වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
අපේ සිනමාව බිංදුවට වැටිලා තියෙන්නේ

සෞන්දර්යය, සිනමාව හෝ කලාව ආදි ඕනෑ ම දෙයක් මානව සමාජයේ යහපැවැත්මට අදාළ අතිශය වැදගත් සාධක බව පැහැදිලිය. රටක සිනමා කර්මාන්තය මනාව ගොඩ නැඟීමෙන් මෙකී මූලික කාරණා ඉතා හොඳීන් සාක්ෂාත් කර ගත හැකිය.එහිදී සිනමා කර්මාන්තයට ඇල්මෙන් කටයුතු කරන නිර්මාණකරුවන් සේම සිනමාව රස විඳීන ප්‍රේක්ෂකයන් ද මෙහි පංගුකරුවන් බව හඳුනාගත යුතු වේ. ඒ පසුබිමේ සිංහල සිනමාව කෙරේ දැඩි නැඹුරුවක් ඇතිව කටයුතු කරන නිර්මාණකරුවකු සමඟ කළ කතා බහකි මේ.
ඔබේ සිනමා ආගමනය පිළිබඳ පළමුවෙන් කතා කරමු
මම සිනමාවට සම්බන්ධ වෙන්නෙ පාසල් යන අවධියේදීයි. රෝයි ද සිල්වා මහත්මයාගෙ චිත්‍රපටවලට තමයි මුලින් සම්බන්ධ වුණේ. නමුත් අවුරුදු දහනවය වගේ වෙද්දී මම අමෙරිකාවට ආවා. හැබැයි ඒ වෙද්දීත් මම සිංහල සිනමාවට කොච්චර ආදරය කළාද කියන දේ දැනගෙන හිටියේ මං විතරයි. ඒ හැඟීමත් එක්ක විදෙස් රටකට ගිහින් ස්වාධීනව ගොඩ නැඟී චිත්‍රපට කීපයක් නිෂ්පාදනය කරමින් පමණක් නොව රංගන ශිල්පියකු ලෙස ද දක්ෂතා ඉදිරිපත් කරමින් නැවත මගේ මවුබිමට පැමිණෙන අදිටනින් ගිය මම ඒ සිහිනය සැබෑ කරගනිමින් තමයි නැවත මවුබිමට පැමිණියේ. එහිදී මම නිෂ්පාදනය කළ ‘දෙවෙනි යුද්ධය’ චිත්‍රපටය පසුගිය හතර වැනිදා එළිදක්වන්න ලැබුණා. ඉතින් ඒ පිළිබඳ ගොඩක් සතුටින් සිටිනවා සේම එහි කටයුතු පිළිබඳ සොයා බලමින් මේ දිනවල කාලය ගත කරනවා.
දෙවෙනි යුද්ධය චිත්‍රපටය ඔබේ දිවියේ සුවිශේෂ අවස්ථාවක් ලෙසයි ඔබ පිළිගන්නේ. දෙවෙනි යුද්ධය නිර්මාණය වීමට මඟ පෑදූ පසුබිම පිළිබඳ කතා කරමු
ඔව්. මේ ගැන එහි අධ්යක්ෂ වී. සිවදාසන් මහත්මයා සමඟයි මුලින්ම කතා කළේ. ඒ වෙලාවේ තමයි ඔහු කියුවේ මීට අවුරුදු එකොළහකට පමණ පෙර කියැවූ නවකතාවක් ඇසුරෙන් නිර්මාණය කළ හොඳ පිටපතක් තිබෙන බව. ඒ පිළිබඳ කතා බහ කළ පසු ඒ කතාව පිළිබඳ මටත් උනන්දුවක් ඇති වුණා, ඒ වගේම එහි මා වෙනුවෙන් යෝජනා කළ ප්‍රදීප් ජයසූරිය කියන චරිතය පිළිබඳත් මා තුළ විශාල කැමැත්තක් ඇති වුණා. ඇත්තටම මෙහි තේමාව තරුණ දරුවන්ට ඉතා වැදගත් තේමාවක්. ඉතින් ඒ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කළ පසු අමෙරිකාවේ වෙසෙන මගේ හිතවතකු වන චන්න ඔබේසේකර සමඟ මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න යොමු වුණා.
මෙරට සිනමා කර්මාන්තයේ දියුණුව පිළිබඳ ඔබ බෙහෙවින් සිතන කෙනෙක්. කෙබඳු කාරණා ද මෙහිදී සැලකිල්ලට ගත යුත්තේ ?
ප්‍රේක්ෂකයාගේ පටන් ඊට දායකත්වයක් තිබිය යුතුයි කියායි මා හිතන්නේ. සිනමාව ගොඩනඟා ගන්න අපට ගොඩක් දේවල් කළ යුතුව තියෙනවා. සිනමාව ගැන කතා කරද්දී අපි මෙහි සමස්තය වෙත ම අවධානය යොමු කළ යුතුයි. එතනදි හොඳ චිත්‍රපටයක් දෙකක් නිර්මාණය වීම පිළිබඳ පමණක් සිතා අපට සතුටු වන්න බැහැ. හොඳ නිර්මාණයක් බිහි කරනවා හා සමානව කර්මාන්තයක් ලෙස ගොඩනැඟෙන්න බිම් මට්ටමේ සිට සියල්ලක් හරියට සිදු විය යුතුයි. මොකද ඇත්තටම කිව්වොත් අපේ සිනමාව බින්දුවට ම වැටිලයි තියෙන්නේ. අනෙක් පැත්තෙන් රටක් විදියට අපි අමාරු තැනක ඉන්න බවත් ඇත්ත. ඒත් එහෙම වුණත් අපට මේ ගමන නවත්වන්න බැහැනෙ. ඕන ම දෙයක් ඉදිරියට යා යුතුයි. මේ කර්මාන්තයත් එසේමයි. ඉතින් ඒ නිසා පුළුවන් තැනකින් අපි මෙය පටන් ගෙන ඉදිරියට යා යුතුයි. ඒක තමයි මගේ නම් හැඟීම. මොකද රටකට සිනමාව කලාව කියන දේ ඕනේ. එතනදි අපි කොයි දේට ආස කළත් අපේ දේටත් නැඹුරුවක් තිබිය යුතුයි. මම අමෙරිකාවේ වෙසෙන්නේ. හොලිවුඩ්වලට හැතැක්ම පහක් දුරින්. ඒත් මම වැඩියෙන් ම ආස කළේ සිංහල සිනමාවටයි. ඉතින් ඒ නිසා මම නිතරම මේ ගැන හිතනවා. අපි හැම කෙනෙක් ම මීට හැකි ලෙස දායකත්වයක් දැක්විය යුතුයි. හොඳ නිර්මාණ බිහි කරන්න උත්සාහ කරනවා සේම හොඳ සිනමා පටයක් පෙන්වීම සඳහා අවශ්‍ය සාධනීය වටපිටාවකුත් සැකසිය යුතුයි. හොඳ සිනමාහල් ඉදිකිරීම, ඇතුළු විවිධ ක්ෂේත්රවලින් මෙහි දියුණුවක් අපි අත්පත් කරගත යුතුයි. වෙනත් රටවල පසුබිම දිහා බැලුවොත් මේ ඕන ම දෙයක් සඳහා දිගුකාලීන සැලැසුම් අනුවයි ඔවුන් කටයුතු කරන්නේ. අපටත් අවශ්‍ය වන්නේ එබඳු ක්‍රමවේදයකුයි.එබඳු ක්‍රමවේදයක් ඔස්සේ කටයුතු කළොත් අපේ දක්ෂ ශීල්පීන් සමඟ අපටත් අපේ සිනමාවේ හොඳ දියුණුවක් දකින්න පුළුවන් වෙයි.
මේ පිළිබඳ ඔබේ අත්දැකීම් සමඟ කතා කරමු
නිසි සැලැස්මක් මූලික ව මීට අවශ්‍යයි. ඒක තමයි අංක එක. හොලිවුඩ්වල අපි සිනමා හලකට ගියාම අපට ඊළඟට එන්න තිබෙන චිත්‍රපට ගණනාවක විස්තරපවා අපට දැනගන්න පුළුවන්.මම මේ චිත්‍රපටයේ වැඩ කටයුතු සඳහා ආවහම ගොඩක් දේවල් මට සමීපව නිරීක්ෂණය කරන්න පුළුවන් වුණා.ඒ වගේම ගොඩක් අත්දැකීම් ලැබුණා.ඒඅත්දැකීම් එක්ක ගොඩක් සිනමාහල්වල තත්ත්වය පිළිබඳ සතුටු වෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මේ වගේ කාරණාවලදී විශේෂයෙන් ජාතික චිත්‍රපට සංස්ථාව වැනි ආයතනයකට ලොකු කාර්යභාරයක් තියෙනවා කියලයි මං හිතන්නේ.මේ කර්මාන්තයේ ගැටලු නිරාකරණයට ඔවුන්ගේ මැදිහත් වීම අත්‍යවශ්‍යයි. ඒ මැදිහත් වීම සහ අධීක්ෂණය හරි ලෙස සිදුවනවා නම් මේ බොහෝ ගැටලු නිරාකරණය කර ගැනීමට ලොකු ඉඩක් ඇති බව යි මම විශ්වාස කරන්නේ.
දෙවෙනි යුද්ධය චිත්‍රපටයේ සෙසු ශිල්පීන් වෙතින් ඔබ දුටු විශේෂත්ව මොනවාද ?
ඇත්තටම ඔවුන් හැමකෙනකු ගැනම මට හරිම සතුටුයි. මොකද කියනවා නම් දක්ෂ පළපුරුදු පිරිසක් මේ නිර්මාණයට දායක වී ඉන්නේ. ඒ වගේම ඔවුන් හොඳ සහයෝගයක් මේ වෙනුවෙන් ලබා දුන්නා. ඉතින් දක්ෂ අධ්යක්ෂවරයකු යටතේ අපූරු පිටපතක් ඇතුළේ සියලු දෙනාගේ සහය ඇතිව ලස්සන නිර්මාණයක් ලෙස මෙය එළිදැක්වුණා කියලයි මම විශ්වාස කරන්නේ.
ඔබේ ඊළඟ නිෂ්පාදනය ස්නයිපර් චිත්‍රපටය පිළිබඳ ඇති අදහස මොකක්ද ?
ඒ චිත්‍රපටයත් ඇත්තටම හරිම කුතුහලයෙන් බලන්න පුළුවන් චිත්‍රපටයක්. ඒකත් වී. සිවදාසන් මහතාගේම නිර්මාණයක්. ඒ චිත්‍රපටයේත් මට හොඳ චරිතයක් කරන්න ඉඩ ලැබුණා.ඒ චිත්‍රපටයට දායක වෙන්නේත් ලංකාවේ ඉන්න ඉතා දක්ෂ ශිල්පීන් පිරිසක්. ඒ නිර්මාණයත් දෙවෙනි යුද්ධය වගේම හොඳ කතා තේමාවක් සහිත එකක්. මේ වෙද්දී එහිත් වැඩ කටයුතුත් නිම වී තියෙන්නේ. ඒ නිර්මාණයටත් ප්‍රේක්ෂකයන් කැමැති වෙයි කියා මම හිතනවා. ඒ වගේම මේ වෙලාවේ මේ චිත්‍රපට දෙකේම අධ්යක්ෂවරයා වී.සිවදාසන් මහතා ව මම ආදරයෙන් හා ගෞරවයෙන් මතක් කරන්න ඕනේ. මොකද දෙවෙනි යුද්ධය චිත්‍රපටයේත් ඒ වගේම ස්නයිපර් චිත්‍රපටයේත් ප්‍රදීප් ජයසූරිය හා සුරේන් කියන චරිතවල මාව ඉතාමත් අනර්ඝ ලෙස මෙහෙයවමින් ඔහු මේ නිර්මාණයට මගේ හැකියා හොඳීන් ඉස්මතු කර ගන්න කටයුතු කළා කියා මා හිතනවා.
ඔබ මේ ක්ෂේත්රයට පිවිසුණේ පාසල් අවධියේ බව පැවසුවා. ඒ මඟ ඔබේ ඔබේ මතකයෙන් නොගිලිහුණු අය මතකද ?
ඔව්. මම පාසල් දෙකක ඉගෙනුම ලැබුවා. කෝට්ටේ ශාන්ත තෝමස් විදුහලේ හා කඳාන ද මැසිනද් විදුහලේ. මම කෝට්ටේ ශාන්ත තෝමස් විදුහලේ ඉගෙනුම ලැබූ අවධියේ ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා තමයි මාව ඊට යොමු කළේ. පෝරුතොට පියතුමා තමයි මාව රෝයි ද සිල්වා මහතාට හඳුන්වා දෙනු ලැබුවේ. එතුමාගේ චිත්‍රපටවලට සම්බන්ධ වෙන අතරේ තමයි මට සුනිල් සෝම පීරිස් මහත්මයාගේ චිත්‍රපටවලටත් සම්බන්ධ වෙන්න පුළුවන් වුණේ. ඉන් අනතුරුව සුනිල්.ටී ප්‍රනාන්දු, සෝනියා දිසා, ප්‍රීතිරාජ් වීරරත්න ආදින්ගේ මුණගැසීමත් මගෙ සිනමා දිවියේ විශේෂ අවස්ථා ලෙස පිළිගන්න පුළුවන්. ඉතින් ඔවුන් සියලු දෙනාත් මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුයි.
විශේෂයෙන් රෝයි ද සිල්වා මහතා සමඟ මා කළ චිත්‍රපටය ‘ටොම් පචයෝ’ චිත්‍රපටයත් ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. සම්පූර්ණයෙන්ම අමෙරිකාවේ රූගත කළ මේ චිත්‍රපටයත් ප්‍රේක්ෂකයාට වෙනස් අත්දැකීමක් ලබා දෙයි කියා මට විශ්වාසයක් තියෙනවා.
ඔබ විදෙස්ගත වූ පසුව කලා කටයුතු සඳහා කුමනාකාර ලෙස ද සම්බන්ධ වුණේ ?
ලංකාවේ නොහිටියත් මම කලා කටයුතුවලින් ඈත් වූයේ නෑ. අමෙරිකාවට ගොස් කෙටි කලෙකින් අපේ ශ්‍රී ලාංකිකයන් සමඟ එක්ව බොහෝ කලා කටයුතුවල නියැළුණා. විශේෂයෙන් ලංකාවේ ප්‍රවීණ කලාකරුවන් සම්බන්ධ කර ගනිමින් හරිම සුන්දර ඒ වගේම ඵලදායී කටයුතු රැසක් කරන්න අපට හැකි වුණා. විශේෂයෙන් ලංකාවේ ප්‍රවීණ රංගන ශිල්පීන් සම්බන්ධ කරගනිමින් කළ ‘රන්වන් රැය’ ප්‍රසංගය ඊට හොඳ උදාහරණයක් විදියට දක්වන්න පුළුවන්. ඒ ශිල්පීන් අමෙරිකාවට ගෙන්වා අමෙරිකාවේ වෙසෙන ලාංකික දූ පුතුන් ඇතුළු පිරිස් සම්බන්ධ කර ගනිමින් පැවැත්වූ ඒ ප්‍රසංගය අපි එරට රූපවාහිනී නාලිකා ඔස්සේ ප්‍රචාරය කිරීමට සැලැස්වූවා. ඊට ඉතා යහපත් ප්‍රතිචාරයක් ලැබුණා වාගෙම ඉන් ලද ආදායමෙන් ලංකාවේ ප්‍රජා මූලික කටයුතු රැසක් සාක්ෂාත් කර ගන්න අපට ලැබුණ. ඒ පිළිබඳ ගොඩක් සතුටුයි. විශේෂයෙන් රන්වන් රැයේ අපේ මූලික අරමුණු කීපයක් තිබුණා. එකක් තමයි විදෙස්ගතව හැදී වැඩෙන අපේ දරුවන් ට සිංහල සිනමාව පිළිබඳ අවබෝධයක් ලබා දීම, ඒ වගේම අපේ ප්‍රවීණ රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට යාවජීව සම්මානයක් ලබාදීම. මට මතකයි රෝයි-සුමනා අපේ ප්‍රවීණ කලා ශිල්පීන් දෙපළ වෙනුවෙන් වරක් අපට කළ හැකි වූ ඉතාමත් අනර්ඝ උපහාර උලෙළ. ඉතින් මම විදෙස්ගත ව හිටියත් කලාකරුවකු ලෙස ඉතා ක්‍රියාකාරීව කටයුතු කරන බව කියන්න පුළුවන්.
සිංහල සිනමාවේ දියුණුව පිළිබඳ නිරතුරුව අවධානය යොමු කරන කෙනකු ලෙස ඔබ අවධාරණය කරනුයේ මොන වගේ කාරණා ද ?
අපේ සිනමාව පිළිබඳ අප සියලු දෙනාම විශාල අවධානයක් යොමු කළ යුතුයි. එහිදී සිනමාකරුවන් ඇතුළු අනිකුත් ශිල්පීන්ගේ සිට ප්‍රේක්ෂකයා දක්වා මීට දායක විය යුතුයි.මම හිතන්නේ එහෙමයි. මමත් ශ්‍රී ලාංකිකයකු විදියට මේ පිළිබඳ විශාල හැඟීමක් ඇතිව කටයුතු කරන කෙනෙක්. එනිසා මම හිතන්නේ අපේ සිනමාව නැවත ඉහළට ඔසොවා තබන්න අපි හැමෝටම සාමුහික වගකීමක් තියෙනවා කියලයි. එතනදී ක්ෂේත්රයේ සියලු දෙනාමත් ඒ වගේම රටක් විදියට අපි හැමෝමත් ඒ වෙනුවෙන් යම් දායකත්වයක් දැක්වූවොත් ඒක කරන්න අපහසු නෑ.
මූලික ව අප මෙහි අඩුපාඩු හොඳීන් අධ්‍යයනය කළ යුතුයි නැතිනම් හඳුනාගත යුතුයි. ඊළඟට ඒ අඩුපාඩු මඟ හරවාගන්න ක්‍රමවේද සකස් කළ යුතුයි. වැදගත් ම දේ මේ වෙනුවෙන් තිරසාර පොදු වැඩපිළිවෙළක් සකස් කිරීමයි. ඊළඟට සියලු දෙනාම ඒ වැඩපිළිවෙළට අනුගත වන ලෙසින් කටයුතු කිරීම වැදගත්.
එසේ නැතිව බෙහෙවින් සාර්ථක වූ නිර්මාණයක් දෙකක් ආදර්ශය ට ගෙන කර්මාන්තය දැන් හොඳ මට්ටමකට පැමිණ තිබෙනවා කියන තක්සේරුවට නොපැමිණිය යුතුයි. හැම චිත්‍රපටයකටම අවධානයක් ලැබෙන ලෙස පසුබිම සකස් කළ යුතුයි. ප්‍රේක්ෂකයන් චිත්‍රපට නරඹන්න යොමු වන විදිහේ ලස්සන වටපිටාවක් අපි නිර්මාණය කර ගත යුතුයි. සිනමාහල් හොඳ පහසුකම් සහිතව නවීකරණය විය යුතුයි. ඒ වගේම චිත්‍රපටයක් ප්‍රදර්ශනයට පෙර පූර්ව ප්රචාරක කටයුතු හොඳීන් සිදු විය යුතුයි. ඇත්තටම මේක සාමුහික ක්‍රියාවලියක්. තනි පුද්ගලයකුට කළ නොහැකි දෙයක්. ඒ අතරෙ ඉතා සාධනීය කාරණාත් මම දැක්කා. හරිම ලස්සනට පවත්වාගෙන යන සිනමාහල් අපේ රටේ තියෙනවා. හරි ම ප්‍රසන්නයි. ඒ වාගෙ අපිට හැම අංශයක් ම කොච්චර ලස්සනට ගොඩ නඟන්න පුළුවන් ද?.
මේ මූලික දේවල් ක්‍රමයෙන් ගොඩනැඟෙන විට ප්‍රේක්ෂකයන් මේ පිළිබඳ උනන්දු වේවි. මම පෞද්ගලික ව සිනමාව පිළිබඳ ගොඩක් උනන්දුවෙන් කටයුතු කරන කෙනෙක්. ඒ වගේම මෙහි සෑම අංශයක් ගැනම සොයා බලමින් වැඩ කරන කෙනෙක්. ඒ නිසාම මට නිරීක්ෂණය වන අඩුපාඩු රැසක් තියෙනවා.නමුත් අපි උත්සාහවන්තව වැඩ කරන්න පටන් ගත්තොත් මේ අභියෝග අපට ජයගන්න පුළුවන් වෙයි කියලයි මම නම් හැමවිටම විශ්වාස කරන්නේ.
සේයාරූ - නිශ්ශංක විජේරත්න