‘තාත්තා’ ළඟදීම

ජනවාරි 12, 2023

සිනමා තිර රචකයකු ලෙස උලත් එකයි පිලත් එකයි චිත්‍රපටය තිර රචනය කරමින් සිනමාවට පිවිසි ප්‍රසාද් සමරතුංගගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වන්නේ ඉස්කෝලෙට මං ආවා චිත්‍රපටයයි. එය 2019 වසරේදී තිරගතවූ අතර මේ දක්වා මෙරට සියලුම රූපවාහිනී නාලිකාවන්හි එම නිර්මාණය විකාශය වී තිබේ. කෙටි කලක් ඇතුළත වැඩිම රූපවාහිනී නාලිකා ගණනක විකාශයවූ චිත්‍රපටය වන්නේද ඉස්කෝලෙට මං ආවා සිනමාපටයයි. ප්‍රසාද් මේ වන විට සිය දෙවැනි සිනමා නිර්මාණය වන තාත්තා සිනමාපටය නිර්මාණය කර ඇති අතර එය නුදුරේදීම තිරගත වීමට නියමිතය.

තාත්තා චිත්‍රපටයෙහි රංගනයෙන් කුමාර තිරිමාදුර, නිල්මිණී තෙන්නකෝන්, තිසෙව් සත්සිළු විජේනායක, ඔනෙලි හිමහංසි, කුෂේයා අනගි, සඳෙව් වලිමුණි, උපුල් වීරසිංහ, රොහාන් පෝල්, සිනෙති අකිලා, කුමාර වඳුරැස්ස, රුෂාන්ත විජේනායක, සැනට් දික්කුඹුර, උපුල් නිශාන්ත, සුමිත් ගල්හේන, සනත් රත්නායක, සමන් කුමාර ගමගේ, විජිත් හේවාවිතාරණ, උපේන්ද්‍රිකා රත්නායක, ලලිත් නවරත්න, නිශ්ශංක විජේරත්න, රෝහණ සේනාරත්න, චමිලා ප්‍රියංගනී, විහඟ කවීෂාන්, ඩිලූෂ ටේෂාන්, දෙනුකි හසින්තිකා, තෙනුම් විහස්නා, විමංසා සඳෙව්මි, කවිඳු නෙත්මාල්, දසුන් නිර්වාන්, ජනෝදි හංසනා, තාරක දිල්හාන් ජයසිංහ දායක වෙති. කැමරා අධ්‍යක්ෂණය සිසිකිරණ පරණවිතාන වන අතර සහාය අධ්‍යක්ෂණය තරිඳු ඉලංගකෝන් ගෙනි. අංග රචනය තාරක අධිකාරි, කලා අධ්‍යක්ෂණය ගීතානි සෙනෙවිරත්න, නිෂ්පාදන කළමනාකරණය සහ මාධ්‍ය සම්බන්ධීකරණය උපුල් නිශාන්ත, කතා සංකල්පය සහ තිරරචනය ලලිත් වර්ණප්‍රිය, සම තිරරචනය ප්‍රසාද් සමරතුංග වන අතර සංගීත අධ්‍යක්ෂණය දිනේෂ් සුබසිංහ ද ගීත ගායනය නලීන් පෙරේරා හා උපේඛා නිර්මාණි විසින් සිදුකර තිබේ.

රුවන් වයස අවුරුදු 10 ක පමණ කුඩා පිරිමි දරුවෙකි. ඔහුගේ පියා රත්නපාල ගමේ කුලී වැඩ කරමින් ජීවත් වන දුප්පත් පුද්ගලයෙකි. කොච්චර නැති බැරි කම් තිබුණත් රත්නපාල තම පවුල වෙනුවෙන් ඉමහත් කැපවී වෙහෙසවී වැඩ කටයුතු කරගෙන යයි. රුවන් කරන්නාවූ දඟ වැඩ හේතුවෙන් රත්නපාල නිතර ඔහුට පහර දෙයි. මේ හේතුවෙන් ඇතැම් අවස්ථාවන්වලදී රුවන්ට තම පියාව නුරුස්සන ස්වභාවයක් ඇතිවේ. දිගින් දිගටම මේ තත්ත්වය ඉවසාගත නොහැකිව රුවන් සිදු කරන්නේ තමන්ගේ පියාව පාළු ස්ථානයක සිර කිරීමයි. එතැනින් එහාට තම පියාගේ අගය රුවන්ට දැනෙන්න පටන් ගනියි. තමන් කළේ වරදක් බව දැනගත් රුවන් එය නිවැරදි කිරීමට උත්සාහ කරන්නේ පියාව බේරාගන්නට තැත් කිරීමෙනි. නමුත් යම් යම් අවස්ථාවලදී ඔහුට එය කර ගැනීමට නොහැකි වේ. තාත්තා චිත්‍රපටයේ කතාව ගලාගෙන යන්නෙ එසේය. අවසානයේදී මේ පියාට සිදු වන්නේ කුමක්ද... ඒ කතාව ඔස්සේ සමස්ත පියවරුන්ගේ ආදරය පිළිබඳ ගම්‍ය වන අන්දමින් තිර තිර කතාව ලියැවී තිබේ.

වාර්තා වැඩසටහන්, වෙළෙඳ දැන්වීම්, ගීතමය රූප රචනා රැසක් නිර්මාණය කළ ප්‍රසාද් වසර 12ක් ලේක්හවුස් ආයතනයෙන් සරසවිය පුවත්පතේ සේවය කළේය.

සේයාරුව - සුදත් මලවීර