වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
මුරලිගේ 800 තිරයට

ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් බිහි වූ අති විශිෂ්ටතම දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් වෙනුවෙන් තැනුණු ‘800’ සිනමාපටයේ මාධ්‍ය හමුව පසුගිය දින කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී පැවැත්විණ. ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග, මුත්තයියා මුරලිදරන්, කලා අධ්‍යක්ෂ එරල් කෙලී, චිත්‍රපට අධ්‍යක්ෂ කින්ග් රත්නම් යන මහත්වරු සහ ජනමාධ්‍යවේදීහු මේ සඳහා සහභාගි වූහ. ‘800’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සිංහල සහ දෙමළ භාෂාවෙන් එදින එළිදැක්විණ. මේ චිත්‍රපටය ඔක්තෝබර් 06 දින සිට ලොවපුරා තිරගතවීමට නියමිතය.
මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය එම්.එස්.ශ්‍රීපති ගෙනි. ඔහු ප්‍රකට දෙමළ සිනමා අධ්‍යක්ෂ වෙන්කට් ප්‍රභූ සමඟ වසර ගණනාවක් චිත්‍රපටකරණයේ නියැළී අත්දැකීම් ලැබුවෙකි. මෙහි මුත්තයියා මුරලිදරන්ගේ චරිතය රඟපානුයේ මීට කලකට ඉහත පැමිණි ‘ස්ලම්ඩෝග් මිලියනයර්’ චිත්‍රපටයේ රඟපෑ ප්‍රකට ඉන්දීය නළු මධූර් මිත්තාල් ය. ‘800’ චිත්‍රපටයේ එන අර්ජුන රණතුංගගේ චරිතය රඟපානුයේ ‘කෝමාලි කිංග්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වූ දෙමළ සිනමා අධ්‍යක්ෂවරයකු හා නළුවකු වන කින්ග් රත්නම් ය. ඉන්දීය සහ ලංකික නළු නිළියන් කිහිපදෙනෙක් ද මේ චිත්‍රපටය සඳහා රංගනයෙන් එක්වෙති.
මේ සිනමා පටය මෙරටට ගෙන්වීමේ ප්‍රදර්ශනය අයිතිය හිමි කරගනුයේ ඊ.ඒ.පී මණ්ඩලය මඟින් වන අතර දිවයින පුරා සියලුම සිනමා ශාලාවලදී එළැඹෙන 06 වැනි දින සිට තිරගත වනු ඇත.