ලිට්ල්ස්ටාර් දක්ෂතම තරුවේ පළමු රූප රචනාව හෙට එළිදකියි

ඔමිරු සන්දිර මෙන්ඩිස්
සැප්තැම්බර් 30, 2021

 

 

දෙරණ ලිට්ල් ස්ටාර් කියලා කියන්නේ පොඩ්ඩො රැසක් කලඑළියට ආ වේදිකාවක්. ඒ මඟින් ජනප්‍රියත්වයට පත්වුණු පුංචි තරු බොහොමයක් අද වනවිට ක්ෂේත්‍රයේ නමක් දිනා සිටිනවා. ඔමිරු සන්දිර මෙන්ඩිස් එවන්වූ දරුවෙක් පසුගිය වසරේ නිමාව දුටු දෙරණ ඩ්‍රීම්ස්ටාර් දස වැනි අදියරේ දක්ෂතම තරුව ලෙස කිරුළු පැලඳීයේ ඔහු. ඔමිරුගේ කුලුඳුල් ගීතය මේ මස පළවෙනිදා එනම් ලෝක ළමා සහ වැඩිහිටි දිනයදා එළි දැක්වෙනවා. එය නම් කොට තිබෙන්නේ "අම්මා දකින" යනුවෙනුයි. පියා දුර ඈත රටක ජීවත් වෙන දරුවෙකුගේ සිතුවිලි පෙළක් රැගත් මෙම ගීතය ඔමිරුගේ ජීවිතයටද යම්තාක් දුරකට සමානයි. ඔහුගේ පියාද මේ වන විට දිවි ගෙවන්නේ පිටරටක. මේ හා සම්බන්ධ සංකල්පයක් රැගත් ගීතයක් නිර්මාණය ඔමිරුගේ මව තමයි වැඩි උනන්දුවක් දක්වලා තියෙන්නේ. සුඛිත ශ්‍රීමාල් බුලත්සිංහල එම සංකල්පය අපූරුවට පද පෙළක් බවට පත්කරලා තිබෙනවා.

බුද්ධික දයාරත්නගේ සංගීත අධ්‍යක්ෂණයෙන් නිර්මිත අම්මා දකින ගීතය රූප රචනාව තීක්ෂණ ශ්‍රී විජේසිංහ නිර්මාණය කොට තිබෙනවා. ජනප්‍රිය රංගන ශිල්පිනී නුවනි වලිමුණි, බුද්ධික සේමසිංහ සහ සනුල ලියනගේ යන පිරිසයි රූප රචනාවට රංගනයෙන් දායක වුණේ. බොරලැස්ගමුව අවට රූප ගැන්වුණු මෙම ගීතය අසන වාරයක් වාරයක් පාසා ඔමිරුගේ නෙතඟට කඳුළු නැංවෙන බව ඔහුගේ මව සඳහන් කළා. මෙහි නාද ශික්ෂණය ජනක දොලේවත්තගෙනි. මේ වන විට දොළොස් හැවිරිදි වියේ පසුවන ඔමිරු ගායනයෙන් ඉදිරියට යන්න අපේක්ෂා කරනවා. ඔහුගේ මව රාජේශ්වරී ජනරංජනී ගුණවංශ. ඇය ගුරුවරියක්. විදෙස්ගත වී සිටින ඔමිරුගේ පියා කසුන් රසාංග මෙන්ඩිස්. හෙට දිනයේ දී අන්තර්ජාලය හරහා සහ රූපවාහිනි නාළිකා කිහිපයක එළිදැක්වෙන මෙම ගීතය රසවිඳීන්නටයැයි ඔමිරු පුංචි පුතා රසික රසිකාවන්ට ඇරැයුම් කරනවා.

 

මේ අම්මා දකින ගීතයේ සම්පූර්ණ පද මාලාවයි.

 

අම්මා දකින හුරතල් මගෙ අප්පච්චී

හන්දා දුරක මඟ ඇරුණි ද තනි වෙද්දී

දන්නා කලෙක හිඳ නුඹ ඇවිදින් යද්දී

අම්මා හැඬූ වග වැටහුණි ලොකු වෙද්දී.

 

උස අතු දෙක තුනක අඹ ඉදිලා වැටුණා

රෑනෙ සරුංගල් කාලෙට බිම බැලුණා

අටපට්ටමකට උණ බටයක් මඟ හැරුණා

තව ලොකු වෙන්නට පෙර එනවානම් හිතුණා.

 

එළි වෙන හැම දිනම නුඹ ළංවී දැනුණා

දෑස පිපාසෙන් මිරිඟුව ලෙස පෙනුණා

තනිය මකන්නට මව් සෙනෙහස ළඟ තිබුණා

නුඹටත් එන්නට හැකි වෙනවානම් හිතුණා.