ෂෙට්ටිගේ පොලිස් බළකායට තවත් වීරයෙක්

අප්‍රේල් 28, 2022

හොලිවුඩයේ මාවල් සිනමැටික් යුනිවර්ස් සහ ඩීසි එක්ස්ටෙන්ඩඩ් යුනිවර්ස් මෙන් දැන් බොලිවුඩයේ තිබෙන්නේ ෂෙට්ටීස් පොලිස් යුනිවර්ස් හෙවත් ෂෙට්ටිගේ පොලිස් බළකායයි. රෝහිත් පොලිස් වීරයන්ගේ චිත්‍රපට ආරම්භ කළේ අජේ දෙව්ගන් සමඟ 'සිංහම්' චිත්‍රපටයෙනි. එහි දිගුවක් වූයේ රංවීර් සිං පොලිස් වීරයා වූ 'සිම්බා' චිත්‍රපටයයි. අනතුරුව අක්ෂේ කුමාර් පැමිණියේ නියෝජ්‍ය පොලිස් කොමසාරිස් වීර් සූරියවංශි ලෙසය. රෝහිත් 'සූර්යවංශි' පිළිබඳ ඉඟිය දුන්නේ 'සිම්බා' චිත්‍රපටයේ අවසානයේදීය. ෂෙට්ටිගේ මෙම පොලිස් බළකායට එක් වන අලුත්ම පොලිස් වීරයාගේ චරිතයට පණ පොවන්නේ සිද්ධාර්ත් මල්හෝත්‍රාය. ඒ රෝහිත් ෂෙට්ටි අධ්‍යක්ෂණය කරන Indian Police Force නම් වූ ක්‍රියාදාම වෙබ් කතා මාලාව සමඟිනි.

Indian Police Force රෝහිත්ගේ මෙන්ම සිද්ධාර්ත් මල්හෝත්‍රාගේ ද කුලුඳුල් වෙබ් කතා මාලාව වීම විශේෂත්වයකි. එය සෑම පුද්ගලයෙකුම ආරක්ෂිතව තබා ගැනීම උදෙසා තම රාජකාරියේ යෙදෙන රට පුරා සිටින පොලිස් නිලධාරීන්ගේ පරාර්ථකාමී සේවය, කොන්දේසි විරහිත කැපවීම සහ දේශප්‍රේමය තිරයට ගෙන ගෙන එන කතා මාලාවකි. එහි රූගත කිරීම් මේ වන විට ආරම්භ කර ඇති අතර නුදුරේදී ඇමසන් ප්‍රයිම් ඔස්සේ විකාශය කිරීමට නියමිතව ඇත.