වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
සයිබර් ක්රයිම්වලට අපේ නීතිමය පැත්ත දුර්වලයි

මෙරට සිනමා හා ටෙලිනාට්‍ය මෙන්ම විවිධ සංගීත ප්‍රසංග ඩීවීඩී කිරීමේ ප්‍රමුඛතම ආයතනයක් ලෙසින් නම් දැරූයේ ටොරානා වීඩියෝ මූවීස් ආයතනයයි. මෙරට ඩිවීඩී නරඹන ප්‍රේක්ෂකයන් මෙන්ම විදෙස් ගතව සිටින බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නැරඹීමේ ජනප්‍රියතම මාධ්‍යය වූයේ ඩිවීඩී ආකාරයෙන් නැරඹිමයි. මේ අනුව තත්ව සහතිකයකින් යුක්තව නිර්මාණයේ තත්වය ද බාල නොවන ආකාරයෙන් උසස් නිමාවකින් යුතුව මෙරට චිත්‍රපට හා ටෙලි නිර්මාණ ඩිවිඩි ගත කිරීමේ ප්‍රමුඛතම ආයතනයක් වශයෙන් ටොරානා ආයතනය මෙන්ම එහි අධිපතීත්වය දරන කුමාර් කොතලාවලද මෙරට සිනමා හා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වූවේය.
වසර 40 ට ආසන්න කාලයක් ඔහු මේ ව්‍යාපාරයේ නියැළෙමින් ප්‍රේක්ෂක රසඥතාවය මොට නොවන අන්දමේ ඉහළ ගණයේ සිනමා හා ටෙලිනාට්‍ය නිර්මාණ රැසක් ප්‍රේක්ෂකයින් වෙත රැගෙන ආවේය. එහෙත් වර්තමානය වන විට මෙරට පවතින ආර්ථික අර්බුදයන් මැද ජනතාවගේ විනෝදාස්වාදන මාධ්‍යයන්ට කුමක් වීද? තවමත් ප්‍රේක්ෂකයන් ඩිවිඩී ඔස්සේ තමනට රුචි දේ නරඹනවාද? එසේත් නොමැති නම් ඔවුන්ගේ රුචිකත්වයන් වෙනස් වෙලාද? තාක්ෂණික දියුණුවත් සමඟ ඩීවීඩී යන්න ලෝකයෙන් තුරන් වෙමින් යන අවස්ථාවක තව දුරටත් මෙම නිර්මාණ රැකගන්නේ කෙලෙසකද යන්න පිළිබඳකතා බහකට ටොරානා විඩියෝ මූවිස් අධිපති කුමාර් කොතලාවල අපේ කතා බහකට අද කැඳවා ගත්තා.
වර්තමානයේ රටේ පවතින අර්බුදකාරි තත්වය ඔබ ව්‍යාපාරයට බලපාන්නේ කෙසේද?
රටේ පවතින වාතාවරණය කොයි විදියට පැවතුණත් මිනිස්සුන්ට ජීවත් වෙන්න අවශ්‍ය කරන මූලික අවශ්‍යතා ටික තිබෙන්න ඕන.එයින් පළවෙනි කාරණය වෙන්නේ ආහාර. ඉතින් පහුගිය කාලේ ආහාර , පෙට්‍රල් , ඩීසල් , ගෑස් හෙව්වා මිසක් , ටොරානා එකට ඇවිත් ඩිවීඩී එකක් ගන්න ඕන කියන තැන කවුරුත් හිටියේ නෑ. ආර්ථික අර්බුදයත් එක්ක මිනිස්සු ගෑස් පෝලිම් වල , පෙට්‍රල් පෝලිම් වල හිටියේ. කොටින්ම කිව්වොත් අපේ කඩේට කෙනෙකුට ගොඩ වෙන්නවත් ඉඩක් තිබුණෙ නෑ. කඩේ ඉස්සරහින් දිගින් දිගටම පෝලිම් තමයි තිබුණේ.කිසි කෙනෙකුට කඩේට ඇවිත් වාහනයක් නවත්තලා බඩුවක් ගන්න පුළුවන් කමක් තිබුණේ නෑ. ඒක මට විතරක් නොවෙයි හැමෝටම සිද්ධ වෙච්චදෙයක් කියලා හිතලා අපි ඒ ගමන ගියා.
දැන් අපි මේ අර්බුදය ගැන කතා කරනවා. නමුත් දැන් අපිට අමතක වෙච්ච දෙයක් තියනවා. කොවිඩ් කාලේ අපි කොහොමද ගත කළේ කියලා දැන් අපිට අමතක වෙලා වගේ නේද?කොවිඩ් කාලේ අපිට කඩයක් අරින්නවත් බෑනේ. නමුත් මේ අර්බුදයෙන් අපිට ෂොප් එකක් ඇරගන්න හරි පුළුවන් වුණා.ඒ කාලේ අපිට මාස ගණන් වහලා තියන්න සිදුවුණා. බිස්නස් ගැන හිතන්න තත්වයක් වත් තිබුණේ නෑ.අද ගෙදරින් එළියට බැහැල යන මිනිහා ඇන්ටිජන් ටෙස්ට් එකෙන් රෝහල් ගත වෙන්නත් ඉඩ තිබුණා. හදිසියේ හරි කොවිඩ් හැදිලා මිය ගියානම් අඩු තරමින් මිනිය වත් දකින්න පුළුවන් කමක් තිබුණේ නෑ.ඒ වගේ කාලයකුත් අපි ගත කළා. හැබැයි දැන් ඒවා සේරටම අමතකයි. මේ කාලයේ අපිට මතකයි තිස්ස නාගොඩවිතාන නැතිවුණා. අපිට මළ ගෙදරට වත් යන්න බැරි වුණා.සිනමාස් අධිපති ගුණරත්නම් ගේ පුතා පද්මරාජ් නැතිවුණා. මහරාජා සමූහ ව්‍යාපාරයේ අයිතිකාරයා කිලි මහරාජා නැතිවුණා කොවිඩ් වලින් . මෙහෙම වෙනකොට එක්තරා අවස්ථාවක මට හිතෙනවා මොනවාද මේ අපි කරන්නේ රැස්කරගෙන, ලේබල් ගහගෙන අපි ඩීවීඩී කරනවා. මේ වෙලාවේ මානසිකව වැටිලා ඉන්න මිනිස්සු ගෙදර තියාගෙන හරි අපේ ඩීවීඩී මිනිස්සුන්ට බලන්න සලස්සන්න ඕන කියලා හිතුවා.
මම කළේ මගේ ටොරානා වීඩියෝ ඩොට් කොම් එක හරහා මුදල් දීලා ගන්න පුළුවන් ආකාරයටත් එහෙම නැත්තනම් සයිට් එකට ගිහින් එහි තියෙන ඩ්‍රාමා සියල්ලම බලන්න පුළුවන් ක්‍රමවේදයක් හැදුවා.මම මට පුළුවන් මට්ටමින් ඒ
කාලයේ මාසෙක කාලයක් මිනිස්සුන්ට නොමිලයේ බලන්න සැලැස්සුව. ඒ කාලයේ ඕනෑම කෙනකුට මගේ සයිට් එකට ලොග් වෙලා ටෙලිඩ්‍රාමා සහ චිත්‍රපට ඕන තරම් බලන්න සැලැස්සුවා. කිසිම මුදලක් ගෙවන්නේ නැතුව.මට හිතුණා මගේ ගාව තියෙන දේ මොහොතකට හරි හැමෝටම දීලා ඔවුන්ගේ මානසික ව්‍යාකූලතාවයන් සන්සිදුවනවද ?නැත්නම් මේවා මගේ ළඟම තියාගෙන ඉඳලා වහලා දාල යනවද කියලා
මේ තත්වය එන්නට පෙර ඔබේ ඩීවීඩී ව්‍යාපාරයේ තත්වය කොහොමද තිබුණේ?
ඇත්තටම මේ කොරෝනා තත්වය හා ආර්ථික අර්බුද තත්වය එන්න පෙර අපි කාටවත් මෙවැනි තත්ව තිබුණෙ නෑනේ.දෙයියනේ කියලා මගේ පිටරට කස්ටමර්ස්ලා වගේම ලංකාවේ ඉන්න මගේ කස්ටමර්ස්ලා නිරන්තරයෙන් මේ ඩිවීඩී මිලදී ගත්තා.ඒ නිසා ඔය කියන තරම් ප්‍රශ්නයක් අපිට තිබුණෙ නෑ.
දැන් ඩීවීඩි අලෙවිය අඩුයිද?
ඇත්තටම අතින් සල්ලි දීලා ඩීවීඩී මිලදී ගැනීම හුඟක් දුරට අඩු වෙලා තියෙනවා. කොවිඩ් කාලේ ගොඩක් මිනිස්සු ඔන් ලයින් ක්‍රමයට හැඩ ගැහුණා.ගොඩාක් අය කොම්පියුටර්, ලැප්ටොප් , ජංගම දුරකථනය හරහා ගනුදෙනු කිරීමට පටන් ගත්තා.සෝෂල් මීඩියා, යු ටියුබ් නාළිකා ඔස්සේ හැම දෙයක්ම බලන්න පටන් ගත්තා.මේ තත්වය නිසා අවාසනාවන්ත තත්වයකුත් උදා වුණා. තම තමන්ගේ යූ ටියුබ් නාළිකා හදාගෙන අනවසරයෙන් බාගත කරගෙන ඒ හරහා මුදල් උපයා ගැනීමේ තත්වයකුත් පටන් ගත්තා. මිනිස්සු ඕනම නිකන් දෙන දෙයක් ගන්න බලන් ඉන්නවා. ඒ නිසා අපිට මිනිස්සුන්ට වැරැදි කියන්න බැහැ.මම වුණත් යම්කිසි දෙයක් නිකම් බලන්න තියෙනවා නම් මම බලන්න කැමැතියි. සල්ලි ගෙවලා ක්‍රෙඩිට් කාඩ් ගෙවගෙව ඉන්නෙ නැතුව.ඉතින් හැම තිස්සෙම මේ වගේ දේවල් වෙනකොට අපෙන් ඩීවීඩී එකක් කෙනෙක් සල්ලි දීලා ගන්න කැමැති වෙන්නෙ නෑනේ.මේ විදියට කෙනෙක් බලනවා වගේම කී දෙනෙක් ඩවුන්ලෝඩ් කර ගන්නවද?
ඩවුන්ලෝඩ් කරගෙන ව්‍යාජ පිටපත් අලෙවි කරනවා.මේ ප්‍රශ්න හැම එකකටම මුල තමයි මේ සම්බන්ධව ඒ කියන්නේ සයිබර් ක්රයිම්ස්වලට අපේ තියෙන නීතිමය පැත්තේ දුර්වලකම. බොහෝ දුරට මේ සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ගියාම, කම්ප්ලේන් එක දාන්න යන කෙනා අපහසුතාවයට පත්වෙනවා ඇරෙන්න කවදාවත් ඒකෙන් ගොඩ එන්න ක්‍රමයක් නෑ.නීතිමය පැත්ත හරිම දුර්වලයි.ඒ ගොල්ල කියන්නේ මේ ප්‍රශ්නයට තනියෙන් නඩුවක් දාලා වන්දි අය කරගන්න කියලයි. ඉතින් මම මේ වෙලාවේ ඉල්ලන්න කැමැතියි අදාළ බලධාරීන්ගෙන් මේ සම්බන්ධව හරියට නීති හදලා අපිව මේකෙන් බේරලා දෙන්න කියලා.
වැඩි වශයෙන් ඔබේ කස්ටමර්ස්ලා හිටියේ මෙරටද? පිටරටද?
දෙපැත්තෙම හිටියා පිටරට ඉඳලා නිවාඩුවට මෙහෙ ඇවිත් යන අය බොහොමයක් අරගෙන යනවා. ඒ වගේම ලංකාවේ ඔන් ලයින් ඕඩර් කරන අයත් ගොඩාක් හිටියා.
ඉදිරියේදී අලුත් නිර්මාණ කරන්නේ නැද්ද?
අලුත් නිර්මාණ කරන්න ආසයි. නමුත් බයයි. මොකද අලුත් නිර්මාණයක් කරන්න අදාළ නිෂ්පාදකවරයාට ලොකු ගාණක් ගෙවන්න ඕන. ඊට පස්සේ ඩී.වී.ඩී. කරන්න පිටරට යවලා ආපහු ලංකාවට ගෙනත් ටැක්ස් ගෙවලා අරගත්තා කියමු කෝ. නමුත් ඒ වන විට චිත්‍රපටයට හෝ ටෙලි නාට්‍යය යූ ටියුබ් එකට මුදා හැරලා නම් මම මොකද කරන්නේ. මිනිස්සු ඩී.වී.ඩී. වැහිද යූ ටියුබ් එකේ චිත්‍රපටය තියෙද්දී ඔන්න ඔය වගේ ප්‍රශ්න රාශියක් මෙතන තිබෙනවා. මගේ පැරණි ඩී.වී.ඩී. වලටත් ඔය ප්රශ්නය බලපානවා.
අනිත් එක අද ඩී.වී.ඩී. තාක්ෂණයට සම්පුර්ණයෙන්ම ලෝකෙන් ඉවත් වෙන්න යන්නේ. දැන් යූඑස්. බී තමයි වැඩියෙන් භාවිත වෙන්නේ. ඉතින් මේ එක්ක ව්‍යාපාර කටයුතු කරන්න අසීරුයි. අනිත් පැත්තෙන් ඩී.වී.ඩී කරන්න පිටරටට සල්ලි ගෙවන්න ඕන ඩොලර් වලින්. එහෙම කරන්නත් දැන් පහසු නෑනේ.
මේකට විකල්ප හොයන්නේ නැත්ද?
දැනට යූ ටියුබ් නාලිකාවක් කරගෙන යනවා. ඉදිරියට ඉතින් ඒක ඩිවලොප් කරන්න ඕන. දැනට මගේ ළඟ තිබෙන ඩී.වී.ඩී යම් ප්‍රමාණයකින් යනවා.
නමුත් මම ඩී.වී.ඩී අයිතිය මිල දී ගත්ත නිර්මාණ යූ ටියුබ් එකට මුදාහැරීමට එතන මට වෙන අසාධාරණයක කොයි තරම් ද කියල හිතන්න.ඉදිරියට නිර්මාණ කරන්න ගත්තත් ඔය වැඩේ වෙනවනේ. ඉතින් කොහොමද මේක ව්‍යාපාරයක් විදියට ඉදිරියට කරගෙන යන්නේ.