නොමියෙන මිනිසුන් ගැන නොදන්නා දේත් මේ වැඩසටහනෙන් ඔබට ඇසේවි

නිශාන්ති රණතුංග
ජූලි 7, 2022

එදා මෙදාතුර ලකඹර කලාකෙත ඔහුගේ ප‍්‍රතිභාවයි ජනතාවගේ ආදරයයි කැටිව සුපෝෂණය කළ ජනකාන්ත කලාකරුවා ඔහුයි. හදවතේ ගායකයා ඔහුයි.එච්. ආර්. ජෝතිපාල නම් වූ අසහාය ගායකයා අනුස්මරණය කරන්නට ඔහුගේ ගුණ වයන්නට මේ ජුලි මාසයේ වැඩසටහන් බොහොමයකි. ඒ අතර මෙවර ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උලෙළේ ප‍්‍රශස්ත සංගීත වැඩසටහන වූ නොමියෙන මිනිසුන් වැඩසටහන ඔස්සේ ජෝතිපාල අනුස්මරණය කරනුවස් මේ මාසයේ කරන්නට යන්නාවූ නොමියෙන මිනිසුන් ප‍්‍රසංගය ගැන කතා කරන්නට වුවමනාය. ඒ නිසාම වැඩසටහනේ නිෂ්පාදිකා රාජ්‍ය සම්මානලාභිනි නිශාන්ති රණතුංග සරසවිය අප සම්බන්ධ කර ගත්තෙමු.

 

නොමියෙන මිනිසුන් ආරම්භය ගැන කතා කළොත්?

නොමියෙන මිනිසුන් වැඩසටහන 2011 වසරේ දීයී ආරම්භවන්නේ. මම මේ වැඩ සටහන නිෂ්පාදන කළාට මම නිෂ්පාදිකාවක් නොවෙයි. මගේ ජොබ් ටයිටල් එක ශබ්ද පරිපාලක. ගුවන් විදුලියේ බොහොමයක් නිෂ්පාදකවරු සිටින අතරතුර එවකට සභාපති හඞ්සන් සමරසිංහ (වර්තමානයේද සභාපති ඔහු ය.) මහත්මයා මට කතා කරලා මේ වැඩසටහන මට පැවරුවා. සභාපතිතුමාගේ හිතේ ලොකු විශ්වාසයක් තිබුණා මම මේ වැඬේ හරියට කරයි කියලා. ඒ විශ්වාසය තහවුරු වුණා ධම්ම ( මහාචාර්ය ධම්ම දිසානායක) සර්ගෙන් මට ආ දුරකථන ඇමතුමෙන්. ඔහු මට කිව්වා හරිම ලස්සනයි මේ වැඩසටහන. වෙනසක් ඇති එකක් කියලා. අනෙක් අතට සභාපතිතුමාට අසන්නන්ගෙන් දුරකථන ඇමතුම් ගලාගෙන ආවා මේ වැඩසටහන දිගටම අගයකරලා. අප අතරින් වෙන් වූ කලාකරුවන් තෝරාගෙන ඒ අය වෙනුවෙන් ඒ අය ගැන පැයක වැඩසටහන් ලෙස මේ වැඩසටහන ප‍්‍රචාරය වුණා. එහෙම ගලාගෙන ආ වැඩසටහන 2015 දී නතරවුණා දේශපාලනය තුළ ආණ්ඩුව මාරුවීම, පරිපාලනය වෙනස්වීම ආදී කාරණා හේතුකොටගෙන.

 

ඔබ නොමියෙන මිනිසුන් නමින් පොතක් එළිදක්වනවා?

 

ඔව්. මේ වැඩසටහන නතර වුණාට පසුව මට ධම්ම සර්ගෙන් ආපහු දුරකථන ඇමතුමක් එනවා ඇයි වැඩසටහන නතර කළේ අහලා. ඔහුට මම එවකට තත්ත්වය පැහැදිලි කිරීමෙන් පසු සර් මට අදහසක් දුන්නා නිශාන්ති ඔයා හරි අරුත්බර වැඩසටහනක් ඒ කළේ. ඔයා පුළුවන් නම් ඔය වැඩසහනේ කොටස් ටික සංරක්ෂණය කරන්න. අඩු තරමේ පොතකට හරි ගන්න කියලා. මොකද ඔහු මේ වැඩසටහනේ සමහර කොටස් රේකෝඞ් කරගෙන ගිහින් ඔහුගේ දේශනවලදී විශ්වවිද්‍යාල සිසුන්ට අහන්න සලස්වා තිබුණා. පොතක් කරනවා කියන අදහස මගේ ඔළුවේ තිබුණ එකක් නොවෙයි. පසුව මම මේ වැඩසටහනේ ස්මරණය කළ ප‍්‍රවීණයන් පනහක් පමණ පිරිස අතරින් දස දෙනෙක්ගේ තොරතුරු ඇතුළත්ව වැඩසටහන පොතට ගෙනාවා. නොමියෙන මිනිසුන් නමින් 2020 සැප්තැම්බර් 2වැනිදා ගුවන් විදුලියේ කුමාරතුංග මැදිරියේදී කලා ක්ෂේත‍්‍රයේ හා අසන්නන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඒ පොත මම එළිදැක්වූවා.

 

දැන් මේ වැඩසටහන අහන්න වගේම බලන්නත් පුළුවන්?

 

මේ පොත එළිදැක්වූ අවස්ථාවේදී අපේ ඇල්ලේ හාමුදුරුවෝ (ඇල්ලේ ගුණවංශ හිමි) ඉල්ලීමක් කළා මෙය ඉතා වටින වැඩසටහන් නැවත මෙය පටන් ගන්න කියලා. හාමුදුරුවන්ගේ ඉල්ලීම පරිදි සභාපතිතුමාගේ අනුදැනුම මත එවකට ගුවන්විදුලියේ අධ්‍යක්ෂ ජනරාල්තුමා මට කිව්වා නිශාන්ති මේ වැඩසටහන නැවත ආරම්භ කරන්න කියලා. මම ඔහුට කැමැත්ත පළකරත් මා කෙටි කාලයක් ගත්තා. මොකද මට ඕන වුණා මා මේ වැඩසටහන පෙර කළ ආකාරයට වඩා අලූ‍ත් මුහුණුවරකින් කරන්න. කලින් පටිගතකර ප‍්‍රචාරය කළ වැඩසටහන මා ප‍්‍රසංගයක් ලෙස 2021 දී නැවත ආරම්භ කළා. එය ගුවන්විදුලියේ ප‍්‍රචාරය වුණා වගේම අපේ සහෝදර මාධ්‍ය නාලිකාව ජාතික රූපවාහිනියේ මෙය විකාශය වුණා. රූපවාහිනිය වෙනුවට දැන් මෙය විකාශය වෙන්නේ හරිත ටීවී නාලිකාවේ. ඔබ කියූ අන්දමින් දැනට ඔබ දකින්නේ අහන්නේ ඒ නැවත ආරම්භ කළ වැඩසටහනයි.

 

ජුලි මාසය විශේෂයි?

 

ඔව්. නොමියෙන මිනිසුන් ජෝතිපාල අනුස්මරණ වැඩසටහනයි මේ මාසයේදී කරන්නේ. ප‍්‍රසංගය නොමිලේ නරඹන්න පුළුවන්. එය විවෘත ආරාධනාවක්.

 

මේ සා ඉල්ලූ‍මක් තියෙන ප‍්‍රසංගයක් ඇයි එළියට අරගෙන යන්නේ නැත්තේ?

 

එහෙම තමයි බලාපොරොත්තු වෙලා හිටියේ කරන්න. අදට මේ ප‍්‍රසංගය පටන්ගෙන අවුරුද්දයි. එය සමරනුවස් අපටත් අවශ්‍ය වුණා මෙය එළිමහනට රැගෙන යන්න. නමුත් රටේ පවතින වාතාවරණය එක්ක එය කිරීම අපහසුයි.

 

මේ වැඩසටහන ආරම්භය ගන්නෙත් එච්.ආර්. ජෝතිපාලගෙන්?

 

මුලින්ම මට සභාපතිතුමා කියපු වචන තාම මතකයි නිශාන්ති, මිනිස්සු මැරෙන එක අපිට නවත්වන්න බෑ. හැබැයි අපිට පුළුවන් ඒ මැරුණ මිනිසුන් ජීවත්වන මිනිසුන්ගේ හදවත්වල ජීවත් කරවන්න. ජෝතිපාල අනුස්මරණ දිනයට මට පුළුවන් නම් පැයක වැඩසටහනක් කරලා දෙන්න කියලා. පෞද්ගලිකව මම ජොතිපාලගේ රසිකාවයක්. මගේ හදවතේ ගායකයත් ජෝතිපාල. ඒ කැමැත්ත එක්ක මම වැඩසටහන භාරගත්තා. මුලින්ම ගියේ ගුවන්විදුලියේ පුස්තකාලයට. එය ආසියාවේ දැවැන්තම පුස්තකාලය. ජෝතිපාලගේ තොරතුරු වගේම ඔහුගේ රසිකයා අතරට නොගිය වැඩිය නෑසුණු ගීත ද හොයා ගත්තා. අන්තර්ජාලයෙනුත් මම ඔහු ගැන හෙව්වා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන ඒ වෙනුවෙන් මට ගොඩක් උදව්කළා අජන්තා ‍රණසිංහ, තිලකරත්න කුරුවිටබණ්ඩාර වැනි ප‍්‍රවීණයින්.

 

මේ වැඩසටහන මෙහෙය වූ පුද්ගලයා නිසා ඔබට මෙය එතරම් අපහාසු නොවෙන්න ඇති? මොකද ගෙදරදී වුණත් ඔහු සමඟ තර්ක විතර්ක කළ හැකියි ඔබට?

 

(මා පැවසු ඉඟිය තේරුම්ගත්තාක් මෙන් ඇය සිනාසෙමින්) ඔව්. ඔව්. මුල් කාලයේදී පටිගත කර ප‍්‍රචාරය කරනලද වැඩසටහන් මාලාවම මෙහෙය වූයේ මාගේ සැමියා සුජීව හරිස්චන්ද්‍ර. අද අප අනුස්මරණය කරන බොහොමයක් කලාකරුවන් සුජීවට සජීවීව කතා කරන්න ලැබුණු අය. ඔහුගේ ඒ අත්දැකීම් ද එකතු කරමිනුයි මේ වැඩසටහන කළේ.

 

කලාකරුවන් අනුස්මරණය කරමින් මේ ආකාරයේ වැඩසටහන් බොහොමයක් ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකාවල විකාශය වනවා. ඒ අතරින් නොමියෙන මිනිසුන් වෙනස්වෙන්නේ කොහොමද?

 

බොහෝ වැඩසටහන් කෙරුණත් මේ වැඩසටහන ඒ වැඩසටහන්වලින් වෙනස්වන්නේ අප මේ කලාකරුවන්ගේ පොදුවේ ව්‍යවහාරිත තොරතුරු වෙනුවට ඔවුන් ගැන නොදන්නා නොඇසු බොහෝ දෑ නොමියෙන මිනිසුන්හි අන්තර්ගත වී තිබීම. මම ඔබට උදාහරණයක් පවසන්නම්, ජෝතිපාලගේ ප‍්‍රථම වැඩසටහනේදී ප‍්‍රචාරය කළා හඬ පටයක්. ඔහු අන්තිමට ගීත ගායනා කළේ කතරගම ගම්උදාවටනේ. එහිදී ඔහු ගීත දෙක තුනක් ගායනා කරලා ඔහු ඒ ළඟ තිබුණ පෙට්ටි කඩයකටවිත් පපුව අතගගා කඬේ හිටිය ළමයාගෙන් සෝඩා එකක් ඉල්ලනවා ‘ මල්ලි මගේ පපුව ටිකක් රිදෙනවා. මහන්සියි. සෝඩා එකක් දෙන්න කියලා‘ ඒ කඬේ ළමයා මේ සිද්ධිය විස්තර කළ වොයිස් කට් එකක් මට ලැබුණා. ඒ ආකාරයේ ඔබ මම මින් පෙර අසා නැති බොහොමයක් සැඟවුණු කරුණු ගොන්නක් එක්කයි ඒ ඒ කලාකරුවන්ගේ ඇගැයීම අප කරන්නේ. සාම්ප‍්‍රදායික අනුස්මරණ වැඩසටහනකින් ඔබ්බට මේ වැඩසටහන කරන්න මට අවශ්‍ය වුණා. එය සාර්ථකයි.

 

මේ වැඩසටහන වෙනුවෙන් ඔබ ඇගයීමට ලක්වෙනවා?

 

ඔව්. 2022 වසරේ ප‍්‍රශස්ත සංගීත වැඩසටහන වෙනුවෙන් වූ රාජ්‍ය සම්මානය මේ සඳහා මට හිමිවෙනවා.

 

මෙවැනි වටිනා වූ වැඩසටහනක් ලාංකේය පේ‍්‍රක්ෂකයා, ශ‍්‍රාවකයා වෙත තිළිණ කරන්නට පරිශ‍්‍රමය ගන්නා ඔබ ගැන අපේ පාඨකයාට නොකිව්වොත් ඒක අඩුවක්?

 

මම 1994 වසරේදී ගුවන්විදුලියට එන්නේ ශබ්ද පරිපාලිකාවක් විදිහට. එදා මෙදාතුර විවිධ හැලහැප්පීම් එක්ක රාජකාරී ජීවිතය ගලාගෙන යනවා. මම ගුවන්විදුලියට හරිම ආදරෙයි. ඒ නිසා ම රාජකාරියට එහා ගිය කැපකිරීමක් මම රස්සාව වෙනුවෙන් කරනවා. කෙනෙකුට අහන්න පුළුවන් මම ශබ්ද පරිපාලිකාවක් කොහොමද මේ වැඩසටහන් නිෂ්පාදනය කරන්නේ කියලා. එය කරනවා වෙනුවට සාර්ථකව කරන්න හැකි වුණේ මම වගවීමෙන් කැපවීමෙන් මගේ රාජකාරිය කිරීම කියලයි මම හිතන්නේ. අනෙක් අතට මම ගීත කිහිපයක් රචනා කරලා තියෙනවා. ලංකාවේ අතළොස්සක් වූ ෆීමේල් සවුන්ඞ් ඉන්ජිනියර්ස්ලා අතරින් එක්කෙනෙක් මං. විශේෂයෙන්ම මේක අවස්ථාවක් කර ගන්නවා ගුවන්විදුලියේ දිනේෂ් බෝගොඩ ඇතුළු වාද්‍ය වෘන්දයට ස්තූති කරන්න.