මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවතී

අප්‍රේල් 28, 2022

කණ්ණඩ සිනමා නිර්මාණයකින් රිදී තිරයට පැමිණි රකූල් ප්‍රීත් සිං මේ වන විට බොලිවුඩයේ උද්යෝගයෙන් රංගන කටයුතුවල නිරත නිළියක ලෙසින් ප්‍රකටය. තෙළිඟු සහ දෙමළ සිනමා නිර්මාණ කිහිපයකට දායක වීමෙන් අනතුරුව ඇය බොලිවුඩයට පිවිසියේ යාරියාන් (2014) චිත්‍රපටයෙනි. ඇය රංගන දිවියේ සාර්ථකත්වය ලැබුවේ දෙ දෙ ප්‍යාර් (2019) චිත්‍රපටයෙනි. ඇටෑක් චිත්‍රපටයේ පළමු කොටස සමඟ මේ වසරේදී ඇයගේ චිත්‍රපට හතක් නිකුත් වීමට නියමිතව ඇත. ඒ අතරින් රනවේ 34 චිත්‍රපටය සුවිශේෂ බව රකුල් පවසන්නීය. රනවේ 34 චිත්‍රපටය සත්‍ය සිදුවීමක් පාදකකොට ගෙන නිර්මාණය වූ චිත්‍රපටයකි. එහි ඇය පණ පොවන්නේ සහය ගුවන් නියමුවරිකගේ චරිතයකටය. ඇය සන්නද්ධ හමුදා නිල ඇඳුමෙන් පෙනී සිටින පළමු අවස්ථාව මෙය වේ.

රකූල්ගේ පියා කුල්වින්දර් සිං ඉන්දීය හමුදාවේ විශ්‍රාමික කර්නල්වරයෙකු වේ. "නිල ඇඳුමක් ගෙන එන්නේ අභිමානයක්. මම හැදී වැඩුණේ නිල ඇඳුමින් සැරසුණු අය සමඟින්. ඒ වගේම මම චිත්‍රපටයක නිල ඇඳුමක් හැඳ සිටිනවා දකින්න මගේ දෙමාපියන් කැමතියි. තාත්තා හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙක් නිසා මේ චිත්‍රපටය ගැන තාත්තාගේ විචාරය විශේෂයි" ඇය පවසන්නීය. අමිතාබ් බච්චන් සහ අජේ දේව්ගන්, බෝමන් ඉරානි ද මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වී සිටිති.