳව කතා කරන්නට අවස්ථාව ලැබුණෙත් නැහැ. ඒ නිසා ඒ මගේ මුල්ම සිනමා අධ්‍යක්ෂකවරයාගේ සිහිනය බොඳ වී ගියා. හැබැයි අද මේ රූපණවේදියා මගේ සිනමාපටයේ ප‍්‍රධාන නළුවා වෙනවා. හීන පස්සෙ ගියොත් සිහින සැබෑ වෙනවා කියන්නේ නිකං නෙවෙයි කියලා මම අද හිතුවා.

 

අධ්‍යක්ෂකවරයා හා නිෂ්පාදකවරයා අතර මොන වගේ සම්බන්ධතාවයක් තියෙන්න ඕන කියලද ඔබ හිතන්නෙ ?

 

අධ්‍යක්ෂකවරයා හා නිෂ්පාදකවරයා අතර හොඳ සම්බන්ධතාවයක් තියෙන්න ඕනෑ. මම හිතනවා අධ්‍යක්ෂකවරයකු නිෂ්පාදකවරයකු ට කතා කරනවා නම් හොඳ තිරපිටපතක් සමග කතා කළ යුතුයි. තිර පිටපත තුළ තිබෙන අන්තර්ගතය සමාජගත කිරීම හා පේ‍්‍රක්ෂකයාට එයින් ගම්‍යමාන වන වස්තුවිෂය හොඳ විය යුතුයි. ඒ දේවල් හොඳ වුණොත් දෙදෙනා අතර හොඳ බැඳීමක් ඇති වෙනවා. සිනමා නිර්මාණ කරන්න ඕන නිසාත් සමහර අය අධ්‍යක්ෂකවරයකු වීමේ ආසාව නිසාත් සිනමාපට අධ්‍යක්ෂණය කරලා වැඩක් නැහැ. ක්ෂේත‍්‍රය පිළිබඳ පුළුල් අවබෝධයක් හා ඔහුගේ කාර්යභාරය හා නිෂ්පාදකයා අතර හොඳ සම්බන්ධතාවයක් ඇති වුණොත් හොඳ සිනමාපටයක් බිහි වෙනවා.

 

සිංහබාහු සිනමාපටයට තෝරා ගත්ත පිරිස ගැන මොනාද කියන්න තියෙන්නේ?

 

ඉතාම හොඳ පිරිසක් තෝරාගෙන ඉන්නවා කියලා මං දන්නවා. රේණුකා බාලසූරිය මහත්මියගේ කැපවීම තුළ ඒ සියලූ‍ දෙනාම හොඳ තේරීමකට ලක් වෙලා තියෙනවා. අධ්‍යක්ෂකවරයාගේ සිට ටී බෝයි දක්වා ක්ෂේත‍්‍රයේ පළපුරුදු පිරිසක් ඉන්නේ ඔවුන්ගේ කාර්ය භාරයන් වෙන වෙනම බෙදලා වෙන් කරලා දීලා තියෙනවා. ඒ සියලූ‍ දෙනා ඒ කට්ටියගේ වගකීම හරියට ඉෂ්ට සිද්ධ කරනවා රේණුකා බාලසූරියත් සමඟ මම ඒ ගැන හරිම සතුටින් ඉන්නේ.

 

මොන වගේ සිනමා නිර්මාණ බිහිවිය යුතුයි කියලද හිතන්නේ?.

 

අපේ රටේ සංස්කෘතිය, ආගම, පරිසරය ජන ජීවිතයේ කේන්ද්‍ර වෙන නිර්මාණ තුළ ආකර්ෂණීය නිර්මාණයක් බිහි කළ හැකිය. අපි හොඳ ඉතිහාසයක් තියෙන ජාතියක්. ඒ හින්දා අපිට නිර්මාණ කරන්න කවදාවත් බය වෙන්න දෙයක් නෑ. වාණිජ හෝ කලාත්මක. සම්භාව්‍ය සිනමාපටවල ගුණාත්මක භාවයක් තිබිය යුතුයි. ඉන්දියාවේ නිෂ්පාදන වන ඕනෑම භාෂාවකින් තමන්ගේ අනන්‍යතාවය මුලට දීලා තමයි සිනමාපටය නිෂ්පාදනය කරන්නේ. ලියන තිර තිරපිටපත වුණත් එයට අදාළ කරගෙන තමයි ලියන්නේ. ඉන්පස්සෙ අධ්‍යක්ෂකවරයා සහ නිෂ්පාදකවරයා ඔවුන්ගේ කාර්යභාරය මැනවින් ඉෂ්ට සිද්ධ කරනවා. අපි නිර්මාණ කරනකොට හැමෝම ඒ වගේ දේවල් ආදර්ශයට ගත යුතුයි. මම හිතන විදිහට නිෂ්පාදකවරයකු සිනමාවට එන්නේ හොඳ නිර්මාණයක් සිනමාහලට අධ්‍යක්ෂකවරයාට ගෙන්න පුළුවන් නම් පමණයි. මම මුලින්ම අධ්‍යක්ෂකවරයාට හා තිර පිටපතට මුල්තැන දෙනවා. හොඳ නිර්මාණයක් බිහි වෙනවා නම් නිෂ්පාදකවරු ඕනෑ තරම් ඉන්නවා. ඉන්දියාවේ දැවැන්ත කර්මාන්තයක් ලෙස එය පවත්වාගෙන යන්නේ ඒ නිසයි.

 

එදා නිෂ්පාදනය කරපු සිනමාපටයි අද නිෂ්පාදන වන සිනමාපට ගැන මොනවද හිතෙන්නේ ?

 

එදා හොඳ තිර පිටපත් රචකයෝ සහ අධ්‍යක්ෂවරු හිටියා. මේ වගේ තාක්ෂණය දියුණු යුගයක නෙවෙයිනේ සිනමාපට බිහිවුණේ. ගැලරිය සිට බැල්කනියට අවශ්‍ය සිනමාපටය නිර්මාණය වුණා. ඒත් අද තාක්ෂණය දියුණු වුණත් තිරපිටපත් රචකයන් නෑ. හොඳ අධ්‍යක්ෂවරු හොයාගන්නත් අමාරුයි. එහෙමත් කිහිපදෙනයි ඒ අතරත් ඉන්නේ. ඉදිරි පරම්පරාව කරන නිර්මාණ මෙරට තුළ නිෂ්පාදනය කළාට ඔවුන්ගේ ඉලක්කය විදේශීය සිනමා උලෙළවල් නියෝජනය කිරීමයි. එයින් සම්මානයක් ලැබීම තමයි මුඛ්‍ය පරමාර්ථය වී තිබෙන්නේ. මට පෙනෙන විදිහට. ලාංකිය පේ‍්‍රක්ෂකයා සිනමාහල්වලට ගෙන ඒම ඒ සියලූ‍ දෙනාට අවශ්‍ය නැති බවයි පෙන්නේ.

 

රේණුකා බාලසූරිය සමඟ එකතු වෙලා සිංහබාහු නිෂ්පාදනය කිරීම ගැන මොකද හිතෙන්නේ ?

 

මම ඇත්තටම හරිම පුදුම වුණා ඇය කරන කාර්යභාරය ගැන සෝමරත්න දිසානායකයන්ගේ පැත්තෙන් සිනමාපටය අනිත් සියලූම කටයුතු සිදුවෙද්දි, එතුමිය මුල සිට අගට ඇයගේ කාර්යය හරියටම සැලසුම් කරනවා. මගේ වැඩවලදි මම වේලාවෙන් උපරිම ප‍්‍රයෝජන ගන්න එක්කෙනෙක්. එතුමියත් කාලය කා දමන්න නැති බව මට හොඳටම පෙනී යනවා.

 

තිබුණු සිනමාහල් බාගෙට බාගයක් වැහිලා ඒ ගැන මොකද හිතෙන්නේ ?

 

පේ‍්‍රක්ෂකයන් ගෙන්වා ගැනීමට හොඳ නිර්මාණ බිහි නොවීම එක හේතුවක්. අනික මිනිසුන්ගේ ආර්ථික ප‍්‍රශ්න හා තරගකාරි ලෝකයක ජීවත් වෙන්නේ. විනෝද වෙන්න කාලයක් වෙන් කර ගැනීමටත් නැහැ. සිනමාපටයක් නිර්මාණය කරද්දී ගැලරිය සිට බැල්කනිය දක්වා ගෙන්වා ගැනීමට අධ්‍යක්ෂකවරයා සහ නිෂ්පාදකවරයා සමත් විය යුතුයි. පේ‍්‍රක්ෂකයා ආකර්ෂණය කරගත යුතු නළු නිළි පිරිසක් සිටිය යුතුයි. මම දකින විදියට ක්ෂේත‍්‍රයේ ඉන්නේ ඒ අතරින් අතලොස්සයි. 60,70,80 දශකවල පවුල් පිටින් සිනමාශාලාවලට ඇදී ආවේ ආකර්ෂණීය නළු නිළි පිරිසක් සිනමාපටවල සිටි නිසයි. හොඳ තිර පිටපත් අධ්‍යක්ෂණයට එදා තිබුණා. විවෘත ආර්ථිකයේ පෙරළියත් සමග අසූ දෙකේ වර්ෂයෙන් පසු මේ සියලූ‍ දේ වෙනස් වෙන්න පටන් ගත්තේ. රූපවාහිනිය ආවත් සමඟම රූපවාහිනියේ සිනමාපට ප‍්‍රදර්ශනය වීම පේ‍්‍රක්ෂකයා ගෙන්වා ගැනීමට අපහසුතාවයක් උදාවුණා කියල මම හිතනවා. සිනමාපට ගෙන්වීමේ විවිධ සමාගම් බිහිවීමත් සමඟ විදේශීය සිනමාපට ලංකාවට ගලා එන්න පටන් ගත්තා. ඉන්පසු තරුණ තරුණියෝ ඒ විදේශීය සිනමා පට වැලඳගත්තා. ඒ නිසා දේශීය සිනමාවට පහරක් එල්ල වුණා කියලා මම සමහරවිට දකිනවා. විදේශීය සිනමාපට ප‍්‍රදර්ශන වන ශාලා පමණක් පමණක් එයින් පසු ඉතුරු වුණා. ටිකට් පත්වල මිල ගණනුත් මේ හේතුවට බලපෑවා. කොහොම වෙතත් හොඳ නිර්මාණ බිහි වුණොත් වසා දමා තිබූ සිනමාහලූත් විවෘත වෙයි. පේ‍්‍රක්ෂකයන් සිනමාහල් කරා ඇදී එන්න පටන් ගනී. අද කාලෙට හරියන සිනමාශාලා විවෘත වෙයි කියලත් මම හිතනවා. අනිත් පැත්තෙන් වගකිවයුතු පාර්ශ්වයන් මෙයට මැදිහත් වුණොත් මෙයට විසඳුමක් ලැබෙයි කියලා හිතනවා.

 

ලාංකික සිනමාවේ ඉදිරි ගමන ගැන මොනවද කියන්න තියෙන්නේ ?

 

සිනමා කර්මාන්තයට ආසා කරන කිහිප දෙනයි මම දකින විදිහට ඉන්නේ. ඒ පිරිස රැක ගත්තෙ නැත්තන් ලංකික සිනමාවේ දිරි ගමන මට නම් පොඩි සැකයක් තියෙනවා. සිනමා කර්මාන්තයේ දියුණු කරන්න කැප වෙන පිරිස බොහොම අඩුයි. රජයේ පාර්ශ්වයෙන් හෝ පෞද්ගලික පාර්ශ්වයෙන් සිනමාකරුවන්ට ලැබෙන්න තිබෙන පහසුකම් ටික ලැබුණොත් ලාංකික සිනමාව තියෙනවා කියලා කියන්න පුළුවන් වෙයි. මේ ක්ෂේත‍්‍රයට සම්බන්ධ තරුණ පරම්පරාව මුල් වෙන්න ඕන ඔවුන්ගේ ගමන මේකයි කියලා හිතන්න කාලේ ඇවිල්ල කියල මම හිතනවා.

 

සිංහබාහුවලින් පස්සෙ තව නිෂ්පාදනයකට අදහසක් තියෙනවද ?

 

ව්‍යාපාර ක්ෂේත‍්‍රයට වැඩිය කලා ක්ෂේත‍්‍රය ටිකක් මට නිදහස්. මේ නිර්මාණය අති සාර්ථක නිර්මාණයක් වෙයි කියලා මම හිතනවා. ලෝකයේ සියලූ‍ දෙනාම වැලඳ ගනී.

 

 

සේයාරූ - චේතිය ළහිරු