ජීවිතයේ පාඩම කියා දුන් ආදරණීය ඇය

අප්‍රේල් 28, 2022

රන්වීර් සිං සහ දීපිකා පදුකෝන් බොලිවුඩයේ සාර්ථක දිවි ගෙවන සුන්දර යුවළක් ලෙසින් ප්‍රකටය. එපමණක් නොව තම බිරිය පිළිබඳ ඉහළ ගෞරවයෙන් කටයුතු කරන සැමියෙකු ලෙසින් ද රන්වීර් ජනප්‍රියයි. මෑතකදී පැවති සම්මුඛ සාකච්ඡාවකදී රන්වීර් සිං තමා වැඩ කරන ආකාරය ගැන විවෘතව කතා කළේය. දීපිකා සිය ජීවිතයට පැමිණෙන තෙක් තමාට ජීවිතයේ කිසිදු දෙයකට සමබරතාවයක් නොතිබූ බව ඔහු පැවසීය. " රංගනයට මගේ හිතේ තිබුණේ උමතුවෙන් මෙන් වූ කැමැත්තක්. නමුත් අධික වැඩ කටයුතු නිසා ජීවිතයේ සමබරතාවයක් තිබුණේ නැහැ. ජීවිතය ගෙවන්නේ කෙසේ දැයි අවබෝධ කර දුන්නේ ඇයයි. ඇය වැඩ කටයුතු නිසි පරිදි කළමනාකරණය කර ගනිමින් ජීවිතය කියා දුන්නා" රන්වීර් පැවසීය.

හැම දිනක්ම සරල, සුන්දර සහ සැහැල්ලුවෙන් යුතු නොවන බව පවසන රන්වීර් මෙසේද පැවසීය. "ජීවිතයේ අපි දුකට පත් වෙන අවස්ථා එනවා. අපි වටේ කොච්චර දුකක් වේදනාවක් තිබුණත් ආපහු යන්න ගෙදරක් තියෙනවා යැයි හැඟෙන විට ඒ දුක තුරන් වී යනවා. මීට වසර හතරකට පෙර වැඩිපුර වැඩ කිරීමෙන් වෙහෙසට පත් වූ කාලයක් තිබුණත් දැන් එහෙම නැහැ. මොකද මගේ ආදරණීය බිරිය දීපිකා මම එනතෙක් බලා ගෙන ඉන්නවා". රන්වීර් අවසන් වරට තිරයේ පෙනී සිටියේ 83 චිත්‍රපටයේ කපිල් දේව්ගේ චරිතයට පණ පොවමිනි. මීළඟට ඔහු හාස්‍යමය චිත්‍රපටයක් වන ජයේෂ්භායි ජෝදාර් චිත්‍රපටයේ ගුජරාටි දේශපාලනඥයෙකුගේ පුතෙකුගේ චරිතයෙන් අප හමුවනු ඇත.