පෙරේරා-සිල්වා- කොස්තාගේ රටේ සිනමා ජූරියට ගිය ධනුෂ්ක ගුණතිලක

අගෝස්තු 12, 2021

 

ඇවන්කා අන්තර්ජාතික සිනමා උලෙළ 25 වෙනි වරටත් නිමාව දුටු බවට පසුගියදා අන්තර්ජාලය ඔස්සේ අපට දැනගන්නට ලැබුණා. පෘතුගාලයේ ලිස්බන් නුවර සිට කිලෝ මීටර 270 කට මඳක් වැඩිවෙන්නට උතුරු දෙසට යද්දී මේ ඇවන්කා කුඩා නගරය හමු වෙනවා. වෙරළාසන්න සෞන්දර්යට මඳක් බරව සන්සුන්ව දිවි ගෙවන කුඩා ජන කොට්ටාසයක් කේන්ද්‍ර කරගෙන මේ අපූර්ව සිනමා උලෙළ අන්තර්ජාතික මට්ටමින් පැවැත්වෙනවා. අන්තර්ජාතික සිනමා වේදිකාවන්වල නිබඳව වැඩ කරමින් අත්දැකීම් ලබා ගන්නා ප්‍රවීණ සිනමා කැමරා ශිල්පී ධනුෂ්ක ගුණතිලක මේ සිනමා උලෙළේ ප්‍රධාන ජූරියට ‌තෝරාගෙන බව අපට වාර්තා වුනා. ජූලි 23 සිට අගෝස්තු 1 දක්වා මේ උලෙළ පැවැත් වුණා.

තණ්හා රතී රඟා, ගින්නෙන් උපන් සීතල, සුපර්ණා ආදී චිත්‍රපටවල කැමරා අධ්‍යක්ෂවරයා වූයේ ඔහු. එමෙන්ම තවමත් මෙරට තිරගත නොවුණු අමාවකයි, කවුරුත් දන්නේ නෑ චිත්‍රපට ද්විත්වයට කැමරාවෙන් දායක වූයේත් ධනුෂ්කයි. මේ වකවානුවේ එස්තෝනියාවේ දිවි ගෙවමින් යුරෝපයේ නිර්මාණවලට දායක වෙමින් සිටින අතර ඔහු පෘතුගාලයට ගොස් තිබෙනවා. අන්තර්ජාතික සිනමා ජූරි කිහිපයකම කටයුතු කිරීමට මීට පෙරත් ඔහුට වරම් ලැබුණා. ඇවන්කා නගරයේ සිටියදීම මේ අවස්ථාව ගැන සහ පරංගි රටේ තතු දැන ගැනීමට මට ඔහුව සම්මුඛ කරගන්නට හැකිවුණා. මේ පෘතුගාලයේදී නිමාව දුටු 25 වෙනි ඇවන්කා අන්තර්ජාතික සිනමා උළෙල ගැන ධනුෂ්ක පැවසූ අදහස්.

 

ධනුෂ්ක, පෘතුගාලෙට ගියා කියන්නේ ගම රට බලා ගියා වගේ ඇති නේද?

ඇත්තෙන්ම ඒක වෙනස් හැඟීමක්. මම ලිස්බන් ගුවන් තොටෙන් බැහැලා ඇවන්කා ප්‍රදේශයට යනකල් මට උදවු කළේ මඟ තොටේ හමුවුණේ පෙරේරලා සිල්වාලා කොස්තලා. අනික අපේ රටේ තියෙන ආගන්තුක සත්කාරය ගැන තියෙන හැඟීම ඔවුන්ටත් තියෙනවා. වෙන යුරෝපීය රටවල වගේ නෙවෙයි. අනික මගේ වාසගමේ තියෙනවා මෙස්ටියගේ කියලා නමක්. ඒ නම පවා පෘතුගීසි මුල් සහිත නමක්.

 

හොඳයි. ඇවන්කා උලෙළට ප්‍රවේශ වන්න ඔබට ආරාධනාව ලැබුණේ කොහොමද?

මම දැන් වසර කිහිපයකට පෙර ආසියානු සාම සිනමා උලෙළට සහභාගි වුණා. ජූරි සභිකයෙක් හැටියට. ඒක තිබුණේ පකිස්තානයේ. එහිදී මට හඳුනාගන්න ලැබුණා මේ උලෙළේ සංවිධායකයෙක් වුණු අන්තෝනියෝ කොස්තා වැලන්ටිනෝව. ඔහුත් ජූරියක් නියෝජනය කළා. මම එස්තෝනියාවේ ඉද්දි අන්තෝනියෝ තමයි මට ආරාධනා කළේ උලෙළට සහභාගි වෙන්න කියලා.

 

ඇත්තටම ඇවන්කා උලෙළ මොන වගේ උලෙළක්ද?

ඇත්තටම ඇවන්කා නගරයක් හැටියට හඳුනා ගත්තට මේක ගමක්. බොහොම සුන්දරයි. විශාල ජනගහනයක් නැහැ. මට ලංකාවේ දකින්න ලැබුණු සමහර දේවල් මම මේ ගම ඇතුළේ දැක්කා. උදාහරණයක් හැටියට සිංහල උළු සහිත වහලවල්. ඒවා මෙහෙ හැමතැනම තිබුණා. මේ ගමේ ලැගුම්හල් හෝටල් වගේ දේවල් තිබුණේ නැහැ. මට ඒවා ලැබුණේ ආසන්න නගරයකින්. මේ සිනමා උලෙළ වසන්ත කාලය නිසා මේ ගම ආශ්‍රිත කලාපයේ ජනකාය එකතුවෙන ප්‍රධාන සංස්කෘතික උත්සවය. ඒ නිසා මේ උලෙළ මෙහෙ මිනිස්සුන්ගේ ජිවිතයට බද්ද වුණු දෙයක්. වසර 25ක් තිස්සේ පැවැත්වුණත් මේ උලෙළ අන්තර්ජාතික ඒ ශ්‍රේණිය ලත් සිනමා උලෙළක් නෙවෙයි. ඔවුන් මේ උලෙළ පුළුල් නොකරන්නේත් මේ ගම කියන සාධකය නිසා. මොකද ගමේ උත්සවය ගමේ එකක් වනවා මිස කාලයාගේ අවෑමෙන් මේක තවත් කෙනෙකුගේ ලොකු උත්සවයක් වීම වළක්වලා තිබෙනවා. අනෙක මේ වැඩේට පෘතුගාල රජය පවා උදවු කරනවා. ඇවේරියන් විශ්වවිද්‍යාලය තමයි ඔවුන්ගේ ප්‍රධාන සහයකයෙක් වන්නේ.

 

එතකොට මේ වගේ ගමේ උත්සවයක් අන්තර්ජාතික වශයෙන් පවත්වාගෙන යාමේ ව්‍යුහය මොකක්ද?

ඒක හරි වැදගත් තැනක්. අනෙක් අන්තර්ජාතික සිනමා උලෙළවල වගේ ඇවන්කා උලෙළත් විදෙස් රටවල නිර්මාණකරුවන්ගේ නිර්මාණ බාර ගන්නවා. ඊට අමතරව යුරෝපයේ හොඳම චිත්‍රපට ගෙන්වා ගෙන ප්‍රදර්ශනය කිරීමත් ආරාධනා කොට ඛාණ්ඩවලට ඇතුළත් කිරීමත් ඔවුන් සිදු කරනවා. බොහෝ විට දකින දෙයක් තමයි යුරෝපයේ හොඳම චිත්‍රපට මේ උලෙළේ ප්‍රදර්ශනය වීම. අනෙක් පැත්තෙන් මේ උලෙළේ සම්මාන ප්‍රධානය සිද්ධ වෙන්නේ සම්‍ප්‍රදායික උලෙළ ආකාරයෙන් නෙවෙයි. මේ වසරේ සම්මාන ලබා ගන්නේ ගිය වසරේ ජයග්‍රාහකයින්. එතකොට මේ වසරේ ජයග්‍රාහකයින් උලෙළේ අවසන් දවසේ නිවේදනය වෙනවා. ඔවුන් ලබන වසරේ උලෙළ‌ට එනවා ඔවුන්ට හිමි සම්මානය ලබා ගන්න. තවත් දෙයක් තමයි ඒ ජයග්‍රාහකයන් අතරින් කිහිප දෙනෙක් ලබන වසරේ ජූරියටත් ආරාධනා ලබනවා.

 

ඔබට නියෝජනය කරන්න ලැබෙන්නේ උලෙළේ මොන ජූරි කාණ්ඩයටද?

 

ජූරි කාණ්ඩ කිහිපයක් තිබුණා. එකක් වාර්තා චිත්‍රපට සඳහා වෙන් වූ ජූරිය. ඇනිමේෂන් එහෙමත් නැත්නම් ත්‍රිමාන චිත්‍රපට සඳහා වෙනම ජූරියක් තිබුණා. පෘතුගාල සිනමාපට සඳහා ජූරියකුත් අන්තර්ජාතික සිනමාපට සඳහා තවත් ජූරියකුත් තිබුණා. මට නියෝජනය කරන්න වරම් ලැබුණේ අන්තර්ජාතික ජූරිය.

 

ඔබ කැමරා අධ්‍යක්ෂණය කළ 'අමාවකයි' චිත්‍රපටය පෘතුගාලයේදී සම්මානයට පාත්‍ර වුණා නේද?

ඔව්. අමාවකයි අධ්‍යක්ෂණය කළේ විජිත ගුණරත්න. 2017 දී අමාවකයි චිත්‍රපටය පෘතුගාල උලෙළක සම්මානයට පාත්‍ර වුණා. ඒ නිසා විජිතට අවස්ථාව ලැබෙනවා 2018 දී එම උලෙළේ ජූරියට එන්න. පෘතුගාලයේ මුලින්ම සිනමා ජූරියකට එන්නේ විජිත. ඊට පසුව තමයි 2021 මට මේ අවස්ථාව ලැබෙන්නේ.

 

ඔබේ අනෙක් ජූරි සගයන් කවුද?

පෘතුගාල ජාතික කාලෝස් ෆ්‍රැගටෙයිරෝ තමයි ජූරියේ සභාපති. ස්පාඥ්ඥය, පෘතුගාලය සහ කේප් වර්ඩි රටවලින් තමයි අනෙක් සභිකයන් චිත්‍රපට විනිශ්චයට එකතු වු‌ණේ.

 

විනිශ්චය කළ චිත්‍රපටවල විශේෂත්වයක් දැක්කද?

ඉතා හොඳ චිත්‍රපට කිහිපයක් දැක්කා. ස්විට්සර්ලන්තය, හංගේරියාව, රුසියාව වගේ රටවලින් හොඳ චිත්‍රපට ඇවිත් තිබුණා. මං දැක්කා ඉතා හොඳ චිත්‍රපටයක් රුසියාවෙන් ආපු. එකේ කතාව මට ඉතාම ඉන්ට්‍රෙස්ටින්. ඩාර්ක් කොමඩි ශානරයට අයත් චිත්‍රපටයක් කියල ඒක හඳුන්වන්න පුළුවන්. චිත්‍රපටයේ නම 'දි එන්ඩ්'. එකේදී කියැවෙන්නේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් සිනමාපටයක් හදන්න දරන උත්සහයක් ගැන. මුදල් ගැනම හිතන නිෂ්පාදකයෙක් ඉන්නා අතර ඒ මුදල් ගැනම හිතන ප්‍රධාන නිළියකුත් මේ චිත්‍රපටයේ ඉන්නවා. අධ්‍යක්ෂවරයා මේ දේවල් ගැන කලකිරිලා තමන්ට මොන විදිහේ චිත්‍රපටයක්ද අවශ්‍ය කියන උභතෝකෝටිකයේ ඉන්නකොට එක්තරා තැනැත්තියක් ඔහුට කියල දෙනවා එක එක සම්මාන උලෙළට අවශ්‍ය විදිහට ඔහුගේ කතාවෙන් චිත්‍රපටය හදන විදිහ. ඔස්කාර්වලට එක විදිහක්. කාන්ස්වල එක විදිහක්. බර්ලින් යද්දී තව විදිහක්. ඒ දර්ශන බොහොම උපහාසයෙන් මවපු එකක්. එක්තරා දර්ශනයක් රූපගත කිරීමක් යද්දී ඔහු ඇක්ෂන් කියනවා. ඒත් කට් කියන්නේ නැති තැන වටපිටාවේ අය ඔහු දිහා බලද්දී ඔහු දර්ශන තලයෙන් පැනල ගිහින්. ඊට පස්සේ මැර බලය හිමි නිෂ්පාදකවරයා ඔහුව හඹාගෙන යනවා. සම්ප්‍රදායික රුසියානු ශෛලිය මම මේ චිත්‍රපටයෙනුත් දැක්කා.

ධනුෂ්ක සහ මගේ කතා බහ අවසන් වෙද්දී මම සිතුවේ ඇවන්කා ආකෘතියේ සිනමා උලෙළක් ලංකාවේ පැවැත්වීමට ඇති නොහැකියාව කුමක්ද යන්නයි. ඇවන්කා ගමට වඩා බොහෝ සාධක අපට තිබුණත් එවැනි දේ නොවීම සම්බන්ධයෙන් විග්‍රහ කිරීම සඳහා අපි වචන නාස්ති නොකර සිටිමු. එවැනි පරිසරයක සිනමා උත්සවයක් ලංකාවේ පැවැත්වේ නම් එය විය හැකි අන්දම ඔබ සිතේ මවාගන්න.