සමහරු හිතුවේ සරසවිය ජනප්‍රිය සම්මාන තෝරන්නේ කර්තෘට ඕනෑ විදිහට කියලා

-ඒ.ඩී. රන්ජිත් කුමාර
අප්‍රේල් 22, 2021

 

මෙරට සිනමා උන්මාදය හිණිපෙත්තටම ගිය සමයේ ඒ හා සමාන්තරව බිහිවුණු සිනමා පුවත්පත් කලාව වටාද එකල සිනමා ප්‍රේක්ෂකයෝ රොද බැඳගත්හ. සිනමාකරුවන්, රංගන ශිල්පීන් හා උරෙනුර ගැටෙමින් ඔවුන් හා කළ සංවාද, විවාද විවේචන පත්තරේක අච්චු අකුරු බවට පත් කළ සිනමා පුවත්පත් රචකයන් බොහෝය. ජීවිතේ වැඩි කාලයක් කන්තෝරු කාමරයක අච්චු අකුරු අතර ජීවත් වෙමින් මෙරට සිනමාව නඟාසිටුවන්නට පන්හිඳෙන් ඔවුන් කළ සේවය ප්‍රශංසනීයය. එවකට සිනමා පුවත්පත්වල වැඩි වශයෙන් පළවුණු නමක් ඇත. ඒ.ඩී. රන්ජිත් කුමාර යන නම එදත් අදත් සිනමා පාඨකයන්ට නුහුරු නුපුරුදු නැත. වසර විස්සක කාලයක් සරසවිය පුවත්පතේ මාධ්‍යවේදියෙකු වශයෙන් ද වසර පහක කාලයක් සරසවිය පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වශයෙන් ද සේවය කළ ඔහුගෙන් අතීතය ගැන අසන්නට දෑ බොහෝය. මේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ.ඩී. රන්ජිත් කුමාර මහතා සමඟ අප කළ සංවාදයයි.

 

කලා පුවත්පත් බලන්න පටන් ගත්තේ කොයි කාලේද?

මට බහතෝරන කාලේ ඉඳලාම ආසාව තිබුණේ සිනමා පුවත්පත් කලාවට තමයි. මම සිනමා පත්තර කියවන්න පටන් ගත්තේ අවුරුදු හතේ ඉඳලා. ඒකට හේතුව මගේ තාත්තට ග්‍රෑන්ඩ්පාස්වල කොසගස් හන්දියේ තිබුණා මුද්‍රණාලයක්. එතන තාත්තා සිනමා සඟරාවක් මුද්‍රණය කළා "නිළිය" කියලා. චිත්‍රපටි ගැන විවේචන, නළු නිළියෝ ගැන ඔක්කොම කවියෙන් තමයි පත්තරේ පළවුණේ. ඒ 1953දී. ඒක සංස්කරණය කළේ කොබ්බෑවල රණසිංහ කියලා මහත්තයෙක්. පොඩි කාලේ ඉඳලාම මම අපේ මුද්‍රණාලය මැෂින්වල එන තීන්ත සුවඳට, කඩදාසිවලට, පින්තූරවලට ආදරේ කරන්න පටන් ගත්තා. මම තව ටිකක් ලොකු වෙද්දි චිත්‍රපටි කියලා සඟරාවක් මුද්‍රණය කළා. ඒක සංස්කරණය කළේ පසුව චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වුණ ධර්මශ්‍රී කල්දේරා. මේ පත්තරේ සම්පූර්ණයෙන්ම චිත්‍රපටි ගැන තොරතුරු ගියේ. ලංකාවේ විතරක් නෙමේ ඉන්දියාවේ, ලෝකෙ නළු නිළියන්ගෙ තොරතුරු ඔක්කොම පත්තරේ පළවුණා. මම ඒ පත්තරේට පින්තූර කපල එහෙම දෙනවා. හවසට අපේ ගෙදර මේසේ වටේ ඉඳගෙන පින්තූර කපනවා. ලිපි ලියනවා. අම්මා ආර්ටිකල් නැවත ලියලා දෙනවා. මාමා චිත්‍ර ඇඳලා දෙනවා. ඒ වගේ පරිසරයක තමයි මම හැදුණේ.

 

කලා පුවත්පතකට ලිව්වේ කොයි කාලෙද?

කොළඹ ආනන්දයේ ඉස්කෝලේ යන කාලෙත් මගේ මූලික ආසාව තිබුණේ පත්තර කලාව පැත්තට යොමු වෙන්න. ඉස්කෝලේදි මම තව හතර දෙනෙක් එක්ක පත්තරයක් මුද්‍රණය කළා "සෙවණ" කියලා. ඒකේ එක සංස්කාරකවරයෙක් තමයි සම්මානනීය චිත්‍රපට නිෂ්පාදකවරයෙක් සහ ගීත රචකයෙක් වන කුලරත්න ආරියවංශ. අපි එකතුවෙලා කොළඹ පාසල්වල ළමයින්ගේ ලිපි, කවි එකතු කරලා තමයි ඒ පත්තරේ මුද්‍රණය කළේ. ඒ වගේම ආනන්දේ ඉද්දි මම "සිසු පුබුදුව" කියලා සඟරාවකුත් කළා. මේ කාලෙම තමයි සිනමාවට ආදරයක් ආසාවක් ඇති වුණේ. 1966 දී අපි "බෙර" කියලා වාර්තා චිත්‍රපටියක් ආනන්ද විද්‍යාලයේදී කළා. ප්‍රේමකීර්ති ද අල්විස්, රංජිත් ලාල්, ඩිල්මන් ජයරත්න තමයි මගේ සගයෝ වුණේ. අපිට ඒ කාලේ ලොකු උණක් තිබුණා සිනමාහල්වල පෙන්වන චිත්‍රපටයක් කරන්න. ඒක හිතාගන්නවත් බැරි දෙයක්. ඒ කාලේ හැටියට චිත්‍රපටයක් හදන්න ලක්ෂ තුනක්වත් යනවා. ඒ 1967දී විතර. අපි කොහොමහරි චිත්‍රපටයක් කළා. මගේ මිත්‍රයා රංජිත් ලාල් අධ්‍යක්ෂණය සහ සංගීතය කළේ. ඒ චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය සහ ප්‍රචාරක වැඩ සැලසුම් කළේ මම. පොඩි කාලේ ඉඳලාම නළු නිළියෝ දැනගෙන හිටපු නිසා නළු නිළියෝ එකතු කරගෙන කොහොමහරි චිත්‍රපටයක් කළා. 1970 නොවැම්බර් 18 වැනිදා චිත්‍රපටය ලංකාවේ සිනමාහල් 12ක ප්‍රදර්ශනය කළා. චිත්‍රපටයේ නම "නිම්වළල්ල". ඒක තමයි ලංකාවේ පාසල් ළමයි හදපු පළවෙනි වෘත්තාන්ත චිත්‍රපටය. ඒ කාලේ අපි කැමරාව අරගෙන එහෙ මෙහෙ දුවනකොට ගොඩක් අය අපිට හිනා වුණා. ඒත් අපි කොහොමහරි චිත්‍රපටය හැදුවා.

 

"කලා" පුවත්පතට ගියේ කොයි කාලේද?

මල්ලිකා කහවිට කියලා ප්‍රසිද්ධ ගායිකාවක් හිටියා. ඇය මගේ තාත්තගේ හිතවතෙක්. එයා විවාහ වෙලා හිටියේ සිනමාස් සමාගමෙන් කෙරුණු කලා පුවත්පතේ කර්තෘ ආරියරත්න කහවිට එක්ක. මම චිත්‍රපටි ගැන නළු නිළියෝ ගැන විවිධ ලිපි ලියනවා. දවසක් මම ඇයට ඒ ගැන කිව්වාම ඇගේ සැමියාට ඒ ගැන කියලා පහුවෙනිදාම මට සිනමාස් සමාගමට එන්න කියලා කිව්වා. ආරියරත්න කහවිට තමයි මට මුලින්ම කලා පුවත්පතේ ලියන්න අවස්ථාව ලබාදුන්නේ. කලා පුවත්පතේ වැඩ කරද්දි රංගන ශිල්පීන් ගොඩක් එක්ක වැඩ කරන්න මට ලැබුණා. මේ කාලේදී මම බලපු නාට්‍යයක හිටියා සමන් බොකලවෙල කියලා නළුවෙක්. ඔහු පසුව සිංහයාටත් රගපෑවා. මම ඔහු ගැන ලිපියක් ලියලා ආතර් යූ. අමරසේන මහත්තයාගේ විසිතුර පුවත්පතට තැපැල් කළා. ඒ ලිපිය පහුවෙනි සතියේම 

පළවෙලා තිබුණා. මමයි මගේ මිත්‍රයා කුලරත්න ආරියවංශයි ඒකට ඔහුට ස්තූතියි කරන්න විසිතුර පත්තරේට ගියාම අමරසේන මහත්තයා අපි දෙන්නාටම දිගටම ලියන්න කිව්වා. ඉස්කෝලේ යන කාලේම කලා පුවත්පත්වල ලියන්න පටන්ගත්තේ එහෙම. ආරියරත්න කහවිට මහත්තයායි, ආතර් යූ. අමරසේන මහත්තයයි මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.

 

සරසවිය පුවත්පත එක්ක තියෙන මතකය ගැන කිව්වොත්?

1963දී සරසවිය කියලා පත්තරයක් මුද්‍රණය කරන්න පටන් ගත්තා ලේක්හවුස් එකෙන්. මම හරිම ආසයි පත්තරේට. ඒ කාලේ ඉඳලාම පත්තරේ එකතු කළා. 1964 සරසවිය පළමු වැනි සම්මාන උළෙල පැවැත්වුණා. ඒක තිබුණේ අපේ ගෙදර පිටිපස්සේ සිනමාහලේ. ප්‍රින්ස් ඔෆ් වේල්ස් එකේ අශෝකා සිනමාහලේ. සම්මාන උලෙළට සමගාමීව පාඨක ඡන්දයෙන් දිනපු චිත්‍රපට හතක් තිරගත කළා. අපි ඔක්කොම ඒ හැම චිත්‍රපටයක්ම බැලුවා. සම්මාන උලෙළේදි රතු පළස දෙපැත්තෙන් අපි ඉඳලා ඒකෙන් යන නළු නිළියන්ගේ අතින් අල්ලනවා. අපිට කොහොමහරි සම්මාන උලෙළටත් යන්න ඕනේ වුණා. මගේ හිතවතෙක් හිටියා කරුණාරත්න සපුතන්ත්‍රි. ඔහු පදිංචි වෙලා හිටියේ අශෝක සිනමාහල අවට. ඔහු එකේ මැනේජර් එක්ක කතා කරලා මට ශීට් එකක් දුන්නා. ගැලරියේ ඉස්සරහාම ඉඳලයි සම්මාන උලෙළ බලන්න වුණේ. මම තමයි පළවෙනි සරසවිය සම්මාන උලෙළ ඉස්සරහම ඉඳගෙන බලපු මිනිහා. එතකොට මට හිතුණා කවදහරි දවසක සරසවිය පත්තරේ තමයි මගේ රැකියාව කරන්න ඕනේ කියලා.

 

සරසවියේ ලියන්න පටන් ගත්තේ කොයි කාලේද?

මට අවස්ථාවක් ලැබුණා රංජිත් විජේවර්ධන මහත්තයා මුණගැහෙන්න. ඔහුට කිව්වාම මම පුවත්පත්වලට ලියන්න කැමතියි කියලා මාව දිනමිණ පුවත්පතට දැම්මා. මම කිව්වා මට සරසවිය පත්තරේට ලියන්න ඕනේ කියලා. මම අරගෙන ගියා මම කලා සඟරාවේ, විසිතුරු සඟරාවේ ලියපු ලිපි. ඒවා බලලා විඡේවර්ධන මහත්තයා මාව සරසවියට දැම්මා. ඒ 1969දී. එතකොට පත්තරේ කර්තෘ තුමා විමලසිරි පෙරේරා. ඔහු මට කිව්වා සත්‍යජිත් රායි ලංකාවට ඇවිල්ල කියල හිතාගෙන මගෙන් ප්‍රශ්න අහන්න කියලා. රායි මගේ ප්‍රියතම අධ්‍යක්ෂවරයෙක් නිසා මගේ හිතේ තිබුණු ඔක්කොම ප්‍රශ්න ටික ඇහුවා. ඊටපස්සේ විමලසිරි මහත්තයා කිව්වා "මමවත් ඔහොම චිත්‍රපටි ගැන අහන්නේ නෑනේ" කියලා. එතැන් සිට මම සරසවිය පත්තරේට ලියන්න ගත්තා. මම සරසවිය පුවත්පතේ අවුරුදු 25ක් හිටියා. 1994 වෙනකන් සේවය කළා. 1989 ඉඳලා අවුරුදු පහක් ප්‍රධාන කර්තෘ ධුරය හෙබවූවා. සරසවිය සිනමා සම්මාන උලෙළවල් දාහතකට සම්බන්ධ වුණා.

 

පුවත්පත් කලාවේදී ඔබට ගුරුහරුකම් දුන්න ජ්‍යෙෂ්ඨයන් කවුද?

මම ගොඩක් දුරට පුවත්පත් කියවලා තමයි ලියන්න ඉගෙනගත්තේ. සරසවිය පත්තරේ නියෝජ්‍ය කර්තෘ ලක්ෂ්මන් වික්‍රමසිංහ මහත්තයා තමයි මගේ ගුරුන්නාන්සේ. නිමල් පෙරේරා අබේවර්ධන මහත්තයාත් මගේ ගුරුවරයෙක්. ඒ වගේම සෝමවීර සේනානායක. මේ තුන්දෙන තමයි මට ලිපි ලියන හැටි, හෙඩ්ලයින් දාන හැටි කියලා දුන්නේ. අන්තිමටම මට පිටු හදන වැඩෙත් භාරවුණා. 1972දී සරසවිය පත්තරේ එක්ලක්ෂ පහලොස්දාහක් අළෙවි වුණා. ඒ කාලේ හැමදාම කර්තෘ මහත්තයා මට තමයි මැද පිටුව ලියන්න දුන්නේ. ඒ කාලේ තිබුණු ඔක්කොම කලා පුවත්පත් අබිබවා සරසවිය පුවත්පත මිනිස්සු අතර ජනප්‍රිය වුණා.

 

සරසවියෙන් පසුව ඔබේ නවාතැන?

1994දී මාව යොවුන් ජනතා පත්තරේ කර්තෘ කළා. ඉන්පසුව ලක්බිම පත්තරෙයි සරසි පත්තරෙයි කරන්න භාරදුන්නා සුමතිපාල මහත්තයා. මම ඒ වසරේදීම ටෙලි සම්මාන උලෙළක් ආරම්භ කළා. ඒ සුමති සම්මාන උලෙළ. ඒක තමයි ලංකාවේ පත්තරයකින් කරපු පළමුවෙනි ටෙලි සම්මාන උලෙළ.

 

වෘත්තිය ජීවිතයේදී සමීපව ඇසුරු කරපු කලාකාරයෝ කවුද?

ඒක ඉතා දිගු ලැයිස්තුවකට පෙළගස්වන්න පුළුවන්. මම ළඟින්ම ආශ්‍රය කළ කලාකරුවන් අතර ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, විජය කුමාරතුංග, ටෝනි රණසිංහ, ලෙස්ටර් ජේම්ස් පීරිස්, ටයිටස් තොටවත්ත මුල් කාලයේ ළඟින් ඇසුරු කළා. පසුව රවීන්ද්‍ර රන්දෙණිය, මාලිනී ෆොන්සේකා මගේ සමීප මිත්‍රයෝ වුණා. කලාකරුවන් බොහෝමයක් මගේ පෞද්ගලික මිත්‍රයෝ වුණා.

 

ඒ කාලේ රංගන ශිල්පීන්ගේ ප්‍රතිරූපය රැඳීලා තිබුණේ කලා පුවත්පත් රචකයෝ අතේ නේද?

ඔව්. ඒත් මම කවදාවත් කිසිම රංගන ශිල්පියෙක්ගේ ප්‍රතිරූපය විනාශ වෙන විදිහට ලියලා නැහැ. රංගන ශිල්පීන් එකිනෙකාට තරහ වෙන විදිහට ලියල නැහැ. මම ගාමිණී ගොන්සේකායි ජෝ අබේවික්‍රමවයි සමගි කළා. වික්ටර් රත්නායක සහ සනත් නන්දසිරි නැවත යාළු කළා. කලා ශිල්පීන්ට යහපතක් කළා මිසක් කාගේවත් ප්‍රතිරූප මම විනාශ කළේ නැහැ.

 

ඔබේ සිනමා වීරයා කවුද?

මගේ වීරයා ගාමිණී ෆොන්සේකා.

 

නිළියකට ආදරේ කරන්න හිතුණේ නැද්ද?

කවදාවත් නිළියකට ආදරේ කරන්න හිතුණේ නැහැ. හැබැයි මම පොඩි කාලේ ඉඳලා දන්න කෙනෙක්ව නිළියක් කරන්න මම දායක වුණා. ඒ ස්වර්ණා මල්ලවාරච්චි. ස්වර්ණාත් අපේ ගමේමයි. අපේ මිතුරු හමුවකුත් තිබුණා පොඩි කාලේ. ඒ කාලේ අපේ වීරයෝ වුණේ නළු නිළියෝ නෙමෙයි ලේඛකයෝ. සරච්චන්ද්‍ර, වික්‍රමසිංහ, ගුණදාස අමරසේකර වගේ අය. විසිතුර පත්තරේ සිරි ගුනසිංහගේ චිත්‍රපටියකට නළු නිළියන් තෝරනවා කියලා පුවතක් පළවෙලා තිබ්බා. ස්වර්ණා ඒකට ඉල්ලුම් පත්‍රයක් දැම්මේ සිරි ගුනසිංහව බලලා එන්න. එතනදී එයාව චිත්‍රපටයට තෝරාගත්තා. මම ආඩම්බර වෙනවා එකට කාපු බීපු චිත්‍රපට බලපු කෙනෙක් අද ඉන්න තැන ගැන.

 

මාධ්‍යවේදියෙක් විදිහට කටයුතු කරද්දි මුහුණ පෑ අර්බුද මොනවද?

අපිට ගොඩක් චෝදනා ආවේ සරසවිය සම්මාන උලෙළේ ජනප්‍රිය සම්මානවලට. ඒ කාලේ සමහරු හිතුවේ ජනප්‍රිය සම්මාන තෝරන්නේ කර්තෘට ඕනෑ විදිහට කියලා. නමුත් ජනප්‍රිය සම්මාන අපි තෝරන්නෙ ලේක්හවුස් ආයතනයේ බෙදාහැරීම් අංශයත් සමඟ එකතුවෙලා විනිවිදභාවයකින් යුක්තව. මම කර්තෘ වෙලා ඉන්න කාලේ ආපු ලොකුම අර්බුදය ඒක.

 

ඔබ පසු පරම්පරාවක් හැදුවා නේද?

ඔව්. අරුණ ගුණරත්න, සුනිල් මිහිඳුකුල, දයාන් විතාරණ, කල්‍යාණ චන්ද්‍රසේකර, අතුල උපසිරි කල්දෙමුල්ල වගේ හොඳ පරම්පරාවක් හදන්න මම වෙහෙසුණා.

 

වර්තමානයේ පළවන කලා පුවත්පත් ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන්ද?

අපි හිටියේ සිනමාවේ ස්වර්ණමය යුගයේ. සිනමාවේ ස්වර්ණමය යුගය කියන්නේ සිනමා පුවත්පත්වල ස්වර්ණමය යුගය. දැන් හැම පත්තරේකම ටැබ්ලොයිඩ් එකක් ගහනවා. සෑම දිනපතා පුවත්පතකම සිනමා පිටුවක් තියෙනවා. ඒ නිසා මේ හැම එකකම ලියවෙන්නේ එකම දේ. ඒ කාලේ ගොඩක් චිත්‍රපටි හැදුණා. අතීතයේ ලොකු සිනමා ප්‍රබෝධයක් තිබුණා. අද එහෙම නැහැ. අද මිනිස්සු හුදෙකලා වෙලා. ප්‍රේක්ෂකයෝ සිනමාහල්වලට එන සංස්කෘතිය ගිලිහිලා. ඒ අය චිත්‍රපටය ටීවී එකෙන් හෝ ඩීවීඩී එකෙන් බලන්න බලාගෙන ඉන්න. එහෙව් ප්‍රේක්ෂකයන් සල්ලි දීලා කලා පත්තරයක් ගනීවී කියලා විශ්වාස කරන්න බැහැ. ඒ වගේම සිනමා නිර්මාණ හැදෙන්නේ අඩුවෙන්. කලා පත්තරවල ලියවෙන්නේ එකම දේවල් ටික.

 

තරුණ මාධ්‍යවේදීන්ට ඔබට යමක් කියන්න ඇති?

ඉතා යහපත්ව, ප්‍රතිරූප බිඳීන එකෙන් වැළකිලා, කීපදෙනෙකුට විතරක් සලකන පත්තර කලාවක් නැතුව හැම කලාකරුවෙකුටම අගයක් දෙන්න පුළුවන් පත්තර කලාවක් ඇති වුණොත් සිනමා පුවත්පත් කලාවට අනාගතයක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න තරුණ පරම්පරාවට මට කියන්න තියෙන්නේ දැනුම්වත් වෙන්න, බොහෝ ඇසූ පිරූ තැන් ඇති අය බවට පත් වෙන්න. සිනමාව ගැන ලියනවා නම් ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ සිනමාව දැකලා තියෙන්න ඕනේ. දැනුමෙන් සන්නද්ධ නොවන තාක්කල් මාධ්‍යවේදියෙකුගේ පැවැත්ම අඩුවෙනවා කියලා මම විශ්වාස කරනවා. අලුත් අයට ක්ෂේත්‍රයේ හොඳ අවස්ථා තියෙනවා. අපේ කාලෙට වඩා දැන් හැමදෙයක්ම දියුණුයි. මේ සියලු තාක්ෂණය භාවිතා කරලා දැනුම එකතු කරලා ලිව්වොත් අනාගතය පැහැදිලියි.

 

මාලන් කරුණාරත්න