මම ඇත්ත ලින්කන් කියලා හිතලා මිනිස්සු බොන්න යන්න කතා කරනවා

- කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ ලින්කන්
-පි‍්‍රයන්ත සෙනෙවිරත්න
ජූලි 22, 2021

 

විටෙක ඔහු ටෙලි තිරයේදී කාගේත් "බෙනා මාමා"ය. තවත් විටෙක "සෑම් අංකල්" ය. වරෙක මුළාවෙන් සියල්ල රවටන "පොඩි මාමා" ය. ටෙලිනාට්‍ය කලාව තුළ හාස්‍යමය හා ප්‍රහසනාත්මක චරිත නිරූපණය කිරීමෙහිලා ලොකු කුඩා කා අතරත් එදා මෙන්ම අද ද ඔහු ජනප්‍රිය චරිතයකි. ප්‍රියන්ත සෙනෙවිරත්න යන නම ඇසූ සැණින් ඔබ මුවගට සිනහවක් එනු නොඅනුමානය. ඔහු මෙවර ඔබ හමුවට එන්නේ සිරස නාළිකාවේ විකාශය වන ධනුෂ්ක රත්නාකයගේ අධ්‍යක්ෂණයක් වන "කියාදෙන්න ආදරේ තරම්" ටෙලිනාට්‍යයේ "රෙදිමෝලවත්තේ ලින්කන් අයියා" ලෙසයි. ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය ලින්කන් අයියා ගැන සහ වර්තමාන ටෙලිනාට්‍ය කලාව ගැන විමසන්න අපි ප්‍රියන්ත සෙනෙවිරත්න නම් චරිතාංග රංගන ශිල්පියාට සම්මුඛ වුණෙමු.

 

ලින්කන්ට බැනුම් අහන එකේ සීමාවක් නෑ නේද?

ඒක සාමාන්‍යයෙන් ඉතින් ගෙවල්වල තියෙන කතාවක්නේ. (සිනාසෙමින්) හැබැයි මේ ලින්කන් ඉන්නේ "කියාදෙන්න ආදරය තරම්" ටෙලිනාට්‍යයේ. ලින්කන් කියන්නේ නාගරික ලුම්පන් පරිසරයේ ඉන්න දරුවො තුන්දෙනෙක් ඉන්න රැකියාවක් නැති තාත්තා කෙනෙක්ට. ලින්කන්ට එයාගේ තත්ත්වය තියාගෙන ඉන්න ඕනේ. ඒ නිසා එයා මොන මොනව හරි කරලා හම්බ කර ගන්න බලනවා. ලින්කන් හැමවෙලේම මුදල් හම්බ කරන්න පුළුවන් ක්‍රම හොයාගෙන යනවා. අවසානයේ ඒවා හෙළි වුණාට පස්සේ ගෙදරින් ප්‍රශ්න එනවා.

ලින්කන්ගේ චරිතය ඔබට ලැබුණේ කොහොමද?

මට මුලින්ම මේ ටෙලිනාට්‍යයේ පිටපත් රචක මහේෂ් රත්සර මද්දුමආරච්චි මහත්මයා කතා කරලා "හොඳ චරිතයක් තියෙනවා ඔයාව අනිවාර්යයෙන්ම ඒකෙට ඕනේ. සිරස නාළිකාවේ අයට මම ඔයාව යෝජනා කරනවා" කිව්වා. මහේෂ්ගේ ගොඩක් ටෙලිනාට්‍යවල මම රඟපාලා තිබ්බ නිසා මම දන්නවා එයා හොඳට චරිත ගොඩනඟන බව. මහේෂ් හරි රහට ඒ චරිතේ ලියලා තිබුණා. ඔහුගේ විශ්වාසය සහ සිරස නාළිකාව මං ගැන තියපු විශ්වාසය නිසාම පිටපත කියවලා ඒ චරිතේ තියෙන රස තැන් හොයාගෙන අධ්‍යක්ෂවරයාගේ මඟපෙන්වීම යටතේ තමයි මේ චරිතය ඔය තත්ත්වයට සාර්ථකව කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ.

 

ලින්කන් කියන මේ අපූරු මනුස්සයාගේ චරිත ස්වභාවය ගැන කියමු?

ලින්කන් තරුණ කාලේ නළුවෙක් වගේ හිටපු කෙනෙක්. හොඳ සෙල්ලක්කාර, විනෝදකාමී, ඉතාම ලස්සන පුද්ගලයෙක් හැටියට තමයි ලින්කන්ගේ ඉතිහාසය කියැවෙන්නේ. ඔහු රෙදිමෝලවත්තට එන්නේ අයිරාංගනීව කසාද බැඳලා. ලින්කන් ඒ වත්තට අනුගත වෙලා ඒ අවට පිරිසත් එක්ක ජීවිතය ගත කරනවා. ඔහු හරි සූක්ෂ්ම පුද්ගලයෙක්. ඔහුට නිතරම ඉවෙන් දැනෙනවා මුදල් හම්බ කරගන්නේ කොහොමද කියලා. ඒ ඔස්සේ තමයි ඔහු නිතරම ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම ලින්කන් කියන්නේ මුදල් උපයන්න බොරු කියන, බොරු කරන කෙනෙක්.

 

මේ ඇත්ත මහපොළොවේ ලින්කන්ලා වගේ චරිත අනන්තයි අප්‍රමාණයි.?

ඔව්. ඒ වගේ චරිත ඇතුළේ හරි අනුවේදනීය කතාවක් තියෙනවා. ඒ තරුණ කාලේ ජේත්තුවට රැස් විහිදවාගෙන ඉඳලා වයසට ගිහින් ළමයි ලොකු මහත් වුණාම ළමයින්ට හෑල්ලු නොවී තමන්ගෙ තත්ත්වෙ තියාගෙන ඉන්න උත්සහ කරන චරිත. මේ සමාජයේ ඕනෑ තරම් ඒ වගේ චරිත ඉන්නවා. ලින්කන්ලා වගේ අය පොඩි පොඩි රැවටීම් කරලා ඒ වගේ මිනිස්සුන්ව රවට්ටන්නේ තමන්ට වෙන කරන්න දෙයක් නැති නිසයි. ලින්කනුත් කැමතියි හොඳට ජීවත් වෙන්න. ඒත් ඒ ජීවිතවකට ලොකු ආර්ථික ඛේදවාචකයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා.

 

ලින්කන්ගෙ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම මේ ළඟදි වාහනේ යනකොට මගේ පිටිප්පස්සෙන් පොඩි ලොරියක් මාව හඹාගෙන එනවා. මට හෝන් කරනවා. එයාලා මට නතර කරන්න කියලා සංඥා කරනවා. අවසානයේ මම ඉඩ තියෙන තැනක මගේ වාහනය නතර කළා. මගේ වාහනය ඉස්සරහින් හරස් කරලා ලොරිය නතර කරලා ඒකෙන් බැහැලා පිරිමි ළමයි දෙන්නෙක් දුවගෙන ඇවිත් කිව්වා "අයියේ, ඔයාගේ ලින්කන්ගේ චරිතයට අපි හරිම ආසයි. අපි ඒක ඔයාට කියන්නයි ඔයාව නතර කළේ" කියලා. විශේෂයෙන් අපි රූගත කරන රෙදිමෝලවත්ත තියෙන්නේ කොටහේන පංචිකාවත්තේ. එතැන හරි අමුතු පරිසරයක්. එයාලා සිංහල ටෙලිනාට්‍ය බලන අය නෙමෙයි. ඉන්දියානු චිත්‍රපට බලන වැඩිපුර දෙමළ කතා කරන කැඩිච්ච සිංහල කතා කරන අය. අපි රූගත කිරීම් එතැන කරන නිසා එයාලා හරියට වෙලාවටම අපේ ටෙලිනාට්‍යය බලන්න පුරුදු වෙලා. රෙදිමෝලවත්තේ ගෙවල් ඔක්කොම වගේ "කියාදෙන්න ආදරේ තරම්" ටෙලිනාට්‍යය බලනවා ඒ වෙලාවට. අපි රෑ වෙලත් රූගත කිරීම් කරන දවස් තියෙනවා. ඒ වෙලාවට ඒ අවට මිනිස්සු මහන්සි වෙලා දවසම වැඩ කරලා හවස පොඩ්ඩක් මධුවිත තොලගාලා ඉන්නේ. එයාලා ඇවිත් මට කතා කරනවා කන්න බොන්න යන්න. එයාලා හිතන්නේ ඇත්තටම මම ලින්කන්ගේ චරිතය කියලා. ඒ අවට පොඩි ළමයි පවා මට "ලින්කන් අයියා" කියලා කතා කරන්නේ.

 

ඔබ මේ චරිතය ගොඩනඟන්නේ ප්‍රවීණ, නවක රංගන ශිල්පීන් රාශියක් සමඟ. කොහොමද ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය?

ඉතාම හොඳ සහයෝගයක් ලැබෙනවා. මේ කතාවේ හැටියට මගේ පවුලේ පුතාලා දෙදෙනෙක් මිනිබිරියක් සහ බිරිඳක් ඉන්නවා. මගේ බිරිඳට පණ පොවන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන දුලීකා මාරපන. දුලීකා එක්ක රඟපාන්න හරි පහසුයි. එයාගෙ පැත්තෙන් ලැබෙන සහයෝගය ගොඩක් වැඩි‍යි. ඒ වගේම මගේ පුතාලා දෙන්නාට ඉන්න තරුණයෝ දෙදෙනාගෙන් සහ මිනිබිරියගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන්ම මිනිබිරියගේ චරිතය රඟපාන පහන්දි නෙතරා හරිම දක්ෂ දරුවෙක්. පුංචි ළමයෙක් වුණාට දෙබස් මතක තියාගෙන හොඳට රඟපානවා. ඒ වගේම විල්සන් ගුණරත්න සහ මීනා කුමාරි මතක් කරන්න ඕනේ. සෙබෙස්තියන්ගේ චරිතය රඟපාන ශාන්ත මට ලොකු සහයෝගයක් දෙනවා. අපි දෙන්න අතර තමයි ගැටුම තියෙන්නෙ. මහේෂ් අපේ චරිත දෙක ලස්සනට හදලා තියෙනවා. ඒ වගේම ධනුෂ්ක රත්නායක තරුණ අධ්‍යක්ෂවරයා ගැන මතක් කරන්න ඕනේ. චරිතය හොඳට හසුරවන්න ඔහු අපිට නිදහස දීලා තියෙනවා. ඒ වගේම අපේ මුළු කාර්ය මණ්ඩලයම ලොකු සහයෝගයක් ලබාදෙනවා.

 

ටෙලිනාට්‍ය රූගත කරද්දි වුණු අපූරු සිදුවීම් ගැනත් මතක් කරමු?

එක දවසක් අපි රූගත කිරීම්වල ඉද්දි කැමරා ඔක්කොම අස්සෙන් එක මනුස්සයෙක් ඇවිත් හයියෙන් "ලින්කන් අයියා, ඔයා ඉවර වෙලා එන්න ඕනේ" කිව්වා. ඒ එන්න කියන්නේ කන්න බොන්න යන්න. එයාලා හිතන්නේ මමත් මේ චරිතේ වගේම එයාලා වගේම කෙනෙක් කියලා. ඒ වගේ අත්දැකීම් නම් තියෙනවා. තව සිදුවීමක් වුණා. ලින්කන්ගේ චරිතය රූගත කිරීම් පටන් අරගෙන දවස් දෙක තුනකින් මම හිරු සුපර් ඩාන්සර් වැඩසටහනේ නැටුමක් නටන්න ගිහින් කකුල පෙරළිලා හානි වුණා. ඒ නිසා තමයි ලින්කන් නොණ්ඩි ගහන්න පටන්ගත්තේ. ඒ නොණ්ඩිය මම චරිතයට ආරූඪ කරගත්තා. දැන් කකුල සනීප වුණත් දිගටම ලින්කන්ට නොණ්ඩි ගහන්න වෙනවා.

 

ප්‍රියන්ත සෙනෙවිරත්න ප්‍රහසනාත්මක චරිත ඇතුළේ රාමුවෙලා ඉන්නවා කියලා චෝදනාවක් තියෙනවා. ?

චරිත මතුපිටින් දකින අයට තමයි ඒක එහෙම තේරෙන්නෙ. හැම චරිතයකටම ගැඹුරක් තියෙනවා. ඒ ගැඹුර ගැන හිතන්නේ නැතුව මතුපිටින් බලන අයට එහෙම දෙයක් හිතෙන්න පුළුවන්. ඒත් මේ හැම චරිතයකම ප්‍රහසනය තියෙනවා. අද කාලේ චරිත වෙන් කරලා දකින්න අමාරුයි. ඔක්කොම එක රටාවක චරිත තියෙන්නේ. කවුරු හරි කියනවා නම් මම චරිතවලට කොටු වෙලා කියලා මම ඒකට කැමතියි. දැන් ඉන්න මිනිස්සු හරි කාර්යබහුලයි. හරි වේදනාකාරීයි. තෙහෙට්ටුවට පත් වෙලා ඉන්නේ. ඒ මිනිස්සුන්ට කලා නිර්මාණයක් මඟින් ප්‍රශ්නයක් දෙනවාට වඩා සතුටක් දෙන එක හොඳයි.

 

චිත්‍රපට අධ්‍යක්ෂවරු ඔබෙන් හරියට ප්‍රයෝජනයක් ගත්තේ නැහැ කියලා හිතෙන්න නැද්ද?

චිත්‍රපටයක් කියන්නේම හරි අභියෝගාත්මක වැඩක්නේ. ඒ නිසා ඒ ගැන මුකුත් කියන්න බැහැ. අපි ස්තූතිවන්ත වෙන්න ඕනේ අධ්‍යක්ෂවරුන්ට සහ නිෂ්පාදකවරුන්ට මේ මට්ටමෙන් හරි සිනමා කර්මාන්තය පවත්වාගෙන යනවාට. දැන් සිනමාව කියන්නේම ලොකු අවදානමක්. දැන් අවුරුදු තුනක් හතරක් තිස්සේ රූගත කරලා වැඩ අවසන් කරපු චිත්‍රපට තියෙනවා තිරගත කරගන්න බැරුව. ලොකු මුදලක් ආයෝජනය කරලා චිත්‍රපට හදලා ඒවා තිරගත කරගන්න බැරි නම් ඒක ලොකු ප්‍රශ්නයක්. අධ්‍යක්ෂවරු බොහොම පරිස්සමෙන් හිතලා තමයි චරිත ගැන තීන්දු තීරණ ගන්නේ. ඒ නිසා සමහර වෙලාවට ඔවුන්ට අපිව මඟහැරෙන්න පුළුවන්. ඒ නිසා අපිට ඒ අයට චෝදනා කරන්න බැහැ. කොහොම වුණත් අපිව චිත්‍රපටවලට ගත්තා හෝ නොගත්තා ඒ අධ්‍යක්ෂවරුන්ට සහ නිෂ්පාදකවරුන්ට මම ගරු කරනවා අපේ රටේ සිනමා කර්මාන්තය පවත්වාගෙන යන එකට.

 

කොරෝනා නිසා දැන් වේදිකාව හැමෝටම අමතක වෙන තැනට ඇවිත්?

කොරෝනා නැති කාලෙත් වේදිකා නාට්‍ය කලාව කොහොමත් අර්බුදයක තමයි තිබුණේ. වේදිකා නාට්‍ය නැරඹීමට එන ප්‍රේක්ෂක පිරිසේ සෑහෙන්න ලොකු අඩුවක් තියෙනවා. ප්‍රවීණ නාට්‍යකරුවන් නාට්‍ය නිෂ්පාදනය කිරීමේ අඩුවක් තියෙනවා. ඒකට හේතුව නාට්‍යයක් නිෂ්පාදනය කරනවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. ශිල්පීන් තෝරගෙන පුරුදු පුහුණු කරලා නාට්‍යයක් වේදිකාගත කරනවා කියන එක දරුවෙක් ලැබෙනවා වගේ වැඩක්. ඒ සඳහා මුදල් යොදවන්න නිෂ්පාදකවරුන්ට අමාරුයි. ඒවා රට පුරා අරගෙන ගිහින් වේදිකාගත කරලා ආදායම් උපයන්න අමාරුයි. එළිමහන් සංගීත ප්‍රසංගයකට ලක්ෂ පහළොවක් විස්සක් වියදම් කරනවා. හේතුව පිට්ටනියක් පිරෙන්න විශාල සෙනඟක් ගෙන්වාගන්න පුළුවන්. ඒවා හරි ජනප්‍රියයිනේ. වේදිකා නාට්‍යයක් පිට පළාත්වලට ගියාම පෙන්වන්නේ බොහොම සීමාසහිත පුටු සංඛ්‍යාවක් තියෙන කුඩා ශලාවල. ඒ නාට්‍යශාලාවල පහසුකම් නැහැ. නාට්‍ය අඩු මුදලකට පෙන්වන්නත් බැහැ. එතන නිරායාසයෙන් අර්බුදයක් නිර්මාණය වෙනවා. එහෙම පසුබිමක කවුද නාට්‍ය කලාවත් එක්ක ඉන්න කැමති වෙන්නේ? ඒ නිසා වේදිකා නාට්‍ය කලාවට විශේෂ රාජ්‍ය අනුග්‍රහයක් අවශ්‍යයි. ලෝකේ රටවල වේදිකා නාට්‍ය කලාව පවතින්නේ රාජ්‍ය අනුග්‍රහයත් එක්ක. මොකද ඒක මිනිස්සුන්ගේ කලා හැකියාවල නිම්වළලු පුළුල්කරන කලාවක්. තාක්ෂණයෙන් හිනි පෙත්තටම දියුණු වන රටවල පවා තවමත් නාට්‍ය කලාව තියෙනවා. ඒකෙන් ලොකු සමාජ ප්‍රතිඵලයක් ලැබෙනවා. ලංකාවේ වේදිකා නාට්‍ය කලාව කඩා වැටීම නිසා වුණු ලොකුම අඩුපාඩුව තමයි රංගනයට හොඳ නළුවන් සීමිත වීම. මම ක්ෂේත්‍රයට ආපු මුල් කාලේ ජර්මන් මිත්‍රත්ව සංගමයෙන්, සෝවියට් මිත්‍රත්ව සංගමයෙන් නාට්‍ය කළා. ප්‍රවීණ නාට්‍යකරුවෝ නාට්‍ය හැදුවා. ඒත් දැන් ඒ හැමෝම නිහඬයි. හේතුව නිර්මාණයක් කරන්න පසුබිමක් නැහැ.

 

කොරෝනා වසංගතය එක්ක රංගන ශිල්පීන් ශිල්පිනියන් සමාජ මාධ්‍යවල වේදිකා හදාගෙන විවිධ වැඩ කරනවා. ඔබත් එහෙමද?

ඔව්. "Gira with priya" කියලා මමයි ගිරිරාජ් කෞශල්‍යයි කරන කරන යූටියුබ් නාළිකාවක් තියෙනවා. ඒකේ අපි පොඩි පොඩි නිර්මාණ කීපයක් පළ කළා. සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ දෙකක් විතර අපිට ඉන්නවා. ඒ සඳහා ලොකු උනන්දුවක් නැහැ. ඒත් අපි දෙන්නට විවේකයක් ලැබුණොත් හොඳ නිර්මාණ කරලා එතැන පළ කරනවා.

වර්තමාන රංගන ක්ෂේත්‍රයේ නවක රංගන ශිල්පීන් ගැන ඔබේ අදහස?

නවක රංගන ශිල්පීන් ශිල්පිනියන්ට රංගන අවස්ථා ලබාදෙන්නම ඕනේ. එතකොට තමයි ඔවුන් ප්‍රවීණයන් එක්ක එකට ගැටිලා තමන්ගේ හැකියාව මුවහත් කර ගන්නේ. මේ ටෙලිනාට්‍යයේත් නවක රංගන ශිල්පීන් ශිල්පිනියන්ට ලොකු අවස්ථාවක් ලබා දීලා තියෙනවා. එක දෙයක් තියෙනවා අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. යූටියුබ් නාළිකාවල හෝ සමාජ මාධ්‍යවල රංගන හැකියා පෙන්වන තරුණ පරපුරට හැකියාව තියෙනවා. නමුත් ඔවුන් රංගනය කියන එක හදාරන්න ඕනේ. අපේ පොඩි වැරැද්දක් තියෙනවා. අපි හිතන්නේ රංගනය කියන්නේ උපන් හැකියාවක් කියලා. රංගනය කියන්නේ උපන් හැකියාවක් නෙමෙයි. ඒක හදාරන්න ඕනෙ ප්‍රගුණ කරන්න ඕනේ ශිල්පයක්. රංගන ශිල්පියා කියන කෙනා ඒ ශිල්පය හදාරන්න ඕනේ. හදාරන්නෙ නැතුව ශිල්පියෙක් වෙන්න බැහැ. හැදෑරීම තුළ තමයි තමන්ගෙ තියෙන දක්ෂතාව ශිල්පීය දක්ෂතාවක් බවට පත් වෙන්නේ.

 

ඔය කියන හැදෑරීම කරන්නේ කොහොමද?

ඒකට විධිමත් සහ අවිධිමත් කියලා ක්‍රම දෙකක් තියෙනවා. රංගන පාසලකට ඇතුළු වෙලා රංගනය හදාරන්න ඕනේ. ටවර් හෝල් පදනම, ජාතික තරුණ සේවා සභාව, විශ්වවිද්‍යාලවල, පෞද්ගලික රංගන වැඩමුළුවලට සහභාගිවෙලා රංගනය හදාරන්න ඕනේ. රංගනය කියන්නේ ශරීරික මානසික ක්‍රියාවලියක්. ඒක හදාරන්න ඕනේ. අවිධිමත් ක්‍රමය ක්ෂේත්‍රයේ ඉන්න අතර හදාරන්න පුළුවන්. ප්‍රවීණයන් ඇසුරු කිරීමෙන්, ස්වඋත්සාහයෙන්, විවිධ චරිත හැදෑරීමෙන් රංගනය ගැන අවබෝධයක් ලබාගන්න පුළුවන්. ඒත් කාලයක් යද්දී ඔවුන්ට විෂයයක් විදිහට හැදෑරීමේ අවශ්‍යතාවය එනවා. ඒ නිසා මම නම් කියන්නේ රංගනය විධිමත්ව හදාරන්නම ඕන කියලා. ක්ෂේත්‍රයේ රංගන අවස්ථා ලැබුණු තරුණ පරම්පරාව ඔළුවේ තියා ගන්න ඕනේ මේ තියෙන්නේ මගේ උපරිම දක්ෂතාවය නෙමෙයි කියලා. උපරිමයට යන්න ඕනේ නම් මේ විෂයය තව හදාරන්න ඕනේ කියලා මතක තියාගන්න ඕනේ. අපේ රටේ සමහර ටෙලිනාට්‍ය ජනප්‍රිය ක්‍රීඩකයෝ, දේශපාලකයෝ, ගායකයෝ සම්බන්ධ කරගෙන කළා. ඒත් ඔවුන් රංගන ශිල්පීන් නෙමෙයි. රංගනය තුළ ඔවුන්ගේ භූමිකාව ඉතාම පටුයි. නළුවෙක් කියන්නේ ඕනෑම විදිහක චරිතයක් රඟපෑමට හැකි තැනැත්තාට. අද තරුණ තරුණියෝ ගොඩක් චරිත කරන්නේ තමන් විදිහටමයි. ඉන් එහා චරිතයක් ලැබුණු දවසට මේ වැඩේ බරපතළකම වැටහෙනවා.

 

ප්‍රහසනය කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. නව පරපුරේ ප්‍රහසනාත්මක චරිත කරන්න පුළුවන් අය ඉන්නවාද?

නර්තනය කරනවා නම් අනිවාර්යයෙන්ම පා සරඹ, ගොඩ සරඹ ඉගෙනගෙනයි නටන්න ඕනේ. ඒ පදනම නැතුව නටන්න බැහැ. රංගනයේත් එහෙමයි. ප්‍රහසනය කියන්නේ රංගනයේ එක අංශයක්නේ. ප්‍රහසන චරිත, වීර චරිත, ප්‍රතිවීර චරිත මේ හැමදේම කරන්න පුළුවන් පදනමක් හදා ගත්තම. රිලවෙක් වගේ නැටුවා කියලා හාස්‍ය රංගන ශිල්පියෙක් කියලා කියන්න බැහැනේ. ප්‍රහසන රංගනයේ තවත් කොයිතරම් අංශ තියෙනවාද? විවිධ චරිත කොච්චර තියෙනවාද? ඒවා ඉගෙනගන්න ඕනේ.

 

ලංකාවේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ අනාගතය සුබදායක වෙයිද?

ටෙලිනාට්‍ය කලාව පාලනය කරන්නේ කලාකරුවෝ නෙමෙයි. ඒක වෙළෙඳ උපක්‍රමයක් විදිහටයි දැන් භාවිත වෙන්නේ. කලාකරුවා ටෙලිනාට්‍ය කරපු කාලයේ ඒකේ කලාත්මක භාවිතයක් තිබුණා. දඬුබස්නාමානය, දුන්හිඳ අද්දර, වෙදහාමිනේ, ඇල්ල ළඟ වලව්ව වගේ නිර්මාණවල කලාත්මක භාවිතයක් තිබුණා. දැන් හැදෙන ටෙලිනාට්‍යය වෙළෙඳ භාණ්ඩයක් බවට පත් වෙලා වාණිජ අරමුණු ඉස්මතු වෙන විදිහටයි හැදෙන්නේ. ඒ කලාත්මක නිර්මාණ කරපු අධ්‍යක්ෂවරු අද ටෙලිනාට්‍ය කලාවෙ නැත්තේ ඒකයි. ඒකට අපිට මුකුත් කියන්න බැහැ. මොන දේ කරන්නත් ආයතන පවතින්න ඕනේ. ආයතන හැමවෙලේම අවධානය යොමු කරන්නේ ලාභ සහ පාඩුවලට. ප්‍රේක්ෂකයන් වැඩිපුර නරඹන්නේ වාණිජ අරමුණෙන් කරන ටෙලිනාට්‍ය. දිගටම හැදෙන්නේ ඒ ගණයේ නිර්මාණ තමයි.

 

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

මේ දවස්වල සිරස නාළිකාවේ විකාශය වන "කියාදෙන්න ආදරේ තරම්" ටෙලිනාට්‍යයේ රඟපානවා. ඒ වගේම හිරු නාළිකාවේ විකාශය වන වන අහස් මාලිගා ටෙලිනාට්‍යයේ රූගත කිරීම් කටයුතු කරනවා. "හිරු සුපර් ඩාන්සර්" ළමා රියැලිටි වැඩසටහනේ ප්‍රහසනාත්මක ඉදිරිපත් කරන්නෙක් ලෙස කටයුතු කරනවා. මීට වසර තුනකට පෙර ගිරිරාජ් කෞශල්‍ය අධ්‍යක්ෂණය කළ "කතුරු මිතුරු" චිත්‍රපටයේ මම රඟපෑවා. ඒක දෙවතාවක් තිරගත කරන්න සූදානම් වුණා. ඒත් මේ කොරෝනා වසංගතය නිසා ඒක කරගන්න බැරිවුණා. ඉදිරියේදී වසංගත තත්ත්වය සමනය වුණාම ඒ චිත්‍රපටය හැමෝටම බලාගන්න පුළුවන් වෙයි. අලුත් ටෙලි නාට්‍ය කීපයකට ආරාධනා ඇවිත් තියෙනවා. ඉදිරියේදී ඒවායේ වැඩ පටන් ගනීවී. මට වුවමනාවක් තියෙනවා රංගන ක්ෂේත්‍රයේ මම ලබපු අත්දැකීම් අනිත් අයත් එක්ක බෙදාගන්න. රංගනයට කැමති ක්ෂේත්‍රයට එන්න ඉන්න නවක රංගන ශිල්පීන්ට ඔවුන්ගේ ශිල්පීය දක්ෂතා දියුණු කරගන්න වැඩමුළු පවත්වන්න බලාපොරොත්තුවක් තියෙනවා. මීට කලින් කීප තැනක දෙක තුනක් කළා.