අපට 50 යි හෙට දවස මෙහෙමයි

ජාතික චිත්‍රපට සංස්ථාෙව් සාමාන්‍යාධිකාරී රවී ප්‍රසාද් කළුපහන
ජනවාරි 20, 2022

කථානාද සිනමාවට අවුරුදු හැත්තෑපහක් වනවිට ජාතික චිත්‍රපට සංස්ථාවද වසර පනහක් සපුරයි.1972 දී ආරම්භ කළ ජාතික චිත්‍රපට සංස්ථාව ගෙවුණු දශක පහක කාලය පුරා එතෙක් මෙතෙක් පැමිණි ගමන්මඟ පිළිබඳ වගේම ඉදිරියේදී සංස්ථාවෙන් කිරීමට බලාපොරොත්තු වන කාර්යය පිළිබඳවත් කතා කරන්නට ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරී රවී ප්‍රසාද් කළුපහන මහතා සරසවිය අපි සම්බන්ධ කර ගත්තෙමු

මේ වසර ජාතික චිත්‍රපට සංස්ථාවට සුවිශේෂීයි?

ඔව්. 2022 අවුරුද්ද චිත්‍රපට සංස්ථාවට විශේෂිත වූ අවුරුද්දක්. 1972 දී සිරිමාවෝ මැතිනියගේ මූලීකත්වයෙන් ජාතික චිත්‍රපට සංස්ථාව බිහිවෙනවා. වසර 50ක් සැපිරීම මුල් කර ගනිමින් මෙම වසර පුරා විවිධ වැඩසටහන් පර්යේෂණ, ප්‍රේක්ෂක ප්‍රවර්ධනය ආදී විවිධ අංශ ඔස්සේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වනවා. පනස්වසර සපිරීම සැමරීමේ ප්‍රධාන උත්සවය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට දවසේ දී පැවැත්වෙනවා.

වසර පනහක කාලයක සංස්ථාවේ ගමන්මඟ පිළිබඳ කෙටි හැඳීන්වීමක් කළොත්?

70 දශකයේ ලංකාවේ බොහෝ සංස්ථා බිහිවුණා. එය රාජ්‍ය ව්‍යවසාය බිහිවන කාලයක්. බොහෝ සංස්ථා බිහි වුණේ කාර්මික ක්ෂේත්‍රය මුල් කරගෙන. නමුත් චිත්‍රපට සංස්ථාව බිහිවන්නේ කලාත්මක පැත්ත මුල්කරගෙන. අවුරුදු විසිපහක් චිත්‍රපට කර්මාන්තය ක්‍රියාත්මක වුණේ දකුණු ඉන්දියානු නිර්මාණකරුවන්ගේ, ව්‍යවසායකයන්ගේ ඇල්ම බැල්ම ඇතුව. ඒ වනවිටත් ලොකු ඉල්ලුමක් තිබුණා සියල්ල දේශීයත්වයට නතු කරගෙන රාජ්‍ය මැදිහත්වීම කරන්නේ කොහොමද යන්න පිළිබඳ. ඒ සඳහා ලොකු කතිකාවතක් නිර්මාණය වුණා. පිරිසක් කැමැති වුණා. පිරිසක් විරුද්ධ වුණා. කොහොම නමුත් 1972 දී සංස්ථාව පිහිටුවීමත් සමඟ සිනමාවේ ස්වර්ණමය ‍යුගය ඇති වුණා. 70 දශකයේදී ලංකාව පුරා සිනමාශාලා 350ක් පමණ ක්‍රියාත්මක වුණා. නමුත් වරින්වර ලාංකේය සමාජය තුළ සිදු වූ සිද්ධීන් නිසා 83 කලබල, 87/88 භීෂණ තත්ත්වය, යුද්ධය වගේ දේ නිසා සිනමාශාලා අඩු වුණා. ලාභය අඩුවුණා. 2001 වන තෙක්ම චිත්‍රපට බෙදාහැරීම, නිෂ්පාදනය හා ආනයනය සම්බන්ධයෙන් පූර්ණ බලධාරිත්වය තිබුණ එකම ආයතනය චිත්‍රපට සංස්ථාවයි. නමුත් 2001 නිලවීර වාර්තාව සමඟ මෙය කොටස් පහකට කඩලා පෞද්ගලික ව්‍යවසායකයන්‍ට මෙයට ඉඩ ලබා දුන්නා. සංස්ථාවට ලැබුණේ පහෙන් එකක කොටසක් පමණයි. එයින් පසුව සිනමාවේ ගමන්මඟ වෙනස්වෙනවා. එතෙක් සංස්ථාවට පැවැති ඒකාධිකාරය බිඳවැටීම තුළින් විවිධ සමාජ ආර්ථික වෙනස්වීම් සිදු වෙනවා. මෙය සිනමාවේ ප්‍රතිගමනයක් ලෙස හඳුන්වන්න කැමැතියි.

මොනවද ඔබ කියූ වසර පුරා ක්‍රියාත්මක වැඩසටහන්?

කැලණියේ තිබෙන සරසවි චිත්‍රාගාරය හැත්තෑව දශකයේ සිට ලංකාවේ චිත්‍රපට පසු නිෂ්පාදනයට බොහොම සහනදායී මිල ගණන් යටතේ උසස් සේවාවක් ලබාදෙන තැනක්. කථානාද සිනමාවට වසර හැත්තෑපහක් සපිරීම නිමිත්තෙන් එදාමෙදාතුර භාවිත කළ උපකරණ පෙළගැස්මක් තිබෙනවා. මේවා යොදාගනිමින් සිනමා කෞතුකාගාරයක් ස්ථාපිත කිරීමට සංස්ථාව බලාපොරොත්තු වෙනවා. එහි මුල් කොටස ඉකුත් 19 වැනිදා විවෘත කළා. සිනමා අධ්‍යයනය හා සිනමාව සම්බන්ධ පර්යේෂණ කරන කෙනෙකුට එය ලොකු අවස්ථාවක් වේවී. එමෙන්ම

ඒ වගේම අවුරුද්දේ මුල් කාර්තුවේදී සිනමාව සම්බන්ධ විමර්ශිත ශාස්ත්‍රීය සංග්‍රහයක් නිකුත් කිරීමට බලාපොරොත්තුවනවා. එමෙන්ම තැපැල් දෙපාර්තුමේන්තුව හා එක්ව මුද්දර පහක් නිකුත් කිරීමට බලාපොරොත්තුවනවා. එහිදී සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යයක් වූ රේඛාව චිත්‍රපටයේ ඡායාරූපයක්, සිනමාවේදී ටෝනි රණසිංහ, සංස්ථාවේ ප්‍රථම සාමාන්‍යාධිකාරී ඩී. බී. නිහාල්සිංහ, වෙනුවෙනුත්, වර්තමානයේ මහඟු සේවයක් කරන මහාචාර්ය සුනිල් ආරියරත්න හා ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණියගේ ද මුද්දර නිකුත් කිරීමටයි බලාපොරොත්තුව.

ප්‍රධාන උත්සවය හෙට?

ඔව්. හෙට දවසේදීත් විශේෂිත වූ කාර්යයන් රාශීයක් ක්‍රියාත්මකයි. වසර හැත්තෑපහක ගමන්මඟ තුළ ඉටුකළ මෙහෙවර වෙනුවෙන් විශේෂ සිනමාවේදියෙක් ඇගයීමට අප තීරණය කළා. එහිදී ආචාර්ය සුමිත්‍රා පීරීස් මහත්මියයි අප තෝරාගත්තේ.

චිත්‍රපට සංස්ථාවේ සිනමා ඩිප්ලෝමාව කළ අය පසුව නිර්මාණකරණයට පිවිස ජාත්‍යන්තර මට්ටමේ ඇගයීමට පාත්‍ර වූ නිර්මාණය කර තිබෙනවා. එවන් පිළිගත් ජාත්‍යන්තර මට්ටමේ සම්මානයට පාත්‍රවූ අධ්‍යක්ෂවරු අට දෙනෙක් ඇගයීමට නියමිතයි. මේ සියල්ල ගරු අග්‍රාමාත්‍යතුමාගේ අතින් සිදුවේවි. එමෙන්ම ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ගේ සුබසාධනය සංස්ථාවෙන් කරන තවත් එක් කාර්යයක්. ජීවත්වන කාලය තෙක් ඔවුනට සංස්ථාව මඟින් විශ්‍රාම වැටුපක් ලබාදෙනවා. එවන් 147 දෙනෙක් මේ වන විට ඉන්නවා. තවත් 25 දෙනෙකුට විශ්‍රාම වැටුප ලබාදෙනවා. පසුගියදා ශ්‍රාස්ත්‍රීය ග්‍රන්ථ අත්පිටපත් තරඟයක් පැවැත්වූවා. එය ජයග්‍රහණය කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ප්‍රසාද් අංගම්පොඩිගේ ' පශ්චාත් නූතන සිනමාව' කියන පිටපත. එය චිත්‍රපට සංස්ථා ප්‍රකාශනයක් ලෙස 21 වැනිදා දොරට වඩිනවා. එමෙන්ම ප්‍රකට සිනමා රචකයෙක් වූ ආතර් යූ. අමරසේනගේ ' සිංහලයේ මහා සිනමා වංශය' දෙවැනි කොටස සංස්ථා ප්‍රකාශනයක් ලෙස එදාටම දොරටවඩිනවා. චිත්‍රපට සඟරාවේ විශේෂ කලාපයක්ද නිකුත් කිරීමට නියමිතයි.

ප්‍රේක්ෂක ප්‍රවර්ධනය වෙනුවෙන් සංස්ථාව මොනවද කරන්නේ?

පසුගිය 10 වැනිදා සිට 18 වැනිදා තෙක් සංස්ථාවේ තරංගනි සිනමාශාලාවේ චිත්‍රපට අටක් පෙන්වුවා. ගොළුහදවත, විරාගය, සිකුරුලියා, සුද්දිලාගේ කතාව, වැලිකතර, ආදී වශයෙන්. එමෙන්ම සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යයක් වූ සන්දේශය චිත්‍රපටයේ පුළුල් තිරයේ ප්‍රදර්ශනය කළ හැකි පිටපතක් ලංකාවේ තිබුණේ නෑ. චෙකෙස්ලෝවැකියාවේ සංරක්ෂණය වූ පිටපතක් තිබුණා. සංවත්සරය වෙනුවෙන්ම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් එය ලබාගෙන තිබෙනවා. අපට අවසරය ලැබී තිබෙන්නේ එය චිත්‍රපට උලෙළවල ප්‍රදර්ශනයට පමණයි.

සංස්ථාව මඟින් කොළඹ සිට නොමිලේ චිත්‍රපට පෙන්වුවාටම ලංකාවේ සිනමාශාලාවට නොයන ප්‍රේක්ෂකයා නැවත ගෙන්වාගන්න බැහැ?

සිනමා ප්‍රේක්ෂකයා අඩුවෙලා නැහැ. සිනමා ප්‍රේක්ෂකයා වර්ධනය වෙලා තියෙනවා. නමුත් ඔවුන් සිනමාව නරඹන්නේ සිනමා ශාලාවේ සිට නොවේ. අද වන විට සිනමාව නැරඹීමට විවිධ මාධ්‍ය තිබෙනවා. රූපවාහිනිය, ඔන් ඩිමාන්ඩ් සර්විස්, සමාජ මාධ්‍ය, ස්මාර්ට් ටීවී, ස්මාර්ට් දුරකතන ඔස්සේ සිනමාව රසවිදිය හැකියි. නමුත් සිනමා කෘතියක නියම අත්දැකීම ලබා ගන්න නම් සිනමාශාලාවට යා යුතුයි. එතැනට රැගෙන යාමට අප උත්සාහ ගන්නවා. වසංගත සමයේ සිනමාශාලා වසා දැමීමත් සමඟ නැවත විවෘත වීමේදී මණ්ඩලවලින් එකවර චිත්‍රපට 4-5 ප්‍රදර්ශනය කරන්න ගත්තා. මේ පිළිබඳ අප චිත්‍රපට නිෂ්පාදකවරු සමඟ කතා කළා. ඔවුන් සඳහන් කළේ මේ ආකාරයට ප්‍රදර්ශන කටයුතු කිරීම මඟින් තවත් නිර්මාණයකට මුදල් වෙන් කිරීමට නොහැකියි යන්න. මේ නිසා සංස්ථාව මණ්ඩල සමඟ කතා කොට එකඟතාවයකට ආවා මණ්ඩලයකින් ප්‍රදර්ශනය කරන චිත්‍රපටය සියලුම සිනමාශාලාවල පෙන්වන්න. එය ටර්න් ටු ටර්න් කරන්න. ප්‍රේක්ෂකයා රැකගැනීම වගේම නිර්මාණකරුවා රැකගැනීමටත් අප නිරන්තරයෙන් කටයුතු කරනවා.

අනෙක් අතට ලෝක සිනමා කර්මාන්තය නිවෙසේ සිට බලන ප්‍රේක්ෂකයාට උපරිම පහසුකම සලසද්දි ලංකාවේ සිනමාව ඒ වෙනුවෙන් මොනවද කරන්නේ?

චිත්‍රපට සංස්ථාව සැලසුම් කරලා තියෙනවා OTT platform එකක් ආරම්භ කරන්න. ඒ සඳහා මුදල් වෙන් වෙලා තියෙනවා. ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර තිබෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් චිත්‍රපට සංස්ථාව ඇයි මෙවැනි ප්ලැට් ෆෝම් එකක් ආරම්භ කරන්නේ කියලා. විශේෂයෙන්ම පිටරටවල සිටින ලාංකිකයන්ට සිංහල චිත්‍රපටයක් නැරඹීමට සහ ආසියාතික හොඳ කලාත්මක චිත්‍රපටයක් නැරඹීමට කැමැති විදේශීය ප්‍රේක්ෂකයාට මේ ඔස්සේ ඉඩ සැලසෙනවා. මෙය ලාංකේය ප්‍රේක්ෂකාගාරය ඉලක්ක කර සිදු කරන්නක් නොවේ.

ගුණාත්මක ප්‍රමිතිගත චිත්‍රපටයක් ප්‍රේක්ෂකයා වෙත ලබාදීම සංස්ථාවේ වගකීමක්?

2001 ට පෙර ලංකාවේ චිත්‍රපට නිෂ්පාදනයට අප මුල් වුණා. චිත්‍රපට ක්ෂේත්‍රය පෞද්ගලීකරණය වීමත් සමඟ සංස්ථාවට ලැබෙන ආදායම අඩුවීම නිසා නිෂ්පාදනයට වගේම චිත්‍රපටයේ අභිවෘද්ධියට මුදල් වැයකරනවා වෙනුවට අද මහා භාණ්ඩාගාරයෙන් යැපෙන ආයතනයක් වෙලා. කොහොම නමුත් ඉදිරියේදී අප බලාපොරොත්තුවනවා අවුරුද්දකට චිත්‍රපට එකක් හෝ දෙකක් නිෂ්පාදනය කිරීමට. ගුණාත්මක චිත්‍රපට පිටපත් බැංකුව හරහා තෝරා ගනිමින්.

අදවන විට චිත්‍රපට ක්ෂේත්‍රය කර්මාන්තයක් බවට පත්වී තිබෙනවා. ජාතික චිත්‍රපට සංස්ථාවටත් මේ තුළ වැඩියමක් කරන්න ඇති?

කර්මාන්තයක් විදිහට වර්ධනය වීමට නම් ආදායම උත්පාදනය කිරීමේ හැකියාව තිබිය යුතුයි. ආදායම් උත්පාදනය කළ හැකි දැවැන්ත සිනමා කෘති නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පසුබිම සැකසිය යුතුයි. මේ සඳහා අමාත්‍යාංශය තුළින් පනස් දෙනෙකුගෙන් යුතු චිත්‍රපට කාර්යය සාධන බලකායක් පිහිටවූවා. අපත් එය නියෝජනය කරනවා. මෙහිදී නිර්දේශ ලබා දීම මෙන්ම කර්මාන්තයක් ලෙස දියුණු කිරීමේ වගකීමද මෙම කාර්යය සාධන බලකාය වෙත පැවරෙනවා.

කථානාද සිනමාවට වසර 75 යි. මුල්ම කථානාද චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුව මුලින්ම පෙන්වූ කොටහේන කිංග්ස්ලි සිනමාහල කඩා දමලා. මේවා සංරක්ෂණය කරන්න සංස්ථාවට වගකීමක් තියෙනවා නේද?

යම්කිසි සිනමාශාලාවක් යම් වෙනසකට ලක් කරනව නම් එයට සංස්ථාවේ අනුමැතිය ලබාගත යුතුයි. නමුත් මෙය කඩා දැමීමෙන් පසුවයි අනුමැතිය ලබාගන්න සංස්ථාවට එන්නේ. ඒත් සමඟම අප එහි පරීක්ෂණ කටයුතු ආරම්භ කළා. ඒ සම්බන්ධයෙන් නෛතික කටයුතු කරගෙන යනවා. ඒ නිසා ඒ පිළිබඳ වැඩි යමක් සඳහන් කිරීමට නොහැකියි.

සේයාරුව - නිශ්ශංක විජේරත්න